කාලීන සංවාද

වතිකානුවට ටෙලිග්‍රෑම් එකක්

Off

‘සෝර්බා ද ග‍්‍රීක්’ සිනමා කෘතිය අප රටෙහි තිරගතව තිබුනත් නිකෝස් කසන්ට්සාකිස් (Nikos Kazantzakis)ගේ නාමය ලාංකීය කතිකාවට ඇතුළත් වූයේ ‘ද ලාස්ට් ටෙම්ප්ටේෂන් ඔෆ් ජිසස් ක‍්‍රයිස්ට්’ චිත‍්‍රපටය හෝ නවකතාව මෙරටට ගෙන්වීම තහනමට ලක්කිරීමත් සමගය. පසුව ඔහුගේ සොර්බා නම් ග‍්‍රීකයා නවකතාව සද්ධාතතිස්ස වඩිගමංගාව විසින් පරිවර්තනය කෙරිණි. සිංහල පරිවර්තන සාහිත්‍ය වංශයෙහි සුවිශිෂ්ඨ මංසලකුණක් ඒ විසින් තැබූ බව අවිවාදිතය.

‘ද ලාස්ට් ටෙම්ප්ටේෂන් ඔෆ් ජීසස් ක‍්‍රයිස්ට්’ නවකතාව මාටින් ස්කෝර්සීස් විසින් සිනමාවට නැගිණි. එයට එරෙහිව ක‍්‍රිස්තියානින් මහත් සේ උද්ඝෝෂණයෙහි නිරත වූහ. ජාතික මට්ටමින් උද්ඝෝෂණ අවුලා චිත‍්‍රපටය විනාශ කිරීමටද ඔවුහු පාරම් බෑහ.ඒ 1988 දීය. එයට පෙර ද බොහෝ දේ සිදුවිණි. එම නවකතාවෙන් නිපදවූ නාට්‍යයකට එරෙහිව කේරලයෙහි මහත් කලබල ඇති විණි. ඒ 1986 දීය. ක‍්‍රිස්තියානින් 10,000ක් පමණ පෙලපාලි ගියේ ඒ තහනම් කරනා ලෙසය. අන්තිමේ ජේසුස්ද, අනෙක් නළු නිළියන්ද රංග වස්ත‍්‍ර පිටින්ම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කෙරිණි.

නාට්‍යය තහනමට ලක් විය. එය කේරල විශ්ව විද්‍යාලයේ උපාධි පරික්ෂණය සඳහා නියමිත ලාස්ට් ටෙම්ප්ටේෂන් නවකතාව අරභයා ලියවුණු නිර්දිෂ්ඨ විචාර ලිපියක් නිසා පුපුරා ආ විරෝධතාවක් විය. එම ලිපියද තහනමට ලක් විය.

නිකෝස් කසන්ට්සාකිස් නම් මේ අදීන ග‍්‍රීක ලේඛකයාව පල්ලියෙන් නෙරපා හැරුණු සේම ඔහුගේ මළ සිරුර දේවස්ථානය තුළට ගැනීම පවා ග‍්‍රීක ආක්බිෂොප්වරයා ප‍්‍රතික්ෂේප කළේය. එසේ වුවද ක‍්‍රීට ජනයා වීරයකු සේ සලකා අවමගුල් උත්සවයක් පවත්වමින් ඔහුට බුහුමන් කළහ. ජිසස් රී කෘෂිපයිඞ් හෙවත් ක‍්‍රිස්තුස් යළි කුරුසියේ ඇණ ගැසීම හා ලාස්ට් ටෙම්ප්ටේෂන් ඔප් ජීසස් ක‍්‍රයිස්ට් හෙවත් ජේසුස්ගේ අන්තිම රතිය කෘතීන් පල්ලියේ හා සම්ප‍්‍රදායික ක‍්‍රිස්තියානින්ගේ උදහසට ඔහු ලක්වීමට හේතු විය. යේසුස්ගේ අන්තිම රතියෙහි අවසානයේ කුරුසියේ ඇණ ගසනු ලැබ සිටින යේසුස් යක්ෂයාගේ අවසන් පෙළඹවීමේදී විචිකිච්ඡුාවට මෙන්ම භ‍්‍රාන්තියට පත් වෙයි. ඔහුගේ ක්ෂණික සිතිවිල්ල වනුයේ මරියා මග්දලේනා විවාහ කරගෙන සාමාන්‍ය මිනිසකු මෙන් දරුමල්ලන් හදාගෙන ජිවත් වීමට ඇත්නම්ය යන්නයි. මාර්තා සමග රතියේ යෙදෙන අවස්ථාවක්ද එම නිමේෂයේ ඔහුගේ විඥණ ධාරාවන්ට ඇතුළත්ය. ඔහු යේසුස්ව දුටුයේ ෂරමාගෝ යේසුස්ව දුටු පරිදි හෝ වික‍්‍රමසිංහ හෝ ජයසේන ජයකොඩි බුදුන් දුටු ලෙස සාමාන්‍ය මනුෂ්‍යයකු පරිදිය.

wa-4නිකෝස් කසන්ට්සාකිස් උපන්නේ ග‍්‍රීක දිවයිනක් වූ ක‍්‍රීටයේදී 1883 පෙබරවාරි 18 වනදාය. ඇතැන්ස් විශ්ව විද්‍යාලයේ නීතී උපාධිධරයෙක් වූ ඔහු පැරිසියේදී දර්ශනවාදයද හෙන්රි බර්ග්සන් නම් දාර්ශණිකයා යටතේ උගත්තේය. ඔහුගේ උපාධි නිබන්ධනය පෙඩි‍්‍රක් නිට්ෂේගේ දර්ශනය අරභයා විණි. හේ ජර්මානු සහ ඉතාලි විශ්ව විද්‍යාලයන්ගෙන් සාහිත්‍ය කලාව හැදෑරීය.

wa-51914දී හමුවන ඇන්ජලෝ සික්ලිනෝස් නම් ලේඛකයාත් සමග සංචාරයේ යෙදෙන ඔහුට සික්ලිනෝස්ගේ උදේ‍යා්ගිමත් ජාතිකවාදය ආනුභාවය පාන්නට විණි. නමුත් පසුව ක‍්‍රමක‍්‍රමයෙන් එ් වඩාත් විශ්වීය මතවාදයකින් විස්ථාපනය විණි. ජර්මනියේදී කොමියුනිස්ට්වාදය කෙරේ ආශක්ත වන ඔහු ලෙනින් කෙරේ ප‍්‍රසාදයකින් යුතු විණි. නමුත් කිසිදා දැඩි මතධාරී කොමියුනිස්ට්වාදියකු බවට පත් නොවන ඔහු සෝවියට් දේශයට ගොස් නවතිනුයේද විපක්ෂ වාමවාදී දේශපාලනඥයකු මෙන්ම ලේඛකයකුද වූ වික්ටර් සර්ජි සමගය. ස්ටාලින්වාදයේ නැගී එ්ම සියැසින් දුටු ඔහු සෝවියට් ශෛලියේ සමාජවාදය පිළිබඳ මායාවන්ගෙන් තොර විය. බොහෝ රටවල්වල සංචාරය කළ ඔහු මෙරටටද පැමිණ ඇති මෙන්ම කොළඹදී ලද ඔහුගේ අත්දැකීම්ද සටහන් තබා ඇත.

පසුව කොමියුනිස්ට් නොවන කුඩා වාම පක්ෂයක නායකයා බවට පත්වූ ඔහු ග‍්‍රීක රජයේ අමාත්‍ය ධුරයකට 1945 දී පත් වේ. 1945 දී ග‍්‍රීක රජයේ සමාජ සුභසාධන සේවා කටයුතු අමාත්‍යවරයා වශයෙන් ඔහු පත් විණි. එහෙත් ඔහු 1946 දී ඉල්ලා අස් විණි. පසුව යුනෙස්කෝ හි ශාස්ත‍්‍රීය කෘති පරිවර්තනය කිරීම භාර අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කළේය. එම වසරේ ග‍්‍රීක ලේඛක සංගමය ඔහුවත් සික්ලිනෝස්වත් නොබෙල් සාහිත්‍ය ත්‍යාගයට නිර්දේශ කළේය.

1951දී ස්වීඩන් ඇකඩමියෙහි සාමාජිකත්වයේද සිටි කෙටි නවකතා දෙකක් පමණක් ලිවූ තවත් දැඩි ආගමික උපාසක ලේඛකයෙකුට නොබෙල් ත්‍යාගය පිරිනැමුණේ කසන්ට්සාකිස්ට එ් නොදීය. 1952 දීද කසන්සාකිස්ට නොබෙල් ත්‍යාගය අහිමි විණි. කතෝලික සාරධර්ම කරපින්නාගෙන පොත් ලිවූ මෝරියැක් නම් ලේඛකයකුට එවර එ් හිමි විණි. එ් ගැන සාත්‍රේ සඳහන් කළේ දෙවියන් වහන්සේ සේම මෝරියැක්ද කලාකරුවෙක් නොවේය කියාය. තෙවරක්ම ඊට නම් කෙරෙන ඔහු 1957 දී එක් ඡුන්දයකින් ඊට අහිමි කෙරිණි. එම වසරේ නොබෙල් ත්‍යාගය ලද ලේඛකයා වූ ඇල්බෙයා කැමූ පසුකලෙක පැවසුවේ තමාට වඩා එම ත්‍යාගයට කසන්ට්සාකිස් සියක් වතාවක් සුදුසු වන්නාවූ බවයි. නොබෙල් සාහිත්‍ය කමිටුව අපකීර්තියට පත් කළ කලූ පැල්ලමක් ලෙස කසන්ට්සාකිස්ට නොබෙල් ත්‍යාගය නොදීම ලෝක සාහිත්‍ය ඉතිහාසයේ සනිටුහන් විණි. ලේඛකයකු මෙන්ම විචාරකයකු වන කොලින් විල්සන් මේ බව සුපැහැදිලිවම දක්වයි.

කසන්ට්සාකිස්ගේ තරුණ වියේදී නූතන ග‍්‍රීක සාහිත්‍ය කෘතීන්ට වෙළඳපලක් නොවුණු තරම්ය. බෂවිස්සිංගර් යිඞ්ඞීෂ් බසින් ලිවූ මෙන් ඔහු ලීවේද ස්වදේශික ග‍්‍රීක බසිනි. බෂවිස්සිංගර් යිඞ්ඞීෂ් බස තෝරා ගන්නට සේම කසන්ට්සාකිස්ට ස්වදේශික ග‍්‍රීක බස තෝරා ගන්නට නිශ්චිත භාෂාමය සාධක පැවතිණි. ඔහුව යුරෝපියානු භාෂාවන්ට පරිවර්තනය වූයේ ඔහුගේ දිවියේ සැඳෑ සමයේදිය.

ලිවීමෙන් ජීවිකාව සරි කර ගැනීමට අපහසු හෙයින් ඔහු ප‍්‍රංශ, ජර්මානු මෙන්ම ඉංග‍්‍රීසි බසින් පරිවර්තනයන් බොහෝ ගණනක් සිදු කළේය. මුදල් අවශ්‍යතා පිරිමසා ගන්නට ග‍්‍රීක පාසල් පෙළපොත්ද සම්පාදනය කළේය. ඔහුගේ චාරිකා සටහන් ලෙස හමුවන සංචාරක කෘතීන් ග‍්‍රීක සංචාරක සාහිත්‍යයේ අග‍්‍ර කෘතීන් ලෙස සැලකේ. එ්වා බොහෝ ජනප‍්‍රියත්වයට පත් විණි.

1906දී පළවූ සර්පන්ට් ඇන්ඞ් ලිලී ඔහුගේ පළමු කෘතිය විය. එය කර්ම නිර්වමි යන ආරූඩ නමින් පළ කරනු ලැබිණි. තරුණ වියේ ඔහු බොහෝ සේ සංචාරය කරමින්, විවිධාකාර මිනිසුන් සමග දිවි ගෙවමින්, සියළු ආකාරයේම අත්දැකීම් ලබමින්, දැනුම ගවේෂණය කරමින් ගත කළේය. ආත්මීය වශයෙන් අවිවේකී වූ ඔහුගේ කෘතීන්හි පෙඩි‍්‍රක් නිට්ෂේගේ දර්ශවණවාදයේ බලපෑම විශද වේ. නිට්ෂේගේ අදේවවාදයත්, සුපිරි මිනිසා පිළිබඳ සංකල්පයත් කෙරේ වන ආශක්තතාව මෙහිදී ප‍්‍රකටය. අධ්‍යාත්මික කාරණාවන් ඔහුව නිතරම තෝන්තු කළේය. එය තරුණ වියේ සිටම දකිත හැකිය. පාරභෞතික මෙන්ම පැවැත්ම පිළිබඳව වන කාරණා විසින් තාරුණ්‍යයේදී ඔහු වධයට ලක් ව හුන්නේය. දෙවියන් සමග එක්වන්නට ඔහු තාපසාරාමයක මාස හයක් ගත කළේය. අධ්‍යාත්මික අභ්‍යාස නමින් මුලින් ප‍්‍රකාශයට පත් සේවියර්ස් ඔප් ගොඞ් එහි අත්දැකීම් අලලා ලියවිණි.
Zorba the Greek (1946), Christ Recrucified (1948) ,Captain Michalis (1950, UK title Freedom and Death), The Last Temptation of Christ (1951) ,Saint Francis (1956, UK title God’s Pauper: St. Francis of Assisi, in Greek). Report to Greco (1961) ආදිය ඔහුගේ නවකතාවන් වේ.

සොර්බා ද ග‍්‍රීක් මයිකල් කැකොනියස් විසින් චිත‍්‍රපටයකට නැගිණි. එය ඔස්කාර් සම්මාන තුනකින් පිදුම් ලැබීය. කසන්ට්සාකිස්ව ලෝක මට්ටමින් දැන හඳුනා ගනු ලබන්නේ එයිනි.
ලියුකේමියා රෝගයෙන් පීඩා විඳිමින්ම ඔහු සිය අවසන් සංචාරය චීනයටත් ජපානයටත් සිදු කළේය. ආපසු එන විටදී ගුවන් යානයෙහිදී රෝගාතුරව බටහිර ජර්මනියට මාරු කර යැවූ ඔහු 1957 ඔක්තෝබර් 26 වනදා එහිදී මිය ගියේය. ඔහුගේ මිනිය පල්ලියට ගැනීමටද ග‍්‍රීක ආක්බිෂොප්වරයා විරුද්ධ විණි. ඕතඩොක්ස් පල්ලිය අවසර නොදුන් හෙයින් ඔහුගේ දේහය භූමදාන කරනු ලැබූයේ ක‍්‍රීටයේ හෙරක්ලියෝන්හි නගර ප‍්‍රාකාරය මත චානියා ෙදාරටුව අසලය. එහෙත් ක‍්‍රීට ජනයා විරුවකුට සරිලන පරිදි ඔහුගේ අවමගුල් උත්සවය සිදු කළහ. ඔහුගේ ස්මාරකයෙහි ඔහුගේ කියමනක් වන ‘මට කිසිදු බලාපොරොත්තුවක් නොවේ. මට කිසිදු බියක්ද නොවේ. මම නිදහස්මි’ යනුවෙන් සඳහන්ය.

Katya Gorchinskaya විසින් 2010 දී සෝර්බාද ග්‍රීක් මුද්‍රා නාට්‍යයකට නැගිණි. ඒ පදනම් වූයේ Mikis Theodorakis විසින් 1988දී සංරචනය කළ අමූර්ත සංගීත නිර්මාණයකට අනුවය.

1988 දී මාටින් ස්කෝර්සිගේ ‘ද ලාස්ට් ටෙම්ප්ටේෂන් ඔප් ජීසස් ක‍්‍රයිස්ට්’ චිත‍්‍රපටය හේතුවෙන් යළි ලෝක කීර්තිය කසන්ට්සාකිස් කෙරේ යොමු විණි. එහෙත් එ් වන විට ඔහු මෙලොව හැර ගොස් වසර තිහක් ගතව තිබිණි. 2007 වසරෙහි ඔහුගේ පනස්වෙනි සැමරුමට ග‍්‍රීක රජය විසින් ඉහළ අගයකින් යුත් කාසියක් ඔහුගේ රුව සහ අත්සන සහිතව නිකුත් කරනු ලැබිණි. එසේම සමරු මුද්දර ගණනාවක්ද ඔහු වෙනුවෙන් නිකුත් කොට තිබේ.

ග‍්‍රීක පල්ලිය කසන්ට්සාකිස්ගේ කෘතීන් ගර්හාවට ලක් කළේය. ඔහු කීවේ ‘ශුද්ධවූ පියවරුනි ඔබ මට සාප කරයි. ඔබගේ හෘදය සාක්ෂිය මාගේ මෙන් නිර්මල වනු යැයි ද ඔබද මා මෙන් ආගමික මෙන්ම සදාචාර සම්පන්න වන මෙන්ද මා ඔබට ආශිර්වාද කරමි’ යනුවෙනි. ක‍්‍රිස්තුස්ගේ අන්තිම රතිය රෝමානු කතෝලික පල්ලිය විසින් තහනම් පොත් ලැයිස්තුවට එක් කළ විට ඔහු ක‍්‍රිස්තියානි ලේඛකයෙක් උපුටා දක්වමින් දෙවියනි මා මගේ අභියාචනය ඔබ වෙත පත් කරමියි වතිකානුවට විදුලි පුවතක් යැවීය.

කසන්ට්සාකිස්ගේ කෘතින් අතරින් සිංහල බසට පෙරළී ඇත්තේ සෝර්බා නම් ග‍්‍රීකයා පමණි. එහෙත් ඔහු නවකතා ගණනාවක්ද, ස්මරණාපදානයන්, සංචාරක කෘතීන්, දාර්ශණික කෘතීන් මෙන්ම නාට්‍ය හා ළමා කතාද, දීර්ඝවූ ආඛ්‍යාන කාව්‍යයන්ද, පරිවර්තනයන්ද බොහෝ ප‍්‍රමාණයක් කොට ඇත. ඔහුගේ පොත් ප‍්‍රමාණය තිහකට අධිකය. කැප්ටන් මකායෙල් නම් ඔහුගේ නවකතාවක් සොයාගන්නට නොලැබෙන බැව්ද සඳහන්ය. ඔඩිසි නම් දීර්ඝ කාව්‍යයක් වෙනුවෙන් ඔහු වසර දාහතරක්ම වෙහෙසුනේය. වැදගත්ම දෙය ඔහු බුද්ධ නමින් නාට්‍යයක් රචනා කොට තිබීමයි. ඕෂෝ රාජිනීෂ් සෝර්බාද බුද්ධ නමින් ගෙනෙන ප‍්‍රවාදය පදනම් වන්නේ කසන්ට්සාකිස්ගේ සමස්තයෙහි වන පාඨාන්තරීය සබඳතාවන් මතය.

කසන්ට්සාකිස්ගේ සෝර්බා ගැන සඳහන් කරන ඕෂෝ රාජිනීෂ් මිනිසුන්ට බුද්ධත්වයට පැමිණිය නොහැක්කේ ඔවුන්ට සෝර්බා වීමට නොහැකි නිසා යැයි පවසයි. සෝර්බා යනු සතුට මෙන්ම බුද්ධ යනු ප‍්‍රමෝදය යැයි ඔහු පවසයි. ප‍්‍රමෝදය හා සතුට එකිනෙක නිෂේධ නොකරයි. ප‍්‍රමෝදය එන්නේ සතුටේ මාවතෙන්ය.
”සෝර්බා හා බුද්ධ එකතු වුණොත් විතර යි පරිපූර්ණ මිනිසා ගොඩනැගෙන්නේ. ‘සෝර්බා ද බුද්ධ‘ තමයි පිළිතුර.
‘සෝර්බා ද බුද්ධ‘ තමයි උසස් ම බලවේගය. සරල ව කිව්වොත් ‘සෝර්බා ද බුද්ධ‘ කියන්නේ
අලූත් නමක් – අලූත් මිනිහෙකුට
අලූත් නමක් – අලූත් යුගයකට
අලූත් නමක් – අලූත් ඇරඹුමකට
රාජිනීෂ් පවසයි. මෙය තන්ත‍්‍රයාන බෞද්ධ දර්ශනය මත ඔහු ලද ආනුභාවය දක්වන සේම නවතම ප‍්‍රවාද අනුව යේසුස්ද තන්ත‍්‍රයානික භික්ෂුවකව භාරතයේ සිටි බව දැක්වේ. බුදුන්ගේ මාර පරාජයත් ක‍්‍රිස්තුස්ගේ අන්තිම රතියත් එකිනෙකට අනුරූප අවස්ථාවන් වේ. පැරණි ඞ කණ්ඩායම සෝර්බා සම්බන්ධයෙන් පළ කරන්නේ මෙවන් අදහසකුයි.
හොඳයි කවුද මේ සෝර්බා කියන්නේ?
‘බටහිර‘ සමාජය සෝර්බා සමඟ ගමන් කරන්නක්. ‘බටහිර‘ විසින් මිනිසාගේ සවිඥාන ලෝකය ප‍්‍රතික්ෂේප කර ශරීරය මුඛ්‍ය කොට ගත් නිසා එහි කන, බොන, රමණය කරන තත්ත්වයක් උදාවී ඇත. එය බටහිර සමාජයේ ආගමික සමීකරණය යි…. සෝර්බා ඔහු තුළ ම සෞන්දර්යයෙන් අනූන යි. ග‍්‍රීක දිවයිනක උපන් කසන්සාකිස් කියන නවකතාකාරයා විසින් නිර්මාණය කරන ලද නවකතාවේ නම ‘සෝර්බා ද ග‍්‍රීක්‘. සෝර්බා කියන්නේ ප‍්‍රබන්ධ කරපු නමක්. ඔහු ඓතිහාසික පුද්ගලයෙක් නොවෙයි. කසන්සාකිස්ට පල්ලිය නිසා විශාල කරදර පැමිණියා. සෝර්බා ලිවීමෙන් පසු පල්ලියෙන් ඔහුව නෙරපා හැරියා. පොත් ඉල්ලා අස්කරගන්න යන ඉල්ලීම ඔහු ප‍්‍රතික්ෂේප කළා. මේ තතු නිසා නිසා පල්ලිය විසින් කසන්සාකිස්ව අසූචි බෙට්ටක් විදියට නිරයට පලවා හැරියා. කසන්සාකිස් ගේ පුද්ගලභාවය, ක‍්‍රිස්තියානිය නිසා පරිපීඩනයට ලක්වෙලා යි තිබුණේ. ඔහු ගේ ජීවිතය තුළ ඔහු ගේ ජීවත් නොවූ කොටස මඟින් සෝර්බා නිරූපණය කළ බව ඉතා පැහැදිළි යි.
-x කණ්ඩායම (1998 අගෝස්තු – සැප්තැම්බර්, මාතොට)

මේ පිළිබඳ යම් ගැටළු ඇතත් ඔවුන් සෝර්බා අර්ථ නිරූපනය කරන්නට තැත් කොට තිබෙනවා. සෝර්බා නම් ග‍්‍රීකයා කසන්ට්සාකිස්ගේ අග‍්‍ර කෘතිය ලෙස සැලකෙනවා. සෝර්බා ප‍්‍රබන්ධ කළ නමක් යන්න ප‍්‍රතික්ෂේප කරන අවස්ථාවක් වන්නේ කසන්ට්සාකිස්ගේ රිපෝට් ටු ග‍්‍රීකෝ නම් ස්මරණාපදානයේ එන ඇලෙක්සීස් සෝර්බා සත්‍ය පුද්ගලයෙක් බව දැක්වෙන සඳහන්ය. අනෙක් අතින් සෝර්බා යනු බටහිර අවරසිකත්වයද නොවේ.
”ලොක්කා, එක් එක් මිනිහාට වෙන් වූ ස්වර්ග තියෙන බව මං මීට කලින් ඔබට කියා තියෙනවා. ඔබට ස්වර්ගය කියන්නේ පොත් ගොඩවලූයි, ලොකු තීන්ත කූඩුවකුයි වෙන්න පුළුවන්. තව කෙනෙකුට ගුදම් ගණන් පුරෝපු වයින්, රම්, බ‍්‍රැන්ඩි. තවත් කෙනෙකුට සල්ලි ගොඩවල්. මගේ ස්වර්ගය තමා මේ! සුවඳ කළ කාමරයක්, බිත්තියේ එල්ලපු ලස්සන වෛවර්ණ පලස්, සුවඳ සබන්, හොඳ දුනු සහිත ලොකු ඇඳක් සහ මගේ පසෙකින් පරිණාමයෙන් බෙදී ආ ගැහැනිය!”
-සෝර්බා නම් ග‍්‍රීකයා
ක‍්‍රිස්තුස්ගේ අන්තිම රතිය මිනිසකුගේ දූත මෙහෙවරත්, කැපවීමත් පවුල, ආදරය හා ජීවිතය වින්දනය කිරීම සමග ගැටෙන ආකාරය සුවිශිෂ්ඨ ලෙස මූර්තිමත් කරයි. මෙහිදී ක‍්‍රිස්තුස් සාමාන්‍ය මනුෂ්‍යයෙක් මෙන්ම කසන්ට්සාකිස් ඔහුව හඳුන්වන්නේ ජොසේ ෂරමාගෝ ජීසස් අනිත් සෑම මිනිසකුම උපදින ආකාරයට උපන් බව කියන මෙන්ම ‘මිනිසාගේ පුත‍්‍රයා’ වශයෙන් මිස දෙවියන්ගේ පුත‍්‍රයා වශයෙන් නම් නොවේ.
පෘතුගාලයෙන් පිටුවහල්ව දිවි ගෙවූ පෘතුගාල මායායථාර්ථවාදී ෂරමාගෝගේ ගොස්පල් එකෝඩින් ටු ජීසස් ක‍්‍රයිස්ට්, කසන්සාකිස්ගේ ද ලාස්ට් ටෙම්ප්ටේෂන් ඔෆ් ජීසස් ක‍්‍රයිස්ට් වැනි කෘතීන් සම්බන්ධ වාරණයන් තවමත් නිල නොවන යම් යම් තලයන්හි ක‍්‍රියාත්මකය.

‘දෙවියන් වහන්සේ හොඳ විනෝදයෙන් ඉන්නවා. මිනී මරනවා. අයුක්ති වැඩ කරනවා. ආදරය කරනවා. කරන්න බැරි, අමාරු වැඩ කරනවා. හරියට මේ මං වගේ! එයාට හිතූ දේ කනවා. හිතූ විදියට ගෑනු ගන්නවා. පැහැදිලි වතුර වගේ හැඩ වැඩ ඇති අලූත් ගෑනු ළමයෙක් යනවා ඔයා දකිනවා. ඔයාගේ පපුව ගැහෙන්න ගන්නවා. එතකොටම පොළොව පැලිලා එයා අතුරුදහන් වෙනවා. එයා යන්නේ කොහේ ද? කවුද අරගෙන යන්නේ? එයා හොඳ ගෑනු කෙනෙක් නම් ඒ අය කියනවා දෙවියන් වහන්සේ අරං ගියා කියලා. එයා වෛශ්‍යාවක් නම් කියනවා යක්ෂයා අරං ගියා කියලා! ඒත් ලොක්කා, දෙවියන් වහන්සේ යි යක්ෂයා යි එක්කෙනෙක් ම කියලා මං ආයෙත් කියනවා!’
-සෝර්බා නම් ග‍්‍රීකයා
කේ. කේ. සමන් කුමාර
උපුටා ගැනීම – http://www.lankadaily.lk/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල