කාලීන සංවාද

හුඹස් හුඹස් හුඹස් මේක හුඹස් ලෝකයක් – සර්පයාගේ කොලම 2

Off

ඹහක් යනු හිස් කුහරයක් වන්නේය.

එවන් වූ හිස් කුහර බොහොමයක් මේ මිහිපිට වන්නේය.

මේ ලෝකය වනාහීද එවන් එක් හිස් කුහරයක් පමණක්ම වන්නේය.

මේ හුඹස්වල විවිධාකාරවූ සර්පයන් ලැගුම් ගෙන සිටිති. විස ඇති නැති, විවිධ වූ හැසිරීමෙන් විවිධ වූ රටායෙන් හැඩයෙන් වර්ණයෙන් යනාදීන්ගෙන් හෙබි විවිධාකාර වූ සර්පයෝ මේ හුඹස්වල සිටිති. එහෙත් මේ හුඹස් මේ සර්පයන්ගේ නිර්මාණයන් නොවන්නේය.ඒවා සිය දහස් ගණන් වේයන් විසින් බ`දිනු ලබන්නාහ. මේ වේ හුඹස් හුඹස් බවට පත් කරන්නේ සර්පයන් විසින් ඒ අරක් ගැනීම විසිනි. සියලූ සර්පයෝ විස සහිත යැයි සිතනා මිනිසුන් සියළු හුඹස් ගැන හුඹස් බියවල් ඇති කර ගනිති. උන් තලා පෙලා මරා දමන සේම උන්ව වන්දනාමාන කිරීමද මේ එකම තැනින් ඇරඹේ. අනන්ත නම් නාරජු වසන්නේ මේ විශ්වය නම්වූ මහා හුඹහේය. එයද හිස් කුහරයක් පමණක්ම වන්නේය.

කලා ලෝකයේද විවිධාකාර හුඹස් තිබේ. විවිධාකාර සර්පයෝද සිටිති. ඒ හුඹහට වඩා මේ හුඹහ උසස්යැයි කලා සර්පයෝ ගහ මරා ගනිති. අපේ මේ හුඹස් කොදෙව්වේ කලාව කාල සර්ප යෝගයකට හසුව නිකම්ම නිකම් හිස් හුඹහක් වී ඇත්තේද මෙයද කරණ කොට ගෙනමය. අනෙකාගේ හුඹහට ගරු නොකරන කිසිවකුට කළ හැකි කලාවක් නැත. අනෙක හුඹස් කඩන්නට කතා කරමින් දිනාගත හැකි ජීවිතයක් මිනිසත් බවක් ලෝකයක් නැත. මන්ද ජීවිතය යනු අනන්ත වූ හුඹස්වලින් හෙබියක් බැවිනි. මිනිසත් බව යනු එකිනෙකාගේ හුඹස්වලට ගරු කිරීම සමගද බැ`දී ඇති හෙයිනි. ලෝකය යනු අනන්ත අපරිමාණ වූ මෙන්ම අසංඛ්‍ය වූ හුඹස්වලින් සුසැදි හුඹහක් වන හෙයිනි.

මේ සියල් හුඹස්ම හිස් කුහර වන්නේය. ඒවායේ හිස් බව නසන්නේ ඒවාට ජීවිතය දෙන සර්පයන් විසින් වන්නේය. එහෙත් බොහෝ හුඹස්වල සර්පයෝ වැඩි කල් නොසිටිති. ඒ සර්පයන්ගේ හැටිය. උන් යන විට දමා ගිය උන්ගේ හැව අල්ලාගෙන හිස් හුඹස් පුදන හිස් හුඹස් වන් අනුගාමිකයෝ ඒ වෙනුවෙන් තම ජීවිතයම හිස් හුඹස් බවට පත් කොට ගනිති. අනුගාමිකයන් කැටිව සර්පයන්ට යන්නට නොහේ. උන් යන මොහොත උන්වත් කල් තබා නොදනිති.උන් ගිය පසු අනෙකුන් හැවවල් පුදන්නට පටන් ගනිති.

බොහෝ හුඹස් වාද මේ මිහිපිට අනන්ත නාරජු විශ්වය සරනා අනන්තවූ නිමේෂය තුළ ඇතිව නැතිව ගොස් ඇත්තේය. මේ සියලූ හුඹස්වාද මැදින් ලෝකය නමැති සර්පයාද ගමන් කොට තිබේ. එහෙත් ඒ කිසිදු හුඹහක සර්පයෝ සදහටම නොලගිති. ලෝකයද එසේය. හුඹස්වාදවලට බියෙන් තලා මරා දැමූ සර්පයෝද අනන්ත වෙති. ලෝකය හුඹහක් බව නොදන්නෝ ඒ ලෝකය සුසැදී ඇති හුඹස් කඩා බිඳ දමන්නට පෙළ ගැසෙති. එහෙත් ලෝකය ලෝකයක් වන්නේ මේ හුඹස්ද සහිතව බව ලෝකය නමැති මේ හුඹහේ සිටිනා හිස් කුහර බඳු බොහෝ සර්පයෝ නොදන්නෝය.

සියලූ හුඹස්වාදද හිස් කුහර වන්නේය. එහෙත් හිස්කුහරවලින් තොරව පිරුණු ලොවක්ද තිබිය නොහේ. පූර්ණත්වය පවතිත හැක්කේ හිස්කම නිසාය.

කලින් කලට විවිධ හුඹස් වටා වෙළෙන්දෝ රොද බදිති එකල්හි ඒ හුඹස හුඹහක් නොව ලෝකය බවටද අනෙක් සියල්ල හුඹස් බවටද පත් කරන්නට කට්ටියක් සිටිති. ඔවුනට කියන්නේ විචාරකයන්, බුද්ධිමතුන් සහ මාධ්‍යවේදීන් කියාය.

‘මේ හුඹහ හැර තවත් හුඹස් තිබේද?’

‘තිබේය. තවත් හුඹස් තිබේ.’

‘ඒ හුඹහත් ඒ අනෙක් හුඹසුත් ඇර තවත් හුඹස් තිබේද?’

‘තිබේය. ඇයි මේ මා සිටින්නාවූ හුඹහ? ’

එසේ සංවාදයක් නැගෙනා යම් දිනයක මේ ලෝකය හුඹහක් නොවී ලෝකයක් බවට පත් වනු ඇත. එහෙත් එවන් ධම්මචක්ක පවත්තනයක් දෙසන්නට රහතුන් කෙනෙකුවත් ඒ අසන්නට එවන් රජ කෙනෙකුවත් මේ හුඹස් දේශයේ පෙනෙනා මානයකවත් නොවෙත්. එසේ නොමැතිව අනෙකාගේ හුඹහට ගරු කිරීම හැදියාවක් බවට පත් වනු නම් නොමැත්තේය.
සර්පයාගේ කොලම – 01
කේ. කේ. සමන් කුමාර

http://www.lankadaily.lk/

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල