සංචාරක හා ඡායාරුප

නුවර එළි සංචාරේ…අතරමඟ කලබැගෑනි.. Tour to Nuwa Eliya – Troubles on the way

Off

අප්‍රේල් මාසෙ ඉතින් යනවා නම් යන්ඩ ඕනි නුවර එළියෙම තමයි කියලා හැමෝම කියන නිසාම මමත් පෙරුම් පුරලා පෙරුම් පුරලා තමයි මේ ගමන යන්න සේරම සැලසුම් හැදුවෙ…
මේ වගේ සංචාරෙකට පස් මහ බැලුම් ම බලන්ඩ වෙන නිසා…ඒ කිව්වෙ ඔෆිස් එකෙන් නිවාඩු ගන්ඩ ඕනි..වැඩ බලන්ඩ කෙනෙක් දමන්න ඕනි..අප්‍රේල් මාසෙ හැමෝම නිවාඩු වැඩියෙන්ම ගන්න මාසෙ හින්දම..මේක හරි අමාරුයි..නුවර එළියෙ නවාතැන් අප්‍රේල් මාසෙ හොයන එක ට වඩා ලේසියි ඉබ්බන්ගෙන් පිහාටු හොයන එක..අවුරුදු පස්සෙ දින 3ම මම වැඩ කරන්නම් කියලා ඔෆිස් එකේ අනිත් අයව යොමු කළා මම නිවාඩු ගන්න දවස් දෙකට.. ඒක හරි
දැන් නවාතැන් ?
අපේ ඔෆිස් එකේ නවාතැන උණත් ඉතින් බොහොම බරපතල විදියට පාවිච්චි වෙන්නෙ අප්‍රේල් මාසෙ..හැමෝම වෙන් කරගන්න දඟලන මාසෙනෙ…වාසනාවකට වගේ ආයතනය තීරණය කරලා තිබුණා නවාතැන වෙන් කිරීමේදී ආයතනයේ අයට ප්‍රමුඛතාවය දෙන්න. ඒ නිසාම මට අවශ්‍ය දින දෙක අප්‍රේල් 18 සහ 19 දෙක මම මුලින්ම වෙන් කර ගත්තා. දැන් ගමන යන්න ඉන්න අනිත් අය ගැන බලන්නත් ඕනිනෙ..අක්කයි ඒ අයගේ පවුලයි, මල්ලියි ඒ අයගෙ පවුලයි..සේරම 8 දෙනෙක්.. ඒ අයගෙත් නිවාඩු සේරම සැලසුම් කරගෙන…ඒ අය නම් පිටත් වෙන්නෙ ඉස්සෙල්ලා බණ්ඩාරවෙල, බදුල්ල අනිත් ඥාතින්වත් බලලා කරලා එන්නයි ලෑස්තිය දැන්..මම හිටියෙ සෙනසුරාදා මෙහෙන් පිටත් වෙලා ඒ අයට එකතු වෙන්න..
ඒත් අන්තිම මොහොතේ වෙච්ච එක සිදුවීමක් නිසා අපිට සිද්ධ උණා අපේ සංචාරය තව දවසක් එහාට තල්ලු කරන්න. ඒ කියන්නෙ 19 සහ 20.. ඒකත් අමාරුවෙන් හරි එහෙ මෙහෙ කර ගත්තා කියමුකො…
මට යන්න වෙන්නෙ එක්කො බස් එකේ නැතිනම් ට්‍රේන් එකේ..
කෝච්චි කාල සටහන් බලද්දි මුල්ම එක 5.55 ට පටන් ගත්තහම උදේ වරුවෙ 7 කුත් ගානට සහ 8 කුත් ගානට තව දෙකක් තිබුණා. යනවා නම් 5.55 එක නැතිනම් බෑ කියලා හිතුණ නිසා බස් එකේ යන්න තීරණය කළේ ඔච්චර උදෙන් නැගිටින්ඩ පුළුවන් කාටද කියන නොරිස්සුම් සිතුව්ල්ලත් එක්කම තමයි..
ඉස්සර වෙලා වාහනේක ගිය අක්කලා නිසා මගේ මගේ ගෙනියන්ඩ තිබුණු ඇඳුම් කැඩුම් බොහොමයක් වාහනේම පටවලා ඇරපු නිසා මට ගෙනියන්ඩ තිබුණෙ කැමරා බෑග් එකයි තව පොඩි පොඩි කළමනා කීපයකුයි විතරයි… රෑ නිදියනකොට උණත් හිතුවෙ බස් එකේ තමයි යන්නෙ කියලා..මගදි කන්නයි බොන්නයි කියලා බිස්කට් පැකට් එකකුයි අර ශක්ති ජනක පානය කෑන් දෙකකුයි දමා ගත්තා. බස් එකේ යන නිසා උදෙන්ම නැගිටින්ඩ ඕනි නැහැනෙ එලාම් එක තිබ්බා උදේ හයට..
පාන්දර ඇහැරුණා…හය වෙන්ඩ ඇති කියලා හිතුවත් හත් වලාමයි පාන්දර හතරයි..අනිත් පැත්ත හැරිලා නිදියන්න හිතුවත්..ම්ම්හ්හ්හ් නින්ද නම් පැත්ත පළාතකටවත් එන්නෙ නැහැ..හතර හමාරට නැගිටලා මූණ කට සෝද ගෙන ලෑස්ති උණා..4.45 යි. පාරට බැස්සා..හයිලෙවල් පාරට එනකොටම බස් එකක් තිබුණා. කොටුව ස්ටේෂන් එකට එනකොට 5.30 යි…එතකොට මතක් උණා කෝච්චිය තියෙන්නෙ 5.55 ට කියලා. වෙනස් කළා තීරණය මෙන්න කොල්ලා කෝච්චියෙ දෙවැනි පංතියෙ..
අසුන් බොහොමයක ජනේලෙ ළඟ අසුන පිරිලා තිබුණත් අනිත් අසුන හිස්…මමත් හොයලා හොයලා එක අසුනක ඉඳ ගත්තා එතන ජනේලෙ ළඟ අසුනෙ හිටිය තරුණයා නුවරින් බහිනවා කිව්ව නිසා මට එතනට යන්න පුළුවන් කියන සිතුවිල්ලත් තිබුණා..ඒත්…
කෝච්චිය අදින්න ඔන්න මෙන්න තියා මෙන්න හාමුදුරු නමක් වඩිනවා බොහොම වේගයෙන් සීට් හොය හොයා…අනේ සුපිංවතුණි මගේ ළඟ හිටිය හාදයගේ බුද්ධාලම්බන ප්‍රීතිය ඔද වැඩිලා දුන්නා කියහංකො අර සීට් එක හාමුදුරුවන්ට..දුන්නා නෙවෙයි පූජා කළා …
මට එසැනින්ම මතක් උණේ දුමියගෙ කට කහන කතාව..හෆොයි පස්ස උස්සලා බෙල්ල අනිත් පැත්තට කරකවලා බැලුවා පිටිපස්සෙ සීට් එකක් වත් හිස් නෑ..මගේම වෙලාව.. ඕ.පු කියලා හිත ශ්‍රද්ධාවෙන් පුරවා ගෙන මමත් ආයිමත් මගේ ආසනේ වැඩ හිටියා..වැඩ හිටියා නෙවෙයි ඉන්ද උණා…
මහත්තයා වඩින්නෙ කොහාටද ?
මම නානු ඔයට හාමුදුරුවො යන්නෙ ?
මම නම් නුවරට
හම්මේ ආයිමත් හිත නිවුණා…ඕනි එකක් නුවර විතරයිනෙ කියලා හිත හදා ගත්ත මම.. කොයිකටත් කියලා දන්න ධර්ම කරුණු සියල්ලම මතකෙට ගත්තෙ..එන ඕනිම ප්‍රශ්නෙකට නොබියව මුහුණ දෙනවා කියලා..කරුමෙයක් තියේ නම් ගෙවෙන්නම එපාය…
ඔය අතරේ තමයි මගේ අහෝසි කර්මය පල දෙන්න ගත්තෙ…
අර හාමුදුරුවන්ට සීට් එක දීපු…දීපු නෙවෙයි පූජා කරපු හාදයා එක්ක හාමුදුරුවො අල්ලාප සල්ලාපයක් පටන් ගත්තා. අර හාදයා මම ළඟ හිට ගෙන මගේ උරහිස්සට හේත්තු වෙලා,  ..හාමුදුරුවො මගේ අනිත් උරහිස්සට හේත්තු වෙලා.හේත්තු වෙලා නෙවෙයි සැතපිලා  …..ගිරේට අහු වෙච්ච පුවකෙ වගෙ..හාමුදුරුවො රට රට වල් වල ගිය – ගිය නෙවෙයි වැඩපු – විස්තර අර තරුණයට කියනවා. ඒ හාදයත් නිකන් ඉඳලා නෑ. රට වටේ වැඩපු , වැඩපු නෙවෙයි ගිය විස්තර කියවනවා..නරකමත් නෑ..මමත් සමහර සමහර කරුණු හිතේ ධාරණය කර ගනිමින් හිටියා…
අතරමඟදි බිස්කට්, කෑම බීම වගේ දේවලුත් හුවමාරු උණා. මම පුරුද්දක් විදියටම යන ගමන් බිමන් වලදි අනුන් දෙන කෑම නොකන නිසා ස්තූති පූර්වකවම ඒවා ප්‍රතික්ෂේප කළා…
කොහොමින් කොහොමින් හරි අට හමාර වෙනකොට කෝච්චිය නුවරට වැඩියා. වැඩියා නෙවෙයි ගියා. හාමුදුරුවො එළියට  ගියාද වැඩියද ? අනේ මන්දා !. මට අයිනෙ අසුන හිමි උණා. ..මම ළඟ කවුරු හරි ඉඳ ගන්නවා දැනුනත් මම හොඳ නින්දක් ගහන්ඩ හිතා ගෙන ..
මේ මහත්තයා අර අතෙන්ට යන්ඩ බැරිද ?
නිකන් අණ දෙන ස්වරූපයකින් ආපු කටහඬ එක්කම මගේ අත අල්ලපු නිසයි මම ඇහැරලා බැලුවෙ..මම ළඟ හිඳ ගත්ත හාදයා මට කියනවා..කියනවට වඩා ඒක අණ දීමේ ස්වරූපයක් තිබ්බෙ. මිනිහගෙ පෙම්වතිය විය හැකි තරුණියක් ඉස්සරහ අසුනෙ ජනේලෙ ට මෑතින් තිබුණු අසුනෙ ඉඳන් මට ඔරවනවා..
සොරි
එහෙම කිව්ව මම ආයිමත් ඇහැ කන පියා ගෙන මගේ අසුනෙ හොඳට හරි බරි ගැහුණා…
මම සාමාන්‍යෙන් එහෙම කරන කෙනෙක් නොවුණත් ඒ තරුණයගෙ කට හඬේ තිබ්බ අකාරුණික බව නිසාමයි මම එහෙම කළේ..
පැයක් දෙකක් යන කොට මිනිහා බූරු ඇඳ දිගෑරියා වගේ කකුල් දෙක ඈත් කර ගෙන නිදි. එක කකුලක් මගේ සීට් එකේ සීමාවෙන් පැනලා මගේ කකුල උඩ..මම දෙසැරයක් මගේ කකුල අයින් කර ගත්තත්…වෙනසක් නෑ..කියනවද නැද්ද … මේ හලෝ ඔය බූරු ඇඳ අකුල ගන්නවද මගේ සීට් එකෙන්…
ඕනි නෑ..තව වැඩිම උණොත් පැය දෙකයි…කියලා හිතා ගත්තු මම… බිස්කට් එකක් කාලා අතට ගත්තා අර මගේ ශක්තිජනක පානය..වෙන මොකක් වත් නෙවෙයි බන් රෙඩ් බුල් කෑන් එකක්…අම්මපා මගේ පාඨකයො හිතන්නෙම හරහට නෙ…
කෝච්චියෙ සෙලවි සෙලවි ඇවිල්ලද කොහෙද..මේක විවෘත කරන්න ගිහින් සූස්..ගාලා හැළුණා කලිසමෙ…අර තරුණයත් ඇහැරලා බලනවා මම දුටුවා ඇස් කොනින්…
මම ලේන්සුව අරගෙන ඒක පිහිදලා අනිත් ටික බීලා…වේගයෙන් පහු කර ගෙන යන කඳු, නිම්න මිටියාවත් දිහා බලාගෙන උන්නා. පට්ටිපොළ ට ඉස්සෙල්ලා හරියෙ ස්ටේෂන් එකක කෝච්චිය තරමක වැඩි වෙලාවක් නවත්තලා ඉන්නවා. ඔය අතරේ මම දකිනවා ගේ කුරුල්ලො ජෝඩුවක් එතන බැම්ම උඩ ඉඳන් දාන සෙල්ලම්…බැම්මත් එකම පාට..කුරුල්ලත් එකම පාට..
උකුළෙ තිබ්බ කැමරා බෑග් එකෙන් කැමරාව ගත්තා..සැකසුම් ටික හදා ගෙන අවශ්‍ය ඡායාරූප 2-3ක්ම ගත්තා. අරගෙන පස්සෙ පොඩ්ඩක් බලන් කොට..
කැමරාව මොකද්ද කැනන් ?
අර හාදයා..
බලාගෙන යද්දි මෙයා කුරුණෑගල පැත්තෙ මඟුල් ඡායාරූප ශිල්පියෙක් වෘත්තිය ඒක..එහා පැත්තෙ අසුනෙ ඉඳලා තියෙන්නෙ බිරිඳ..
මම නම් පොඩ්ඩක් ඡායාරූප ශිල්පය ඉගෙන ගත්ත..වෘත්තිය වෙන ක්ෂේත්‍රයක් වෙන විනෝදාංශය ඡායාරූප ගැනීම වෙන අයකු කීවට පස්සෙයි මිනිහා තමන්ගෙ වෙඩිං ෆොටෝ ගැන කියන එක නැවැත්තුවෙ…
නානු ඔයෙන් බැහැලා පරිසරයට විනාඩියක් කරලා එන්ඩ ගිය හින්දම නුවර එළියට යන්න තියෙන බස් එක මිස් උණා මගේ වාසනාවකට..
තුන් සක රියක් කුලියට ගත්ත මම..මෙන්න නුවර එළියට ඔන්න මෙන්න කියලා වහලා තියෙන පාරක් ඉස්සරහ හෝරාවක් විතර ටැග් ගැහෙන්ඩ සිද්ධ උණා. මෝටර් රේස් තරඟ නිසා බොහොමයක් පාරවල් වහලා. විඩින් විඩේ තමයි පාරවල් විවෘත කරලා වාහන වලට යන්න ඉඩ දෙන්නෙ . පැය බාගෙන් එන්න තියෙන ගමනට පැය එක හමාරක් වැය කරලා…තුන් සක රිය හිමියගෙ ඈඬියාව නවත්තන්න තව රු. 200කුත් වැඩියෙන් ගෙවලා..මම බැස්සා මගේ නවාතැනින්..එතන මොන තරම් සුන්දරද ? ඔය තියෙන්නෙ සාක්කි..
නවාතැනේ මිදුලෙ සිට පිටත දර්ශනය…ඉස්සරහ තියෙන්නෙ ග්‍රෙගරි වැව

අදට ඔය මදැයි..ඊළඟ කොටසින් බලමුකො මහ රෑ…නුවර එළිය ටවුන් එකේ බඩු හොයපු…පොලීසිය කන ළඟින් ගියපු තවත් රස බර විස්තර ටිකක්…

 

-http://liyanna-liyanna.blogspot.co.uk/

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල