අධ්‍යාපනික, දේශපාලන, විචාර, විවිධාංග

පොලීසියට රතු එළියක් !

0

පසුගිය 2018 අවුරුද්ද පටන් ගන්න වුනේම උසාවියෙන් කියා මා ඒ දවස් වල ලිවුවා. ඒ රතු එළිය නොතකා ධාවනය කිරීම පිළිබඳව චෝදනාවක් ලැබීමෙන් පසුව අදාළ පොලිස් නිලධාරියාගේ නිගමනයට අභියෝග කරන්නට මා තීරණය කළ නිසයි. ඒ තීරණයෙන් පාඩුවක් වුනේ නැහැ. අදාළ ලිපිය නොකියැවූ හා අමතක අය වෙනුවෙන් ලින්ක් එකක් පහත තියෙනවා.

දඩ කොළය සමඟ උසාවියට

ලංකාවේදීත් එසේ පොලිස් නිලධාරියෙකුගේ දඩ කොළයකට අභියෝග කර ඇති අවස්ථාවක් ගැන අද දැනගන්නට ලැබුණා. මෙය සිදුව තිබෙන්නේ වසර හයකට පෙරයි. (මෙවැනි අවස්ථා තවත් ඕනෑ තරම් ඇති!)

මෙසේ පොලීසියට අභියෝග කර තිබෙන්නේ තලංගම කොස්වත්තේ රවීන්ද්‍ර ලසන්ත පතිනායක නම් අයෙක්. අදාළ මූලික අයිතිවාසිකම් නඩු තීන්දුවේ (SC. FR. No. 367/10) දළ සිංහල පරිවර්තනයක් පහත තිබෙනවා. මේ නඩු තීන්දුවේ සාරාංශයක් සිංහලට පරිවර්තනය කර බෙදා හැර තිබුණේ නීතිඥ මාධව ලොකුසූරිය විසිනුයි. ඔහුට ස්තුති කරමින් ඔහුගේ පරිවර්තනය සුළු සංශෝධන සහිතව පහත පළ කෙරෙනවා.

රතු එළිය නොසලකා ධාවනය කිරීම නඩුවේ චෝදනා පත්‍රයට නිවැරදිකරු කී පෙත්සම්කරු නඩු විභාගයෙන් පසු ගරු අධිකරණය විසින් නිදොස්කොට නිදහස් කරන ලදී.

රවීන්ද්‍ර ලසන්ත පතිනායක එදිරිව පොලිස්පති ඇතුළු තවත් අය

අධිකරණය :- ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය
නඩු අංකය :- මූලික අයිතිවාසිකම් (FR 367/10)
විනිසුරු මණ්ඩලය :- ගරු ශිරාණි තිලකවර්ධන, ගරු ශ්‍රී පවන් සහ ගරු ඒකනායක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල
තීන්දුව ප්‍රකාශිත දිනය :- 03-05-2013

තීන්දුව කෙටියෙන්

මෙම නඩුවේ පෙත්සම්කරු වන රවීන්ද්‍ර ලසන්ත පතිනායක යන අය වර්ෂ 2010 මැයි 22 දින පෙරවරු 10:15 ට පමණ WP-PA 5709 දරන සිය මෝටර් රථය කොල්ලුපිටියේ සිට ආනන්ද කුමාරස්වාමි මාවත ඔස්සේ හෝර්ටන් පෙදෙස දක්වා ධාවනය කරමින් සිටියේය. හෝර්ටන් පෙදෙස හතර මං හන්දියේදී රතු සංඥාව නිරීක්ෂණය වීමෙන් අනතුරුව ඔහු සිය වාහනය එහි නතර කළේය. එසේ සිය වාහනය නැවැත්වූ වහාම අදාළ මංසන්ධියේ රථවාහන හසුරුවමින් රාජකාරීයේ නිරතව සිටි කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල් දර්ශන (PC 38832) විසින් වාහනය දිගටම ඉදිරියට ධාවනය කරන සේ ලබාදුන් හස්ත සංඥාව අනුව රතු එළිය නොසලකා පෙත්සම්කරු සිය වාහනය ඉදිරියට ධාවනය කළේය. කොළඹ නගරයේ රථවාහන තදබදය වැඩි වූ අවස්ථාවක රථවාහන ආලෝක සංඥා නොසලකා එම ස්ථානයේ සිටින පොලිස් නිලධාරියාගේ සංඥා අනුව වාහන ධාවනය කිරීම සාමාන්‍ය සිදුවීමකි.

කෙසේ නමුත් රතු එළිය නොසලකා පොලිස් නිලධාරියාගේ අණකිරීම මත පෙත්සම්කරු සිය වාහනය ධාවනය කළද, මංසන්ධිය පසුකරනවාත් සමගම ඉදිරියේ වූ පොලිස් රථවාහන අංශයට අයත් සුදු පැහැති මෝටර් රථයක සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් පෙත්සම්කරුගේ වාහනය නවත්වා රතු එළිය නොතකා රථය ධාවනය කිරීම සම්බන්ධයෙන් චෝදනා කොට රියදුරු බලපත්‍රය අත්අඩංගුවට ගත්තේය. එම රථයේ සිටි පොලිස් නිලධාරින් දෙදෙනා එවකට කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ සාජන්ට් බණ්ඩාර (26433) සහ පොලිස් කොස්තාපල් තෙන්නකෝන් (30032) යන අයයි.

පෙත්සම්කරු මංසන්ධියේ සේවයේ නිරතව සිටි පොලිස් නිලධාරියාගේ අණකිරීම මත සිය වාහනය ධාවනය කල බව පෙර කී නිලධාරීන් වෙත ප්‍රකාශ කළද එය ඇසීමට මෙම නිලධාරින් දෙදෙනා කාරුණික නොවීය. එකී නිලධාරීන් දෙදෙනා විසින් පෙත්සම්කරුගේ රියදුරු බලපත්‍රය අත් අඩංගුවට ගැනීමෙන් පසුව වර්ෂ 2010-05-22 දින සිට 2010-06-01 දින දක්වා දින 11 ක කාලයකට පමණක් වලංගු තාවකාලික රියැදුරු බලපත්‍රයක් නිකුත් කළේය. උසාවි දිනය 2010-06-10 ලෙස එකී බලපත්‍රයේ සඳහන් වුවද, අදාල අධිකරණය පිළිබඳව දැනුම් දීමක් කර නොතිබුණේය. අදාළ දඩකොළය පොලිස් ස්ථානයෙන් ලබා ගෙන දඩය ගෙවන ලෙසට මේ පොලිස් නිලධාරීන් දෙදෙනා පෙත්සම්කරුට අණ කළේය.

පසු දින දඩ කොළය ලබා ගැනීමට කුරුඳුවත්ත පොලිස් ස්ථානයට ගිය පෙත්සම්කරු අදාළ දඩය නොගෙවා තමන්ට සිදුවූ අසාධාරණය හා අදාළ පහත කරුණු පිළිබඳව පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කළේය. එනම්,

1. පොලිස් නිලධාරියාගේ සංඥා මත වාහනය ඉදිරියට ධාවනය කිරීම,
2. තාවකාලික රියදුරු බලපත්‍රය දින 14 ක කාලයකට ලබා දිය යුතු වුවත්, දින 11 කට පමණක් ලබා දීම,
3. දින 11 ඉක්ම යාමෙන් පසුව අධිකරණ දිනය තෙක් සිය රථය ධාවනය කිරීමට නොහැකි වීම,
4. ඉහත 2 සහ 3 හේතු මත තාවකාලික රියදුරු බලපත්‍රය සංශෝධනය කර දෙන මෙන් ඉල්ලා සිටීම.

කෙසේ නමුත් පෙත්සම්කරුගේ අරමුණ ඉටු නොවීය. ඉන්පසු නියෝජ්‍ය පොලිස්පතිවරයා හමු විය. නමුත්, සාධාරණය ඉටු නොවීය. මේ අනුව, අධිකරණය වෙත ගොස් සහනයක් ඉල්ලා සිටීමට පෙත්සම්කරු තීරණය කළේය.

ඉන්පසුව, පෙත්සම්කරුට එරෙහිව කොළඹ රථවාහන අධිකරණයේ නඩු අංක 59586/7 යටතේ නඩු පවරන ලදී. නඩුවේ චෝදනා පත්‍රයට නිවැරදිකරු කී පෙත්සම්කරු නඩු විභාගයෙන් පසු ගරු අධිකරණය විසින් නිදොස්කොට නිදහස් කරන ලදී.

ඉහත කී නඩුව පවතින අතරතුර, පෙත්සම්කරු විසින් නීතිපතිවරයා, පොලිස්පතිවරයා සහ පෙර කී පොලිස් නිලධාරීන් වගඋත්තරකරුවන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) යටතේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරුවේය. මෙහිදී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පහත කරුණු සලකා බැලීය.

1. තාවකාලික බලපත්‍රය මෝටර් රථ පනතේ 135(4) වගන්තියට පටහැනිව නිකුත් කොට තිබීම,
2. මහේස්ත්‍රාත් අධිකරණයේ ලබා දුන් සාක්ෂි වලට පටහැනි ලෙස මෙම නඩුවේ වගඋත්තරකරුවන් විසින් කරුණු ඉදිරිපත් කිරීම.

ඒ අනුව, මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව පෙත්සම්කරුගේ වාසියට ලබා දෙමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) අනුව්‍යවස්ථාවෙන් තහවුරුකොට ඇති නීතිය ඉදිරියේ සම රැකවරණය යන මූලික අයිතිය වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් කඩකොට ඇති බවට තීරණය කරමින් රුපියල් 175,000ක වන්දි මුදලක් වගඋත්තරකරුට ගෙවන ලෙසටත් එකී මුදල් අදාළ පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ගේ පෞද්ගලික මුදලින් ගෙවිය යුතු බවටත්, ඊට අමතරව රුපියල් 10,000 ක නඩු ගාස්තුවක්ද ගෙවිය යුතු බවත් එකී සියලු මුදල් මාස තුනක් ඇතුළත ගෙවිය යුතු බවටත් නියෝග කෙරුණි.

ඉකොනොමැට්ටාගේ බොජුන්හල

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල