සාහිත්‍ය කළා විචාර

“පොදු අපේක්ෂකයා, එජාපය සහ ජවිපෙ හැරවුම් ලක්ෂ්‍යය…”

Off

කොහොමත් පවත්වන්නට යෙදී තිබුනු ජනාධිපතිවරණය නීතියෙන් හෝ අවනීතියෙන් ප්‍රකාශයට පත්විය. ඒත් එක්කම ආණ්ඩුව අතිශය භීතියට පත්ව සිටි නමුත් රටට විහිළුවක් සේ පෙන්වීමට තැත්කල පොදු අපේක්ෂකයාද කරලියට අවේය. ඒ ආණ්ඩුවේ තිබූ භීතිය දෙතුන් ගුණයකින් වැඩි කරමිනි. ආණ්ඩුවේ භීතිය කෙතරම්ද යන්න පසුගියදා සුසිල් ප්‍රේමජයන්ත, “ගිය කට්ටියට තාමත් ආපසු එන්න අවස්ථාව තියනවා” යැයි කීව ප්‍රකාශයෙන් පැහැදිලි වේ. ඒ ප්‍රවිශ්ඨයයි. සංවේදනාවකින් බැහැරව මෙය ලිවීමට තීරණය කලෙමි.

මේ ජනාධිපතිවරණයේදී ජවිපෙ මුල සිටම සිටියේ මෙය නීත්‍යානුකූල නොවන මැතිවරණයක් යන මතයේය. ඒ නිසාම ඔවුන් මෙය වැලැක්වීමට දැඩි උත්සාහයක් ගන්නා ලදි. නමුත් නඩුත් බඩුත් අධිකරණයත් අතේ තියෙන කෙළි බඩුවක් කරගත් ඒකාධිපතියෙකු හමුවේ නීතියක පිළිසරණක් බලාපොරොත්තුවිය නොහැකි රටක ජවිපෙ වුවද මේ අරගලය කරන්නට ඇත්තේ අවසන් තීන්දුව දැනගෙනම විය යුතුය.

මක් නිසාද යත් සෑම මාධ්‍ය සාකච්ඡාවක්දීම පුනපුනාම මේ ජනාධිපතිවරණය නීති විරෝධීයි කිවා මිසක තම අපේක්ෂකයකු හෝ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා හෝ නොකරනවා යන්න පැවසුවේ නැත. හේතුව එය විය හැක. කෙසේ හෝ දැන් පොදු අපේක්ශකයකු ඉදිරිපත්ව ඇත. තවදුරටත් කවුරු කෙතරම් හඬ නැඟුවද ජනාධිපතිවරණය අකුලා ගන්නේ නොමැත. කාටත් ප්‍රශ්නයක් වූයේ දැන් ජවිපෙ තීරණය කුමක්ද යන්නයි. පළමුව මා සිතුවේ ජවිපෙ පොදු අපේක්ෂකයාට සහය නොදෙනු ඇතැයි කියාය. නමුත් පවතින තත්වය වඩා ප්‍රායෝගිකව සලකා බැලීමේ දී පොදු අපේක්ෂකයාට සහය දැක්වීම වඩා කාලෝචිත බව හැඟී යයි. ඒ පිළිබඳව අවසන් තීරණය ජවිපෙ අද(24) ලබා දෙන බව ප්‍රකාශයට පත් කොට ඇත. එය බොහෝ දුරට ජවිපෙ පොදු අපේක්ෂකයාට සහය දක්වන බවට වන තීරණයක් වනු ඇත.

එය එසේ වුවහොත් මෙම තීරණය පිළිබඳ බොහෝ පැසසුම්ද, බොහෝ ගැරහුමද, විවේචනද, මැදිහත් මතද පළවනු ඇත. මෙහිදී පුද්ගලිකව මගේ මතය මෙලෙස ඉදිරිපත් කරන්නම්.

01. ජවිපෙ සහය මෛත්‍රී ඇතුලු යූ එන් පී ප්‍රමුඛ පොදු විපක්ෂයට ලබා දීමට බොහෝ ඉඩකඩ ඇති බවට කනින් කොනින් ආරංචි පැමිණෙන විටම මගේ මව පැවසූයේ “88-89 මරල දාපු අහිංසක කොල්ලො මිනී වලේ ඉඳන් සාප කරනවා මුං යූ එන් පී එකට එකතු වුනොත් නම්” කියලයි. ජවිපෙ බොහෝ දෙනෙකු මෙම මතයේම සිටිති. එනිසාම ජවිපෙට පක්ෂ බොහෝ ජනයා මෙවර ජවිපෙ වෙනුවෙන් ඡන්දයක් පාවිච්චි නොකරනු ඇත. මගේ පියා ඇතුලු සමීපව ඇසුරු කරන කිහිප දෙනෙකුම මේ බව දැන්ම තීරණය කොට ඇත. නමුත් වටහාගතයුතු ප්‍රායෝගික සත්‍යනම් අප අතීතයෙන් පාඩම් උගෙන ගත යුතු මුත් අප අතීතයේ ජීවත් නොවිය යුතු බවයි. ගෙවුන අතීතයේ සිදු වූ දේවල් කිසිසේත් සමාව දිය හැකි හෝ දිය යුතු දේවල් නොවේ. එසේ සිතන විට තම ආදර්ණීය සහෘදයන් හට දෙතිස් වදය දෙමින් අමු අමුවේ මරා දැමූ යූ එන් පී කාරයින්ගේ මුහුණ බැලීමටවත් හැඟීමක් ඇති නොවීම සර්ව සාධාරණය. නමුත් ඒ හදවතට පමණක්ම ඉඩ දුන් විටයි. නමුදු වගකිව යුතු පරිණත දේශපාලන ව්‍යාපාරයක් ලෙස එලෙසින් හදවතට, හැඟීම් වලට වහල් වී තීරණ ගැනීම කිසිසේත්ම කල නොහැකි දෙයකි. අනෙක් අතට, ඔවුන් එදා මියැදුණේ, සටන් කලේ යූ එන් පීය සමඟ නොව පවත්නා ක්‍රමයට එරෙහිවය. එසේ නොමැතිව යූ එන් පීය සමඟ හෝ එහි නායකයින් සමඟ පුද්ගලික කෝන්තරයක් පිරිමසා ගැනීමට ඔවුන් අවි ගැටුවේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ යහපත් රටකි. යුක්ති ගරුක රටකි. සාධාරණ සමාජයකි. සැමට මිනිසුන් සේ ජීවත්ව මිනිසුන් සේ මිය යා හැකි දේශයකි. ඉතින් අතීතයේ ඒ සඳහා විවිධ ක්‍රමවේදයන්, උපාය, උපක්‍රමයන් සටන් මෙහෙය වීය. එමෙන්ම වර්ථමානයේද ඒ අයුරින්ම උපාය උපක්‍රම, තීන්දු තීරණ ගනිමින් පවතී. එහිදී වටහාගත යුතු සත්‍ය නම් ක්‍රමය කුමක් වුවද, එදා මෙන්ම අදද අරමුණ එකක්ම වීමයි. එනිසා මිය ගිය සොයුරන් ඒ අරමුණ වෙනුවෙන් එලොව සිට හෝ ආශිර්වාද කරනු ඇත. මෙම කාරණය සටහන් කලේ ඒ පිලිබඳ දෙගිඩියාවෙන් සිටින්නවුන් වෙනුවෙනි.

02.මේ අවස්ථාවේදී අවශ්‍යනම් ජවිපෙට කිසිදු අපේක්ෂකයකුට සහය නොදී පසෙක සිට බලා සිටීමට හැකිය. මෙය නීති විරෝධී ජනාධිපතිවරණයක්ය යන මතයේ ඔවුන් සිටින හෙයින් මෙය වර්ජනය කල හැකිය. නමුදු එය තරමක අවධානමක් සේ මට හැඟෙයි. මක් නිසාද යත්, මෙම සටනින් මෛත්‍රී ජයගෙන මීළඟට නව ආණ්ඩුවක් පිහිට වුව හොත් එය යූ එන් පීය ප්‍රමුඛ ආණ්ඩුවකි. එනම් අගමැති වනුයේ පවසන ලෙසින්ම රනිල්ය. යූ එන් පීය යනු ස්ව්භාවයෙන්ම බලය අභිමුව බලයෙන් අන්ධව බල කාමීව පිස්සු බලු රෑනක් විලසින් හැසිරෙන පිරිසකි. එය ඔවුන් ඔවුන්ගේ දේශපාලන ඉතිහාසය තුලින් යළි යළිත් ඔප්පු කොට ඇති කාරණයකි. යූ එන් පී ආණ්ඩු පිහිට වූ සෑම විටකම බැට කෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සහ අනෙකුත් දේශපාලන පක්ෂ වල පාක්ෂිකයන් මේ සඳහා සාක්ෂි දෙනු ඇත. 77 ජේ.ආර් දිනූ විට අපේ රට මේ කුරිරු අත්දැකීමට දරුණුව මුහුණ දුන් බව ඔබ සැම දන්නා කාරණයකි. එදා තිස්සපුරින් ගිය නිදහස් පාක්ෂිකයන් වූ මගේ පියාගේ ඥාතීන් ඒ ගිය ගැම්මෙන් තවමත් බදුල්ලට වී සිටිති. ඒදා ඔවුන්ගේ මෙන්ම මේ රටේ අහිංසක ගොවිජනයාගේ, කතිරයක් පමණක් ගැසූ ගොවි ජනයාගේ පැසී අස්වනු නෙලීමට තිබූ කුඹුර අක්කර සියගනනින් මොවුන් ගිනිබත් කලෝය. ගෙවල් දොරවල් අලු දූවිලි බවට පත් කලෝය. මා ඉහත කී පියාගේ ඥාතීන් සිය නිවසේ සුරතලයට ඇතිකල මුව පොව්වන් දෙදෙනෙකු ඇස් ඉදිරිපිට මරා මස් කල අයුරු ඒ මහල්ලා අදටත් සිහිපත් කරනුයේ කඳුලු පිරි දෙනෙතිනි. එවන් අපකීර්තිමත් දේශපාලන ඉතිහාසයක් ඇති යූ එන් පීය මෙවරද ජයගත හොත් මෙවැනි තත්වයක් ඇති වීමට ඇති ඉඩකඩ බෙහෙවින්ම වැඩිය. එවන් වාතාවරණයක් තුල ජවීපේ මෙවර සහය නොදී සිටිනවාට වඩා සහය දී ආණ්ඩුව ඇතුලේ සිටීම ජවිපේ පැවැත්මට හිතකරය. එය පුහු නිර්භීතකම් පෑමට වඩා දේශපාලනික වශයෙන් බුද්ධිමත් එමෙන්ම කපටි තීරණයකි. යහපත වෙනුවෙන් කපටිකම් කලාට පවු සිදුවන්නේ නැත. ක්‍රියාදාමයෙන් ඉවත්ම දෙපසටම විරුද්ධව කටයුතු කිරීමෙන් ජවිපෙ බලවත් හතුරෙකු නිර්මාණය කරගත හැකිය. නීතියක්, යුක්තියක් නොපවතින රටක අධිකරණයෙන්ද පිළිසරණක් නොමැති රටක, මෙවන් වාතාවරණයක් උග්‍ර වුවහොත් නැවතත් ජවිපෙය තහනම් කොට හෝ තම දේශපාලන උවමනාවන් සාක්ෂාත් කරගැනීමට යූ එන් පීය උත්සාහ නොගනු ඇතැයි අපට සහතිකයක් නොමැත. එසේ වුවහොත් යළිත් සිදුවන්නේ රට 88-89 දක්වා ගමන් කිරීමයි. නමුදු පරිණත දේශපාලන ප්‍රවාහයක් ලෙස ජවිපෙ කිසිදු දිනෙක තෙවනි වරටත් එවැනි තීරණයක් නොගන්නා බවට මට ඉර හඳ මෙන් විශ්වාසය. සන්නද්ධ අරගල වලින් විප්ලව කොට ආණ්ඩු පිහිට වීමේ ඉතිහාසය අද ලොවෙන් වියැකී ගොස් ඇති යල් පැනගිය ක්‍රමවේදයකි. අනෙක් අතට මහජනතාවට අසීමිතව ආදරය කරන දේශපාලන ව්‍යාපාරයක් ලෙස පක්ෂයේ කිසිදු තීන්දු තීරණයකින් ජනතාවට නියපිටින්වත් හානියක් නොවිය යුතු බවත්, ඉතිහාසයේ සිදු වූ වැලැක්වීමට ක්‍රමයක් නොමැතිම වූ එම ඛේදවාචකයන් මින් ඉදිරියේ කිසිදු දිනෙක මෙම දේශය තුල සිදු වීමට ඉඩක් නොතබන බවටත් අනුර දිසානායකයන්ද මෑතකදී සපථ කිරීමෙන් එවන් තත්වයක් යළි නිර්මාණය වීමට ජවිපෙන් වචනයක හෝ දායකත්වයක් සිදු නොවන බවට තරයේ විස්වාස කල හැකිය. ඉතින් එවන් තත්වයක් ඇති වීම වළක්වා ගැනීමටත්, එනම් පක්ෂය වෙත යලිත් වරක් එජාපයේ කුරිරු මර්ධනය දියත් නොවීමට මෙවර ගනු ඇතැයි විශ්වාස කල හැකි තීන්දුව හේතු කාරණයක් වනු ඇත.

03. තෙවැනි කාරණයනම් කවුරුන් කෙසේ කුමක් කීවද ජවිපෙ යනු අවශ්‍යතම මොහොතේ පක්ෂය වුවද අවධානමක හෙලා රට වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා දේශපාලන ව්‍යාපාරයක් බව ඔවුන් විසින්ම ඉතිහාසය තුල වරින් වර ඔප්පු කොට තිබේ. චන්ද්‍රිකා සමඟ පිහිට වූ පරිවාස ආණ්ඩුවේදීත්, මහින්ද සමඟ පිහිටවූ සන්ධාන ආණ්ඩුවේදීත් ඔවුන් මෙය ඔප්පු කර තිබේ. මෙවර සේම එදාද ගත් එම තීන්දුව හේතුවෙන් සන්ධාන ගතවීමේදීත් ඉන් ඉවත් වීමේදීත් ජවිපෙට විශාල පාක්ෂිකයන් සංඛ්‍යාවක් අහිමි කරගැනීමට සිදුවිය. නමුත් පක්ෂය පරදුවට තබා ඔවුන් සෑම විටම රට වෙනුවෙන් අත්‍යාවශ්‍යම මොහොතේ නිවැරදිම තීන්දු තීරණ ගන්නා ලදි. ඒ නිසාම පක්ෂයට සිදු වූ හානිය අතිමහත්ය. කොහොමත් කෑලි ගෙවෙනුයේ, කඩා වැටෙනුයේ දුවන වාහනයක් මිස එකතැන නවතා ඇති වාහනයක් නොවේ. ජවිපෙද එවැනිය. එවන් අවස්ථාවල දේශපාලන සවිඥාවක් නොමැති වෛරී විචාරකයන් පවසනුයේ ඔවුන් කිච වූ ප්‍රතික්ෂේප වූ කණ්ඩායමක් ලෙසිනි. නමුදු තේරුම්ගත යුතු යථාර්තය නම් ඔවුන් එලෙස කිච වූයේ රට වෙනුවෙන් මිස බඩ වෙනුවෙන් නොවන බවයි. දේශපාලනයේ කිච වන බොහෝ උදවිය කිච වෙනුවේ තමන්ට කරගැනීමට ගොස්ය. රට වෙනුවෙන් යමක් කොට කිච වූ දේශපාලන ව්‍යාපාරයක් වේ නම් එය ජවිපේ පමණමය. එනිසා එය බොහොම වැදගත් කිච වීමකි.

04. සහය දීමට කරනවා නම් එය බුද්ධිමත් යැයි පැවසීමට තවත් හේතුවක් ඇත. මෙලෙස පොදු විපක්ෂයක් ලෙස ඒකාබද්ධව පිහිටුවන ආණ්ඩුවක ජවිපෙටද අමාත්‍යංශ කිහිපයක් හිමිවනු ඇත. එමඟින් සන්ධානයෙන් ඉවත් වීමට ගත් “මෝඩ වීර” තීරණයෙන් සිදු වූ වරද යළි නිවැරදි කරගත හැකිවනු ඇත. ජවිපෙට තිබුනේ හෙළ උරුමය මෙන් ඇතුලේ සිටම විවේචනය කරමින් කෙසේ හෝ කාගෙන සිටීමය. එසේ වූවානම් මහින්ද වුවද එතරම් නටන්නේ නැත. මොකද ජවිපෙ යනු සන්ධාන ආණ්ඩුවේ සිටි ශ්‍රී ලනිපය හැරුණු විට ප්‍රබලතම දේශපාලන පක්ෂයයි.එනිසා සන්ධාන ආණ්ඩුව තුල ජවිපෙට යමක් කල හැකිව තිබුනි. නමුත් ප්‍රායෝගිකත්වයට වඩා ප්‍රතිපත්ති වලට ගරුකල පක්ෂයක් ලෙස (සැබෑවටන්ම සිදු විය යුත්තේ මෙයයි. නමුදු ලංකාව යනු ප්‍රතිපත්තිමය දේශපාලනයක් කල හැකි දේශයක් නොවන හෙයින් යම් අවස්ථාවල ඌරාගේ මාළු ඌරාගේම පිටේ තබා කැපීම වඩා ප්‍රායෝගික විය යුතුයි. ලිං කටින්ම ගොඩ ආ යුතුයි.) ඔවුහු ඉන් එළියට පැමිණියහ. නමුත් එසෙ නොකර ඒ තුලම සිටිමින් එම අමාත්‍යංශ දරමින් අන්තිම මොහොත වනතුරුම රැඳී සිටියානම් අඩුම තරමින් ජනතාවට ජවිපෙ පිළිබඳ යම් ආකල්පයක් හෝ ඇතිවීමට හැකියාව තිබුනි. පැවති ආණ්ඩු විසින්ම ජන මනස් තුලට කාවද්දවා ඇති දේශපාලන දැක්ම, දේශපාලකයා පිළිබඳ දැක්මට අනුව ලංකාවෙ මහජනයා දේශපාලකයා දකිනුයේ පුදසත් කාර කල යුතු වැඳ වැටී යැදිය යුතු, තම රීරි මාංසයම හූරා කෑ යුතු, ඒ සියල්ල වෙනුවෙන් අතුරු පාරක බෝක්කුවක් හදා දුන් විට, උපාධිධාරී පුතාට ආණ්ඩුවේ කන්තෝරුවක පියන් රස්සාවක් ලබා දුන් විට, ආධාර මල්ලක් දුන් විට ප්‍රමාණවත් යැයි සිතාගන්නා දර්ශනයකි. එනිසා මහා ආහාර දාමයක් වැනි වූ රට කරවන ක්‍රියාවලියේ ඡන්දය දීම සහ කන්න ලැබීම කියන පුරුක් දෙක අතර සිටින මහජනතාවට ඉන් එහා විහිදී ඇති අනෙක් පුරුක් නොපෙනේ. පවතින ක්‍රමය තුල එම පුරුක් පෙනීමට හෝ සෙවීමට අවකාශයක් ජනයාට නොමැත. එනිසාම ඒ වැදගත්ම පුරුක් මත හිඳිමින් රට වෙනුවෙන් අත්‍යාවශ්‍යම අවස්ථාවල ජවිපෙ කරන සේවය ජනයාට නොපෙනෙයි නොහැඟෙයි. යමක් කමක් තේරෙණ රටේ උගතුන්ට බුද්ධිමතුන්ට මෙය පෙනුනද කුදු මහත් බහුතර මහජනයාට එය නොපෙනන නිසා. ඔවුන්ට ජවිපේ ඇති වටිනාකමක් නොමැත. එනිසා එම ජනප්‍රසාදය ඇතිකර ගැනීමටනම් ඔවුන් ජනතාවට දැක හුරු දේශපාලඥයන් සේ ඔවුන් අතරට යා යුතුය. එහිදී ජවිපෙ ප්‍රායෝගිකව වැඩකරන අයුරු ජනතාවට දැකගත හැකිය. සන්ධාන ආණ්ඩුවෙන් ඉවත්ව ජවිපෙ කරගත් ලොකුම මෝඩ කම එම අවස්ථාව අහිමිකරගැනීමයි. ඔවුන් ඇමතිවරු ලෙස සිටි ස්වල්ප කාලයේදී කල සේවාව පිළිබඳ බොහෝ දෙනා තවමත් කතාවෙති. නමුත් ඔවුන් එලෙස ඇමතිවරු ලෙස සිටි බව ජනයාට මතක හිටීමටවත් තරම් කාලයක් නොසිට ජවිපෙ අයින් වීමෙන් ජනයාට ඔවුන් එලෙස සිටියාද කියාවත් මතකයක් දැන් නොමැත. ඒ ලංකාවෙ ජනතාවගේ ස්වභාවයයි. එනිසා මෙවර එම වරද නිවැරදිකරගත හැකිය. කොහොමින් හෝ ගැටෙමින් ඒ තුලම සිටිමින් ජනතාව අතර හෝ මතයක් ගොඩ නඟාගෙන ජන පදනමක් නිර්මාණය කරගැනීමට මෙය අවස්ථාවක් කරගත හැකිය. ඒ තුලින් වඩා වාසිදායක් මොහොතක ආණ්ඩුව හැරගියද ගොඩනඟාගත් ජන බලය මත ඔවුනට වෙනසක් සිදු කල හැකිවනු ඇත. ඒ සඳහා කාලයක් ඉවසාගෙන “අල්ලා සිටිය යුතු” වේ. එවිට යම් දවසක ඔවුන්ටද මෙවර මෛත්‍රී කල සේ කඩා බිඳගෙන යා හැකිය. එනිසා මෙවර සිදුකරන මෙම දැලි පිහියෙන් කිරි කෑමේ අවධානම් ක්‍රීඩාව කෙසේ හෝ ජවිපේ යහපත් ඉදිරිගමන සඳහා මාවතක් කරගත යුතුමයි. මක් නිසාද යත් කෙදිනක හෝ ජවිපෙ ආණ්ඩුවක් බිහිවීම මේ රටේ ජනයාට කවදටත් වඩා හිතකර වීමයි.
(මෙම සටහන ලියන ලද්දේ ජවිපෙ පොදු විපක්ෂයට සහය දෙනු ඇති බවට උපකල්පනය කරමින් පොදු විපක්ෂය මෙවර ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය ජයග්‍රහනය කිරීමත් යන උපකල්පනයේ සිටයි. එය එසේ වීමට පනහට පනහේ සම්භාවිතාවක් තිබුනද ජයග්‍රහනයක් පිළිබඳ ස්ථීර නිගමනයකට පැමිණිය හැකි නොවේ. එනිසා ජවිපෙට මෙය දැලි පිහියෙන් කිරි කෑමේ ක්‍රීඩාවකි. දිනුවොත් එය ඉදිරි පිම්මකට මාවතක් කරගත හැක. පැරදුනොත් එය අපකීර්තිමත් ලකුණක් ලෙස ඉතිහාසයට එකතු වනු ඇත. පැරදීමට බලාගෙනනම් මෙම තීරණය නොගෙන සිටීම සෞඛ‍යට බෙහෙවින් හිතකරය. කෙසේ වුවද සමස්ථයක් ලෙස මෙම තීරණය ගතහොත් එය බෙහෙවින්ම කාලෝචිත සහ අවස්ථානෝචිත තීරණයක් බව මම විශ්වාස කරමි.)
“අහස් කුස අඳුරු වී

හීනියට ඉකිබිඳින හැන්දෑවෙ

මල් මිටක් දරාගෙන දෝතින්ම

ගං ඉවුරෙ අපි තාම බලා ඉමු

ඔරු කඳට ගොඩවන්න

ප්‍රභාතය පිපී එනු දකින්නට…

කොතෙක් දවසක්නම් බලා උන්නද

එනමුදු නෙත් වලට විඩා නෑ

කඳුල නුඹ නාවාට කම් නැත

නෙත් කෙවෙන් තෙමාලන්නට…”
-නිසැඳැස තරණය සඟරාවෙනි-

ලිපිය උපුටා ගනු ලැබුවේ http://masandumal.blogspot.co.uk/ වෙතිනි

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල