කෙටි කථා

‘මේ සොඳුරු දඩබිමෙහි….’ සැරිසරන මගේ අධ්‍යාත්මය

Off

ගිටාර් මහත්තයා වෙත සෙනෙහසිනි…

ඒ ඔබම ය. නිසැක ය. ඒ ඔබම යැයි මම සිතමි. නිමේෂයකට නෙත ගැටුණ ද, සදාකාලයටම හිතේ ඇඳි රුව හඳුනා නොගන්නට තරම් මම අවාසනාවන්තියක නොවෙමි. ”තරින්ද මායාබණ්ඩාර කදුරුවින්න”… තවමත් මට නම් ඔබ ගිටාර් මහත්තයාම ය.

මුල්ම වතාවට ඔබට ලියන්න යැයි බල කරන හිත වාව ගන්නට අපොහොසත් වෙමි. මේ මුල්ම වතාව මෙන්ම අවසාන වතාව ද වන බවට මම මගේ සිතට ම පිළිණ දෙමි. ඉදින් වෑ කණ්ඩියේ කුඹුක් සෙවණේ හිඳ අකුරු කරමි.

ඈතින් අපට අහිමිව ගිය අපේ වැව් තාවුල්ල පෙනේ. ගස් මණ්ඩිය අතරින් එබිකම් කරන ඔබේ සිහින පාරාදීසය දෙස මම නෙත් නොසලා බලා හිදිමි. එය අපට අකැප සිහින පාරාදීසයකි. නමුත් ඒ ඔබේ සැබෑ වූ සිහිනය වන බැවින් අහිතක් හිතන්නට හිත නොනැමේ. වන බූටෑවෙන් වැසී නටබුන් වී ගිය ඔබේ නවාතැන ඇස විස තවරයි. හදවත රිදුම්‍ දෙයි. මා ජීවිතයේ සියල්ල අත්පත් කර ගත්තේත්, එලෙසින්ම අහිමි කර ගත්තේත් ඒ සුන්දර කුටිය තුළ දී බව අමතක කරලන්නේ කෙලෙසින්ද? ( අවුල් වියවුල් පිරි ඒ අතීතය ඔබට අමතක වී ඇතැයි මෙතෙක් කෝප සිතුවිල්ලෙන් පසු වීමි. සමාවෙන්න. වෑ කණ්ඩිය මත දී මොහොතකට උපැස් යුවලින් මිදුණු දෑසෙහි වූ තෙතමනය මගේ හදවතට සමාන්තරව ගලා යන අතීත මතක දහරාව ඔබේ හද තුළ ද සරැලි නංවන බවට නිහඬ සාක්ෂියකි. ) ඒ ඔබේ කබානාව මෙන්ම අද මගේ හදවත ද නටබුන් වී ගිය පාලු අම්බලමකි.

ඔබ ආවේ සිහිල් පවනැල්ලක් ලෙසිනි. ඉමිහිරි මල් සුගන්ධයක් මෙනි. එය විචිත්‍ර සිහිනයකි. ගිටාරයත් ,ඔබත්, ඔබේ ගී හඬත් මා කැඳවා ගිය දුර… ඒ සිහිල් මන්ද මාරුතය තුළ මෙතරම් සැඩ කුණාටුවක් සැඟවී ඇතැයි මම සිහිනෙනුදු නොසිතුවෙමි.

soduru dadabima1ආසියා පැසිපික් කලාපයේ පරිසරය සුරැකීමේ විශිෂ්ඨතම හෝටල් ව්‍යාපෘතියට හිමි සම්මානය ඔබේ සිහින පාරාදීසයට….. කුමන විහිළුවක්ද? ගමේ මිනිසුන් පරිසරයේ කොටසක් නොවේ යැයි සිතන්නේ නම් එම සම්මානය සාධාරණ විය හැකිය. නමුත් අපට අහිමි වූ දෑ කොතරම් ද? අපට අහිමි වූ දෑ මුදලට විකිණෙන අයුරු දැක දැක ජීවත් වන්නට සිදු වීම ම කොතරම් අපරාධයක් ද? පුරන් වී යන කුඹුරුවල විලාපය නෑසූකන්ව, ලියදි උඩින් පැන පැන සොච්චම් පඩියකට හෝටලයට කඹුරන ගමේ කොලු කෙල්ලන් සොබාදහමට අයිති නැති ද? ඔවුන්ගේ ශ්‍රමයට වටිනාකමක් නැතිද?

සම්මාන උත්සවය දා හෝටල් බිමේ දී ඔබත්, ඔබේ රුවැති බිරිඳත් හමු වූ බව මාලනී මට පැවසුවාය. වේදනාවට එක් වූ ඉරිසියාවකින් හිත දැවී ගිය බව සැබෑවකි. කම් නැත. හිත හදා ගනිමි. ඔබේ සුවඳත්, රුවත් කැටි වූ අනර්ඝතම සම්පත මා ළඟ ය. ජීවිතයේ අමිල සම්පත අහිමිව ඇත්තේ ඔබට මිස මට නොවේ යැයි හිතුවක්කාරී මායාමය රැවටිල්ලක සිත සිර කර තබමි. ( මාලනී නොව අද ඈ මෙලනි නිල්ගල්ආර ය. ඔබේ හෝටල් ව්‍යාපෘතිය ගමේ අහිංසකියකට අත් කර දුන් ඉරණම. )

”අපිට වෙච්ච විනාසෙ තව කාටවත් වෙන එක වලක්වන්ඩ මට පුලුවන් තරමින් වැඩ කරනවා. මට ඒ වෙච්ච දේවල්වලට මුහුණ දීලා නැගිටින්ඩ හයියක් තිබුණ හින්ද මං අද මෙහෙම ඉන්නවා. ඒත් කරදරේ වැටිල නැගිටින්ඩවත් හයියක් නැතුව විනාස වෙලා යන අය ‍නේද වැඩි..?” ඈ නිතර පවසන්නීය.

අපහාසය ද, උපහාසය ද, වේදනාව ද, කෝපය ද කැටි වූ ඇගේ වදන් නිරතුරු මා අසල රැව් දෙන්නේය. මසිත දවන්නේ ය. පෙළන්නේ ය. රිදවන්නේ ය.

” ඔන්න ඕකටයි වත්සලා ධනවාදය කියන්නෙ. දුප්පතුන්ගේ අයිතිය සූරාකාල බලවත්තු රජකරන ක්‍රමේ… ඕක තමයි ‍ගෝලීය ධනවාදය… උඹල අපි ඔක්කොම මේ කුණාටුවට අහු වෙච්ච ක්ෂුද්‍ර පාණියො. ගැළවීමක් පේන තෙක් මානෙක නෑ….

ඉස්සර බයිබලෙයි, තුවක්කුවයි ඉස්සර කර ගෙන ඇවිත් අපිව කොල්ල කෑවා.. බලහත්කාරෙන්. දැන් අපිව කොල්ලකන්නෙ අපිටත් නොදැනීම… බොහොම ආදරෙන් ඔලුවත් අතගාල… කෙස් ටික උගුල්ලන්නෙ මොලෙත් ඇදිල එන්නම…

අර උඹේ ගිටාර් මහත්තයා, මායා කියන්නෙත් රූකඩයක්.. එයත් විකිණුන බඩුවක් විතරයි මේ ක්‍රමය ඇතුළෙ… පක්ෂ විපක්ෂ මැති ඇමතිගොල්ලො, අර සංවිධාන, මේ සංවිධාන… මේ ඔක්කොම… පන්සලේ හාමුදුරුවො පවා…. රූකඩ විතරයි… මේ රූකඩ නටවන නූල් සූත්තරේ තියෙන්නෙ බලවත්තු අතේ…

අද දේශපාලනය කියන්නෙත් මිනිස්සුන්ගෙ යහපත වෙනුවෙන් වැඩ කරන එකට නෙවෙයිවත්සලා. තමන්ට වාසි වෙන විදියට ආර්ථිකය පාලනය කර ගන්න මිනිස්සුන්ගෙ මෝඩ කතිරෙන් ලැබෙන බලය පාවිච්චි කරන එකට…

සල්ලි තණ්හාවටයි… බල තණ්හාවටයි ලෝක බලවතුන්ගෙ රූකඩ වෙලා අපිව විනාස කරන්නෙ අපේම මිනිස්සු වත්සලා…. ”

මාලනී කියූ බො‍හෝ දේ තේරුණු අතීත මිත්‍රත්වයට ඉව කරන මට දැන් මෙලනි නිල්ගල්ආර කියන බොහෝ දේ නොතේරෙන බව ඇත්තකි. නමුත් එහි යම් සත්‍යයක් ඇතැයි මට සිතේ. ඒ සත්‍යය වෙනුවෙන් අරගල කරන්නට තරම් හයියක් මට නැත. ඔබ වෙනුවෙන් උපන් අසීමිත ප්‍රේමය විසින් මා තටු සිඳුනු දුර්වල ගැහැණියක බවට පත් කොට ඇත. එය මගේ ම වරද ය. මගේ වරද පමණක්ම ය.

මේ ලියන්නේ කිසිවක් තෝරා පහදා දෙන්නට නොවේ. එවැන්නක් කිරීමට තරම් මා කවුද? මේ ලිවීමෙන් මගේ සිත නිදහස් කර ගත හැකි වනු ඇතැයි සිතමි. විශ්වාස කරමි. සියල්ල විකිණෙන ලොවක නොවිකිණි සිටින්නට කාටවත් හැකියාවක් නැති බව පිළිගනිමි. නමුත් මින් ඉදිරියටවත් අසරණ මිනිසුන්ගේ ජීවිත උගසට තබා කරන සෙල්ලමේ හවුල්කාරයෙක් නොවන්නැයි ආදරයේ නාමයෙන් ඉල්ලමි.

තෙරුවන් සරණයි.

මං වත්සලා

වත්සලාත්, ගිටාර් මහත්තයා ත් මට හමුවන්නේ සනත් බාලසූරිය විසින් රචිත ‍”මේ සොඳුරු දඩබිමෙහි” නවකතාවෙනි. දඩබිම කිවූ පමණින් බියකරු, කම්පනීය හැඟුමක් ඇති වනු වැළැක්විය නොහැකිය. අහිංසකයින් බිලි ගන්නා රුදුරු වනමෘගයින්, දඩයක්කාරයින් සරනා ගන අඳුරු වනාන්තරයක් සිතෙහි මැවේ. එවැනි දඩබිමක් සොඳුරු යැයි පවසනුයේ කෙලෙසින්ද? ගන වනයක වුව දිව්‍ය විමනක රුසිරු මවනා තුරුලිය, මල්ගොමු, දිය දහරා, සාමුව, සමනල් රැගුම් එකී සුන්දරත්වය අරුත් ගන්වන්නේද? නමුත් එකී සුන්දරත්වය පවා අන්ධකාරයේ ග්‍රහණයට හසුවීමේ අවදානමෙන් මිදී නැතුවා නොවේද? ”මේ සොඳුරු දඩබිමෙහි” නවකතාව ගෝලීය ධනවාදය නම් වන නිර්දය දඩයක්කාරයාගේ යටිකූට්ටු ක්‍රියාකලාපය පාඨකයා වෙහෙසට පත් නොකරන සුන්දරතාවයෙන් විවරණය කරන්නකි.

තරින්ද මායාබණ්ඩාර කදුරුවින්න සමනල් හිතක් හිමි සොඳුරු තරුණයෙකි. ඔහු ජාත්‍යන්තර සංචාරක සමාගමක සේවය කරන්නෙකි. මහවැවේ තාවුල්ල සහ ඉන් එපිට ගන වනය මැදි කරමින් ඉදි කරන හෝටල් ව්‍යාපෘතියක මුල් පෙලේ නිර්මාණකරු ලෙස ඔහු නිල්ගල්ආර ගමට පැමිණෙන්නේ ගිටාරය ද අතැතිව ය. හෝටල් ව්‍යාපෘතියට දැඩි ලෙස විරුද්ධ වුව ද, ගැමියන් ”ගිටාර් මහත්තයා” සමග ළෙංගතු වේ. සිනාවෙන්, කතාවෙන්, ගීතයෙන්, උදව් උපකාරවලින් ඔහු ගැමියන්ගේ සිත් දිනා ගනී. විටෙක සිත විපිළිසර වුව ද මායා අවංකවම විශ්වාස කරන්නේ හෝටල් ව්‍යාපෘතිය නිසා ගම දියුණු වී ගැමියන්ට සෙත සැලසෙනු ඇති බව ය. හෝටල් සංකීර්ණය ඉදි කිරීමට එරෙහිව ඇති වන විරෝධතා රැල්ල, ඒ සමග ගැමි ගොවි දිවියේ සිදු වන වෙනස්කම්, තරුණ ජීවිත මුහුණ දෙන සංකීර්ණ ගැටලු, ධනවාදී පැවැත්ම තහවුරු කරන පාලන තන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය.. අන්තවාදී නොවන මැදිහත් බවකින්, සාහිත්‍යමය ගුණය නොනැසෙන සේ ඉදිරිපත් කිරීමට කතුවරයා සමත් වී ඇත.

” මේ කැලෑ වැවුණු කඳු වැටියත් එක්ක තියෙන මහවැව, ඒකට ඇමිණිලා ඈතට යන මේ ගමේ වටපිටාව, අර ඈත අහසෙ මායිමට යනකං මිදුණු මීදුම් වලාකුළු වගේ පේන කඳු පන්ති හරිම ලස්සනයි. ඒත් මට කියන්ඩ මේ ලස්සන බලන්ඩ ඉවසිල්ලක් තියෙන, ඒකට පුරුදු පුහුණු වුණු කී දෙනෙක් මේ පළාතෙ ඉන්නවද? ලස්සන විඳිනව කියන්නෙ නිකම්ම නිකං දෙයක් නෙමේ මිස්. ඒක සංස්කෘතික දෙයක්. ඒක වෙනස් සංස්කෘතියක්. ඇත්තම කියනවනම් අපි මේ වැවේ, කැලෑවෙ, ගමේ තියෙන ලස්සන විකුණන්ඩ තමයි යන්නෙ. ඒ ලස්සන බලන්ඩ වෙලාවක් තියෙන, ඒක විඳින්ඩ දන්න, ඒකට සල්ලි තියෙන අයට. අපි විකුණන්ඩ හදන්නෙ ලස්සන නම්, අපි ඒ ලස්සන දේවල් විනාස කරයිද? …”

( පිටු අංක 92-93)

මායා අවස්ථා කිහිපයකම හෝටල් ව්‍යාපෘතිය සාධාරණීකරණය කිරීමට ඉදිරිපත් කරන තර්කය මෙය ය. සුන්දරත්වය විඳින්නට නිදහස, අවබෝධය ඇති සමාජයක් නිර්මාණය කරනු වෙනුවට, නැතිබැරි මිනිසුන්ගෙන් උදුරා ගන්නා ජීවන අයිතීන්ඇති හැකි මිනිසුන්ට අළෙවි කිරීම කොතරම් සාධාරණද?

ජන සමාජයක් දියුණු වන්නේභෞතික සංවර්ධනයෙන් පමණක් ද? නිදහසත් ඉකිබිති සංතෘෂ්ටියත් දිනා ගැනෙනා ප්‍රඥාවන්ත සමාජයක් බිහි කිරීමට භෞතික සංවර්ධනයට පමණක් හැකි ද? සංවර්ධනයේ ප්‍රතිඵල භුක්ති විදීමේ වරම හිමි වන්නේ සීමිත පිරිසකට පමණක් නම් බහුතරය ජීවත්වන්නේ අසීමිත පීඩාවක සිරගතව නම් එය කොතරම් අසාධාරණයක් ද? සහෘද මනස මෙවැනි ප්‍රශ්න කිරීමකට යොමු කරන්නේ ‍වාර්තාමය ස්වරූපයකින් නම් නොවේ. මැනවින් ගැළපී ගලා යන සිද්ධිදාමයක් තුළින් නිරායාසයෙන් මතුවන කම්පනයක් ලෙසිනි.

ධනවාදය සමග යාවජීව මිත්‍රත්වයෙන් අත්වැල් බැඳ ගන්නා බලලෝභී, ධනලෝභි දේශපාලන හස්තය බහුජාතික සමාගම්වල අරමුණු සාධනය වෙනුවෙන් තම ජනතාවගේ හිමිකම් පාවා දීම වර්තමානයේදීත් අඛණ්ඩව සිදුවන්නකි. පොදු සමාජ ක්‍රියාකාරකම්වලදී පවා පෞද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් පුද්ගල ප්‍රතිපත්ති වෙනස්වන ආකාරය ආගමික නායකයින්ගේ, පක්ෂ විපක්ෂ දේශපාලකයින් ගේ ක්‍රියාකාරකම් තුළින් පැහැදිලි වේ. බත්පැකැට්ටුවට, මත්පැන් වීදුරුවට මුවා වී තම හිමිකම් පාවාදෙන පීඩිත පන්තියේම මිනිසුන් අදත් අප අවට කොතරම් ද?

”මේ සොඳුරු දඩබිම” ගැමි සුවඳින් පිරිපුන්ය. ඒ ගැමි සුවඳ මතුවන්නේ ගැමි ගොවිදිවිය හා සොබාදහම සමග ඇති ඒකාත්මික බැඳීමෙනි. එය කතුවරයාගේ සුලලිත භාෂා කෞෂල්‍යයේ මහිමයෙන් ඔපවැටෙන්නකි. මම මෙහිදී ගැමි සුවඳ ලෙසින් හඳුන්වන්නේ ගැමියන්ගේ ගුණයහපත්කම්, සටකපටකම්, මෝඩකම් සියල්ලෙන් සමන්විත අටලෝදහම සමග මුසු වූ අල්පේච්ඡකර දිවිපෙවෙත ය. එය මෙකී නවකතාව තුළ මැනවින් නිරූපිත ය. ගිටාර් මහත්තයාව ආදරයෙන් පිළිගන්නා ගැමියන් සීමන් මුදලාලි පාතරැටියකු ලෙස, පිටගංකාරයකු ලෙස පිළිකෙව් කරයි. නමුත් උඩරට පාතරට භේදයකින් තොරව, කුලමල භේදයකින් තොරව අවසන දුප්පතුන් තව තවත් දුප්පත්කමේ පතුළට ඇද වැටෙද්දී ආගමික ආයතන, දේශපාලන ආයතන, ගමේ ප්‍රභු පන්තිය පවා සිටින්නේ හෝටල් පාලනාධිකාරිය පැත්තේ ය. එනම් ධනවාදයේ ඔඩොක්කුවේ ය. ළතැවිල්ලත්, පරාජයත්, පීඩනයත් හිමි දුප්පතුන්ට ය.

”මේ සොඳුරු දඩබිම” ප්‍රේමයෙන් වියුක්ත වන්නේද නොවේ. හෝටල් ව්‍යාපෘතිය සමග ගමට පැමිණෙන මායා, විජේන්ද්‍ර ඉතා පහසුවෙන් ගැමි තරුණියන්ගේ සිහින කුමාරවරු ලෙස අබිසෙස් ලබති. එකී සිහින නිසාම උඩුයටිකුරු වන තාරුණ්‍යය වත්සලා, මාලනී, සුගතේ වැනි චරිත තුළින් නිරූපණය වේ.

”මේ සොඳුරු දඩබිම” තව තවත් සොඳුරු වන්නේ රමණීය බස්වහර නිසාවෙනි. බස සරල ය. වැඩි වශයෙන් සංවාදමය ස්වරූපයක් ගනී. ගැමි මුවට නැංවෙන්නේ ගැමි කටවහර ය. නිල්ගල්ආර ගම පුරා සැරිසරමින් මායා ගයන ගීත හරහා නවකතාකරුවා තුළ සැඟවී සිටින අපූරු ගේය පද රචකයකුද ඉස්මතු ‍වේ.

චරිත සහ සිදුවීම් නිරූපණයේදී කතුවරයා දක්වන මධ්‍යස්ථභාවයද අගය කටයුතු ය. අන්තවාදී නොවීම, ප්‍රචාරකවාදී නොවීම කෘතිය තුළින් මතු කරන සමාජ යථාර්ථය ග්‍රහණය කර ගන්නට පහසුවකි.

දේශපාලන පොරපිටියේ නොහික්මුණු දුහුවිල්ලෙන් වැසී පැවති සනත් බාලසූරිය සොයුරාගේ සාහිත්‍යමය, සෞන්දර්යාත්මක ප්‍රතිභාව මෙලෙසින් ජනසතු කිරීම සතුටට කරුණකි. එය නැවත යටපත් වන්නට නොදී අඛණ්ඩව පවත්වා ගැනීම සාහිත්‍යයට මතු නොව සමාජයේ යහපැවැත්මට ද සිදු කරන සෙත්ශාන්තියකි.

”මේ සොඳුරු දඩබිමෙහි” සැරිසරන විට, බලහත්කාරයෙන් අත්කර දෙනු ලැබූ පිටුවහල් ජීවිතයේ හුදකලාව සාහිත්‍යමය විප්ලවයකට ආශිර්වාදයක් වී ඇතැයි සිතෙන සිතුම වළක්වාගත නොහැකි ය.

මංජුල වෙඩිවර්ධන කෘතිය සදහා ලියූ පසුවදන නිමාව දකින්නේ මෙලෙසිනි.

”… තොප වනාහී සාහිත්‍යයික කැරැල්ලකට අවතීර්ණ ව සිටිනා ‍දේශද්‍රෝහියෙකි. එහෙයින් තොපේ ආයුධ බිම නො තබන්නැයි ද, කිසිවිටෙක යටත් නොවන්නැයි ද මම තොපට අණ කරමි. හිතුවක්කාරී ලෙස යළි ලිවිසැරිය අතැර දැමුවහොත්, දිවිසැරිය ද අවසන් කරනුව, මම තොපට වෙඩි තියමි. ”

තරුරසී

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල