විද්‍යා ප්‍රබන්ධ

මහා ගත්කරු ජී. බී.සේනානායක විශාදයෙන් (Depression) පෙලුනේද? – වෛද්‍ය රුවන් එම් ජයතුංග​

Off

ප්‍රතිභාපූර්ණ ලේඛකයෙකු ලෙස ජී. බී.සේනානායක දක්වන ලද කුසලතාව තවමත් ඇගයීමකට ලක් නොවී ඇතැයි මා සිතමි. ඔහුගේ මේධා, චාරුමුඛවැනි නවකථා ද සාහිත්‍ය විග්‍රහය, සාහිත්‍ය සේසත් වැනි ශාස්ත්‍රීය ග්‍රන්ථ ද දුප්පතුන් නැති ලෝකය, පළිගැනීම වැනි කෙටි කථා සංග්‍රහයන් ද පෙන්වා දෙනුයේ අග්‍ර ගණ්‍යයේ ලේඛකයෙකුගේ ප්‍රතිභාවන්ය. ජී. බී.සේනානායක පවසන පරිදි ඔහුගේ රචනා වලින් හෙලි කරන්නේ චිත්ත තත්වයන්ය.

ඔහුගේ කෘතීන් වල ගැඹුරු හරයක් අන්තර්ගතය. ඔහු පෙන්වා දෙන පරිදි ඔහුගේ විධිමත් අධ්‍යාපනය නිම වූයේ හත් වැනි ශ්‍රේණියෙනි. ඉන් පසු ස්ව උත්සාහයෙන්ම ඔහු උපන්නේය. විශාල ප්‍රමාණයක් කෘති කියවා තමාගේ දියුණුවේ නිම් වළලු පුළුල් කර ගත් ඔහු බුද්ධිමතෙකු ලෙස අවිවාදයෙන්ම පිළිගැනෙන්නෙකි.

ජී. බී.සේනානායකයන්ගේ කෘතීන් වල ඔහු විසින් අත් විඳි මෙලන්කෝලියාව (Melancholia) දක්නට තිබේ. මේ ස්වභාවය ඔහු තම නිර්මාණයන්ට ද මුසු කල බව පැවසිය හැක. මෙලෙස තම නිර්මාණයන් තුලට තමන්ගේ ආවේදනිකයන් මුසු කල ලේඛකයන්, කවීන් විශාල ප්‍රමාණයක් සිටිති. සුප්‍රකට ජර්මානු කවි ගතේ තමන් අත්විඳි මෙලන්කෝලියා තත්වය සිය නිර්මාණයන්ට මුසු කලේය. එසේම ටෝල්ස්ටෝයි, නිකොලායි ගොගොල්, ඩිකන්ස්, එඩිගා ඇලන් ෆෝ වැන්නවුන් තමන්ගේ සෘණාත්මක චිත්තාවේගීය ප්‍රතික්‍රියා නිර්මාණයන් හරහා පෙන්වා දෙන ලදී.

මහා ගත්කරු ජී. බී.සේනානායකගේ කෘතීන් විමර්ශනය කරන විට ඔහු සාමාන්‍ය මෙලන්කෝලියාවෙන් හෝ ඊටත් එපිට වර්ධනය වූ විශාදයකින් පෙලුනේද යන්න පිළිබඳ සැක පහළ වෙයි.

විශාදය වූ කලී මානසික රෝග අතරින් බහුලවම දැකිය හැකි රෝගී තත්වයකි. ඇතැමි විට විශාදය මානසික රෝග අතර සෙම්ප්‍රතිශ්‍යාවවශයෙන්ද හැඳින්වෙන්නේ එය එතරම්ම සුලභව දක්නට ලැබෙන නිසාය.

විශාදය හෙවත් (Depression) ඇති වීම සදහා ජානමය සාධක, ජීවත් වන පරිසරයේ බලපෑම, මුහුන දෙන ක්ලෙමථකාරී තත්වයන්, ප්‍රජානන හේතූන් යනාදී කරුණු ගනනාවක් පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත. එම නිසා ජී. බී.සේනානායකයන් තුල තිබූ ආවේදනික තත්වය කුමන හේතුවක් නිසා හට ගත්තේද යන්න එක එල්ලයේම පැවසීම අපහසුය.

විශාදය නිරන්තරයෙන්ම මනෝ භාවයන් සමග බැදී පවතියි. විශාදයේ මධ්‍යගත ලක්ෂණය වනාහී මනෝ භාවයන්ගේ සහ චිත්තාවේගයන්ගේ අදුරුසහගත අවපාතයයි. බොහෝ විට මිනිසුන් අත් විදින විශාදය නිසා ඔවුන්ගේ ප්‍රජානනය හීන වීම, නිර්මාණශීලීතාව අඩාල වීම දක්නට ලැබෙතත් ඇතැම් පුද්ගලයන් තමන් පෙලෙන විශාදය නිර්මාණකරණය සඳහා උත්ප්‍රේරකයක් කර ගනිති. මේ සාධකය ජී. බී.සේනානායකගේ ස්වයං චරිතාපදානය, මම එදා සහ අද මෙන්ම ඔහුගේ අනෙකුත් කෘති ආශ්‍රයෙන්ද පැවසිය හැක.

ගත්කරු ජී. බී.සේනානායක අතිශයින්ම සංවේදී පුද්ගලයෙකු විය. තම කෘති අරභයා කෙරුනු විචාරයන් බොහෝ විට ඔහු පෞද්ගලික පහර දීම් මට්ටමේ ලා සැලකීය. ඔහු වරෙක මෙලෙස පවසයි. “ලේඛකයන් බොහෝ කල් ජීවත් නොවිය යුතුය. ජීවත් වූවන්ගෙන් ඔවුනට වේදනා උපදවන අත්දැකීම් ලබන්නට සිදු වේ.”

මේ හැර ඔහුට සතුරු වූ ලේඛක කල්ලි ජී. බී.සේනානායකට පහර දුන් බව නොරහසකි. මේ හේතුවෙන්ද ඔහු මානසිකව ඇද වැටුනි. මම එදා සහ අද කෘතියේ 60 වන පිටෙහි ඔහු මෙලෙස සඳහන් කරයි;

“මා සාහිත්‍යයෙන් දස්කම් පෑ තැනැත්තෙකු ලෙස මාගේ සාහිත්‍ය ජීවිතයේ මුල් කාලයේම ඊර්ෂියාකාර කල්ලිකාරයෝ මා නැති කරන්නට නොයෙකුත් උපක්‍රම යෙදූහ. මටත් මගෙන් ජීවත් වූ අම්මාටත් ඔවුහු කරදර ඇති කල නමුත් මා නැති කරන්නට අසමත් වූහ.”

ජී. බී.සේනානායක තුල ඇතැමි විට තමා පිළිබද හීන වූ චිත්‍රය සහ හීන වූ ආත්ම අභිමානය (Low self esteem) ආක්ෂෝහිත බව (Aggitation) ස්වයං අනුකම්පාව (Self pity) සහ ශුන්‍යවාදී අදහස් (Nihilistic ideas) දක්නට ලැබෙයි.

තමා මිනිසුන්ගේ සිත් නොගන්නා පෙනුමක් ඇති අයෙකු බව ඔහු තරයේ විශ්වාස කලේය. එක් ස්ථානයකදී ඔහු තමාව හැඳින්වනුයේ අගුටුමිටි පෙනුමකින් යුතු විරූපී පුද්ගලයෙකු ලෙසටය.

ස්වයං අනුකම්පාව නිසා ඔහු තමාගේ කෘති විවේචනය ඉදිරියේ අතිශයින්ම සැලුනේය. මා අන්ධව සහ කොරව සිටිය ද විචාරකයෝ මට පහර ගසති යන්න ඔහු ප්‍රකාශ කරන ලදී. එසේම ස්වයං හුදකලාභාවයකට (Alienation) ඔහු තමාව ලක් කොට සිටියේය. මම එදා සහ අද කෘතියේ 152 පිටුවේ ජී. බී.සේනානායක මෙසේ ලියයි. “මම ඔවුන්ගේ ආශ්‍රයෙන් ඈත්වීමි. මා පාරේ යන කල සිංහල ලේඛකයෙකු ඈත එනු දුටුවොත් පාරේ අනෙක් පැත්තට වී ගමන් කිරීමට මම පුරුදු වී සිටියෙමි.”

ස්වයං වරදකාරී ගැටලු ජී. බී.සේනානායක එලිපිට පවසයි. තමාගේ මව රෝගාතූර වූ අවස්ථාවේ ඈ මිය ගියේ නම් හොඳය යන අදහස නිසා ඔහු තුල පසුතැවිල්ලක් ඇති විය. එම සිතුවිල්ල ඔහු සම කරන්නේ ටෝල්ස්ටෝයිගේ යුද්ධය හා සාමය නවකථාවේ තම මහලු පියාවූ බල්කෝන්ස්කි කුමරු මිය ගියේ නම් යෙහෙකි යන හැගීම නිසා පශ්චාත්තාපයට පත්වූ මරියා බල්කෝන්ස්කියා කුමරියගේ හැඟීම් වලටය.

ඔහු තමා හා ඇමරිකානු ලේඛක එඩ්ගා ඇලන් ෆෝ අතර සමානතාවයන් දකියි. එසේම ඔහු එඩ්ගා ඇලන් ගේ කෙටි කථා ශෛලිය අනුගමනය කල බව මාටින් වික්‍රමසිංහ පවසා ඇත. එඩ්ගා ඇලන් ෆෝ ද තමා අත්විඳි විශාදය නිසා කායිකව මෙන්ම මානසිකව පීඩා විඳි ලේඛකයෙකි.

ජී. බී.සේනානායක කුඩා කාලයේ තමන්ට නිතරම ඇතිවූ හිසරදය සරස්වතී ආවේශයක් ලෙස හෝ තමන්ව ලියන්නට පොළඹවන බලවේගයක් ලෙසට සැලකීය. සත්‍ය වශයෙන්ම ඔහු මේ අත්විදින ලද්දේ මනෝ කායික (Psycho – Somatic) රෝගී තත්වයක් දැයි සැකයක් මතුවේ. ළමා කාලයේ අත්විදින මානසික පීඩනයන් බොහෝ විට මනෝ කායික රෝග ඇති කරන බව ළමා රෝග විශේෂඥයන් පෙන්වා දෙති. ආත්ම ඝාතනය හෝ ජීවිතාශාවෙන් තොර වීම බොහෝ විට විශාදය සමග බැඳී පවතියි. ජී. බී.සේනානායක තුල ද මෙවැනි ආත්මහරණයේ සේයාවල් දක්නට තිබුනි. එසේම ඔහුගේ පවුලේ සාමාජිකයන් දෙදෙනෙකු (පියා සහ වැඩිමල් සොහොයුරා) දිවි තොර කර ගත් බව ඔහු පවසයි. එසේම ජී. බී.සේනානායක ද ඇතැමි විට ජීවිතය කෙරෙහි උකටලී බවක් පෙන්වන ලදී. පහත දැක්වෙන්නේ ඔහු විසින් රචනා කරන ලද කවියකි. එහි කවියා තුල තිබූ මරනීය ආශයේ ( Death Instinct) සක්‍රීයතාව පෙනී යයි.

නයා
නයෙකු නැගුනොත් මගේ ඇඳට
තුරුළු කර ගනිමි මම ඌ
සපන්න මිතුර මා
කරුණාවෙන්
යවන්න මා එහා ලෝකෙටයි කියා

මේ හැර ජී. බී.සේනානායකයන්ගේ ආත්ම ඝාතක සංකල්ප ඇතැමි විට ඔහුගේ කෘති වල එන චරිත හරහා ද නිරූපනය කරයි.

මනෝ විශේෂඥ ආරෝන් බෙක් විශාදය පිළිබදව තමාගේ ප්‍රජානන න්‍යාය මගින් ස්වයං අවතක්සේරුව, සෘණාත්මක දැක්ම මෙන්ම අර්ථකථනය සහ අනාගතය පිළිබදව අශුභවාදී දැක්ම හේතු වන බව පවසයි. ආරෝන් බෙක්ගේ පෙන්වා දීම් තුලින් සහ විශාදය පිළිබද බෙක්ගේ නිර්නායකයන්ට (Beck’s Scale)- අනුව මහා ගත් කරු ජී. බී.සේනානායක තුල විශාදයේ ලක්ෂන තිබූ බව කිව හැකිය. එසේම කෙලර් සහ ෂැෆීරෝ විසින් විශාදයට පත්වූ පුද්ගලයන් තුල මරනීය සාධකයන් ගොඩනැගීමේ ක්‍රියාවලිය පැහැදිලිවම පෙන්වා දෙන ලදී. මෙම පැහැදිලි කිරීම් අනුසාරයෙන් ජී. බී.සේනානායකයන්ගේ ජීවිතයේ අවසාන කාලයේ තිබූ මරනීය ආශයේ ප්‍රබලතාව පෙන්වා දිය හැක. එහෙත් ඔහු දිවි නසා ගැනීමට යොමු නොවීය.

අද්විතීය ගත්කරු ජී. බී.සේනානායක විශාදයෙන් පෙලුනේද යන්න තුළ සායනික මෙන්ම සාහිත්‍යමය වශයෙන්ද කාලීන බවක් තිබේ. ඒ මන්ද යත් ඔහුගේ නිර්මාණ තුළ මෙම විශාදයේ සේයාවන් ඇති නිසාවෙනි. එහෙත් එම නිසා ඔහුගේ නිර්මාණ වටිනාකමින් අඩු නොවේ. ඔහුගේ නිර්මාණ මිණි කැට වැනිය. එකී නිර්මාණ වල සාහිත්‍යමය මෙන්ම දාර්ශනික ගැඹුරක් තිබේ. චිත්ත තත්වයන් අරභයා ඔහු විසින් කරන ලද විවරණයන් සලකා බැලීමේදී ජී. බී.සේනානායක යනු ලාංකික දොස්තොයෙව්ස්කි ද යැයි සිතේ.

http://transyl2014.blogspot.ca/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල