සංචාරක හා ඡායාරුප

යුද සමයේ විඳී අත්දැකීමක් !

Off

‘මගේ කාර්‍යාලයේ දී මා සමඟ සුහද සංවාදයක යෙදුනු දැනට සාමාන්‍ය පහේ කුලී වැඩ කරමින් ජීවත් වෙන ද්‍රවිඩ පුද්ගලයෙකු යුද කාලයේ දී එහි විසී, එම පරිසරය තුල ඔහු විඳී රසවත් හා විශ්මජනක​ අත්දැකීම් සමහරක් මා සමඟ බෙදා ගත් අයුරු මේ ලිපිය තුලින් ඔබට කියන්න​ අපේක්‍ෂා කරමි. දැනට මද්‍යම පලාතේ ප්‍රධාන නගරයක් අසල පිහිටි කුඩා ගමක තම දෙවෙනි බිරිඳ සම​ඟ සාමාන්‍ය ජීවිතයක් ගත කරන​ ඔහු කියා සිටියේ යුද්ධය බිහිසුනුවද​, කෲරද, අමිහිරිද එකක් වුවත්, සැබැවින්ම​ තමා එම සමය ගත කලේ විනෝදයෙන් පිරී කුතුහලයකින් යුතුව​ බවයි. වෙන්න යන දෙයක් ඔහේ වුනාවේ කියා ලැබෙන සුළු අවකාෂය පවා සතුටින් ගත කර​ හාමතේ සිටියා මිසක් ඒ දිනවල තම ජීවිතය ගැන කිසිම විශ්වාසයක් තබා නොසිටි බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය​’

මෙතැන් සිට ඔහු විඳී අත්දැකීම් ඔහුගේ වචනවලින්ම,

ඒ 2006 මැද හරියයි, ඒ විට​ අවුරුදු 26 වියේ පසු වූ මා කි ලිනොච්චිය අසල​ ඇති මාන්කුලම් නම් ගම්මානයේ වෙළඳාම ජීවනෝපය කරමින් සාමාන්‍ය ජීවතයක් ගත කරමින් සිටියෙමි. හදිස්සියේම​ දිනක්, එල්.ටී.ටීයේ සාමාජිකයන් පිරිසක්, අපේ ගමට පැමින මා ඇතුළු තවත් තරුණයන් පිරිසක්ද තරුණියෝ කිහිප දෙනෙක්ද​, බලෙන්ම අල්ලගෙන කිලිනොච්චියේ ඇති තම කඳවුරක් වෙත රැගෙන ගියෝය​. මෙය අප ප්‍රදේශයේ සාමාන්‍ය දෙයක්, හදිසි අවස්තාවක් ඇති වූ විට එල්.ටී.ටීයෙන් පැමින​ ඇවිත් තරුණ පිරිස් අල්ලගෙන යන්නේ කිසි කෙනෙකුගේ කැමැත්ත ගැන නොතකායි. ඔවුන්ට විරුද්ද වන්න කාටවත් බැරිය​, විරුද්දවන්නන්ට දන්ඩුවම මරණය දක්වා යන්නත් ඉඩ ඇත. ඒ නිසා කවුරුන්වත් ඔවුන්ට එරෙහිව වචනයක් හෝ කතා නොකරයි. අසරන වූ මව්පියන් තම දරුවන් බලෙන් රැගෙන යන එක වේදනාව විඳ දරාගෙන බලා සිටිය යුතුයි, වෙන කරන්න දෙයක් නෑ, හඞා වැලපීමෙන් පලක් නෑ.

අප ගැන විස්තර සටහන් කරගත් එල්.ටී.ටීයේ අය අප සියළු දෙනට කෙටි කල් පුහුනුවක් ලබා දුන්නෝය​. ආයුද පුහුනුවක්ද ඒ අතර විය​. පුහුනුවෙන් අනතුරුව එල්.ටී.ටීය අපව තම පාබල සේනාවේ සොල්දාදුවන් ලෙස අනුයුක්ත කර ගත්තේය​. නිදහසේ වෙළඳාමක් කරමින් ජීවත් වෙමින් සිටි මට එය මගේ ජීවිත අරමුන වෙනස් කල​ අවරෝධයක් විය, හිසට වැදුනු මරු පහරක් මෙන් වී අත පය බැඳ දමා මදිවට​ සිර ගෙයක හිරක තැබුවාක් මෙන්ද මට දැනුනි. අපේ නුරුස්සන කම් පෙන්වන පරිසරයක් නොවෙයි එය​. අපේ අකැමැත්තක අකැමැත්ත පැත්තක තබා ඔවුන්ට අවනත වී ඔවුන් කියන විදිහට වැඩ​ කරන එක නුවනට හුරු බව අපට තේරිනි. අප ඔවුන් කියන විදිහට කටයුතු කලෙමු. යුද පිටියේ දී බොහෝ විට ආක්‍රමනයන්ට ඉදිරිපෙලේ සිට ඝෘජුවම මුහුන දෙන්න සිදු වුයේ අපටයි.”නාන්ගල්තාන් අවර්ගලුඩය්‍යය පලි ආඩු” ඔවුන්ගේ කැප බැටලුවෝ අපම වීමු

මා සමඟ එකට සිටී වුන් උන්ඩවලට හසු වී වෙඩි වැදී මා ඉදිරියේම මැරී වැටුනේ මගේ ශරීරය සීතල කරවිමිනි. අනෙක් පැත්තෙන් ආමි එකේ අය මැරෙනවාත් මා දැක්කෙමි. ආමි එකේ අය නම් මැරෙන්නේ රට වෙනුවෙන්, එයින් ඔවුන්ට යම් කිසි ආත්ම තෘප්තියකුත් ඇති නමුත් මොවුන්? මේ මැරෙන්නේ කාගේ උවමනාවටද? සිය කැමැත්තෙන්මද? මොන එහෙකතද​? වැනි දේ හිතෙනකොට මට ඇත්තටම​ කලකිරීමක් ඇති විය​. ලේ වැගිරී ලේ විල් මත වැටී විරූපීව තිබූ ඔවුන්ගේ දේහයන් දැක සිතට මහත් වේදනා ඇති විය​. පෙර දී ඒවා දකිද්දී මට දරාගත නොහැකිව තිබූ නමුත් කල් යත්ම පුරුදු වී මට ඒවා සාමාන්‍ය දෙවල් විය​. මගේ මරණයේ ඒ මොහොත මං බලාගෙන සිටියෙමි.
කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යන්නට විය​, මා බලාපොරොත්තු වූ ඉක්මනින් මරණය මට නොපැමිනියේය​. කඳවුර තුල​ මුරන්ඩු කම් වලින් බැහැර හීලෑවූ බල්ලෙකු මෙන් හැසිරුනෙමි. මා යහ චරිතයක් (ඔවුන්ට අනූව) පෙන්වූ නිසාදෝ ක්‍රමක් ක්‍රමයෙන් ඔවුන්ට මා ගැන විශ්වාසයක් ගොඩ නැගෙන්න විය. ඔවුන්ගගේ විමසිලිමත් ඇසින් මට නිදහසක් ලැබිනි. පෙර තිබූ දැඩි බවෙන් ලිහිල් කර මට​ නිදහසේ සැරිසරන්න අවස්තාව ලබා දුන්නෝය​. යුද පෙරමුණට ගිය මුත් උන්ඩයකට හෝ හසු නොවී මගේ පන කෙන්ද බේරී, මගේ අවුරුදු දෙකක් ඒ තුල ගෙවී ගියේය​. ඒ අවුරුදු දෙක තුල මා ඔවුන්ගෙන් පැන යන්න උත්සාහ කල අවස්තා තුනකි. පැන ගිය ඒ සෑම අවස්තාවේම මට බඩ කට කට පුරා කන්න සිදු විය​. විමතියක් ලෙස​ ගුටි බැට​ දී නැවැත නැවතත් මාව​ සේවයේ යෙදවූවා මිසක් ඊට වඩා යමක් ඔවුන් නොකලෝය​.
‘කරුනා අම්මාන්’ වෙන්වී ආන්ඩුවට සහාය පළ කිරීම හේතුවෙන් නැගෙන හිර තම බලයෙ වඩාත් හීන වීම​ නිසාත් නොකඩවා එල්ල වූ ගුවන් ප්‍රාහාරයන් නිසාත් 2008 මැද බාගය වෙන විට වී එල්.ටී.ටීය පසු බහින්න විය​. පැන ගිය වුන් සිර කර තබමින් දඞුවම් නොකර එල්.ටී.ටීය ඔවුන්ව සේවයේ යෙදවීමේ හේතුව ඔවුන්ට තිබූ සොල්දාදු හීනතාවය නිසාම බව මට පසු වී වැටහුනී. ඒ අනූව​ එල්.ටී.ටීය අප වෙත​ තබා තිබූ ග්‍රහනයද ක්‍රමයෙන් ලිහිල් විය​, නැවතත් මට අවස්තාවක් උදා විය​. එවර මා ඔවුන්ගෙන් පැන ගත්තේ නැවත හසු නොවෙන්නම සිතාගෙනයි. එය ඒ ලෙසම සිදු වූ නිසාම​ නොවේද​ අද ඔබ ඉදිරියේ ඉඳගෙන​ මා ඒවා විස්තර කරන්නේ. එල්.ටී.ටීයෙන් පැනගෙන ගෙදර පැමිනි මා මගේ බිරිඳ හා දරුවන් තිදෙනාද කැටුව මාන්කුලම් සිට ‘ධර්මපුරම්’ වෙත ගියේ තම ගම අත හැර යන අනෙකුන් සමඟය. මගේ මතකයේ හැටියට එය 2008 අගෝස්තු 07 වෙනි දිනයි.

ඒ වෙනවිටත් අප ගම්වැසියන් තම ගම් බිම් අතහැර සංක්‍රමනය වීම අරඹා තිබුනොය​. ​ඒ තව දුරටත් අපේ ගම් අපට ආරක්‍ෂිත ස්තානයක් නොවූ නිසයි. ඉදිරියට දියුනුවෙන ආරක්‍ෂක හමුදාව එල්.ටී.ටීය වෙත එල්ල කරන ෂෙල් ප්‍රහාරද තම ආරක්‍ෂාව තකා එල්.ටී.ටීය එල්ල කරන ප්‍රතිප්‍රහාරද හමුවේ අප ගෙවල් දොරවල් විනාශ විය​. ඒවාට හසුවී දිවි පිදූ සිවිල් වැසියන් අප්‍රමානය​. තැනින් තැන කූඩාරම් අටවාගෙන ‘ධර්මපුරම්’ වල අප මාස හතරක් විසියෙමු. අග හිඟකම් තිබුනත් මා අතේ හා මගේ බිරිඳ අතේ කලින් ඉතිරි කර ගත් මුදල් තිබූ නිසා පෙර මාස දෙක එහි වාසය එතරම් දුෂ්කර එකක් නොවීය​. අතේ මුදල් නොතිබූ අයට උදව් කිරීමටත් අපට සිදුවිය​. හැකිතාක් අනුන්ට උදව් කිරීම මට ආත්ම තෘප්තියක් ගෙන දුන්නේය​. මුදල් වල වටිනාකමට වඩා මනුස්ස ගුණය මට​ ඉහලින් දැනුනි. මුදල් ඉතිරි කර ගැනීමක් ගැන සිත වැඩි අවදානයක් නොගත්තේය​. ඒ කොයි මොහොතේ හෝ අපට මොනම දේ හෝ සිදුවේ යැයි තිබුනු මානසිකත්වයයි.

සංක්‍රමණය වීමේ දී අපේ බඩු මුට්ටු ප්‍රවාහනය කර ගැනීම සඳහා මට ලක්‍ෂ දහයක් වියදම් විය​. ඔබ පිළිගන්න, ට්‍රැක්ටරේකට කිලෝ මීටර් අරික්කාලක ගමනකට මට රුපියල් 25000ක් දෙන්න සිදුවිය​. මාස දෙකක් ගත වෙත්ම අතේ තිබූ මුදල් අහවර වී අග හිඟකම් අපටත් දැනෙන්න විය​. තවමත් අතේ යහමෙන් මුදල් ගැවසෙන්නන්ද අප අතර සිටියහ. අමාරු තත්වයක දී වුවත් අනුන්ට අත පෑමට සිත ඉට ඉඩ නොදුන්නේය​. මගේ මව් උරුමයෙන් මාමා කෙනෙක් මට කල ඇරයුමක් නිසා මගේ පවුලේ අවශ්‍යතාවයන් සපුරා ගැනීම අරමුනු කරගෙන ඔහු සමඟ එකතු වී කසිප්පු පෙරන්න ඉදිරිපත් වුයෙමි. ඒ දිනවල එය සාර්තක ව්‍යාපාරයක් වූයේ, කන්න බොන්න නැතත්, ජීවිතය අවදානමේ තිබුනත් තරුණ මහලු වෙනසක් නැතිව සවසට කසිප්පු වලින් සප්පායම් වීම එහි කාගෙත් සිරිතක් වූ නිසයි.

යීස්ට් පැකට් එකක් රුපියල් දාහ බැගින් තුනක්ද​, රුපියල් එකසිය තිහ බැගින් සීනි කිලෝ තිහක්ද දමා කාඩියක් හදා ලැබෙන කසිප්පු බැරලය අප රුපියල් ලක්‍ෂයකට තොග වශයෙන් අලෙවි කලෙමු. අපෙන් මිල දී ගත් තොග වෙළෙන්දුන් ඕවා අලෙවි කලේ ජොග්ගුවක් රුපියල් එක්දහස් පන්සීයකටයි. එය මිල දී ගන්නත් පිරිස ආවේ පොරකමිනුයි. ජීවිත අවදානමක් තිබෙන මෙවන් පරිසරයක මේ තරම් ගජ වෙළඳාමක් ගැන ඔබට සිතා ගන්නවත් පුළුවන්ද? ඉල්ලුම වැඩි වීමෙන් අපේ කාඩිය එක දෙක වී, තුන හතර දක්වා දික් වී අපේ අත මිට නැවතත් සරුවෙන්න විය​.

අප ‘ධර්මපුරම්’ පැමින මාස සතරක් සපිරෙනවාත් සමඟම​ අප ජීවිතවලට හෙන පාත් වුනාක් මෙන් නැවතත් ෂෙල් වැටෙන්න විය​. ඒ වෙන විටත් යුද්දය උග්‍ර අතට හැරී තිබුනි, අප අටවා සිටී කූඩාරම් මතටත් ෂෙල් බෝම්බයන් පතිත වන්නට විය​. තව දුරටත් එහි රැඳී ඉන්න අපට බැරි වී අප වෙන ආරක්‍ෂක තැනක් සොයා 2009 ජනවාරි 17 වන දින අපේ ගමන ඇරඹුවෙමු. එවර ගිහින් අප නතර වුනේ ‘විශ්වමඩුවලයි’. ‘විශ්වමඩුවල’ අපට සතියකට එහා ඉන්න බැරිවුනේ ශෙල් ප්‍රහාර එහෙට්ටද පතිත වන්නට ඇරඹුනු නිසයි. අප එතනින්ද ඉවත් වී ‘තේරාවිල්’ ගියේ ආරක්‍ෂාව පාතාය​. ‘තේරාවිල්’ වලද තත්වය නරක අතට හැරුනු නිසා සතියක් නොඉක්මව තිබිය දී අප ‘ඉරුට්ටුමඩු’ ගියේ කම් කටොලු මැද දුෂ්කර ගමනක යෙදෙමිනුයි. එතන දින විස්සක් ඉඳ ‘වල්ලිපුරම්’ ගියෙමු, සතියකින් පසු නැවැතත් ගමන් කර 2009 පෙබරවාරී 07 ‘පුතුමාතලන්’ ගියෙමු. මගේ කතාවේ හැටියට පොදු දුෂ්කර කාලය එතනින් අහවර වන අතර ඒ වන විටත් යුද්ධයද හමුදාවේ ජයග්‍රනයක​ට බරව අවසන් අදියර වෙත​ පැමින තිබුනි.

‘පුතුමාතලන්’ පැමිනි දින කිහිපයකින් මගේ බිරිඳ හා දරුවන් ආරක්‍ෂක අනාත කඳවුරක් වෙත පිටත් කර යැව්වෙමි. මා ඇයව පිටත් කලේ ඇගේ අතේ රුපියල් ලක්‍ෂ දහයක මුදල්ද තබාය​. මා මුදල් සම්බන්දයෙන් සිදූ වූ සිද්දීන් ගැන මෙලෙස උලුප්පා කියන්නේ ඒ දිනවල අපට මුදල් කියන දේ නිකම්ම නිකං පත්තර කඩ​දාසියක් මිස​ වටිනා ලෙස යමක් නොපෙනුනු නිසයි. මා ඉහත කී සමහර සිදුවීම්ද, මා පහතින් කියන්න අපේක්‍ෂා කරන කාරනාද, ඔබට රුපියලේ හෝ වටිනා යැයි සිතූ දේවල් වටිනා කමින් හීන සූන්‍ය වූ හැටි කියා පායි. එපමනක් නොව ඔය වැනි දුෂ්කර අවස්තාවක දී වුවද ඔවුන්ගේ මිල දී ගැනීමේ බලයේ තරම මෙතන මනාව පෙන්නුම් කරයි. අප කඩෙන් ගන්න බීඩී නොව තල් කොලවල දුම්කොල තබා ඔතන ලද බීඩියක් රුපියල් සීයයක් මිල විය​. සුරුට්ටුවක් රුපියල් හැත්තෑවක් විය​. සිගරට් කියන්නේ ඒ දිනවල හීනයක් විතරයි.

‘ධර්මපුරම්’ ඉඳ විශ්වමඩු දක්වා මා ගිය ගමනේ දී යමෙක් අතෑර දමා ගිහින් තිබූ තැපැල් 90 මෝටර් සයිකලයක් හා ඒ මත බැඳ තිබූ උරයක තිබී ලැබුනු යීස්ට් පැකට් විසිහතරක් මට ලැබුනි. ඒවා භාවිතයෙන් ‘ඉරුට්ටුමඩුවේ’ දී මා කසිප්පු පෙරීමට උත්සාහ කල මුත් සීනි නොලැබීම නිසා අදහස අත් අරින්නට මට සිදු විය​. පසුව රුපියල් දාහ බැගින් ඕවා විකුනා දැමූ මට පසු දිනම සීනි ලැබීම නිසා මා එය විකුනූ ඒ තැනැත්තාගෙන් නැවැත මිලට ගැනීමට විමසූ අවස්තාවේ ඔහු මට කියූ මිලෙන් මට කලන්තේ ඇති විය​. යීස්ට් පැකට් එකකට ඔහු මට කියූ මිල රුපියල් 50000 කි. ඔළුව කැරකෙනව නේද අහනකොට​? මම රුපියල් 24000 දාහකට විකුනූ ඒ යීස්ට්ම, ඒවායේ වටිකාම ලක්‍ෂ 12ක් විය​. ඕං රුපියලේ වටිනාකමට ගිය කල​.

පොල් ගෙඩි තුනකට අත් ට්‍රැක්ටරයක් හුවමාරු වුනි ”ඇයි බං පොල් ගෙඩි තුනකට අත් ට්‍රැක්ටරයක් දුන්නේ උඹ එච්චර මෝඩද​” කෙනෙක් එම පුදගලයාගෙන් විමසූ විට ”මෝඩ මමද පොල් ගෙඩි දුන්න එකාද කියල උඹට තේරේවි ” කියා කීය​. ඔහු කීවා සේම පොල් ගෙඩි තුනෙන් තම කුසගින්න හෝ ඔහු නිවා ගත් අතර අත් ට්‍රැක්ටරය ගත්තු කෙනා අවසානයේ දී යන්න ගියේ එය අතර මග දමාය​. ත්‍රීපෝෂ පැකට් එකකට ත්‍රිරෝද රතයක්ද​, සීනි මිටියකට ජේර්නි බසයක්ද හුවමාරු වූ සිද්දීන් මා දනිමි. මා නොදැන ඔවැනී දේ කොපමන සිදුවන්න ඇත්ද​?
මීට අමතරව සිදුවූ තවත් සමහර රසවත් සිදුවීම්ද ඇත​, ඒ එල්.ටී.ටීයෙන් පැනල සිටී කෙනෙක් නිසා මට සැමවිට එහි මෙහි ගැවසෙන්න සිදු වුයේ විමසිලිමත්වයි. ඒ දිනවල​ මා අප හා සිටියවුන් අතර ගැවැසුනේ හිස කෙස් වවාගෙන රැවුල බාන්නේ නැතිව​, මදිවට කුනු ගැහිච්ච තුවායකුත් හිස පොරවාගෙනයි. වැරහෙළි වූ නාකීයෙක් විදිහට මිසක් අවුරුදු විසි නවයක ඉලන්දාරියෙක් කියා නොදන්න කවුරුත් මා ගැන​ නොසිතයි. දිනක් එල්.ටී.ටී සාමාජිකයන් පිරිසක් සංවිදානයෙන් පැන ගියවුන් සොයා පැමිනි අවසතාවක අසල තිබූ පිරිමියෙක් නොසිටී කූඩාරමකට මා ගොඩ වැදුනේ විකල්පයක් නොතිබූ නිසයි. එහි සිටි කාන්තාවගේ අතේ තිබී ඇගේ දරුවා උදුරා වඩාගත් මා යමක් කියා ඇයට මා බැන වදින්න වුයේ සැමියා බීරිඳකට බනින ආකාරයකටයි. තත්වය තේරුම් ගැනීමෙන්, කිසිත් නෝඟවා හිස පාත් කරගෙන මා එල්ල කරන බැනුම් සාමදානයෙන් අසා සිටී ඇය එම පිරිස යන තෙක්ම මට සහයෝගය දුන්නේ මගේම බිරිඳ ලෙසිනුයි. මෙවැනි සිදුවීම් ඒ සමයේ අනන්තවත් සිදුවුනා.

දිනක් මගේ බිරිඳ හා දරුවන් බංකරයේ නිදියන්න ඇර මා එළිමහනේ තල් ගසක්‍ යට නින්දට ගිහින් සිටි අවස්තාවක කවුරු හෝ කෙනෙක් එකවර මා නිදා සිටි පැදුරේ මා අසලම වැතිර මා වසා සිටි පොරෝනය ඇද තමාවද වසා ගත්තේය​ . මා අසල නිදා ගන්න පැමිනි කෙනා පිරිමියෙක් නොව ගැහැණියක්ම බව එම ශරීරයේ ස්වභාවයෙන් මට තේරුම් ගන්නවාත් සමඟම එතනට පැමිනි සංවිදානයේ පිරිසක් මාව කූද්දා, ”බංකරයේ නොනිදා ඔබ දෙදෙනා ඇයි මෙතන නිදා සිටින්නේ” ලෙස මගෙන් විමසුවෝය​. දරුවන් සමඟ බංකරයේ නිදා ගන්න බැරි යතාර්ත්වය ඉඟියකින් මා තේරුම් කර දීමෙන් සිනාවක් පෑ ඔවුන් එතනින් යන්න ගියෝය​. ඔවුන් ගියායින් පසු මට ස්තූති කර ඇය යන්න සැරසෙත්ම කොහේදෝ සිටි බූරු හැත්තෙක් අසලම ගැවැසෙමින් සිටී ඒ සාමාජිකයන්ගෙන්ම ”ඔවුන් ගියාද​” ලෙස ඇසීම නිසා ඔවුන් ඔහුව අල්ලාගෙන ගියෝය​. පසුව බංකරයේ සිටි මගේ බිරිඳට කතා කර එම කාන්තාව ඔවුන් සමඟ නිදා ගැනීමට මා සැලැස්වුයෙමි.

2009 අප්‍රේල් 14 හරියටම අලුත් අවුරුද්ද දිනයේ ‘පුතුමාතලන්’ වල දී මා හමුදාවට බාර​ වුනෙමි. එහි දී සැරෙන් සැරේ සෑම තරාතිරම් වලට යත නිළධාරීන්ගේ ප්‍රශ්න කිරීම් වලට මම මුහුන දුනිමි. පසුව මාව බූස්ස හමුදා බන්දනාගාරයට ගෙන යන ලදී. එහි මට මාස හතරක් සිටින්න සිදුවිය​. බූස්ස රැකවරනයේ දී, කොපි පොතක් අතේ තියාගෙන මා වෙත පැමිනෙන නිලධාරීන් ඒ කොපි පොත පිරෙනකන් මගෙන් ප්‍රශ්න අසා ලියාගෙන යයි. දිනකට එවැනි නිලධාරීන් දහ දෙනෙක් වත් මා වෙත පැමිනෙයි. සිදුවූ දේවල්ද සත්‍යයද මිස​ කිසි තැනක මා බොරුවක් නොකීවෙමි, මගේ සිංහල භාශාව හැසිර වීමේ හැකියාව නිසාද හමුදා නිලධාරීන්ට මා ගැන පැහැදීමක් තිබුනි​. පසුව හමුදාව මගින් වවුනියාවේ ඇති ගාමණී මහ විද්‍යාලයේ ඇති පුනරුත්ථාපන කඳවුරේ මාව රඳවා තබා ඉඳ​ මාස හයකින් පසු නිදහස් කලේය​.

මා මේ ලෙස නිදහස් වෙලා පැමින සිටියත් මා සමඟ හා නොයෙකුත් අවස්තාවන් වල භාර වුවන් හා අත් අදංගුවට පත් වුවන් තවද හමුදා රැකවරන තුල ඉඳීයි. මගේ එක් කුස උපන් සහෝදරයෙක්ද ඒ අතර වෙයි. ඔහු ජීවතුන් අතර ඉන්නවද, නැද්ද, කොහේද, කින්ද? මන්ද? මොකුත් ආරංචියක් නෑ. අවසන් වරට මා ඔහුව දැක්කේ පුතුමාතලන් වල දී අප සමඟ බස් රියට නගින අවස්තාවේ දීයි.

http://unmanthaka.blogspot.co.uk/2015/04/blog-post_26.html?showComment=1429898861514#c4733921715907660889

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල