සංචාරක හා ඡායාරුප

ලොල්ද මන්දා අංක 19: අනේ පුතේ මට නම් බෑ…… I can’t my son

Off

රාජකාරිය නිසාම කොළඹට සංක්‍රමණය වුණු එක්තරා වෘත්තිකයෙක්, කොළඹ නිවාස සිහිනය සැබෑ කර ගන්න සෑහෙන වෙහෙසක් දැරුවා. මුලින් බෝඩිමක ඉඳලා අධ්‍යාපනය කරපු මේ පුද්ගලයා පසුව හොඳ රැකියාවක් ලැබුණු පසු කාලය ගත කලේ කුලී නිවාස වල. පසුව තට්ටු නිවාස වල. තමන්ගේ පියාගේ වියෝවෙන් පස්සේ තමන්ගේ මවත් කොළඹ කැඳවාගෙන ආවේ බොහොම අකමැත්තෙන්. දන්නවනේ ගම් වල ඉන්න අපේ දෙමව්පියන් ගෙන්දගම් පොළවේ පය ගහන්න අකමැති බව. අම්මා ඉන්න එක මේ පවුලට විශාල සවියක් වුණ බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ගෘහ සේවිකාවක් හිටියත් තමන් නිවසේ නැති වෙලාවට හැම දෙයක්ම බලා කියා ගත්තේ මේ මව. සාමන්‍යයෙන් නැන්දම්මා – ලේලි ප්‍රශ්න තිබුනත්, මේ බිරිද ඉතාම ආදරයෙන් තමන්ගේ නැන්දම්මාට සැලකුවා. ඒ නිසා මේ දෙදෙනා, එකිනෙකාට ගරුත්වයෙන් සලකන ඉතාම ආදර්ශවත් දෙදෙනෙක් වුණා. බොහෝ දෙනා ඒ ගැන කථා වුණා.

මේ පවුල ඉතාම සතුටින් තමයි කාලය ගත කළේ. ඒත් මේ යට පොඩි ප්‍රශනයක් තිබුණා. ඒ නිවාස ප්‍රශ්නේ. මේකෙදී අම්මා සහ පුතා හිටියේ දෙපැත්තක. අම්මට උවමනා වුණේ ටිකක් ලොකු ඉඩමක මැද්දට වෙන්න හදපු තනි තට්ට්ටුවේ නිවසක්. ඒත් පුතා සහ බිරිඳ එදිනෙදා ජීවිතයේ පහසුව ගැන හිතුවා. එයාලා කැමති තට්ටු නිවාසෙකට. නමුත් එයාලගේ අම්මා නිතරම කියන කතාවක් තමයි.

“බලන්න පුතේ මේ ගෙදර කෙනෙක් කැස්සත්, අල්ලපු ගෙදර ඇහෙනවා, කතා කරන දෙයක් වුනත් ඇහෙන්න බැරි නෑ. ඒ වගේද ඉඩමක් අරගෙන ගෙයක් හදා ගත්තම”

“ඒ වුණාට අම්මේ, ඒවා වියදම් යන කරදර වැඩ”

පුතා එහෙම කිව්වම අම්මා නිහඬ වුණා. මොකද ගමේ ඉඩම් කඩම් විකුණලා ළමයින්ට උදව් කරන්න තිබුණ අකමැත්තට වඩා ඇයට තිබුණේ, පරම්පරා දේපල විකුණන්න තියෙන අකමැත්ත. නමුත් මේ යුවල ඉතා ධෛර්යසම්පන්නයි. කොහොම හරි මුදල් එකතු කරලා. බැංකු ණයකුත් අරගෙන අලුතෙන් කොළඹ ඉදි වෙන තට්ටු නිවාස සංකීර්ණයක කොටසක් වෙන් කර ගත්තා. පුතාට මේක අම්මා එක්ක කියනකම් සතුටක් නෑ. ඔහුගේ බිරිඳට මෙය අලුත් පුවතක් නෙවෙයි. දෙදෙනාම එකතු වෙලා තමයි මේ එපාර්ට්මන්ට් එකට සල්ලි බැන්දේ. ගෙදර ආව ගමන් පුතා අතේ තිබුණ ලොකු සඟරාවේ තිබුණ පින්තූරය අම්මට පෙන්නුවා.

“අම්මේ අපි මෙන්න මේකෙන් තමයි අලුත් එපාර්ට්මන්ට් එක ගත්තේ. අපි ටිකක් වැඩියෙන් ගෙවලා මෙන්න මේ කෑල්ලෙන් තමයි ගත්තේ”
තම පුත්‍රයාගේ දබරැඟිල්ල යොමු වූ තැනට තම උපැස් යුවල හරහා දෑස් යොමු කල මවගේ නළල් තලය රැලි ගන්වමින් සිහින් දාඩිය බින්දු කිහිපයක් මතු වුණා.

“ඇයි පුතේ වැඩිපුර ගෙවලා මේ කෑල්ලෙන් ගත්තේ. අනිත් පැත්තෙන් ගන්න තිබුණානේ. මම නම් මේ ගෙදරට එන්නේ නෑ. මේ නහින – දෙහින කාලේ ඉන්න මට ඔය ගෙවල් වල සර්කස් පෙන්නන්න තරම් හයියක් නෑ. පුතාල එහෙ යන්න මම ගමේ යන්නම්”

“මම දන්නවා අම්මා එපාට්මන්ට් වලට අකමැති බව. මේවා හොදට සැලසුම් කරලා හදන ඒවා. මේ ගෙවල් වලින් සද්දේ එහා-මෙහා යන්නේ නෑ”

ඇයි අම්මේ මේක කොයි තරම් ලස්සන තැනක්ද ? ගෙදර බැල්කනියට ආවම පේන්නේ බේරේ වැව, ගංගාරාම පන්සල, වික්ටෝරියා පාක් එක.

එහෙම කිව්වේ අපේ මිතුරාගේ බිරිඳ.

“ඒකනම් කමක් නෑ. සද්දේ අඩුවෙන් කථා කළා කියමුකෝ. දැන් ඔය ගෙදර හිටගන්න වෙන්නේ ඇදේට, ඇවිදින්න වෙන්නේ ඇදේට, නිදා ගන්න වෙන්නේ ඇදේට ඔය ඔක්කොමත් හරි වැසිකිලියට යන්න වෙන්නෙත් ඇදේට. මේවා ගන්න කලින් පොඩ්ඩක් හිතුවේ නැද්ද ? මේ පොඩි එවුන් හැම තිස්සෙම වැටෙයි. ලිපේ තියෙන කෑම බිමට වැටෙයි”

එතකොට තමයි අපේ මිත්‍රයාට කාරණේ වැටහුණේ. සැනසුම් සුසුමක් හෙළන ගමන් ඇති වුණ මද සිනාවත් සමග බිරිදගේ මුහුණ දිහා බැලුවා. ඇයත් සමාන සිනහවකින් මුව පුරවාගෙන.

altair

තවමත් මූලික අදියරේ තියෙන මේ ගොඩනැගිල්ල හදන්න පටන් ගත්තම මේ වගේ කථා අහන්න ලැබෙන්න පුළුවන් නිසා ඔන්න මම කලින්ම ඒ ගැන සටහනක් තිවුවා.

http://awidda-paya.blogspot.co.uk/2015/04/19-i-cant-my-son.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed:+blogspot/DxLND+(%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B6%BA+…..

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල