කෙටි කථා

සර්පයාගේ කොලම 3

Off

පාරා වළලූ වනාන්තරය සිසාරයි

සර්පයා වනාන්තරයෙහි හක්කලං කරමින් උන්නේය. එකල්හි විවිධාකාර වූ අවි වා ගැබ සිසාරා ඇදී එන්නට විය.
එම අවි කවරෙහිද යත් බූමරැංගය, පාරා වළලූය, චක‍්‍රායුධය, උර චක‍්‍ර මාලාය ආදීහු වෙයි.

උර චක‍්‍ර මාලාවක් වුත් ජිරාෆයකුගේ ගෙලෙහි වන්නේය. එසඳ ඒ දිගු බුහුටි ගෙල වටා කරකැවෙමින් පහළට ඒ බස්නේ වෙයි. එකල්හි උහු ගෙල දොඩම් පලයෙක ලෙල්ලක් උඩ සිට පහළට එක් රැළක් පරිදි හරින්නා මෙන් උහු ඒ ගෙල එක් පටියක්ව සිටිනාවූ පරිද්දෙන් කපමින් උරචක‍්‍රමාලාව දඟර තරප්පුවක බසින මෙන් පහළට බස්නේ වෙයි. ඒ නිමේෂයෙහි උහු ගෙල දෙස බලා සිටිනාවූ ජිරාෆ පෝතිකාවක මවිතයෙන් ඇස් දල්වා සිටින්නේ ඒ ලෝහිත වන් දිය සුළියක් පරිදිදෙන් වා ගැබ්හි අඳින්නා වූ සිතුවම අදහා ගනු වත් නිනව් කොට ගනුවත් නොහීය.
ඒ සමග බූමරැංගයක් වඳුරෙකු කරා පැමිණියේ වඳුරා ඒ නැවත පෙරළා ආ දෙසටම යවනුයේ වෙයි. ඒ යැවුව් ඒ පෙරළා උහු අතටම එන්නේ යළි උහු ඒ පෙර පරිදිම ආ දෙසටම යවන්නේ යළි පෙර සන්තෑසියම වන්නේය. සන්තානම් මෑණියන් ආවද මෙහි නිමාවක් නැත්තේ සංසාරය බඳු වෙයි. එද වඳුරාද ඒ නොනවත්වයි.

මෙසේ විවිධාකාරයෙන් වනයට පහත් වූ නානාවිධ අවි සමග ඉස්පාසුව නැතිව ගොස්, වනාන්තරයට උරුම වූ නිස්කලංකය නැතිව ගොස් ඇති වග සර්පයා දුටුවේය.

එකල්හි සර්පයාට මෙවන් සිතිවිල්ලක් පැන නැංගේය. මේ ආයුධ මෙසේ වනයට පාත්ව මේ දැන් මේ ඉස්පාසුවද නිස්කලංකයද නැතිව ගියේද නැතහොත් මේ ආයුධ සර්පයා දුටුයේ දැන්ද යන්නයි ඒ.

වනාන්තරය සදාතනිකව මෙසේ වන්නේය. වනාන්තරයට වනාන්තරය යැයි කියා නමක් වැටුණු දා පටන් ඒ මෙසේ වන්නේය. ඉන් පෙරද වනාන්තරය මෙසේ පැවතිණි. එහි ඉස්පාසුව නැති වන බොහෝ අවස්ථාවන් පවතින්නටද ඇත. එහෙත් එකල්හි ඊට ඉස්පාසුව යැයි නමක් තිබුණේ නැත.

නැතිනම් මේ වනය සැමදා මෙසේ පැවැත්තේය. මෙම ආයුධයන්ද බොහෝ කල් සිට මේ වනය පුරා තිබිණි. ඒ විවිධ සතා සතුන් කරා මෙසේ පැමිණ මෙවන් අභූත වූ විසූක දස්සනයන් සිද්ධ කරන්නට යෙදුනේය. සර්පයාද මෙසේම මේ ආයුධ සමග විසූක ක‍්‍රියාවන් සිදු කරමින් හුන්නේය. ඒ සර්පයාට නොදැණිනි. ඒ විසුකයන් බවවත් අභූත බවෙක්වත්, සර්පයාට නොදැණිනි. නොදැණුනාද නොවේ. ඒ දැණුනු පමණට ඉන් ඉවත් වන්නට ගොස් සර්පයා ඊටත් වඩා අභූත අවි සම්භාරයක් කැන්දා ගත්තේය. මේ ආයුධ කිසිසේත්ම සත්වයන් කරා පිටතින් පැමිණෙන්නේ නැත. ඒවා සත්වයන් විසින්ම මුදා හරිනු ලබයි. සත්වයන් විසින්ම තමා වෙත කැන්දා ගනු ලබයි. ඒ ආපිට තමා වෙත නොආවොත් මහත් විස්සෝපයෙන් උහු හැසිරෙති.

මෙම අවි කුමකින් නම් සැදියේ දැයි සර්ප සන්තානය විස්සෝප විය. ඒ යකඩින් හා වෙනත් ලෝ ධාතූන්ගෙන් නිමියේ යැයි සර්ප සිත මේ දුර්සුපිනයක් වන් මායා දර්ශණය දුටු සැණින් සිතා ගත්තේ නමුදු කල් යද්දී ඒ එසේ නොවෙතැයි උහු වටහා ගත්තේය. ඒ නිමියේ වචනයෙනි. මේ සත්වයන් වහරන්නා වූ වචනයෙනි. මේ සත්වයන් සියල්ලෝ වනාන්තරය විපිරියාස කොට ඇත්තේය. ඒ කෙසේද යත් වනාන්තරයම ශිෂ්ඨාචාරයක් යැයි කියන්නක් කොට ඇත්තේය.

ඒ අවාසනාවන්ත කිරියාවෙන් පසු සත්ව ඇ`ගින් යුත් එහෙත් සතුනුත් නොවන සතුන් නොවන්නේත් නොවන කිසිවෙක් බවට ඔවුහු පත් වූවාහු වෙත්. එයින් පසු එතුවක් හුන් සරල සතුන් සංකීර්ණ වූ විපරීතයන් බවට විපිරියාසව ගියාහු වෙත්. ඔවුහු වචනය මූලික කොට පවත්නේ වෙත්. සියලූ සතුන් ආහාරය කරණ කොට ජිවත්වේය යන්න නොපිට පෙරළී සියලූ සතුන් වචනය කරණ කොට ජිවත් වන්නට පටන් ගත්තාහු වෙත්.

වචන මූලික කොට ජිවත් වන තැනැත්තේ දිවියකු ගොදුරක් දැඩිව ගන්නා මෙන්ද, හිවලකු කුණු මස් රකින්නා මෙන්ද වන්නේය. ඔවුන් උපදින්නේ වචනයෙනි. ඔවුන් හුස්ම ගන්නේ වචනයයි. ඔවුන් වචන වෙනුවෙන් දිවි දෙති. ඔවුන් ජීවිතය කියන්නේද වචනයටයි.
ඔවුන්ගේ කිරියාවන් සියල්ලට වචනයම මාධ්‍යය වේ. එය ගොදුරු ඩැහැ ගැන්මේද කාම පාශයේද යනාදී කොට සියල්ලෙහි මාධ්‍යය වේ.
එය සතුරාගෙන් ගැලවීමේ අවිය වේ. එය නිය පසුරුය. උල් දත්ය. ගර්ජනයය. පලවා හරින ගන්ධය මෙන්ම ඇස් දිස්ටිය මුලා කරන තීන්ත බෝම්බයද වෙයි.

එහෙත් එය දෙපිට කැපෙන අවියකි. අනෙකාමෙන්ම තමාද ඉන් තුවාල ලබයි. එහෙත් ඒ අවියඇති තාක් තමා තුවාල ලබන බවඔහුට නොදැනේ. එය දැඩිව ගත් කල්හි කිසිවක් උහුට නොදැනෙයි. එයින් ඇනෙකාකැපීගලන රුධිරය මිස තමාගේ අ`ග පස`ග කැපී ගලනා රුධිරය ඔහුට නොපෙනේ.

මේ අවිය දැඩිව ගත් කල්හි සිදුවන්නේ තම හස්තයද අවියද අතර වෙනස ඇකී මැකී යාමයි. ඒ තම නිය පසුරු බවටද, උල් දත් බවටද පත්වීමයි. එහෙත් ඒ ශිෂ්ඨාචාරය යැයි උහු සිතති. එසේ සිතනා නරින් කුණු ග`ද තම අභිමානයද කර ගනිති. ඌරන් ඒ අසූචිය ගැන ආඩම්බර වෙති. උන් වනය සිසාරා අසූචි ගන්ධය පතුරමින් වහසි බස් බෙනෙති. කිසිවෙකු උන් හා සටනට නොඒම ගැන පාරම් බාති.

ජිරාෆයන් තම ගෙල රැල් කරමින් බස්නාවූ උර චක‍්‍රමාලාවන් අහෝ සැපයි කියති. මද කිපුණු අලියකු සිය සප‍්‍රාණික පුරුස නිමිත්ත වටා ඉහළට බසින උර චක‍්‍රමාලාවක් සුරතාන්තයක් ලබනා පරිද්දෙන් අහෝ සැපැයි සිතති. ව`දුරන් තමා වෙත එන බූමරැංගය සිය මුහුනෙහි වන් කල්හි ගෝලූ ගෙන යළිදු ඒ තමා වෙත එන පරිද්දෙන්ම විසි කරති. සර්පයාද මෙම විසුක දස්සනය බලා සිටින්නේ සර්පයාට සිතුනේ එක් සිතිවිල්ලකි.

මම්ද මා දිවි සැරියෙන් අඩකටදු වඩා කළේ මේ විසූක කිරියාවම නොවන්නේද?

යමක් ගත් කල්හි යමෙක් අන් සියල්ල අත හරී. ගැනීම යනු බොහෝ දේ අත හැරීමයි. එහෙත් ඒ ගත් දෙය කිසිදා තමා උදෙසා නොවන්නේය. ඒ වෙනුවට තමා ඒ ගත් දෙය උදෙසාම වන්නේය. යමක් අයත් කර ගනු ලබන්නා ඒ දෙයට අයත් වන්නේය.
අත හරින ලද බොහෝ දේ තමා වන්නේය.

මෙලොව සියලූ වස්තූන් අයත් කර ගන්නා සත්ව කෙනෙක් අවකාශය අත් හරිනු ලබන්නේය. එවිට අයත් කොට ගත් කිසිවකට මෙන්ම තමාටදු පැවැත්මක් නොම වන්නේය.

සර්පයා තමා විසින් අයත් කොට ගෙන තිබුණු තමාට අහිමිව ගිය සියල්ල දෙස අනිමිස ලෝචනයෙන් බලා හුන්නේය. තමා අයත් කොට ගෙන උන්නේ ඒ දේවල්ද ඒවාට යොදන ලද වචන හෙවත් නම් පමණක් නොවන්නේද? එසේ නම් ඒ කිසිවක් අහිමිව නැත. ඒ නම් තවමත් එසේම පවතී. එහෙත් මේ ශිෂ්ඨාචාරය නම් මහා වනය පවත්තේ ඒ සියල්ල අත් කර ගැනීම මතය.

ඒ සියල්ල අහිමිව ගිය පසු, ඒ අයිතීන් ගිලිහුණු පසු, ඒ සර්පයා විසින් පිළි ගත් පසු සර්පයා ජීවිතයේ කිසිදා නුදුටු ඉස්පාසුවක් වින්දේය. කිසිදා නුදුටු ඇසකින් මේ වනාන්තරය දුටුවේය. එය මහත්ම වූ සොම්නසක් වන්නේය. එහෙත් ඒ සොම්නස පලවා හරිමින් පූර්වයෙහි වචන කරණ කොට කරන ලද අකුසලයන් පාරා වළලූ මෙන් උන් හිටි ගමන් සර්පයා අසලින් ඇදී යයි.

වචන මත එල්බ පරිකල්පනය කරන්නා වූද ඒ අරභයා විවිධ ප‍්‍රකාශයන් කරන්නා වූද තැනැත්තේ නිරයෙහි වැටීමට නියමිත යැයි බුදුන් කී පාඨයක් සර්පයාගේ චර්ම පටහ පටලය මතුයේ කම්පනයව දෝංකාර දුන්නේය. සර්පයාට මහත් උකටලීභාවයක් ඇති විය. එහෙත් බුදුන්ටද පූර්වයෙහි කළ කර්මයන්හි ප‍්‍රති විපාකයන් වි`දින්නට සිදු වූ බව සර්පයාට සිහිපත් විය.

සියල්ල තුෂ්ණිම්භූතභාවයෙන් ඉවසා වැදෑරිම තවත් වචනයක් මේ වා තලයට එක් කිරීමට වඩා යෙහෙකැයි සර්පයා දනියි.
හිස් වචනවලින් වාතලය ගිනියම්ව ඇත. ලෝකය වචන කරණ කොට කී වතාවක් ගිනි ගෙන ඇත්ද? වචනය ගිනි සිසිලක් වන පරිදි යොදත හැක්කේ නොවෙත්ද? එහෙත් වචනය රූපයට අලගු තියන්නටවත් නොසමත් විටෙක ඒ කළ හැක්කේද? යළි සර්ප සිත උකටලී විය.
උහු තුඹසට වැද යළි දරණ ගසා ගත්තේය.

කේ. කේ. සමන් කුමාර
උපුටා ගැනීම – http://www.lankadaily.lk/

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල