විද්‍යා හා තාක්ෂණ

සේෆ්ටි සිංහලෙන්- උස් ස්ථානයක වැඩ කිරීම 2

Off

මේ මාතෘකාව බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානයකට ලක් වුණු නිසා මේ ටික ඔක්කොම එක බ්ලොග් එකකට ගොනු කරල කලාහිත කලා කටයුතු වලට නිදහස් කර ගන්නත් අදහසක් තියෙනව.. තව ටිකක් බලමු කෝකටත්..

දැනට ගොඩක් දවසකට කලින් උනත් පහු ගිය වතාවේ අපි කතා කරේ උස් ස්ථානයක වැඩ කිරීම සම්භන්දව ලංකාවේ බල පැවැත්වෙන නීතිමය තත්වය ගැන කියල ගොඩක් දෙනෙකුට මතක ඇති.. වැඩ කිරීම කෙසේ වෙතත් උස් ස්ථානයක පදිංචි වෙලා ඉන්න එකනම් මාරයාගේ තුරුල්ලේ නිදන් ඉන්නවා වගේ පට්ට බයංකාර අත්දැකීමක් කියල අපි හැමෝම දැක්කනේ කොස්ලන්දේ වෙච්ච දෙයින්.. පොඩි අත් වැරැද්දකින් ඕනෙම උස් ස්ථානයක් කෙනෙකුට කොස්ලන්දක් වෙන්න පුලුවන් බව මතක තියාගෙන තව ටිකක් මේක ගැන ඉගෙන ගනිමු.

ඇත්තටම යම් උස් ස්ථානයක රාජකාරියක් කරන්න සිද්ධ වුනොත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනි කරුණු 4ක් තියෙනව.. අපි මේකට දන්න සිංහලෙන් නම්, වැරදුණා ඉන්ග්‍රීසියෙන් නම් Major Hazards involved in Working @ Height කියල කියනව. මේ හතර තමයි

1. වැඩ කරන උස ස්ථානයේ සිට මිනිසෙකු පහලට ඇද වැටීමට ඇති හැකියාව- Falling from Height
2. වැඩට යොදා ගන්නා ආයුධ හෝ අමුද්‍රව්‍ය උඩ සිට පහලට වැටීමට ඇති අවස්ථාව- Falling Objects
3. යම් කිසි අහේතුවකට වැඩ කරමින් ඉන්නා අට්ටලය පිටින් කඩාගෙන බිමට සම්ප්‍රාප්ත වීමට ඉඩ ඇත්ද යන බව- Collapse of working platform/ Scaffolding
4. ඉහලින් ගමන් කරන විදුලි රැහැන් වල ගැටීමෙන් හානි වීමට ඇති හැකියාව- Overhead Power Cables

මේ හතර තමයි ප්‍රධාන වෙන්නේ.. ඊට අමතරව කරන රාජකාරිය සම්භන්දව යෙදෙන අවදානම් තත්වයන්ද එනවා.. අපි හිතමු කෙනෙක් අට්ටාලයක් උඩ නැගල කරන්ට් එක සම්භන්ද වැඩක් කරනව කියල.. එතකොට ඉතින් කියන්න ඕනි නැනෙ විදුලිය හා සම්භන්ද අනතුරු තියෙනව කියල.. ඒ වෙලාවට තමන්ගෙ අවදානම් තක්සේරුවට (Risk Assessment) මේ බවත් ඇතුලත් කරගෙන ඒ සඳහාත් පිරියම් යෙදිය යුතුයි. දවසක විදුලිය සම්භන්ද ප්‍රවේශම(Electrical Safety) ගැන හා වෙන්ව තැබීම හා අගුළු දැමීම (Isolation & Lockout) පිළිබඳව කතා කරන කොට ඒ ගැන මං වැඩි විස්තර කියන්නම්.

එහෙම නැත්නම් අපි දැකල තියෙනව ඔය ගෙවල් හදන තැන් වල උඩ තට්ටු වලට ගඩොල් එහෙම් පාස් කරන්නෙ අතරමග මේ වගෙ අට්ටාල හදාගෙන දෙපාරට.. බිම ඉඳන් අට්ටාලෙට විසි කරනව.. අට්ටාලෙ ඉන්න මෑන් ඒ ගැම්මෙන්ම උඩ තට්ටුවට විසි කරනව.. මේ විදියට වරුවක් විතර වැඩ කලොත් අර මනුස්සයට කොන්දක් ඉම්පෝට් කරන්න වෙනව.. මේවට කියන්නෙ ශාරීරික ක්‍රියාකාරකම් වලින් වන අපහසුතා නැත්නම් Manual Handling Issues කියල.. මෙතනදි වෙන්නේ නැවත නැවත් සිදුවන ඒකාකාරී වෙහෙසකර චලනයක් Repetitive Movement. ඒ ගැනත් වෙනම ලියන නිසා මෙහිදී කතා කරන්නේ නෑ. මුලින් කියපු කාරණා හතර මේ හැමතැනටම අදාල නිසා ඕනෑම උස් ස්ථානයක වැඩ කිරීමකට අදාල අනතුරු තක්සේරු වාර්ථාවකට එක්විය යුතුයි.

මෙම Hazards ටික හොයා ගත්තයින් පස්සේ අවධානම තක්සේරු කිරීම Risk Assessment කල යුතුයි. එය කරන ක්‍රමය ඉදිරි දිනයකදී ඉගෙන ගනිමු. මෙම අවධානම් තක්සේරු වාර්ථාවේදී ඔබ විසින් පවතින අවධානම Existing Risk; කළමණාකරනය කර ගත හැකි අවම මට්ටමකට අඩු කිරීම Residual Risk සඳහා ගැලපෙන පාලන ක්‍රම වේද Control Measures ඉදිරිපත් කළ යුතුයි. හැමෝටම තේරෙන භාශාවෙන් කියනවනම් රිස්ක් එක පුළුවන් තරම් අඩු කර ගැනීමට කළ හැකි සියලු ක්‍රියාමර්ග සඳහන් කල යුතුයි.

බොහෝ දෙනෙකු සේෆ්ටි පටලවා ගන්නේ නැත්නම් ඇන ගන්නේ මෙතැනදීයි. මම පිළිගන්න හා අනුගමනය කරන සේෆ්ටි ‘So far as reasonably practicable’ විය යුතුයි.එනම් හැකිතාක් දුරට හේතු සහගත හා ප්‍රායෝගික විය යුතුයි. එසේ වන්නට හැකි වූ විට අනෙක් වෘත්තීන් හා ගැටීම අවම කර ගත හැක. අත්දැකීමෙන් හා දැනුමෙන් ප්‍රයෝජන ගත යුතුයි.

Control Measures නිර්ණය කිරීමේදී ඔබේ ප්‍රමුඛතා ලැයිස්තුව මතක් කර ගන්න. මෙය ඉතා අමාරු වැඩකි. නමුත් ඔබගේ ප්‍රායෝගික බව මෙහිදී ඉතා වැදගත් වේ. මේ සියල්ල අවස්ථානුකූලව වෙනස් වූවත් පොදුවේ සඳහන් කල හැකි කිහිපයක් මෙසේ දැක්විය හැක.
1. සෑම විටම මිනිස් ජීවිත පළමු තැනට ගන්න.
2. නැවත එකලස් කල නොහැකි හා මිළ කල නොහැකි දේ ඇත්නම් ඒවා දෙවෙනි කොටසට අයත් වේ.
3. ඉහත කරුණු දෙකට අමතරව නීතිමය තත්ත්වයන් යටතේ දඬුවම් නියම කල හැකි හා/හෝ ආයතනයේ කීර්ති නාමයට හානි විය හැකි සිදුවීම් වැලකීමට කටයුතු කිරීම කල යුතුයි.
4. ඉතා විශාල මූල්‍ය හානියක් සිදුවිය හැකි ගබඩා හෝ එවන් වෙනත් ස්ථාන ඇත්නම් ඊලඟ තැන දිය යුතුයි.
5. විශාල මූල්‍ය හා ශ්‍රම හානි සිදුවිය හැකි නිශ්පාදන ක්‍රියාවලියට (Production Process) බාදා වන කටයුතු කෙරෙහි ඊලඟ අවධානය යොමු විය යුතුයි.

මෙයාකාරයෙන් ඔබ විසින් ප්‍රමුඛතා අනුව (සමහර ආයතන වල මේවා සුරක්ෂිතතා ප්‍රතිපත්ති හා පරමාර්ථ Safety Policies & Objectives ලෙස හඳුනා ගෙන ඇත.) යමින් Control Measures නිර්ණය කල යුතුයි.

තව දුරටත් මෙම පාලන විදි ක්‍රමද(Control Measures) වඩා ප්‍රථිඵලදායි ලෙස වර්ගීකරනය කර (Hierarchy of Control) ඇත. මෙය තැන් කිහිපයකදී කිහිපාකාරයක් ගන්නා නමුත් වඩා වැඩි පිළිගැනීමක් ඇති ආකෘතියකින් (NEBOSH) ඉදිරිපත් කරන්නේ නම්

1. Eliminate- සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම
2. Reduce- හැකිතාක් දුරට අඩු කිරීම
3. Isolate- වෙන්කර තැබීම
4. Control- පාලනය කිරීම (මෙය ඉංජිනේරු ක්‍රම මගින් පාලනය කිරීම(Engineering Control)- උදා: අනතුර හා පුද්ගලයා අතර ද්‍රව්‍යමය බාධකයක් නිර්මාණය කිරීම(Physical Barrier) හා පරිපාලනමය ක්‍රම මගින් පාලනය කිරීම (Administrative Control) උදා: අනවශ්‍ය පුද්ගලයින් ඇතුළු වීම වැළැක්වීම (Restricted Entry) ලෙස දෙයාකාරයකට වර්ග කරනු ලැබේ.
5. Personnel Protective Equipment (PPE)- පුද්ගලික ආරක්ශණ උපකරණ මගින් ආරක්ශාව ලබා ගැනීම
6. Disciplinary Action- විනයානුකූල ක්‍රියාමර්ග අනුගමනය කිරීම

සෑම විටම උපරිම ප්‍රවේශම සහතික කිරීම සඳහා ඉහලම වර්ගීකරණයේ පූර්ව පරිපාලන විධි ක්‍රම තෝරා ගත යුතු නමුත් එය ප්‍රායෝගික නොවන අවස්ථාවලදී ඊට වඩා පහලින් ඇති විධි ක්‍රම මගින් ප්‍රවේශම තහවුරු කර ගත යුතුය.

මේ අනුව පුද්ගලික ආරක්ශන උපකරණ (PPE) භාවිතය හා විනයානූකූල ක්‍රියාමාර්ග(Disciplinary Procedures) සෑම විටම අවම අභිමත ක්‍රම වේ.

මේ ටික හැම තැනටම පොදු නිසා මෙතනදී සඳහන් කිරීමෙන් ඉදිරි පාඩම් වලදී අපේ වැඩ කටයුතු පහසු වනු ඇත. කෙසේ හෝ දැන්නම් ගුරාටත් මහන්සියටම අකුරු වැරදෙමින් යයි.. වැඩි කල් නොගොස් ඊලඟ පන්තියේදී අපි අර මුලින්ම සඳහන් කල Hazards හතරට අදාල පොදු පාලන විදි ක්‍රම Control Measures සමඟ මුණ ගැසෙමු. එතෙක් ඔබට ජය ශ්‍රී!

උපුටා ගැනීම – http://kalahitha.blogspot.co.uk/

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල