විවිධාංග

දුව දුන්නෙමි කාර බැඳා

Off

 

ජනප්‍රිය පැරණි රසාංගයක් තියනවා, අහලා තියනවද, ‘දුව දීමට කාරෙ බැඳා’ කියලා ගීතයක්? අහලා නෑ? මේක පැරණි නූර්ති ගීතයක්. ඉස්සරනම් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නාලිකා වල නිතර ප්‍රචාරය වුන ගීතයක්. මෙය නූර්ති ගීතයක් බව මතක තිබෙන නමුත් කුමන නූර්තියේද, ගායකයා කවුද කියන එක දැන් මතකයෙන් ගිලිහිලා. මුල් ගීතය සොයන්න විශාල වෙහෙසක් දැරුව නමුත්, අන්තර්ජාලය පුරා තිබෙන්නේ, ගීතයේ නිවැරදි පදමාලාව නොදන්නා, පුස්සන් විසින්, විකාර රූපී ශෛලියෙන් උම්බෑ කියපු ගීත පමණයි.

අවසානයේදී, යන්තම් හෝ එකඟ වියහැකි ගායනයක් සොයාගත්තා. මේ ගීතය කලකට ඉහතදී, ජනප්‍රිය ගායක, එච්.ආර්. ජෝතිපාලයන් විසින් ගයා තිබෙනවා. ජෝතිපාලයන්ගේ පින්තූරයක් සහ ඔහුගේ ගායනයේ හඬ පථය යොදා ගනිමින්, එහි පදමාලාව කියවිය හැකි පරිදි, මා එය නැවත සැකසීමක් කළා. මේ පහත දක්වන්නේ, එසේ මා සැකසු නිර්මාණය වන අතර, එය, හුදු ඉදිරිපත් කිරීමක් විනා, උසස් නිර්මාණයක් නොවන බව, අවධාරණය කරන්නට කැමතියි.

https://www.youtube.com/watch?v=JzZrSRef4qI
මේ ගීතයේ ඇතුළත්ව තිබෙන්නේ, පැරණි සාම්ප්‍රදායික සිංහල සමාජයේ, චින්තනයේ ස්වභාවය බව, මොනවට පැහැදිළි වෙනවා. අද්‍යතන සමාජය, මේ අදහස් කිසිසේත් අනුමත නොකරන බව, අපි කවුරුත් දන්නවනේ. නමුත්, මේ චින්තනයේ නටබුන් තවමත් අප තුළින් සම්පූර්ණයෙන් ගිලිහී ගොස් නැති බවයි පෙනෙන්නේ. ඔබට මොකද හිතෙන්නේ?

හොඳයි, මේ තරම් දිග චූර්ණිකාවක් ඔබ වෙත ඉදිරිපත් කළේ, එක් වැදගත් කාරණයක් කියන්නයි. (මට වැදගත්) මගේ කණිටු දියණිය, පසුගිය අප්‍රේල් 22 වැනිදා, මනමාලියක වී වෙනම කැදැල්ලකට පියඹා ගියා. දියණියක ගෙදරින් යන දා ට, පියකු තුළ ඇතිවන හැඟීම කොතරම් සංවේදීදැයි, මටත් දැනුණා. මා තවත් පරිණත වූ බවත්, දැන් මා ජීවිතයේ ඉදිරි සැළසුම් දෙස, නැවත සළකා බැලිය යුතු කාලය එළඹ ඇති බවත්, හැඟුණා.

මේ කෙල්ල පොඩි කාලයේ මගේ ඔඩොක්කුවේ චූ කරන කාලයේ සිට සියල්ල, මංගල්‍යය දවසේ, යළිත් මතකයට ආවා. ඇය ඉපදුන දවසෙත් මා සිටියේ යුදබිමේ දිවි පිදූ මගේ රෙජිමේන්තුවේ සෙබළකුගේ අවමගුලට සහභාගි වෙමින්. ඒ කාලේ ජංගම දුරකථන තිබුණේ නැහැ. ඊට කළින් දවසේ, මා, රෝහලේ සිටින බිරිඳට පණිවිඩයක් යැව්වා, පසුදින, මා හමුදා අවමංගල්‍යයකට සහභාගිවීමට, රඹුක්කන ප්‍රදේශයට එන බව. මගේ බිරිඳ, දරු ප්‍රසූතිය සඳහා ඇතුළත්ව සිටියේ, කෑගල්ල රෝහලටයි.

දරු උපත දන්වමින්, පණිවිඩකරුවකු මා හමුවන්නට රඹුක්කනට ආවා. හමුදා අවමගුල් උත්සවයෙන් පසු, මා මගේ අණදෙන නිලධාරියාගෙන් ගුවන්විදුලි පණිවිඩයකින් ඇසුවා, මගේ භාරයේ සිටින භට පිරිස, බලලත් නිලධාරියකු භාරයේ ආපසු කඳවුර වෙත පිටත්කර, පැය 72 ක නිවාඩුවක් ලබාගන්නද කියා. නමුත් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප වුණා.

ආපසු කඳවුරට යන ගමන්, රෝහල අසළ වාහනය නවතා, අලුත උපන් දියණියවත්, ඇගේ මවත් බලන්නට රෝහලට ගියත්, එවකට එම රෝහලේ මාණ්ඩලික හෙදියක ලෙස සේවය කළ, මගේ අයියාගේ බිරිඳ, මට අම්මා සහ දරුවා ළඟට යන්න දුන්නේ නැත්තේ, මා අවමංගල්‍ය අවස්ථාවක සිට, දාඩිය පෙරාගෙන, පැමිණ සිටි නිසයි. දරුවා හරහට වඩාගෙන, අඩි පහක හයක පමණ දුර සිටයි, මට පෙන්නුවේ.

මේ දියණිය කුඩා කාලයේ මා යුදබිමේ සිටි නිසා, ඈ මා කවුදැයි හඳුනන්නේ නැතිවීම, මට මහත් වේදනාවක් වුණා. මාස කීපයකට වරක් නිවාඩු ලබා ගෙදර පැමිණිවිට, ඇය මා දකින්නේ යකෙකු ලෙසයි. එතරම් බියකින් ඇය කෑ ගසා හඬනවා, මා දුටුවාම. අද ඒ සියල්ල මිහිරි වේදනා ලෙස, මා හදවතේ තැන්පත්ව තිබෙනවා. මා ඇයව වඩාගෙන ඇත්තේ, හුරතල් කර ඇත්තේ, තෑගිබෝග ලබාදී ඇත්තේ, ගමන් බිමන් රැගෙන ගොස් ඇත්තේ, කොපමණ සීමිත වාර ගණනක්දැයි, සිතනවිට දුකක් දැනෙනවා.

ඇගේ මිතුරියන්, ඔවුන්ගේ දෙමව්පියන් සමග විනෝදවන හැටි, ඇය ඒ කාලයේ කියන්නේ, දුකක් මුසුවයි. ගමේ පාසලෙන් පහේ ශිෂ්‍යත්වය සමත්ව, කොළඹ ‘ලොකු ඉස්කෝලයකට’ ගිය ඇය, අපෙන් තවත් ඈත් වුණා කියලයි, මට ඒ කාලයේදීම හිතුණේ. නමුත් ඇය ඇයගේ විමුක්තිය සොයා ගියා. අන්තිමට ඇය නැවතුනේ මෙන්න මෙතන.

අනේ ඉතින් මේ කෙල්ල, තමන්ගේ අනාගතය සකසා ගැනීමේ හැම පියවරක්ම මෙතනදී ගත්තා. ඇයට ඇයගේ අනාගත සහකරුද මෙතනදීම හමුවුණා. (මෙතන කපුකම් කරන උන්නැහෙලත් ඉන්නවද මන්දා) දුවලා ඉන්නේ කවදා හෝ ගෙදරින් පිට යන්නනේ. මට බැද්දේගම කතාව මතක්වුණා. දුවක ගෙදරින් යනදා පියකු ගයන ගීත අතරින්, කොයි ගීතයද මෙතනට සුදුසු කියා මට හිතාගන්න බැහැ. තවත් ලියන්න ගියොත් මගේ මුළු හදවතම එළියට එන නිසා, මෙතනින් නවතිනවා.

මහේෂා – ගවීශ ඔබ දෙපළට සුබ අනාගතයක්!

DSC02826

http://wicharaka.blogspot.co.uk/2015/04/blog-post_27.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල