සංචාරක හා ඡායාරුප

වද විඳ විඳ මුරුගා දෙවිදුන් යදින නල්ලූරය

Off

යාපනය නගරයට සේන්දුවන නුවර කොළඹ මහමාර්ගය දෙපස දසුන් දකින විට සිතේහි පැල පදියම් වන්නේ ප්‍රශ්නාර්තයකි. ඒ මේ දුෂ්කර, ශුෂ්ක පළාත රටක භූ දේශපාලනයෙහි කෙරෙහි කෙතරම් වැදගත් කමක් ඉසුලුවේ මන්දැයි යන්නය.

මේ භූමිය අයිතිය වෙනුවෙන් සියවස් ගනනාවක තිස්සේ අඩුම තරමින් සියවස් දහයකටවත් එපිට සිට නොයෙක් ආකාරයේ අරගල, යුද වැදීම් සිදුවිය. මැත භාගයේ නොනවත්වා තිස් අවුරුදු යුද්ධයකට අපි මැදිව සිටියෙමු. එහෙත් අද දිනද ඒ අරගලය ස්වරූපයේ වෙනස්කම් මධ්‍යයේ සිදුවෙමින් පවතී.

නල්ලූර් කෝවිල යනු ඒ අරගලයන්ට මැදිවුණු ඒ අරගලයන්හි ජාති ආගමික බේදයකින් තොරව ගලාගිය ලෙයින් තෙත් වූ පුජා භූමියකි.

නල්ලූර් කෝවිල ආගමික සිද්ධස්ථනයක් වන්නා සේම යාපනයේ දේශපාලන ඉතිහාසයේ ද මතක සටහන් ගන්නනාවක් ඇති ඓතිහාසික භූමියකි.

මේ ඓතිහාසික නල්ලූර් කොවිල යානනයේ අභිමානය ලෙස හැඳින්වීම වරදක් නොවේ.

රාජ්‍යයේ ආරම්භය පිළිබඳව නිශ්චිත තොරතුරු හිඟයක් තිබුණද යාපනය රාජධානියක්ව ගොඩ නැගුනු යුගයේදී එනම් ඉතිහාසික තොරතුරු අනුව ක්‍රි.ව. 1215 – 1619 යුගයේදී පැවැතුණු ආර්ය චක්‍රවර්ති රාජ්‍ය යුගයේදී හින්දු ආගමික සිද්ධස්ථානයන් යාපනය ආශ්‍රිතව බිහිවිය.

නමුත් නල්ලූර් කෝවිලේ බිහිවීම ගැන සඳහන් වන්නේ කෝට්ටේ රාජධානිය කරගෙන සිටි හයවැනි පැරකුම් රජ දවස (1450 )යාපනයේ ආර්‍ය චක්‍රවර්තී පාලනයට එරෙහිව සටන් කොට ඒ ජයගත් සෙනෙවියාද වන කෝට්ටේ රාජධානිය වෙනුවෙන් යාපනය පාලනය කළ සපුමල් කුමරු (සෙම්බපෙරුමාල් නමින්ද හැඳින්වෙන) විසින් කතරගම දෙවියන් උදෙසා මේ කොවිල ඉදිකළ වගය. මෙහි කතරගම දෙවියන් උදේසා ගැයෙන ස්ත්‍රෝත්‍ර වල මේ සපුමල් කුමරු ගැනද සඳහන් වේ. පැරකුම්බාහු රජුගෙන් පසුව රජවූ බුවනෙක බාහු රජ සමයේදී මෙම කෝවිලෙහි වතාවත් ඇ‍රැඹුණු බවද කියැවේ. සිංහල ජනතාව කතරගම දෙවියන් ලෙස යදින්නේද මෙම මුරුගා දෙවියන්මය

නල්ලූර් කොවිල හා සැබැඳි තවත් දකුනේ යුධ සෙනෙවියකු ගැන පුවතක් තිබේ. ඒ පෘතුග්‍රීසින් හා සටන් කරීමට යාපනයේ පාලකයන්ගේ සහය පතා යාපනයට ගිය රණ ශූර සෙනෙවියකු වූ වීදිය බණ්ඩාර ගේ ඝාතනය සිදුවූයේද මේ නල්ලූර් කෝවිල් පරිශ්‍රයේදීය. වීදිය බණ්ඩාර හා මුහුනට මුහුනලා සටන් කල නොහැකි තේන මේ කොවිල් භූමියේ තිබු නුග ගසක සැඟව සිටියකු විසින් එල්ල කරන ලද ඊ පහරකින් වීදිය බණ්ඩාරව ඝාතනය කර තිබේ.

Nallur5

කෙසේ නමුත් පෘතුගීසී ආක්‍රමනයත් සමඟ යාපනය රාජධානිය මුළුමනින්ම විනාශ විය

1617 දී යාපනය රාජ්‍යයට උරුම කරුවෙකු නොවු 11 වන සංගිලි පෘතුගිසීන් හා ගැටුනේය. සංගිලි පරාජය විය. එයින් පසු එතෙක් යාපනය රාජධානිය පැවති ස්වාධීනත්වය 1619 දී නිමාවට පත්විය.

පෘතුග්‍රීසින් විසින් යාපනයේ අනන්‍යතාවයන් මුලුමනින්ම පාහේ විනාශ කරනු ලැබීය. මුල් නල්ලූර් කෝවිලද ඒ අනුව විනාශ කරනු ලැබීය.

යාපනයේ ඇතැම් පිරිස් හී මතය අනුව යාපනයේ මුල් නල්ලූර් කෝවිල පිහිටියේ අද ශාන්ත ජේම්ස් පල්ලිය නමින් හඳුන්වන ක්‍රිස්තියානි පල්ලිය පිහිටි බිමේය.ඒ මුරුගා දෙවිදුගේ කුඩා ප්‍රතිමාව එම තිබූ තැනම තිබෙන්නට ඉඩ හැර එදා එම පල්ලිය ගොඩ නැගීමට එවකට එහි කම්කරුවන් ලෙස කටයුතු කළ හින්දු භක්තිකයන් විසින් සිදු කළ බව කියැවෙයි. ඒ අනුව එදා හින්දු භක්තිකයන් වන්දනාමාන කළ මුරුගා දෙවියන්ගේ ප්‍රතිමාව අදත් ඇත්තේ මේ පල්ලියේය. ඒ අල්තාර පි‍ටුපස තවමත් සුරක්ෂිතව තිබෙන අතරඑම ප්‍රතිමාව දකින්නට පුළුවන. නමුත් ඊට එම පල්ලියේ ප්‍රධාන පූජකවරයාගේ කැමැත්ත අවශ්‍යය. අද ඊට දැන හෝ නොදැන වන්දනා කරන්නේ කිතුනුවන්ය.

Nallur8

අද නැවත් ගොඩ නගනු ලැබ තිබෙන නල්ලූර් කෝවිල 18 වන සිය වසේදී කරවන ලද්දකි. මෙම කෝවිල ගොඩනඟා තිබෙන්නේ පෞද්ගලික ඉඩමකය. එම හේතුවෙන් මෙම කෝවිලට හිමිකරුවක්ද සිටී.

ඒ කෙසේ වුවත් අද ඓතිහාසික උරුමයක් බවට පත්ව ඇති නල්ලූර් කෝවිලේ ඉතිහාසික තොරතුරු අනුව මේ නව ගොඩනැගිල්ල පැරනි ගොඩනැගිල්ලට වඩා හාත් පසින්ම වෙනස් වූවකි.

ඉන්දීය සම්භවය සහිත දෙමළ ජනයා විසින් 10 වෙනි සියවසේ සිට සාදන ලද කෝවිල්, විජයනගර් යුගයේ මදුරෙයි සම්ප්‍රදායට අයත් විය. මධුරෙයි සම්ප්‍රදායෙහි කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ ඉතා අලංකාර වූත් අඹන ලද රූප විශාල ප්‍රමාණයක් සහිත කුලුණ හෙවත් ‘ගෝපුරම්’ නමැති අංගයයි.

කෝවිලට ඇතුලු වන දොරටුවට ඉහළින් මෙය එක්කර තිබුණි. යාපනය රාජ්‍යය තුල තිබූ එකී සම්ප්‍රදායේ ඉතා වැදගත් ආගමික ගොඩනැගිලි කිසිවක් පෘතුගීසීන් විසින් කරන ලද විනාශයේදී ඉතිරි නොවුනි.

Nallur4

යාපනය නගර මධ්‍යයේ සිට කිලෝමීටර් දෙකක් පමන පේදුරු තුඩුව මාර්ගයෙහි යන විට නල්ලූර් කන්දසාමී කෝවිලෙහි පිහිටීම වෙති. ඉපැරනි යාපනය රාජධානියේ නල්ලූර් නමැති අග නගරය ගොඩ නගන ලද්දේ දොරටු සහිත පිවිසුම් ස්ථාන හතරකින් යුතුවයි. පිවිසුම් දොරටු හතර කෝවිල් හතරකින්ද ප්‍රධාන පාරවල් දෙකකින් ද යුක්ත විය.

රජවරුන් සඳහාද පූජකයින්, සෙබලුන්, සහ වෙනත් සේවා සපයන්නන් සඳහා උසස් තත්වයේ ගොඩනැගිලි ඇති අතර උස් පවුරුවලින් යුත් පැරණි නල්ලූර් කෝවිල පරිශ්‍රය ආරක්ෂිත බලකො‍ටුවක් වශයෙන්ද ක්‍රියාත්මකව තිබී ඇත.

නල්ලූර් කෝවිලෙහි වාර්ෂික තේරු මංගල්‍යය සැම වසරකම අගෝස්තු මාසයේදී ඇරඹේ. මෙහිදී සැරසිලි වලින් අලංකාර කරන ලද කන්දස්වාමි පිළිරුව කෝවිලෙන් පිටතට ගෙන පෙරහරකින් කොවිල් පරිශ්‍රය වටා ගෙන ගොස් විශේෂ් පූජාවන් පවත්වනු දකින්නට පුලුවන්. හින්දු ආගමිකයන් අතර ප්‍රචලිත කාවඩි වැනි නර්ථනයන්, වාදනයන්, භජන් ගායනයන් මෙන්ම දෙවියන් කෙරෙහි වන භක්තිය පෙන්නුම් කරන ශරීරයට ක‍ටු ගැසීම වැනි දැද දැකිය හැකියි

නල්ලූර් කොවිලේ පිවිසුම් දොර‍ටුව ද්වාර පාලක රූප දෙකකින් හා සීනු කණු හයක් මත ගොඩනැගුණු අංගනය විසිතුරු චිත්‍ර වලින් හා කැටයමින් ගැවසී ගනියි. ඉන් අනතුරුව ශිව, පාර්වති, ගණ, ලක්ෂ්මි, භද්‍රකාලි යන සියළු දෙවිවරුන් වැඳුම් පිදුම් ලබන දෙවොලයි.

ඊසාන දෙසින් සිදම්බරම් මණ්ඩපයද උතුරින් නාන්දවනම් වසන්ත මණ්ඩපයද නැගෙනහිරින් යාග මණ්ඩපයද දකුණු පසින් තීර්ත කේනි මණ්ඩපයද පිහිටයි. දෙවොල මැද, තඹ කැටයමින් විභූතිමත් කරන ලද දොරටු සතක් එපිටින් දේව රූප දිස් වෙයි.

වේට්ටියෙන්ද පූන නූලෙන්ද සැරසී ගත් පූජකවරුන් පූජා වතාවත් පවත්වන අතර උඩු කය නිරුවත් පිරිමි (උඩුකය නිරුවත්ව හැර පිරිමින්ට කොවිල තුලට ඇතුලු වීමට නොහැකිය) සහ නෙක පැහැ සාරි වලින් සැරසුණු කාන්තාවෝ බැතිබරව වැඳ වැටෙති; නමස්කාර කරති. මුරුගා දෙවිදුන් ගේ පිහිට ලැබීමට නම් වද වේදනා විඳිමින් යැදිය යුතුය. ඒ ගැන වූ ජන කතාවකින් කියවේන්නේ මුරුගා දෙවිදුන් සිය ආදර වන්තිය වූ වල්ලි අම්මා රහසේ ගෙන යමින් සිටියදී හමුවූ දෙමළ ජාතිකයන් දෙදෙනෙකුගෙන් නවාතැන් පහසුකම් සලසා දෙන්නැයි ඉල්ලා සිටීමේදී ඔවුන් ඒ නොසලකා හැරිය බවයි. පසුව වැද්දන් විසින් එම දෙපලට සත්කාර කර තිබේ.
මේ මුරුගා දෙවිදුන් බව පසුව දැන ගෙන දෙමල ජාතිකයන් ඔහු වන්දනය පිණිස පැමිණි විට බිම බඩ ගාගෙන වද විඳවිඳ පැමිණිය යුතු බව ඔහු පවසා ඇත. මේ හේතුවෙන් අදත් මුරුගා දෙවිඳුන් වැඳීමට ක‍ටු ගසා ගැනීම ගිනි පැගීම දන ගෑම බිම පෙරලීම ආදීයෙහි හින්දු භක්තිකයන් යෙදේ. ඒ වෙනුවට වැදී ජනතාවට මුරුගා (කතරගම) දෙවොලට එකතුවන පඬුරු පාක්කුඩම් වලින් පංගුවක් වාර්ෂිකව ලැබේ.

Nallur2

මේ වර්ණවත් අලංකෘත මේ දෙවොල මධ්‍යයේ ආගාර , ඝන්ඨා , සීනු නගන හඬ මෙන්ම පිලිස්සෙන කපුරු සුවඳ පහන් ආලෝකය කන්දස්වාමි නැතිනම් මුරුගා දෙවියන් වැඩ සිටින විමන හැර මේ අන් තැනැකයි කිසිවකුට සිතෙන්නට නුපුලුවන.ස්ත්‍රෝත්‍ර ගායනා අතරින් උස්ව නැගෙන ‘හරෝ හරා’ නාදය අප දෙවියන් වෙත පියනැගුවා වැනි හැඟීමක් ඇති කරවයි

මේ හින්දු ආගමික වතාවක් වුවත් මේ උත්සවයට විවිධ ආගම්වල බැතිමතුන්ද සහභාගිවීම සුලභ දසුනක්.ඒ දෙවියන් හමුවේ කවරකුවත් මිනිසුන් වනවා හැර වෙනස්කම් සහිතවුන් නොවන බව මේ බැති මතුන් දන්න නිසාය. මුරුගා දෙවි පිහිට යදින්නෝ සියල්ලෝ මිනිසුන්ය.

එහෙත් මේ මිනිසුන්ම විටෙක දෙවියන් බෙදාගත නොහැකිව සටන් කරති. විටෙක දෙවියගේ භූමියට සටන් කරති. නල්ලූරය ඇත්තටම ඓතිහාසික වන්නේ මේ මිනිස් කම් දෙස සියවස් ගනනාවක් වෙනස්කමකින් ‍තෝරව බලාසිටිනා දෙවියකු එහි වැඩ සිටින බැවින් යැයි සිතේ..

Nallur1

Nallur7

Nallur3

Nallur6

 

 

http://www.lankadiscovery.com/urumaya/item/249-2015-02-10-09-38-30

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල