විද්‍යා හා තාක්ෂණ

සේෆ්ටි සිංහලෙන් – උස් ස්ථානයක වැඩ කිරීම

Off

“අහ්! කෝ පෙරේර මහත්තය එන්ඩ.. එන්ඩ. අනිත් තුන් දෙනත් ආවද? දවස් කීපයක්ම වැඩේ මිස් උනානේ.. අද දවස හොඳයි.. යමු ගිහින් වාඩි වෙන්ඩ ට්‍රේනින් රූම් එකේ.. මං එන්නම්…” මාසේ අන්තිමට වැඩ ටිකක් වැඩි උන නිසා දවස් කීපයකින්ම බැරි උනා හිතාගෙන හිටපු ‘උස් ස්ථානයක වැඩ කිරීම’ Working @ Height කියන ට්‍රේනින් එක කරන්න. අද තමයි ඔන්න වැඩේ පටන් ගන්න යන්නේ.

“ගුඩ් මෝර්නින් හැමෝටම.. වැඩිය කාලේ ගන්නෙ නැතුව අපි වැඩේ පටං ගමු. පවර් පොයින්ට් ප්‍රසන්ටේශන් එකත් එක්කම අපි කතා කරමු. වීඩියෝ දෙක තුනකුත් තියෙනව බලන්න. අන්තිමට ප්‍රැක්ටිකල් එක” ජීවිතේ මං ආසම කරන රස්සාවක්, ඒ කියන්නේ උගන්නන එක ටික වෙලාවකට හරි මෙහෙම කරන්න හම්බවෙන එකත් ලොකු දෙයක්නෙ. ශිෂ්‍යයෝ ටික නම් මීයට පිම්බා වගෙ.. හුම් සද්දයක් නෑ.

මොකක්ද ‘උස් ස්ථානයක වැඩ කරනව’ කියන්නේ?

ලෝකෙ එක එක ස්ථානවලදි මේ ‘උස් ස්ථානයක්’ හැටියට සළකන උස යම් යම් වෙනස් වීම් වලට ලක් වෙනව.. සාපේක්ශව ගොඩක් උස මිනිස්සු ඉන්න යුරෝපයේ රටකදී සමහරවිට මේක මීටර් 2ක් හැටියට භාවිතා වෙනව. නමුත් ආසියානු කලපයේදී බොහෝ විට මෙය මීටර් 1.8ක් නැත්නම් අඩි 6ක් විදියට තමයි සළකන්නේ. එක් එක රටවලදී මේක මීටර් 1.2 ඉඳල මීටර් 2.2 වගේ වෙනකම් වෙනස් වෙන්න පුළුවන්. නමුත් බහුතරය වශයෙන් මීටර් 1.8 සිට මීටර් 2 පරාසය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම එක් එක් ක්ෂේත්‍ර අනුවත් පොඩි පොඩි වෙනස්කම් දකින්න පුළුවන්. උදාහරණයක් විදියට ඉදිකිරීම් ක්ෂේත්‍රයේදී මීටර් 1.8ක් විදියට සළකන ගමන් නිශ්පාදන ක්ෂේත්‍රයේදී එය මීටර් 1.4ක් විදියට සළකන්නත් පුළුවන්. මෙතනදි ඇත්තටම වැදගත් වෙන්නේ පවතින අනතුරේ (Risk) ස්වාභාවයයි.

ලෝකයේ බොහෝ රටවල් තම තමන්ගේ රටවලට අදාලව වෘත්තීමය සෞඛ්‍ය හා ආරක්ශණය සම්භන්ද නීති පනත් සම්මත කරගෙන තියෙනව. නමුත් අවාසනාවකට වගේ ලංකාවේ තවම ඒ වගේ නීතියක් වෙනම නෑ. මං දන්න විදියට දැන් අවුරුදු 6ක විතර ඉඳල ඒ කියන්නෙ 2008 වගේ ඉඳල මේ සම්බන්දව පනතක් හදල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න උත්සාහ කරනව. ඒක (ආපු දවසක ) බොහෝ විට HSG 65 කියන මහා බ්‍රිතාන්‍ය මොඩලයේ කොපියක් වෙයි කියල හිතනව.. මට හිතෙන්නේ තවම කට්ටියට ඒක සිංහලට (ලංකාවට ) ගලප ගන්න බැරුව ඉන්නව ඇති.

මෙතනත් වෙලා තියෙන්නෙ අපේ රටේ අනිත් බොහෝ ක්ෂේත්‍ර වල වෙලා තියෙනව වගේම වෘත්තීය අත්දැකීම් අඩු හා නැත්තටම නැති ඒත් කොලකෑලී වල හා ‘වෙනත්’ සුදුසුකම් ඕනවටත් වැඩිය තියෙන සැට් එකක් කම්කරු අමාත්‍යාංශේ Industrial Safety Division එක හා NIOSH (National Institute of Occupational Health & Safety) එක ආක්‍රමණය කරල ඉන්න එක තමයි. පෝස්ට් ග්‍රැජුවෙට් කොලිෆිකේශන් එක විදියට ‘Occupational Health’ කරපු ඩොක්ටර් කෙනෙකුටවත් අවුරුදු ගනං ආණ්ඩු කන්තෝරුවල ලියුං අත්සන් කරපු Industrial Engineer කෙනෙකුටවත් ඇත්තටම මේ ෆීල්ඩ් එක ගැන ඒ හැටි කැක්කුමක් තියෙන්නත් බෑනෙ. (මේක අහල මගේ යාලු දොස්තර මහත්තුරු නෝනලාවත් ඉංජිනේරු නෝන මහත්තුරුවත් අමනාප වෙන එකක් නෑ කියල හිතනව ) මාතෘකාවෙන් පිට ගියාද මංදා. ඇත්තටම ඕක මගේ ලෙඩක්.

ඉතිං. දැනට ලංකාවේ සේෆ්ටි ගැන යන්තං හරි තියෙන සීමිත ලියවිලි අතර මුල් තැන ගන්න කර්මාන්තශාලා ආඥාපනතේත් (Factories Ordnance) මේ සම්භන්දව කිසිම ලියවිල්ලක් නෑ. නමුත් ලංකාව විදියට අපි ලෝක කම්කරු සංවිදානයෙ (ILO) සාමජිකතවය ලබාගෙන එහි ප්‍රඥප්තියට අත්සන් කරල තියෙන නිසා අපිට සදාචාරාත්මක බැඳීමක් තියෙනව ILO එකෙන් මේ සම්භන්දව ලබාදීල තියෙන නිර්දේශයන්ට අනුකූලව කටයුතු කරන්න. එහෙම නොකල කියල හැබැයි කාටවත් නඩු දාන්න බෑ. ඒවා නිර්දේශ විතරනේ. ඕනමනම් ILO එකට පුළුවන් අපේ සාමාජිකත්වය අහෝසි කරන්න. එච්චරයි. (මේව තමයි අපිට තියෙන ප්‍රශ්ණ )

මීට අමතරව මේ වෙනකොට ලංකාවේ බොහෝ කොම්පැණි OHSAS 18001 කියන ප්‍රමිති සහතිකය ලබාගෙන තියෙනව. ඉතින් එතනදිත් අදාල සමාගමට යම්කිසි බැඳීමක් තියෙනව වෘත්තීමය සෞඛ්‍ය හා ආරක්ශණය යම්කිසි සාධනීය මට්ටමක පවත්වා ගෙන යන්න, නැත්නම් ඊළඟ අවුරුද්දෙ අළුත් කර ගන්න බෑනේ (වෙන වෙන ක්‍රම නොදන්නා අයට පමණක් අදාළ වේ. )

තව එකක්.. වෙනත් රටක සමාගමක් ලංකාවට ඇවිත් වැඩක් පටන් ගන්නව කියන්නකෝ. ඒ රටේ නීතියට අනුව ලංකාවෙදි භාවිතා වෙන උසට වඩා උස් ස්ථානයක වැඩ කිරීමේ හැකියාව තිබුන කියල එහෙම කරන්න බෑ. හැබැයි ඒකෙ අනිත් පැත්ත ප්‍රශ්නයක් නෑ. කොහොම හරි අඩුවෙන්ම නිර්දේශ කරල තියෙන උස තමයි සැළකිල්ලට ගත යුතු වන්නේ.

ඉතින් ඔය කොහොම කොහොම හරි ඇවිල්ල (හරිම හිතේ අමාරුවකිං ඒ ටික කිව්වේ) දැනට ලංකාවේ මීටර් 1.8 කියන උස තමයි ‘උස් ස්තානයක්’ හැටියට සළකන්නේ. මෙච්චර වෙලා කියපු ටික කෙටියෙන්ම කිව්වොත්
“දැනට ලංකාවේ බල පැවැත්වෙන නීති හා රෙගුලාසි පරිදි යම් පුද්ගලයෙකු මීටර් 1.8ක් හෝ ඊට වඩා වැඩි සිරස් උසකින් ඇද වැටීමට අවකාශ ඇති ස්ථානයක වැඩෙහි යොදවන්නේ නම් ඔහුට ගැළපෙන වැටීම් ආරක්ශක පද්දතියක් මඟින් ආරක්ශාව සලසා දී තිබිය යුතුයි.”

රායිට්.. අපි ගමු පොඩි බ්‍රේක් එකක්.. ඉතුරු ටික ඉන්ටවල් එකෙන් පස්සේ. තියෙන ප්‍රශ්ණ ඔක්කොම ඊළඟ කොටසට කලින් අහන්න ඕනි.. මතක තියාගන්න ඔය ඉඳල හිටල ලාවට අනුමත වුනා වගේ නෙවෙයි.. “දුම් පානය ශරීරයට දැඩි සේ අහිතකරයි”

උස් ස්ථානයක වැඩ කිරීම (1 කොටස )

උපුටා ගැනීම – http://kalahitha.blogspot.co.uk

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල