විද්‍යා ප්‍රබන්ධ

පුපුරා යන විල්

Off

lake

නැවත වරක් මේ සාමාන්‍ය දැනීම සමූහයේ අහපු ප්‍රශ්නයක්

ලෝකයේ ඇති ඉතාම භයානක ස්වාභාවික ව්‍යසනයකි. මෙහි ඇති දැඩි භයානක කම නම් කිසිම අනතුරු ඇඟවීමක් නොමැතිව සිදු වීමත් එයට ගොදුරු වන කලාපයේ කිසිවෙකුටත් ගැලවීමට නොහැකි වීමත් ය. සියල්ල සිදුවීමට යන්නේ ඉතා සුළු කාලයකි. අදාළ ප්‍රදේශයේ සියලු සත්තු [මිනිසා ඇතුළුව] මියයති.

මෙම ව්‍යසනය නිසා ජීවිත හානි සිද්ධ වන ක්‍රම දෙකක් පවතියි. එකකින් බේරුනත් අනිකෙන් බේරීමක් නොවේ.
එහෙත් එය ගැන අප එතරම් නොදන්නේ මෙය සිදුවන අවස්ථා ඉතා දුර්ලභ නිසාය. සමකාසන්නයේ පමණක් සිදුවිය හැකි සංසිද්ධියක් වන මෙය සිදුවියහැකි ස්ථාන [දැනට දන්නා පරිදි] ඇත්තේ තුනකි. මෑත ඉතිහාසයේ ඉන් දෙතැනක එම ව්‍යසනය සිදු විය. ඒ නිසා වූ විනාශය බියකරුය. එහෙත් තෙවන ස්ථානය ඒ දෙකටම වඩා බියකරු වන්නේ එහි විශාලත්වය අනික්වා මෙන් දෙදහස් ගුණයක් පමන නිසාය.

භුමියේ ලැබෙන සාධක අනුව කලින් කලට එම තෙවන ප්‍රදේශයේ සියලු සතුන් වඳවී ගොස් තිබේ. මීට හේතුව එම ව්‍යසනය සිදුවීම බව කියවේ. ඉතාම කෙටියෙන් කිව්වොත් මානවයා මුහුණ දෙන ලොකුම ව්‍යසනයක් එම ස්ථානයේ ඕනෑම මොහොතක සිදුවිය හැකිය.

1. මෙම ව්‍යසනයට කියන නම කුමක්ද?

2. සිදුවිය හැකි ස්ථාන ලෙස දැනට හඳුනා ගෙන තියෙන්නේ මොන ස්ථානද?

3. මරණ සිදුවෙන ක්‍රම දෙක මොනවාද?

4. මෑතකදී සිදුවූ අවස්ථා මොනවාද? ඒ අවස්ථාවල ඇති වූ සිද්ධි හා ජීවිත හානි කෙබඳුද?

5. මෙතෙක් සිදු නොවූ තෙවන ස්ථානයේ අනතුරුදායක කලාපයේ වෙසෙන ජනගහනය කොපමණ ද [දල වශයෙන්]?

[බෝනස්] 6. සමකාසන්නයේ පමණක් සිද්ධ වන්නේ ඇයි ?

—————————————————————————-

ලිම්නික් ඉරප්ෂන් කියන්නේ මිරිදියේ සිදුවන විදාරණයක් කියන අර්ථයෙන්. [මෙය සමූහයේ සාමාජික උපාලි කන්නන්ගර මහතා පරිවර්තනය කළා ජලාධාර විදාරණය කියලා]. සරලව කිව්වොත් විලේ වතුර පිපිරී යාම.
වතුර පුපුරායන විල් තුනක් ලෝකේ තියෙනවා. කැමරූන් වල න්යෝස් හා මොනෞන්, රුවන්ඩා හා ප්‍ර. කොන්ගෝ දේශ සීමාවේ කිවූ විල. මේ පිපිරීමට හේතු වන්නේ ජලයේ දියවී ඇති කාබන් ඩයොක්සයිඩ්. ගිනිකඳු වැනි ක්‍රියා නිසා පිටවන කාබන් ඩයොක්සයිඩ් ගැඹුරු විල් වල පතුලේ හිර වෙනවා. මීට හේතුව විලේ ඉහල ජලයෙන් එන පීඩනය නිසා බුබුලනය නොවීම. ඒ වෙනුවට පතුලේ වතුරේ දිය වෙනවා. ගිනිකඳු කුහර වල හැදුනු මේ විල් තුනම ඉතා ගැඹුරු ඒවා. මීටර 200 – 500 වගේ. ඉහල ජල තලය පියනක් සේ ක්‍රියා කරලා පීඩනය මගින් ඒ වායුව මුදාලීම වළකනවා. සමකාසන්න නොවන විල් වල ශීත කාලෙට ඉහල වතුර සිසිලනය වී බර වැඩි වීමෙන් තට්ටු දෙක මාරු වෙන නිසා වසරක් පාසා විලේ වායුව නිදහස් වුනත් මේ කියන විල් වල තට්ටු දෙක වෙන් වෙන්ව තියෙන්නේ.

කිසියම් ට්‍රිගර් එකක් ලැබුන දාට ඒ කාබන් ඩයොක්සයිඩ් විලේ සයිස් විශාල වායු බුබුලක් ලෙස පුපුරා යනවා.

මේ සිදුවීමේදී හානිවන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමා පිපිරීමත් එක්ක එන රැල්ල හෙවත් සුනාමිය. පැතිරෙන දුර අඩු වුවත් විල අවට අති විශාල සුනාමියක් වෙනවා එය සාගරික සුනාමියකට වඩා බෙහෙවින් උසයි. ඊ ගාවට ඉහල නගින කාබන් ඩයොක්සයිඩ් තට්ටුවක් ලෙස බිම් මට්ටමට පැමිණීම. පැකිමි 100 වගේ වේගයෙන් එන නිසා සුනාමියෙන් බේරුනත් මේකෙන් නම් බේරෙන්න බැහැ.

ගිනිකඳු බහුල මේ කලාපයේ පොඩි පොඩි විෂවායු පිටවීම් නිසා මැරෙන එක සුලබයි. evil wind කියන අර්ථයෙන් ස්වාහිලි වලින් මසුකු කියන්නේ එවන් විෂවායු පිටවීමක්. ඒවා ලෝකේ පුරාම සිද්ධ වුනත් මෙහෙම විලේ එකතු වෙලා මහා පරිමාන මසුකු ඇතිකරමින් වතුර පුපුරා යන්නේ මේ ස්ථාන වල පමණයි.

1984 හා 1986 වසර වල මොනෞන් හා න්යෝස් පිපිරී ගියා. එයින් 37 හා 2000 ට මදක් අඩු ගණනක් ලෙස මිනිසුන් මිය ගියා. වඩාත් බියකරු වූ න්යෝස් පිපිරුම විලේ සිට කිමි 25 ක රවුමක සියලු සතුන් මරා දැම්මා. පිපිරීම නිසා විලේ ජලතළාව අඩි තුන්සිය ගානක් උඩට ස්ප්රින්කල් වුන බවත් සුනාමි අඩි සීයක් පමණ උස බවත් හිතනවා. අඩි විස්සක් විතර උස කාබන් ඩයොක්සයිඩ් වලාවකින් ඒ කිමි 25 රවුම පැය කීපයක් වසා ගත්ත. සිහි නැතිවී දිවි බේරාගත් කීපයක් මෙහි කෙලවරේ උන්න මිසක් වෙන කවුරුත් බේරුනේ නැහැ. පිපිරුමෙන් පස්සේ විලේ ජල මට්ටම මීටරයකින් පමණ අඩු වුනාලු, දියවූ වායුවෙන් 2/3 පමණ පිටවූ නිසා.

මේ කැමරූන් විල් දෙක ගැන පර්යේෂණ කල ප්‍රංශ ජාතිකයින් විල් දෙකේ වතුර කෘතිමව උඩට ඇදලා වායුහරණය කිරීම සාර්ථකව කරගෙන යන නිසා දැන් ලොකු අවදානමක් නැහැ.

දැන් ඔය කතා කලේ කිමි 1, 2 විතර දිග පළල කුඩා න්යෝස් විල ගැන. කිවූ විල වකිමි 2700 පමණ දැවැන්ත විලක්. න්යෝස වගේ 2000 ගුණයක් මතුපිටක්. න්යෝස් වගේ 200 ගුණයක කාබන් ඩයොක්සයිඩ් හා ඊට අමතරව මීතෙනුත් තියේලු. මිම්මක් ගන්න මෙහෙම හිතන්න. කිවූ විලේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ලොව පුරා සතියක ඛනිජ ඉන්ධන දහනයෙන් පිටවන තරම විතර. කිවූ විලේ මීතේන් වලින් ඉන්දියාවේ 2/3 බලශක්ති අවශ්‍යතා වසරක් තිස්සේ සපුරන්න පුළුවන්. මේක ඇත්තෙන්ම “බුදු අම්මෝ” තත්වයක්.

තත්වය ඩබල් වෙන්නේ කිවූ ලොකු විලක් නිසා ඒ වටේට නගර රාශියක් හැදෙන බැවින්. එහි ගැඹුර කොටස ආසන්නයේ ප්‍ර කොංගෝවේ ගොමා [ප්‍රසිද්ධයි බොහෝ විනාශයන්ට] හා රුවන්ඩාවේ ගිසේන්යි ඇතුළු නගර රාශියක් තියෙනවා. අනතුරට ලක්වන කලාපයේ මුළු ජනගහනය මිලියන දෙක ඉක්මවනවා. මිලියන දෙකක් මෙහෙම එක පාර මියයාමට ඉඩ තියෙන වෙනත් තැනක් නැති තරම්. අනික විල තියෙන්නේ මීටර 1500 වගේ මුහුදු මට්ටමින් උඩ. මේ විල පිටාර යන්නේ ටන්ගනිකා විලට. ඒ නිසා ලොකු සුනාමියක් ආවොත් සැහෙන දුරක් පැතිරිලා ටන්ගනික විලටත් ගිහින් අපිට හිතාගන්න බැරි ජීවිත විනාශයක් විය හැකියි. න්යෝස් විලේ අඩි සීයක් ආවානම් මේකේ කොපමණ උසක් ඒවිද කියන එකත් හිතා ගන්න බැහැ.

පර්යේෂණ කරන සමහරු කියන්නේ කිවූ විලේ ගැඹුර අනික් ඒවාට වඩා වැඩි නිසා විලේ “පියන” ඝනකමයි. ඒ නිසා අවුලක් නැහැ කියලා. එත් ෆොසිල සාධක බැලුවම වසර දහස් ගණනක කාල පරිච්චේද වලින් පෙන්නුම් කෙරෙන මහා පරිමාන සත්ව වඳවී යාම් [අර ඩයිනොසර් වගේ ඒවා] මේ කලාපයේ පෙන්නුම් කරනවා. විල පතුලේ යමහල් සක්‍රිය කලාපයක්. ආසන්නයේ මහා යමහල් දෙකක් [එකක් මේ ලඟදි පුපුරලා ගොමා නගරය හරහා ලාවා ගිහින් විල අයිනෙන් නැවතුනා] පතුලේ උෂ්ණත්වය ඉහල යාම හෝ වතුර තදින් සෙලවීම ප්‍රමාණවත් පියන කඩාගෙන එන්න. නායයාමක් පවා ඇති.

විල වායුහරණය කල හැකිද? මේ දැවැන්ත විලට දැනෙන්න වායුහරනයක් කරගන්න ක්‍රමයක් නැතුව කාලයක් ගතවුනේ. අනික එසේ මුදා හැරියොත් ලෝක දේශගුණයට ලොකු අවුලක් අධික කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය නිසා. විල දෙපැත්තේ තියෙන දෙරට පහුගිය අවුරුදු පහේ මේ මිලියන ගානට වඩා මිනිස්සු මරා දැම්මා කැරලි වලින්ම. පර්යේෂණ කරන්නෙත් කාලෙන් කාලට යුද්ධ නිසා නතර කරමින්.

හැබැයි මේ තත්වය වෙනස් කරමින් දැනටමත් රුවන්ඩාව මීතේන් වලින් බලශක්ති නිපදවනවා. කිවූවොට් [KivuWatt] රුවන්ඩාවේ ක්‍රියාත්මක වන ජීව වායු විදුලි උත්පාදන සැලසුම. මේක කරන්නේ රුවන්ඩා රජයෙන් නොවුනත් රජය මීට උපරිම සහය දෙනවා. මේ ව්‍යාපෘතියට ආර්ථික ශක්තිය හා තාක්ෂනය නැතුව රුවන්ඩාව හිටියේ [රුවන්ඩාවට වැඩිය ආධාර දෙන්නෙත් නැහැ ට්‍රැක් රෙකෝඩ් එක හොඳ නැති නිසා]. ඒ වෙලාවේ සමාගමක් මේ සැලසුම ඉදිරිපත් කරලා ආයෝජකයන් හොයා ගත්තා. ඒ ආයෝජකයන් මෙහි මූල්‍ය අගය දුටුවත් බිය වූයේ අවිනිශ්චිත තත්ත්ව ගැන. එහෙත් ජාත්‍යන්තර ආධාර සංවිධාන ඔවුන්ට නිසි රක්ෂණ ලබා දුන්නා. ඒ අනුව අධික අවදානම මිටිගේට් කරන්න රක්ෂණ වලින් සහය ගෙන මූල්‍ය ආයෝජන වලින් දුවන මේ වර්ගයේ එකම ව්‍යාපෘතිය.

දැනට සැලසුම තියෙන්නේ මීතේන් වාර්ෂිකව එකතු වන ප්‍රමාණයට වඩා පරිභෝජනය කරන්න. ඒ හරහා හෙමි හෙමින් මීතේන් සාන්ද්‍රණය අඩු කරනවා. එසේ කරන්නේ ඒ වෙනුවට කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර දියවෙන්න ඉඩ ලැබෙන නිසා. මේ විලේ කාබන් ඩයොක්සයිඩ් මුදා හරින්න නොවේ සැලසුම් කරන්නේ දීර්ඝ කාලයක් රඳවා ගන්න. ඊට ඉඩ සලසා පාලිත තත්ව තුල මීතේන් සීමාසහිතව අදිනවා.

උපරිමය මෙගාවොට් සීයක් බලශක්තිය නිපදවන්නත් පුළුවන්ලු. දැනට හදලා තියෙන්නේ මෙවො 25යි [මුළු මීතේන් ධාරිතාවය ගිගාවොට් සීයක් වසරක් පුරා නිපදවන්න ප්‍රමාණවත්] ඉලක්කය වනුයේ රුවන්ඩාවේ බලශක්ති වෙළඳපොළට එය විකුනන්න. කඳුකර රටක් වුනාට රුවන්ඩාවේ දුවන්නේ ඩීසල් පවර්. එය තමා කලාපයේ බලශක්තියට වැඩියෙන්ම ඒකක මිලක් ගෙවන රට.

ව්‍යාපෘතියට අනතුරු බොහොමයි. ගිනිකඳු කලාපයක වීම, විල පිපිරීමේ අවදානම දෙරටේ අස්ථාවර කම වගේ දේවල් පමණක් නොවේ, ව්‍යාපෘතිය නිසා විල විෂ වීම, පරිසර හානි, හරිතාගාර වායු පිටවීම, ව්‍යාපෘතිය නිසා ම ට්‍රිගර් වී විල පුපුරා යාම ආදී ලෙස විවිධ අවුල් ගොඩක්. ඒ නිසා මේ ව්‍යාපෘතිය සීරුවට කරන්න ඕනේ වැඩියෙන් මීතේන් අදින්නත් බැහැ. ඒ නිසා සැලසුමෙන් එක පාර අවදානම් අඩු ව්න්නේ නැහැ. සියුම් විදිහට කරපු දිගුකාලින සැලසුම අගය කල යුතුයි.

හැබැයි දැන් දෙවන අදියරට ආයෝජන නැහැල්ලු.

http://vagathuga.blogspot.co.uk/2015/04/blog-post_3.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල