අධ්‍යාපනික, කාලීන සංවාද, විචාර

අවුරුදු ගමේ ?

0

මේ දවස් වල ටීවී එකේ යනවා අවුරුදු ලං වෙලා කියලා පෙන්නන්න එක එක වීඩියෝ කෑලි. ඒ හැම එකේම වලව්වක්, එහෙම නැත්තං පොල්ලතු පැලක් , හේනක් , කමතක්, ආරච්චියෙක්, ඔසරියක් ඇඳපු හාමිනේ කෙනෙක්, රෙද්ද හැට්ටෙ ඇඳපු ගෑණුළමයි, සරං , එක අතක කර කපපු කමිස ඇඳපු කොල්ලො, ඉබ්බා කාර්, ගොං කරත්ත, පාරු තමයි තියෙන්නෙ..

ඒකෙන් කියන්න හදන්නෙ අවුරුදු තියෙන්නෙ ඔය කියන පරණ කාලෙ සිද්දි, පුද්ගලයො හෝ ස්තාන වටා විතරයි කියලද.. එතකොට දැන් ඕවා අඩු හින්දා එහෙම නැතුව අපාර්ට්මන්ට් එකක උඩ තට්ටුවක ඩෙනිමක් ෂර්ට් එකක් ඇඳපු මිනිස්සුන්ට අවුරුදු නැද්ද..?

ලංකාවෙ මිනිස්සුන්ගෙ විශ්වාසය අනුව අවුරුද්ද කියන්නෙ ඉරේ ගමන් මග අනුව අලුත් වර්ෂයක ආරම්භය. එතකොට ඒ සංස්කෘතික උත්සවේ හරයට ගියාම තියෙන්නෙ මිනිස්සු අලුත් වෙන එක. කුණු අස් කරලා, තරහා අමතක කරලා ඊළඟට එළබෙන අවුරුද්ද සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන එක.

දැන් ඒ වගේ සංස්කෘතික උත්සවයක් ඇයි අර පරණ ගමකට කොටු කරලා ඒක විතරක් උත්කර්ෂයට නගන්නෙ ඇයි. ඇයි නගරයක ජීවත් වන මනුස්සයෙක්ට පවුලකට අර කිසිම දෙයක් නැතුව අවුරුදු සමරන්න බැරි. ඇයි ගමටම යන්න ඕනෙ කියලා කියන්නෙ. මොකක්ද ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ. ඔය පෙන්නන ගම නැත්තං අවුරුද්දෙ අරමුණ ඉෂ්ඨ කරගන්න බැරිවෙයිද..

ඔය සිද්දිය හින්දා මටනං හිතෙන්නෙ අලුත් අවුරුද්දෙ අලුත් වෙලා අලුත් ජීවිතයක් පටන් ගන්නවා වෙනුවට අඥේ දැං අවුලුජු ඥෑ.. ගමේ චමයි අවුලුජු.. තාච්චි පඥිංඥැචි හින්ජා ටවුමෙ උන්ට අවුරුදු ඥෑ.. උඹලා මේවා බලලා ආතල් එකක් ගනිං.. ඒ උනාට ෂැබෑ අවුරුදු තියෙන්නෙ ගමේ විචලයි ඩෝ.. ” කියන එක නොකියා කියනවා කියන එක.. ඒක ඇත්තටම ඒ සංස්කෘතික උත්සවේ අරමුණට බාධාවක්..

උදාහරණයක් විදිහට බලන්න තව ටික දවසකින් කොහා එක්ක එලියට බහින දාර්සනිකයො ටිකක් ඉන්නවා.. ජනශ්‍රැති පර්‍යේසකයොයි.. ජන ගීකාරයොයි, පරණ මහාචාර්ය සීයලා ටිකකුයි, ජාතියයි ආගමයි විකුණලා ජීවත් වෙන නළුවොයි. උං ටීවී රේඩියෝ වල ඇවිල්ලා උදේ ඉඳං රෑ වෙනකං කියන්න ගන්නවා..

අනේ දැං අවුරුදු නෑ ය.. උන්ගෙ කාලෙ තමාය අවුරුදු තිබ්බෙ.. දැන් ගෑණුන්ට කැවුං හදන්න බෑ ය. උන්ගෙ ආච්චිලා සැලෝන් දාන්න තරං කොණ්ඩ කැවුම් හැදුවය. බුදාම්මෝ ඒ කාලෙ ගම මාරය. දැන් වගේ ටයිල් නෑය. ගොම මැටි ගාලා සනීපය. දැන් ළමයින්ට අවුරුදු ආතල් එකක් නෑය. මී හරක් නැතුව ටැට්ටර් ඇවිල්ලා දැං මොන අවුරුදුද.. ඩෙනිං අඳින අම්මා ඕවා දන්නෑ ය. හම්මෝ ළමයි ඒ කාලේ චක්ගුඩු පැන්නය, වලකජු ගැහුවය , කෙල්ලො කොල්ලො යාලු උනේ ඔන්චිලි පදින්න ගිහිල්ලය. දැන් වගේ සංකර උනේ ඥෑය. ආරච්චිල අරේමය. නායක හාමුදුරුවෝ මෙහෙමය.. දර ලිප මාරය. බ්ලෙන්ඩර් වගේ වංගෙඩිය.. බ්ලා බ්ලා කියලා අන්තිමේ කියන්නෙ දැන් තොපිට අවුරුදු නෑය, අවුරුදු තියෙන්නෙ ගමේය. ඒ කාලෙ ය කියලා..

උන්ගෙ දරු පවුල් දිහා බැලුවොත් එහෙම උන්ගෙ ළමයි යන්නෙත් කොළඹ ලොකු ඉස්කෝලවලට හෝ ඉන්ටර්නැෂනල්, සමහර එවුන්ගෙ ගෙවල්වල ඒසී ඕෆ් කරන්නෑ කරන්ට් එක ගියාමත්. (ජෙනියක් තියනවා) ඔන්නෝකයි තත්වෙ.

මගේ මතේනං ඉතින් ඇත්තටම අවුරුදු කියලා කියන්නෙ පරණ රෙද්දක් අල්ලගෙන ඒක ලොකුයි දැං ඒක ඥෑ කියන එකක් නෙමෙයි. මිනිස්සු, මිනිස් සම්බන්ධතා අලුත් කරගන්න ලස්සන සංස්කෘතික උත්සවයක්. ඒ උනාට මුං කරන්නෙ එහෙම දවසකට හරි මිනිස්සු කාලා බීලා සංතෝසෙන් ඉන්න කියන්නෙ නැතුව මිනිස්සුන්ගෙ හිත ඇතුලෙ “අර කියන මගුල් නැතුව අපිට අවුරුදු නැද්ද” කියලා දෙගිඩියාවක් හදන එක.

මට පොඩි කාලෙත් මගෙ ඔලුවට දාලා තිබ්බෙ අඥේ දැං අවුරුදු ඥෑ.. ඉස්සර තමයි තිබ්බෙ කියන එක.

නෑ එහෙම එකක් නෑ. ඒ මොනවත් නැතුව ඒ උත්සවේ අරමුණු ඉෂ්ඨ කරගන්න පුළුවන්. එරබදු මල්, සරොං, පොල්ලතු පැල් නැතුව මිනිස් සම්බන්ධතා අලුත් කරගන්න පුළුවන්.. ලංකාවෙ මිනිස්සුන්ට එකතු වෙන්න සංතෝස වෙන්න තියන අවස්තා හරි සීමිතයි.

ඉතිහාස හිඟන්නො කරන්නෙ එහෙම තියන එකකට පවා බොරු බහුබූත කියලා විනාස කරන එක.

සංස්කෘතිය කියන්නෙ හැමදාම එකතැන තියන එකක් නෙමෙයි. පරිණාමය වෙන එකක්. අවුරුදු කියන්නෙ ගමේ මෙව්වා එකක් විතරක් නෙමෙයි.

– චමල් අකලංක පොල්වත්තගේ
අකලංකාරය

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල