අධ්‍යාපනික, කාලීන සංවාද, විචාර

පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසියි! හොඳ ඉස්කෝලෙකට යන්නේ කොහොමද ඉතින් ?

Off

ඉස්සෙල්ලම කියන්න ඕනෙ, මේ ලියන මමත් පහේ ශිෂ්‍යත්වේ පාස් වෙලා ආනන්ද විද්‍යාලයට ඇතුලත් වෙන්න වරම් ලබපු කෙනෙක්. ආනන්දයට ඇතුලුවීමෙන් මට ලැබුණු දේවල් කොතරම්ද කියලා තක්සේරු කරන්න බෑ. අදටත් මම ආනන්දීයෙක් බව ආඩම්බරයෙන් කියනවා.

ඒත්; ඇත්තටම ශිෂ්‍යත්ව විභාගය ළමා මනසට හොඳද කියලා හිතන්න ඕනෑ.

මම දන්න විධියට ශිෂ්‍යත්ව විභාගය මුලින්ම බිහිකරලා තියෙන්නේ දක්ෂ දරුවන්ට ශිෂ්‍යාධාරයක් ලබාදීලා ඒ දරුවන් පාසැල් හැරයාම වලක්වන උපක්‍රමයක් විධියට. පස්සේ මේ විභාගේ හොඳ දක්ෂ දරුවන්ට අගනුවර හරි තමුන්ගේ පලාතේ හරි හොඳ පහසුකම් හා ගුරුවරු ඉන්න පාසැලකට යන්නට අවස්ථාව සලස්වන ක්‍රමයක් බවට පරිවර්තනය වුනා. ඒ ඒකේ කිසිම වැරැද්දක් නෑ.

ඒත් වර්තමානයේ ශිෂ්‍යත්ව විභාගය විසින් දරුවන්ගේ ජීවිත වලට පුංචි වයසේම ඇති කරන පීඩනය කොතරම් දරුණුද කියන එක වැඩි හිටියන්ට තේරුම් ගන්න අපහසු වෙන්න පුලුවන්.

තුන වසරේ ඉඳලම ශිෂ්‍යත්ව පංති – සමහර පංති ඔන්ලි ෆෝ බ්‍රයිට් චිල්ඩ්‍රන්

ශිෂ්‍යත්වය කියන්නේ මහා වාණිජ ව්‍යාපාරයක්. තුන වසරේ ඉඳලම දරුවන්ව ශිෂ්‍යත්ව පන්ති යවනවා. සෙනසුරාදා, ඉරිදා, පාසැල් නිවාඩුකාළවල මේ පංති නොකඩවා පැවැත්වෙනවා. දරුවන්ට නිවාඩුවක්, සෙල්ලම් කරන්න කාළයක් මේ පංති මාස්ටර්ලා දෙන්නේ නෑ.

සමහර ශිෂ්‍යත්ව පන්තිවලට ළමයි ගන්නේ ඉස්කෝලේ ළකුණු බළලා. ඒ කියන්නේ ඒවා ඔන්ලි ෆො බ්‍රයිට් චිල්ඩ්‍රන්. “වැඩ බැරි” ළමයින්ව ඒ පංතියකට බඳව ගන්න මේ ටියුෂන් ඔස්තාර්ලා කැමතිනෑ. ඒ, දුර්වල ළමයි ෆේල් වුනොත් එයාලගේ බ්‍රෑන්ඩ් නේම් එකට හොඳ නෑ. ඒ විතරක් නෙමෙයි දුර්වල ළමයි ඒ පන්තිවලට ගන්නවාට බ්‍රයිට් ළමයින්ගේ අම්මලාත් විරුද්ධයිලු. මොකද දන්නවද? දුර්වල ළමයින්ට උගන්වන්න කාළේ ගතකරන කොට එයාලගේ දක්ෂ ළමයින්ට වේගෙන් ඉස්සරහට යන්න බැරිවෙන නිසා.

ඉතින් ශිෂ්‍යත්වෙට අවුරුදු දෙකකටත් ඉස්සෙල්ලා ළමයින්ව බෙදලා අදක්ෂ කියලා වැඩි කොටසකට හොඳ ශිෂ්‍යත්ව පන්තිවලත් දොර වැහෙනවා.

ඉස්කෝලවලත් දක්ෂ ළමයි වෙනම අරගෙන උගන්වනවා. අනෙක් ළමයි – ඒ කියන්නේ මෝඩ ළමයි – පැත්තක කාලේ කනවා. මේවා ඇත්තටම වෙනවා. හැබැයි කවුරුවත් කතා කරන්නේ නෑ.

ඒවගේ දරුවන්ගේ මානසික මට්ටම මොනතරම් වැටෙනවද? මම මෝඩයි, මට වැඩ බෑ කියලා ඔයවගේ පුංචි හිතකට කා වැදුනම, ඒ දරුවාගේ ඉරණම මොකක්ද ?

ක්ලාස් ටීචර්ගේ ශිෂ්‍යත්ව පන්තියට නොගියොත් ළමයා ඉවරයි

ශිෂ්‍යත්ව පොල් වත්තේ පොල් කඩන අය අතර ඉස්කෝලේ පහේ පන්තියේ ක්ලාස් ටීචර්ලත් ඉන්නවා. එයාගේ පන්තියට නොයන ලමයි….. උන් ළමයි නෙමෙයි.

දරුවන්ට ඉතාම දුෂ්ඨ විධියට සළකන මිනිස්සු අතර ඉදිරියෙන්ම ඉන්නේ පොඩි පන්තිවල පන්තිභාර ගුරුවරියන්. එයලා තමයි ළමා පරපුර වැඩියෙන්ම වනසන්නේ. තෑගි බෝග උස්සගෙන එන දෙමව්පියන්ගේ දරුවන්ට, එයාගෙ ටියුෂන් එකට එන දරුවන්ට වී.අයි.පී. ට්‍රීට්මන්ට් හා හොඳම ළකුණු ලැබෙනවා. අනිත් ළමයි ළමයි නෙමෙයි.

— මේ කියන්නේ දුවලා දෙන්නෙකුගේ තාත්තා කෙනෙක්, පෞද්ගලික අත්දැකීම් වලින් කියන එක මතක් කරන්න ඕනෑ —

කොහොම හරි ශිෂ්‍යත්වය ගොඩදාගන්න දරුවන් මරවන මැරවිල්ල හොඳද?

ගොඩක් ළමයි එක ශිෂ්‍යත්ව පන්තියකට විතරක් ගිහිල්ලා නවතින්නේ නෑ. පන්ති දෙක තුනකට යනවා. එකක් ඉස්කෝලේ ටීචර්ගේ ශිෂ්‍යත්ව පන්තිය. අනෙක් පන්තිය ලෝක පූජිත ශිෂ්‍යත්ව ඔස්තාර්ගේ පන්තිය. ඊට පස්සේ ටයිම් කරලා පේපර් කරවන විභාග පුහුණු පන්තිය.

මේ විධියට අවුරුදු තුනක් විතර රෑ දවල් නොබලා පන්ති යවලා යවලා යවලා වනපොත් කරලා තමයි ළමයින්ව විභාගෙට වාඩිකරවන්නේ. මේ වැඩ නරක බව දෙමව්පියන් නොදන්නවා නෙමෙයි. ඒත් විභාගෙ තියෙන නිසා, පාස්කරවගන්න වෙන්න ඕනෑ නිසා දැන දැන මරවනවා.

ශිෂ්‍යත්වේ පාස් වුනා කියමු. ලොකු ඉස්කෝලෙකට ගියා කියමු. අවුරුද්දක් විතර අම්මලා ආඩම්බරෙන් පාරම් බෑවා කියමු….ඊට පස්සේ? ඊට පස්සේවත් ඒ දරුවන්ට සැනසිල්ලක් තියෙනවද? නෑනේ.

ලොකු ඉස්කෝලේ ඉන්නේ ඔක්කොම දක්ෂයෝ. දැන් එයාලා එක්ක ඔට්ටුවෙලා පන්තියේ පලවැනි පස්දෙනා අතරට එන්න දරුවන්ව ආයෙත් මරවන්නේ නැද්ද? ටියුෂන් යවන්නේ නැද්ද ? හයේ පන්තියේ ඉඳන්ම වැඩ හයටම ටියුෂන් යන, ඊටත් පස්සේ ස්විමින්, මියුසික් ක්ලාස්, ක්‍රිකට් ඇකඩමි, ඉලොකියුෂන් දක්කන, ඉරිදටත් නිදහසේ ගෙදර ඉන්න නැතුව දහම්පාසැල් දක්කන ළමා වහල්ලු නේද දැන් ඉන්නේ?

ඉතින් ශිෂ්‍යත්වය ඇත්තටම හොඳද? ආනන්දේ, රෝයල් එකේ, විසාකා එකේ ගුරුවරුන්ගෙන් අහලා බලන්න එයාලාගේ ඉස්කෝලවල පිරිලා ඉන්නේ ඇත්තටම දක්ෂ ළමයින්ද කියල?

ශිෂ්‍යත්වෙන් ඇත්තටම දක්ෂ ළමයි තේරෙනවා නම් ඇයි ආනන්දේ, නාලන්දේ, විසාකාවේ, දේවි බාළිකාවේ දරුවෝ ඉස්කෝලෙන් පස්සේ ටියුෂන් කඩවල රස්තියාදු වෙන්නේ ?

ඇත්තටම අහලා බලන්න…උත්තරේ පුදුම හිතෙයි. වැඩියෙන්ම ඉන්නේ වැඩ නමයටම ටියුෂන් යන, පොත් කටපාඩම් කරලා ලකුණු ගන්න ළමයි.

හිතන්න පුලුවන් ළමයි නෙමෙයි.

විද්‍යා ගවේෂණ

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල