සාහිත්‍ය කළා විචාර

‍තොප්පිය හරිනම් දාගන්න

Off

”අපි ගැලවීමක් යෝජනා කරමු. තවත් අය වෙනස් ආකාරවල ගැලවීමේ මාර්ග පෙන්වා දෙති. ඒ ඒ සංදර්භන්හිදී ඒ එක එකක් ඇත්ත ය. පරම සත්‍යය කියා දෙයක් නැත. සත්‍යය ද පරිකල්පනයකි. ජනතාවට සත්‍යය ඒත්තු ගැන්වීම සඳහා විවිධාකාර ශාස්තෘවරු හා දාර්ශනිකයෝ එකිනෙකා පැරයීමට සටන් වදිති. ජනතාව පාරේ සිටිති. ඔවුන් යන්නේ කොහි ද?”

ශාස්තෲ-අජිත් පැරකුම් ජයසිංහ-පිටුව 125

මේ වර්තමානයේ යථාර්ථය යි. ජනතාවට ගැලවීමක් අනවැසි ය. ගැලවීමක් අනවැසි ජනතාවට සත්‍යය ද අනවැසි ය. එහෙයින් ඔවුහු ඉබාගාතේ ඇවිදින්නාහු ය. එසේ ඉබාගාතේ ඇදින දනන්ගේ සුඛ විහරණය වෙනුවෙන් ලොව වෙසෙන නොයෙක් කණ්ඩායම් සහ පුද්ලයෝ සටන් වැදුනෝ ය. ජයග‍්‍රහණය නොකළ ද ලාංකේය දෙරණ මත එවැනි සටන් කිහිපයක් සිදුවිය. දහඅටේ කැරැුල්ලේ සිට 2009 මැයි 09 වන දින අවසන් වූවා යැයි සිතන කැරැල්ල අතර තුර තවත් කැරලි ද්වයක් පැන නැගුණි. මේ සියලූ පිබිදීම් මර්දනය කළේ එකම කණ්ඩායමක් විසිනි. එද එකම අරමුණක් වෙනුවෙනි. කැරලිකරුවන්ගේ අරමුණ වෙනුවෙන් ඔවුන් කි‍්‍රයාත්මක වූයේ යම් සේද? එය මර්දනය කිරිම සඳහා අනෙකා ද එලෙස ම ක‍්‍රියාත්මක වූයේ ය. එහෙත් කිසිවකු නියත ජයග‍්‍රහණයක් අත්පත් කර ගත්තේ ද? නැත. ඉතිරි වූයේ පාවා දෙන්නන් පමණි; පුණරුත්තාපනය වූවන් පමණි; ක‍්‍රමයට අනුගත වූවන් පමණි; නටබුන් පමණි. මේ සියලූ අංග අතරට අයත් නොවූ අතරමැදි පිරිසක් ද වූහ. විප්ලවයේ සහ එහි නිරතවුවන්ගේ සැබැ තතු දැන සිටියෝ ඔවුහු පමණි. කෙදිනක හෝ ඔවුන.තරින් කෙනෙකු හෝ පිරිසක් සිය අතීතය ආවර්ජනය කළහොත්…??? දැන් එය සිදුව ඇත. ඒ අජිත් පැරකුම් ජයසිංහගේ ”ශාස්තෲ” තුළිනි.

වැළලී යන විප්ලවීය අත් දැකීම්වල: රස, නීරස, ශුද්ධ, අශුද්ධ යථාර්ථයන් මෙහි අන්තර්ගත ය. කතුවරයා සිය දෘෂ්ටිවාදී දැල එලන්නේ දනන් තුඩ තුඩ රැව් දුන් සමාජ සංසිද්ධීන් කිහිපයක් වටා පාඨකයා රාමුගත කරමිනි. ආගම, දර්ශනය, තර්කනය, දේශපාලනය සහ ලිංගිකත්වය සිය පන්හි’දට කැටිකොට අවැසි තන්හි අවැසි ආකාරයෙන් මුදා හරින්නේ නියං කල කෙත්වතු සරුසාර කිරිම සඳහා වට මහ වැස්සක් ලෙසිනි. එවන් වැස්සකින් කෙත්වතු සරුසාර වන්නාක් මෙන් ම ඇතැම් තන්හි පාංශු අභ්‍යන්තරයේ සැඟව තිබූ දුර්ගන්ධයෙන් යුක්ත වූ සත්ව සිරුර කොටස් ද හමුවිය හැකිය. එහෙත් එය ඉවසිය යුතුය. මන්ද එය සත්‍යය ම මිස අසත්‍යයක් නොවන හෙයිනි.

saashthruuකෘතියේ ප‍්‍රධාන පාත‍්‍රවර්ගයා වන ක‍්‍රිෂ්ණ හෙවත් ඉන්‍ද්‍රනාම සත්‍යය සොයා යාම අරඹන්නේ 1987 වසරේ දී ය. එහෙත් ඔහුට සත්‍යය හමු නොවේ. අසත්‍ය අගයන මිනිසුන්ගෙන් මිදී සිය දිවි රැකගනු වස් විදෙස්ගත ව දසවසරක ඇවෑමෙන් පෙරළා දිවයිනට පැමිණි ඔහු වර්තමානයේ සාස්තෲ වරයෙකි. එමෙන් ම කාම ලෝලියෙකි. වර්තමානයේ වෙසෙන සාස්තෲ සහ කාම ලෝලියා ද සිය අතීතය ආවර්ජනය කරන්නේ සියලූ විප්ලවවාදින්ගේ නිරුවත හෙළදරව් කරමිනි.

කවුරු කෙසේ භීෂණය දියත් කළ ද එය භීෂණය ම ය. එහෙත් ඒ එකිනෙකා තමා සාධාරණ යැයි සනාථ කරන්නට නොයෙක් උදාහරණ දක්වති. කතුවරයා, ඉන්‍ද්‍රනාම හරහා මෙය විකාශනය කරයි. ඔහුට අනුව ධනවාදය මේ සියලූ ව්‍යසනයන්ට හේතු පාදක වන්නේ ය. සතෙක්, තවත් සතෙකුව මරාගෙන කැමේ සිට ගොවිතැන දක්වා වු සියල්ල කෲරත්වයක් ලෙස හඳුන්වන කථකයා: මිනිසා සතුන්ටත් වඩා කෲරත්වයක් ගස්කොළන්වලට දක්වන බව පවසයි. ඔහු යෝජනා කරන්නේ පොදු දුර්ගුණවලින් වියුක්ත වූ ප‍්‍රජාවක් නිර්මාණය කළ යුතු බවයි. මෙය එක් පසෙකින් ආගමික සංකල්පයක් හරහා යථාර්ථය වසන්කිරිමක් ලෙස ද අර්ථකතනය කළ හැකිය. 71 සහ 87-89 වකවානුවල අවියෙන් අත්පත් කර නොගත් විමුක්තිය ආගම තුළින් ලබාගන්න ඇතැම් පිරිස් වෙහෙසුනෝ ය. කතුවරයා සියුම් උපහාසයට ලක්කරන්නේ මෙකී ඊනියා ආගමික විමුක්ති ප‍්‍රවාහය යි.

පෙර විප්ලවවාදියා වර්ථමානයේ සියලූ විමුක්තිකාමී සිතුවිලි දවා අළු කරලමින් ඒ මත තනන නව ප‍්‍රාසාදය සියලූ සුඛ විහරණයන්ගේන් සපිරුණකි. අද කථකයාගේ පරම සුවය වන්නේ සුරතාන්තයේ ස්වප්න ම ය නිමේශය යි. එසේ වුව ද ඔහු ඇතුලූ පිරිස සිය අදිටන වෙනස් නොකළ බව ලොවට පවසති. ඔවුහු කිසිවකු නොසිතන ඉසව්ක සිට තම තමන්ගේ විමුක්තිය උදා කරගනිති.

කන, බොන, ගයන, වයන, රඟන මනුසතා එළි පිට නොයෙදෙන රමණය පිළිබඳ යථාව මෙන් ම එය ම පමණක් අන් සියලූ සැප පරයා නැඟී සිටීම පිළිබඳ සෞන්දර්යාත්මක ස්වයංකථනයක යෙදෙන්නේ ඊනියා සුචරිතවාදීන් නිර්දය අපහාසයට ලක් කරමිනි. එමෙන් ම ජුගුප්සා ජනක හැඟීම් සහිත පෘතග්ජන මිනිසාගේ දෙබිඩි පිළිවෙත එළි දක්වන කතුවරයා: එක් නිමේශයක මේ සියලූ දෙබිඩිතා හෙළිදරව් වන බව පසක් කරලයි.

විප්ලවවාදි තරුණියක වන නෙළුම්: වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම රැඩිකල්වාදිනියකි. ගැහැනිය පිළිබඳ පිරිමියාගේ සිතුවිලි පිරිමියාටත් වඩා හොඳින් අවබෝධ කර ගත් හෙතෙම, පිරිමියා ගැහැනිය පිළිබඳ සිතිය යුත්තේ කෙසේ ද යන්න පිරිමියාට ඒත්තු ගන්වන්නේ ජීවිතය ජිවත්කරවීම සඳහා අවැසි ඖෂධයක් සියුම් එන්නත් කටුවක් මගින් සිරුට ඇතුල් කරන ආකාරයෙනි. ඇගේ තර්ක බිඳලන්නට, ඒවා ප‍්‍රතික්‍ෂේප කරන්නට ඊට එරෙහි අභියෝග කරන්නට තරම් පිරිමි එඩිතර නොවන්නේ ඇගේ ප‍්‍රකාශයේ සත්‍ය සඟවාලිය නොහැකි බැවිනි.

අප අත් දුටු සත්‍යය නම්: විප්ලවවාදී සාමාජිකයා (පහළ කේඩරඩයේ) නිරතුරු ව ම යම් රාමුවක සිරගත කොට තබන්නට ඉහළ ක‍්‍රියාධරයා උත්සුක වීම ය. පහළ සාමාජිකයා කියවිය යුත්තේ මොනවාද, නොකියවිය යුත්තේ මොනවාද යන්න තීරණය කළේ පක්‍ෂය විසිනි. ඉන් බාහිර පොතක්-පතක් හදාරණ සාමාජිකයා දෙස පක්‍ෂය හෙළුවේ සැක මුසු බැල්මකි. මේ තිත්ත ඇත්ත කෘතියේ පාත‍්‍ර වර්ගයා හරහා මුදා හරින කතුවරයා ඒවායේ අතුරු ඵලයන් ද නිර්භය ව හෙළිදරව් කරයි.

පවතින, දකින, දැනෙන ගතිකයන්ගෙන් පිහිටක් නොලැබුණ කල්හි, මනුෂ්‍යයා නොපෙනෙන බලවේග කෙරෙහි ආශක්ත වන්නේ සහ එකී බලවේග වෙත තම ජිවිතය බාර දෙන්නේ තමා ද නොදැනුවත්ව ය. අනතුරුව එහි ම ඇලී ගැලී එය සිය ජිවිතය බවට පත්කරගනී. එවන් දනන් එකී මායා දැල තුළ කොටු කර තැබීම පාලකයින්ගේ දුර්ධාන්ත පාලන තන්ත‍්‍රය පවත්වාගෙන යාම සඳහා මහඟු උපකාරයකි. ඇතැම් කුටුම්බයක් තුළ එක් එක් සාමාජික සාමාජිකාවන් විවිධ අදස් දරන්නෝ වෙති. ඒ අතුරින් නව සිතුම් පැතුම් සපිරි සමාජිකයා පවතින ක‍්‍රමයට අභියෝගයකි. ගතානුගතික, නව සිතුම් පැතුම්වලින් තොර වූවෝ ක‍්‍රමය පවත්වාගෙන යන්නට මහත් රුකුලක් වන්නෝ ය. ඉදින් ක‍්‍රමය නිරන්තරයෙන් ඔහු සමඟ ය. ඔහු ආරක්‍ෂා කිරිම සඳහා ක‍්‍රමය තුළ ක‍්‍රම බහුල ය. මේ සියලූ චරිතයෝ ”ශාස්තෲ” හැඩ ගන්වයි. ”ශාස්තෲ” හා අත්වැල් බැඳගති.

අප දන්නා ඉතිහාසයේ ද, වර්තමානයේ ද: සමාජවාදී, කොමියුනිස්ට්වාදී, මාක්ස් ලෙනින්වාදී, මෙකී නොකී බහුතරයක් ජාතිකවාදයට මුවා වූ ජාතිවාදියෝ වූහ. අනාගතයේ ද එය එසේ නොවන බවට විශ්වාස කළ හැකි ලක්‍ෂණ මෙතෙක් පහළ වී නොමැත. ක‍්‍රිෂ්ණ හෙවත් ඉන්‍ද්‍රනාමගේ පියා එහි සංකේතයකි. ඔහුට අනුව දෙමලූ සිංහලූන් මෙන් නොව ජාතිවාදි ය. උන් මේ රටට හිතවත් නැත. අප සමඟ විසූව ද උන් සියලූ දෙනා ත‍්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන්නනෝ ය. එනිසා උන් පාඩමක් ඉගෙන ගත යුතුය. සිංහලයින්ගේ ඉවසීමේ ද සීමාවක් තිබිය යුතුය. මේ අප අත් දුටු, අත් දකින, අනාගතයේ ද අත් දකින්නට නියමිත යථාර්ථය යි. මේ යථාර්ථය කෙතරම් බියකරු ද යත්, ඉන්‍ද්‍රනාම විප්ලවවාදි පක්‍ෂයට බැඳුණ පසු එය සත්‍යයක් යැයි පිළිගන්නට ඔහුට බල කෙරිණ.

83 ජූලි සිදු වූ ම්ලේච්ඡ සංහාරය කෙතරම් කෲර ද යන්න පිළිබඳ ව ඉන්‍ද්‍රනාම නම් වූ විප්ලව වාදියා සිය අත් දැකීම් ඇසුරෙන් පාඨකයාට කථනය කරන්නේ සිය පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ සහ අසල්වැසියන් ඊට සහභාගි කරවාගනිමිනි. එතැන් සිට 2009 දක්වා මේ ඊනියා මාක්ස්වාදින්ගේ හැසිරීම ද කතුවරයා අභීතව සිය නිර්මාණය හරහා විශද කරයි.

විප්ලවවාදින්/විප්ලවවාදිනියන් නොවූ භෞතිකවාදින් සහ භෞතිකවාදිනියන් අතීතයේ අප සමාජයේ විසූහ. වර්තමානයේ ද වසති. අනාගතයේ ද වසති. එවන් භෞතිකවාදිනියක් ද කතුවරයා සිය පන්හිඳට හසු කර ගනී. ඇය ඉන්‍ද්‍රනාමගේ මිත්තණිය යි. ඇය ක‍්‍රිස්තු ලබ්දිනියකි. සර්වසාධාරණ සමාජයක සිහිනය දකිමින් සිටි විප්ලවාදී නොවූ සමාජ ස්ථරය ඇගේ චරිතය තුළින් ගම්‍ය කරන්නට කතුවරයා යත්න දරා ඇති බව පැහැදිලි ය.

ලෝසත වෙනුවෙන් තම දිවිය වෙන් කළ, කැප කළ පුරුෂයකුට එකී සිතුවිලි ප‍්‍රායෝගිකත්වයට නැගීමට නම් පවුල් කුටුම්බය අත්හළ යුතුය. නො එසේ නම් තම සහකාරිය ද ඔහු මෙන් ම ලෝවැසියන්ගේ දුක, වෙදනාව හඳුනාගත්: ඒ දුක්‍ඛ දෝමනස්සයන් ධූරින්භූත කිරිමට ඇප කැප වූ ගැහැනියක් විය යුතුය. කෲප්ස්කයා නම් වූ විප්ලවවාදිනිය ඒ සඳහා කදිම නිදසුනකි. (බෞද්ධාගමිකයින්ට නම් යශෝධරා එවැන්නියකි) එසේ නොවූ විට දෙදෙනාගේ නොපැහෙන අදහස් එකටෙක ගැටී පුපුරා විනාශ විය හැකිය. එවන් ව්‍යසනයක් පිළිබිඹු කරනු වස් කතුවරයා විශ්වජිත් සහ කැත් යුවළගේ ජිවන පවත කිසිදු අවහිරයකින් තොරව සිය ප‍්‍රබන්ධයට අවශෝෂණය කරගනී.

මමත්වය බැහැර කොට සමස්ථ ප‍්‍රජාවගේ අනාගත සුභසිද්ධිය උදෙසා තම දිවි කැප කළ සොයුරු සොයුරියන්ගේ ප‍්‍රාර්ථනා සුනුවිසුනු කොට අවස්ථාවාදි ලෙස පීලි මාරු කළ මෙරට විප්ලවවාදී පක්‍ෂයක්, පක්‍ෂයට ”මමත්වය” ආදේශ කළ විට සැබැ විප්ලවාදියා/ කණ්ඩායමට අත්වන්නේ කෙබඳු ඉරණමක් ද? එකී ඉරණම පිළිබඳ අගනා විවරණයක් සපයන්නට ශාස්තෲ සමත්කම් දක්වයි. අබ කෑ මිනිසාගේ මොළය දෑම අන් අයට වැළකිය නොහැකිය. තොප්පිය හරිනම් පැලඳගත්තාට ද කම් නැත. රිදෙන තැන් අස්වසාලීම කතුවරයාට කළ නොහැකිය. ඔහු: සැඟව යන අප‍්‍රසන්න දේශපාලන අතීතයක් වැළලෙන්නට නොදි සාහිත ගතක් හරහා ඉතිහාසගත ලියැවිල්ක් කොට ඇත. එය කලාකරුවාගේ යුතුකම සහ වගකීම ය. ශාස්තෘ කතුවරයා එකී යුතුකම සහ වගකීම, වගකීමක් සහිතව ම ක‍්‍රියාවට නංවා ඇත.

ජයසිරි අලවත්ත – m.j.alawatta@gmail.com
උපුටා ගැනීම – http://www.lankadaily.lk/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල