පරිවර්තන

බොරු නේද ඔය කියන්නේ?

Off

ඕන්න මම පාරෙදි දකිනවා රෝසපාට බෝ එක ඇඳගත්ත බුවෙක්. හරියටම රෝසපාට තඩි සමනලයෙක් බෙල්ලේ වහලා වහලා වගේ. ඒක මම ජීවිතේට දැකලා තියෙන අජූවම බෝ එක. “මොනවද තමුසේ බලන්නේ?” පොර නැවතිලා මගෙන් අහනවා. පොරගේ මූඩ් එක එච්චර – එච්චර නෙවෙයි, කොහෙත්ම හොඳ නෑ.

“හෙහ් හෙහ්, ඔය බෝ එක දිහා.” මම කියනවා.”මාර කැතයි ඕක. කැතේ උපත. හරියට රෝසපාට වැම්පයර් එකෙක් වගේ.” ඒක කියලා මම හිනා වෙන්න ගන්නවා බඩ අල්ලගෙන.

මට කවුරුවත් කිව්වෙත් නෑනේ පොර තමයි අළුත් ඉස්කෝලේ ප්‍රින්සිපල් මිස්ට ස්පොජ් කියලා. විහිළුව තේරුම් නොගන්න ස්පොජ් මට දඬුවම් කරනවා. ජීවිතේ පට්ට අසාධාරණයි කියන්නේ ඒකයි.

ඒ ඊයේ. අද මේ වෙන ප්‍රශ්ණයක්. මම මේ ඉන්නේ ස්පොජ් මට කතා කරනකල් ඇතුලට.

හරි අඩු ගානේ, මෙතන බකං නිලාගෙන ඉන්න වෙලේ කැත නැතුව බල බල ඉන්න වටින භාණ්ඩයක් තියෙනවා. නාකි ස්පොජ්ගේ සෙක්‍රටරි කෙල්ල මෙතන ඉඳගෙන ලියුම් ටයිප් කරනවා. එයාගේ නම මිස් නිව්හැම්. පට්ටම කෑල්ල. ඉස්කෝලෙ ඉන්න හැම කොල්ලම මේකිට ලව්. මමත් මාර කැමතියී මේකි මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වුනානම්. කරුමේ කියන්නේ මේකිට අවුරුදු දාහතයි, මට තාම දාහතරයි. නමුත් මේකිට තාම බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැති නිසා බලාපොරොත්තු අතෑරලම දාන්න වටින්නේ නෑ.

ඔන්න යකෝ එයා මා දිහා බලලා හිනාවෙනවා. මගේ මූණ රතුවෙනවා මට තේරෙනවා. “ඇයි ඔයා කොන්ඩේ බ්ලොන්ඩ් කලේ?” එයා අහන්නේ හුරතල් විදියට. “ඔයා දැනගෙන හිටියේ නැද්ද මේ ඉස්කෝලේ පිරිමි ළමයින්ට කොණ්ඩ ඩයි කරන්න තහනම් බව?”

මම මේකට වැඩිම ලකුණු දාගන්න හැකි උත්තරයක් හිතාගන්න හදනකොටම නාකි ස්පොජ් දොරෙන් එබෙනවා. “ළමයා, එනවා ඇතුලට!”

මම ඇතුලට ගිහින් ඉඳගන්නවා. “හම්හ්, මොකද තමුසේ කොන්ඩේ ඩයි කලේ? නිකං මේ චණ්ඩි පෙනුමක් ගන්නද, හහ්?” මේ ප්ලොජ් නම් මහාම… ඇත්තෙන්ම මේ යකා ලබන අවුරුද්දේ පෙන්ෂන් ගන්න ඉන්නේ. නමුත් මේකා මේක දාලා යන්න කැමති නෑ.

පොර තාම අර අංජබජල් බෝ එක දාගෙන ඉන්නේ. මම දකින හැම වෙලේම පොර මේ බෝ එක ඇඳගෙන ඉන්නේ. මම හිතන්නේ පොරට මේ රෝසපාට බෝ එකෙන් තොර ජීවිතයක් නෑ. මම ප්‍රශ්ණෙට උත්තර දෙද්දි ඒක දිහා නොබලා ඉන්න උත්සාහ කරනවා.

“මම කොන්ඩේ ඩයි කලේ නෑ සර්.”

“එහෙම වෙන්නේ කොහොමද මනුස්සයෝ?” ස්පොජ් කියනවා. “ඊයේ මම තමුසෙව දකිනකොට තමුසෙගේ කොණ්ඩේ කලුයිනේ. මොකද නෑයි කියනවද?”

“නෑ සර්.”

“එහෙනම් කියනවා බලන්න, අද කොහොමද එක පාරටම තමුසෙගේ කොණ්ඩේ සුදු වුනේ කියලා.” මට පේනවා දම්පාට නහරවැල් පොරගේ තට්ටෙන් ඉලිප්පිලා තියෙනවා. මේක එච්චර සුබ දායක ලක්ෂණයක් නෙවෙයි.

“ඒක දිග කතාවක්.” මම උත්තර දෙනවා.

“කියනවා බලන්න තමුසෙගේ ඔය මහ ලොකු දිග කතාව. හැබැයි ඕක විස්වාස කරන්න පුලුවන් කතාවක් වෙන්න ඕනෙ, හරිය?”

මම පොරගේ ඇස් දිහා කෙලින්ම බලාගෙන මගේ මේ කතාව කියනවා.

මම පොඩි දේටත් කලබල වෙන, හිත රිදෙන, එතකොට චණ්ඩිකමක් ගෑවිලාවත් නැති චරිතයක්. කොටින්ම මම කලුවරට බයයි. හොල්මන් කතාවලට බයයි. කොටින්ම සෙසමි ස්ට්‍රීට් එකේ කුකී මොන්ස්ටර්ටත් බයයි.

ඊයෙ මම ඉස්කෝලෙදි දාගත්ත ලෙඩේ විභාග කලාට පස්සෙ ඔන්න කෝච්චියේ නැගලා ගෙදර යනවා. මම ඉන්න පෙට්ටියේ ඉන්නෙත් මහ අමුතු විදියේ චරිත කීපයක්. ඔන්න ඉන්නවා කොණ්ඩේ සුදු,රත්තරන් පාට කම්බි රාමුවක් තියෙන කණ්නාඩි කුට්ටමක් දාගත්තු, හැරමිටියෙන් යන ආච්චි කෙනෙක්. එයා කුදු ගැහිලා ඉන්නේ, ඇවිදින්නත් අමාරු ගානයි. එතකොට තව ඉන්නවා මේ ඩොලර් එකකට මිනියක් මරයි කියලා හිතන්න පුලුවන් සයිස් එකේ මරුමුස් ඩයල් එකක් තියෙන කැහැ‍ටු පොර, මගේ ලඟින්ම ඉඳගෙන. කැහුට්ටට එහායින් වාඩිවෙලා ඉන්නේ මගේ වයසේ වගේ කොල්ලෙක් ලෝඩ් පකීර් වගේ සිගරට් එකක් ගහගෙන. ඇත්තෙන්ම අවුරුදු දාහතරට සිගරට් බොන්න තහනම්. මම සිගරට් නොබොන්නේ ඒකයි.

විනාඩි පහකට විතර පස්සේ ඔන්න ටිකට් කලෙක්ටර් දොරෙන් මතුවෙනවා. පොර කෙලින්ම බලන්නේ සිගරට් බොන කොල්ලා දිහා. “ඔය සිගරට් එක නිවනවා,” පොර කියනවා.” ඔය ළමයට සිගරට් බොන්න වයස මදි.”

කොල්ල සිගරට් එක නිවන්නේ නෑ. සාක්කුවෙන් නිකං පොඩි රේඩියෝ එකක් වගේ ගැජට් එකක් අතට ගන්න බුවා ඒකේ නොබ් එකක් කරකවනවා. මෙන්න යකෝ කොල්ලා බලා ඉන්දැද්දි ලොකුවෙන්න ගන්නවා අපේ ඇස් ඉස්සරහම! බුවා අවුරුදු විසිපහක විතර පෙනුමක් එනකල් හෙමිහිට ලොකු වුනාට පස්සේ අපි වගේම කට ඇරගෙන බලාගෙන ඉන්න ටිකට් කලෙක්ටර්ගෙන් අහනවා, “දැන් කොහොමද? මේ වයස ඇද්ද සිගරට් එකක් බොන්න?”

මර හූවක් කියන ටිකට් කලෙක්ටර් කොරිඩෝව දිගේ පැනලා දුවනවා පස්ස නොබලා.

අපි ඉතුරු පිරිස කටවල් ඇරගෙන කොලුවා (දැන් මිනිහා) දිහා බලා ඉන්නවා.

“කොහොමද ඒක කලේ?” ආච්චි වෙව්ලන කටහඬින් අහනවා. එයාට ඒක දැන ගන්න ලොකුවටම ඕනෙ බව පේනවා.

“සුළු දෙයක්,” කොලු මිනිහා නැගිටින ගමන් කියනවා. කෝච්චිය නැවතුම් පලක නවත්තනවා. “ආ මෙන්න,” පොර අර ගැජට් එක ආච්චිගෙ උකුලට අතහරිනවා. “ඕන්නම් ඔයාම තියාගන්න ඕක.” එහෙම කියන කොලු-මිනිහා කෝච්චියෙන් බැහැලා යනවා.

අපි හැමෝම ඒ ගැජට් එක දිහා හොඳින් බලනවා. ඒකෙ තියෙන්නේ අදින්න පුලුවන් නොබ් එකක් ඒකෙ දකුණු පැත්තේ OLDER කියලා ගහලා තියෙනවා. වම් පැත්තේ තියෙන්නේ YOUNGER කියලා. මුදුනේ ගහලා තියෙනවා AGE RANGER කියලා.

මගේ ලඟ ඉන්න මරුමුස් පෙනුම තියෙන කැහැ‍ටු ඩයල් එක ගැජට් එක උදුරගන්න පැන්නත්, ආච්චි ඉස්සර වෙනවා. “හහ්, ඒවා කොහෙද!” කියන ඈ කැහුට්ටව තල්ලු කරලා දානවා. ඉන් පස්සේ විදුලි වේගෙන් ගැජට් එකේ නොබ් එක YOUNGER පැත්තට අදිනවා සෙන්ටිමීටර කීපයක්.

මෙන්න ආච්චි තරුණ වේගන වේගන යනවා. විනාඩියකින් විතර ඔන්න අවුරුදු දාසයක විතර පෙනුමක් එනවා. ඔව්, වයසක ආච්චි කෙනෙක් දාන කම්බි රාමුව තියෙන කණ්නාඩි කුට්ටමයි, පරණ තාලේ ඇඳුම් ඇඳුමුයි ඇයට ගෙන දෙන්නේ අමුතුම ලස්සනක්. ටිකක් හිපි පෙනුමක් තියෙන්නේ. “කූල්” ආච්චි-කෙල්ල කෑ ගහනවා. ඉන් පස්සේ ඈ කරේ දාගෙන හිටපු සාලුව ගලවලා විසිකරලා, ගැජට්‍ එක මගේ දිහාට විසි කරලා කොරිඩෝව දිගේ දුවගෙන ගිහින්, අද්දන්න ලෑස්තිවෙන කෝච්චියෙන් එළියට පනිනවා.

“මෙහාට දියං ඕක,” මරුමුස් ඩයල් එක මට කියනවා. මම අර කලිනුත් කිව්වා වගේ, මම වීරයෙක් නෙවෙයි. මම මගේම හෙවනැල්ලටත් බය එකා.

ඔය ප්‍රචණ්ඩත්වයට, එතකොට භීෂණයට කොහොමත් අකමැති මම ගැජට් එක ඉල්ලන පමාවෙන්ම මරුමුස් ඩයල් එක අතට දෙනවා. ඒක මගෙන් උදුරගන්න පොර ඒකේ නොබ් එක YOUNGER පැත්තේ කෙළවරටම අදිනවා.

පොර තරුණ වෙන්න පටං ගන්නවා නමුත් වයස අවුරුදු දාසයෙන් නතර වෙන්නේ නෑ. බොහොම කෙටි කාලෙකින් මෙන්න යකෝ වැඩිහිටි ඇඳුම් පොදියක් ඇතුලේ ඉන්නවා පොඩි බබෙක්! ඒකාට වයස අවුරුද්දක් වගේ වෙන්න ඕනේ මම හිතන්නේ. ඌ මං දිහාට හෙලන්නෙත් අර මරුමුස් හිනාවක්. මූ මරුමුස් බබෙක්ම වුන හැටි! “Bad, Dad Dad,” මෙන්න මූ මට කියනවා.

“මම තමුසෙගේ dad නෙවෙයි,” මම කියනවා. “මෙහාට දෙනවා ඕක මොකක් හරි විනාසයක් කරගන්නේ නැතුව.” පොඩි එකා ඔලුව දෙපැත්තට වනලා Age Ranger එක පිටිපස්සට කරලා හංගගන්නවා. ඌ කීයටවත් ඒක ආපහු දෙන්න ලෑස්ති නැති බව මට තේරෙනවා. උගේ හිතේ ඒක සෙල්ලම් බඩුවක් කියලා.

එතකොටම ඇහිපිල්ලමක් ගහන පමාවෙන් මේකා නොබ් එක අදිනවා OLDER පැත්තේ කෙලවරටම. මගේ ඇස් ඉස්සරහ සිද්ද වෙන්නේ මාර වැඩක්. මේකා ලොකු වේගන, වේගන යනවා. ඔන්න අවුරුදු දාසයක් විතර, ඊට පස්සෙ තිහක් විතර, දැන් හැටක් විතර, ඕන් අසූව පහුවෙනවා. අන්තිමේදි සීයක් විතර වෙලා පොර මැරිලා වැටෙනවා. නමුත් වැඩේ එතනින් නතර වෙන්නේ නෑ. පොරගේ මිනිය නරක් වෙලා දියවෙලා යනවා. අන්තිමේදි ඉතුරු වෙන්නේ ඇට සැකිල්ලක්!

මර හූවක් තියන මම දොර දිහාට දුවනවා. මේ වෙලාවේ කෝච්චිය ස්ටේසමක නවත්තලා තිබ්බත් මට බැහැගන්න බැරි දොර හිරවෙලා තියෙන නිසයි. මම කෑ ගගහා දොරට පයින් ගැහුවත් දොර නෙවෙයි ඇරෙන්නේ. අන්තිමේදි මම ජනේලයක් අමාරුවෙන් ඇරගත්තත්, ඒ වෙනකොට වේගෙන් දුවන කෝච්චියෙන් පැනගන්න බෑ.

ඔන්න ඔහොමයි මගේ කොණ්ඩේ සුදු වුනේ. මට මැරිච්ච ඇටසැකිල්ලක් එක්ක විනාඩි පහළොවක් ඒ පෙට්ටියේ ඉන්න වෙනවා. මම මර බයේ ගැහි ගැහි ඉන්නේ. මට මෙහෙමනම් දෙයක් කවදාවත් වෙලා නෑ. විනාඩි පහළොවෙන් මගේ කොණ්ඩේ සුදු වෙනවා. මම බය වෙච්ච පාරට තමයි මම අන්තිමේදි බ්ලොන්ඩ් වෙන්නේ. කෝච්චිය ඊලඟ ස්ටේසමේ නවත්තපු ගමන්ම මම ජනේලෙන් එළියට පැනලා එතන ඉඳන් පයින්ම ගෙදර යනවා.

“…ඔන්න ඕකයි වෙච්ච සිද්ධිය,” මම ප්ලොජ් ලොක්කට කියනවා.

ප්ලොජ් ඉන්නේ රෝස පාට බෝ එක අතගගා. පොරගේ මූණත් ක්‍රමයෙන් බෝ එකේ පාටටම හැරෙනවා. එනපොට හොඳ නෑ.

“පට්ටපල් බොරුවක්! පට්ටපල් බොරුවක්! තමුසේ මාව අන්දන්න හිතුවා මදි. තමුසේ මාව මෝඩයෙකුට ගනං ගත්තද?”
“මට පුලුවං ඕක ඔප්පු කරන්න,” මම ගැජට් එක බෑග් එකෙන් එළියට අරං මේසෙ උඩිං තියනවා.

ස්පොජ් ඒක අතට අරගෙන හොඳට බලනවා. “හ්ම්හ්, තමුසෙට දැන් යන්න පුළුවන්,” ස්පොජ් තරමක අමුතු හඬකින් කියනවා. “මම තමුසෙගේ දෙමව්පියන්ට ලියුමක් එවන්නම් තමුසේ බොරු කිව්ව නිසා පන්ති තහනම් කලා කියලා.”

මම පිටවෙලා යන්නේ මාරම අප්සෙට් එකෙන්. පන්ති තහනම් කලා කියලා දැනගත්තොත් අම්මයි තාත්තයි මාව මරයි.

ඉතුරු සති දෙකම මම බයේ ඉන්නේ ගෙදරට එන ලියුම ගැන හිත හිත. ඒත් එහෙම ලියුමක් එන්නේ නෑ. මම බේරිලා. එහෙම මොකුත්ම වෙන්නේ නෑ.

මොකුත්ම වෙන්නේ නෑ කිව්වොත් ඒකත් බොරුවක් වෙනවා.

දේවල් දෙකක් වෙනවා: එක හොඳ දේකුයි, එක නරක දේකුයි.

හොඳ දේ තමයි ප්ලොජ් ලොක්කා ආ ගිය අතක් නැතුව අතුරුදහන් වෙනවා. පොර ආයෙ කවදාවත් කාටවත් දකින්න ලැබෙන්නේ නෑ.

නරක දේ තමයි මිස් නිව්හැම්ට අලුතෙන් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් සෙට් වෙන එක. පොර අවුරුදු දහ අටක විතර හැන්ඩියෙක්.

කොච්චර හැන්ඩියෙක් වුනත් ඒකි රෝසපාට බෝ එකක් දාන එකෙක් එක්ක සෙට් වුනා කියන එක නේ යකෝ වැඩේ කියන්නේ!!!

හරි. දැන් කතාව කියෙව්වනේ. මට දැනගන්න ඕනෙ දෙයක් තියෙනවා.

මේ ගැජට් එක ඔයාට හම්බවුනොත් ඔයා මොකද කරන්නේ?

My translation of the short story “Pink Bow Tie” from ‘Thirteen Unpredictable Tales’ by Paul Jennings.

https://matahithenahatty.wordpress.com/2015/03/21/163-

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල