සංගීතය, සාහිත්‍ය කළා විචාර

පියඹා ගිය ගී කිරිල්ලිය

Off

ගහේ පිපුණ මල් සේරම බඹරුන්ටත් දීලා
බලා හිඳී ගසක් ඔහේ සුළගේ හිනැහීලා
බඹරු එතත් දෙබරු එතත් ගහ නැහැ කැළඹීලා
ඔහේ සිනාසෙනු මිස විහඟුන්ගේ ගී අසලා

මාලනී බුලත්සිංහල නම් ඇය ගායනා කර ඇති ගීත සංඛ්‍යාව ගණනින් අතිමහත් නොවූවද රසික හදවත් වල ඇගේ නාමය සදානුස්මරණීය වීමට ඈ ගැයූ අමයුරු ගීත ස්වල්පය ම සෑහේ ය. ඇගේ සමකාලීනයන් වූ ප්‍රේමකීර්ති ද අල්විස්, ලූෂන් බුලත්සිංහල වැනි විශිෂ්ඨ ගණයේ ගී පද රචකයන් ගේ අරුත් සරු පද රචනාද, ප්‍රේමසිරි කේමදාස වැනි අග්‍රගන්‍ය සංගීතඥයෙකු සෙවණෙහි ලැබූ පුහුණුව ද ඇගේ ගීය මැනවින් ආලෝකමත් කළේ ය. එනමුදු ඈ හුදු ගායිකාවක පමණක් නොවූවාය. ඈ උණුවන හදක් තිබූ සෑබෑම මිනිස් දුවක බව කේමදාසයන් ම වරක් පවසා ඇත..

බිඟු තුඩු නොවැදුනු පියුම ගෙනාවොත්
මානස විල මත පිපුනු සැණින්
නැවුම් පෙමට කිම වෙහෙසෙනු පෙම්වත
යළි උපදිමි ඒ පියුමින් මම්

පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්
මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත් ඉල්ලන තරුමල්
එයට නෙළා පිළිගන්වන්නම්…..

කියාගන්න මට දහසක් දේ ඇත
මතු දවසක ඔබ හා තනිවී
හමුවන්නට බැහැ උකුසු වෙසින් ඇත
නෙතු දහසක් අප වෙත යොමුවී….

හිමි නැති පෙමකට ඉකි බිද හැඩුමට
සිත මගෙ බොලඳ වෙලා
අන්සතු හදකට පෙම් කල වරදට
ලොව මට එරෙහි වෙලා…..

සෙවණැලි නොමැකේ නම්
එළිය කළු නොවේ නම්….
බිත්ති පුරා ඔබෙ සෙවණැලි ඇන්දේ තනිය මකා ගන්නයි….
එනතුරු සොයා මගේ සෙනෙහස මතුදා…

දම් පාටින් ලා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි….

හිස ගවසන්න ගෙනා – සමන් පිච්ච පොකුරු කඩා
අහසට විසිකෙරුවා මං…
රෑකල අහස බලන ඔබට පෙනේවී
හිතන් එපා තරුයි කියා ඔබ රැවටේවී..

සැන්දෑ අහස වගේ
සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්නද සිතුවේ..

අහස් මාලිඟා නැහැ ඔබ නිසා මැවී…
සැක සංකා නැහැ ඔබ ගැන හිතේ රැදී…
හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා…
උරණ නොවන්නෙමි ඔබ අන්සතු වූදා…

මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා..
මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා..
ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ
කිසිදා එක් නොවෙනා…

සම්භෝගය හා විප්‍රයෝගය අතරේ පවතින ප්‍රේමයේ අති සියුම් භාවයන් නිසි පරිදි කැටි කරගත් මේ පද මාලාවන් ඒ හඬින් ගැයෙන කල කෙතරම් මියුරුද..

හඳ මාමා නැගෙන තුරු අපි තරු ගනිමු…
දෙදෙනාගේම දුක තල්අත්තක ලියමු….
හඳ මාමා අතම ඒ පණිවිඩ යවමු….
හෙටවත් ගෙදර ඒ දැයි බලමින් ඉඳිමු….

මා එක්කලා අමනාපව.. වී… දබර….
දූ ගේ තාත්තා එන්නේ නැහැ ගෙදර…

කුටුම්බයෙහි සිදුවන බිඳවැටීමක්, සම්බන්ධතාවයෙහි ඉරිතැලීයාමක් නිමිති කොට ගෙන ප්‍රේමකීර්ති අතින් ලියැවුණු මේ ගීය එම අත්දැකීම ඇතිව හෝ නැතිව, නමුත් පදරුත් විඳිමින් අසන්නෙකු ගේ දෑසින් කඳුලක් නොවැටුණා නම් පුදුම ය.

කිරිල්ලියක් විය තටු නැත ලැබිලා
ඉගිළී යන්නට අහස වටා
ලොව හිනැහෙද්දී දෑස වසාගෙන
දෙපයින් ඇය යයි දෙරණ පුරා….

රජ මැදුරක ඉපදී සිටියානම්
නුඹත් රජෙකි පුතුනේ..
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරියහනේ…
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ…

පුංචි පැටික්කන් මඟ දිග හඩවන සිල්ලර රසකැවිලි..
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී..
අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ…

සමාජ අසාධාරණයට ද නොයෙක් පීඩාවට ලක්වූ මිනිසුන් ද ඇගේ ගීයෙහි ජීවමානව උන් අයුරු අපට අමතක කළ හැක්කේ කෙසේ ද ?

2001 මාර්තු 29 දින ඈ අපෙන් බොහෝ ඈතට පියාඹා ගියාය. අද ඊට දහ අට වසරක් සම්පූර්ණ වේ. අද අප මෙන්ම හෙට උපදින පරම්පරාව ද ඉන් මතු පරම්පරාවල් ද මේ ගීත එකසේ රසවිඳිනු ඇත. ඉතින් මාලනියනි අපි කුමක් කියමුද.. ජීවිතේ ඉතා දිගු ගමනෙන් විඩාපත් මොහොතක විඳ සැනහෙනු පිණිස අපට ඉතිරි කර තබා ගිය මේ සිහිලැල් ගීත දිය දෝත වෙනුවෙන් ඔබට බෙහෙවින්ම තුති…

The Travelers Blog

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල