සඳැස් / නිසඳැස්

මඩකළපුවෙන් ආවට

Off

මඩකළපුවෙන් ආවට

මඩ ගාන්න එපා ජාතියට
පටවගෙන සුදු වෑන් එකේ මරල දැම්මට
ආදරේ මැරුණෙ නෑ තාම
නම ලියල හීරුවට බරක් නෑ
කැටපත් පවුරට

අප්පව මරපු කාශ්‍යප
බඹර විසේට රොන් ගන්න
නෙළුම් සුවඳ ලියන් එක්ක
පණ රැකගන්න හැංගුන සීගිරිය

අපි හිටියෙත් බයෙන් ගැහි ගැහී
කාශ්‍යපට වඩා ගොඩක්
බඹරු අහිංසකයි හත අටක් ඇන්නොත් මැරෙයි
බුලට් පියෑඹුවෙ අප්පව මරපු කාශ්‍යප වගෙයි

ලේ බිංදුවට වටිනාකමක් දුන්නු ඒ පොළොව
පිළී ගඳින් වෙන් කරා අපිව ඔහෙලව
ඉඳ හිටල මාළුවෙක් සිංදුවක් කිව්වට
අපි අප්පුඩි ගැහුවෙ බයට

අපි මඩකළපුවෙ දෙමළ
යාපනේ හදවත් උණු නෑ
අපේ කඳුළු ළඟ
හැබැයි උඹලට අපිත් දෙමළ

ආදරේ කරපු පපුවට
වෙඩි වැදිල ලේ පොඟල වැල්ලට
වැටිල හිටපු දුක ආවා මතකෙට
ඒකයි රිද්දෙව්වෙ කැටපත් පවුරට

ඉස්සරත් මේ පවුරෙ ලිව්වෙ
මං වගේ දුක දැණුනු උන් වෙන්නැති
ඒත් දැන් උන් කවියො
මම ත්‍රස්තවාදිනිය

නිමිත්ත – මඩකළපුවෙන් පැමිණි තරුණියක් කැටපත් පවුරේ ඇගේ පෙම්වතාගේ නම ලියයි. ඇය ඊට වරදකරුවී දෙවසරක් හිරේ යයි. ඇගේ පෙම්වතා සුදු වෑන් එකකින් පැහැරගෙන ගොස් පසුව මිනිය හමුවී තිබුනේ වසර ගණනකට පෙරදීය…….!

http://magekichie.blogspot.co.uk/2015/04/blog-post_90.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල