සංචාරක හා ඡායාරුප

දෙපා ගෙවෙනකම් පානම ඇවිද්දෙමු

Off

පානමද යන්නේ දෙපානමද? අවුරුදු දවස්වල අපේ අලගිය මුලගිය තැන් හොයාගෙන යන්න 10 වැනිදා අපි කොළඹ බස් ස්ටෑන්ඩි එකට ගියේ පානම යන්න හිතාගෙන..හැතැම්මක් විතර දිග පෝලිමක පානම බස් එකක් හරි පොතුවිල් බස් එකක් හරි ඒවි කියන බලාපොරොත්තුවත් එක්කම අපි අපේ බෑග් කඩමළුත් එල්ලගෙනම හිටියා..

බලා ඉන්න බැරිම තැන සුභාෂ් අයියට අපි යෝජනා කළා මොනරාගල එකක හරි යමු කියලා..එයා හැමදාම වගේ කිසි කෙනෙකුට කන් දුන්නේ නැහැ. එයාට පොතුවිල් බස් එකකම යන්න ඕන වුණා. රවී අයියා (පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්) මම උපුල් අයියා, වසන්ත අයියා (අපේ නඩේ ගුරා) හැමෝම මගේ කීමට එකඟ වුණත් ලොකු අයියා අවනත වුනේ නැහැ..

කේන්ති වැඩි කමටම මම කිව්වා, පානම කෙසේ වෙතත් මම දැන් දෙපානම ගිහින් බෝඩිමට යනවා කියලා.. ඒ වෙලාවේ ඉඳන් ගමනාත්තය වෙනකල්ම රවී අයියා, අපේ ආදරණිය සහෘදයාගේ කටේම තිබුණේ පානම දෙපානමද කියන වචන ටික. අපේ ගමන ආරම්භ වෙන්නෙම ලොකුම ලොකු කේන්තියක් එක්ක.

රවී අයියා සැරින් සැරේ හිමාෂියා (නම හිමාෂි වුණත් එයා කියන්නේ හිමාෂියා කියලා ) මොකෝ සද්ධ නැත්තේ..උඹ කට වහන් ඉන්න කොට අපිට හිතෙන්නේ මල පැනලා කියලා එයා සැරින් සැරේ කියෙව්වා.. ඇත්තටම මට කේන්ති ගිහින් හිටිය විත්තිය එයාට දැනෙන්න ඇති.

අවුරුද්දට අපි ගම් අතෑරලා යද්දි මේ මිනිස්සු ඔක්කෝම ගම් බිම් වලට යනවා.. මේ මිනිස්සුන්ට පිස්සද ? නැත්නම් අපිට පිස්සුද කියලා මං තනියම කල්පනා කළා.

අන්තිමට බස් වලට සෙනඟ නග්ගන (එයාලනම් කියන්නේ ලෝඩ් කරනවා) පොඩි පිරිමි ළමයෙක් පානම බස් එකක් ආවා පිටිපස්සේ තියෙන්නේ නගින්න කියලා කෑගැහුවා..

සීට් තියෙනවද?

ඔව් තියෙනවා? ඒ පිරිමි ළමයාගේ උත්තරය වුණා.

අපි පෝලිම පෙරලගෙන බස් එකට දිව්වේ දිගු බලාපොරොත්තුවක අවසානයක් විදිහට.

බස් එකේ එකම එක සීට් එකක් නැති විත්තය ඒකට නැග්ගට පස්සේ අපිට තේරුම් ගියා..

බස් එකෙන් බැස්ස මගෙන් පිරිමි ළමයා ඇයි යන්නේ නැද්ද කියලා ඇහුවා..

කෝ වාඩි වෙන්න සීට් නැහැනේ ?

හරි ඉතින් මං සීට් තියෙනවා කිව්වට ඉඩ තියෙනවා කිව්වේ නැහැනේ ඒ පිස්සා මට කිව්වා.. පිච්චචෙන්න තරම් කේන්තියකින් ආපහු පොලිමට ආවා..ඒ වෙද්දි පොලිමේ හිටියේ අපි පස්දෙනා විතරයි.. බැරිම තැන අපි අම්පාර බස් එකක ගැනලා රැයක් පහන් කරමින් සියඹලාන්ඩුව මන්සන්දියෙන් බැහැ ගත්තා..

සියඹලාන්ඩුවේ ඉඳන් ලාහුගල ජාතික වනෝද්‍යානය මැද්දෙන් අපි පොතුවිල බලා ගමන් කළා.. ගස්වලින් දැණුන සිසිලස ඈත මලින් පිරිලා තිබුණ විල් අපිට ලොකු සැනසිමක් ගෙනාවා..

පොතුවිලට අපි යද්දි උදේ 8.30 9.00 වගේ වුණා. පොතුවිල රැයක් ගතකරමු කියන අදහස ආවේ නඩේ ගුරා වගේම අපේ ආදරණිය හිතවතා නලීන් අයියාගේ අදහසක් අනුව. එයාට අපේ වසන්න අයියා කියන්නේ (ඔකඳ දේවාලේ එකම එක බස්නායක නිළමේ) කියලා..

අපේ රාත්‍රි නවාතැන වුණේ පොතුවිල් විස්කි පොයින්ට් එහෙමත් නැතිනම් ගනේෂ් ගේට් වෙත ගියේ ත්‍රිවිලර් රථ දෙකකින්..

ඉතාමත් සුන්දර ස්ථානයක් වුණ විස්කි පොයින්ට් යාබද මුහුද ත් නිසාවෙන් අපිට දැණුනේ අපි වෙනුවෙන් හදපු තැනක් වගේ..විදුලිය නැති වත්ත හරහා අලි රංචු එන තැනක් කියලා නලීන් අයියා අපිට කිව්වා. ඒ කතාවත් එක්ක පුංචි චකිතයක් නොදැනුනාමත් නෙමෙයි.

paanama-11

paanama-10

අපේ ඊලඟ අරමුණ වුණේ උදේම මුහුදට පැනලා නාන එක.. රවී අයියේ කන බොන එක පස්සේ වැඩක් දැන් නාලා ඉමු.

අපි නාලා එද්දි නලීන් අයියා දවල් කෑමට ඕන අඩුපාඩු ගෙනවිත් තිබුණා. අද අපේ නැන්දා නම් නැහැ අපිටම තමයි උයා ගන්න වෙන්නේ.

අයියෝ ඒකේ ප්‍රශ්නයක් නැහැ..අපිට තනපහ ජාති ටික තියෙන තැන් පෙන්නන්නකෝ. රවී අයියායි උපුල් අයියයි කිව්වා.. කවදත් රසට උයන්න දක්ෂ හාදයා උපුල් අයියා නිසා අපි ස්ව කැමැත්තෙන්ම වැඩේ එයාට භාර දුන්නා. අල හොද්දකුයි, සුදු බතුයි, බැදුමකුයි එක්ක අපි හොඳට සප්පායම් වුණා.

ගස්වල බැඳ ගත්තු හැමොක් වල කට්ටියම හොඳට නින්ද ගියේ කලින් දවසේ වෙහස නිසාම වෙන්න ඇති.

හැන්දෑවේ 4.30 ට විතර අපි ආපහු මුහුදට ගියේ ආපහු නෑමේ අරමුණත් එක්කමයි. රවී අයියයි මමයි උපුල් අයියයි පිටත් වෙද්දි වසන්න අයියටයි, ලොකු අයියටයි ඔය හරිය මුහුද ටිකක් සැරයි.. මේ ළඟදි ආමි එකේ එක්කෙනෙකුත් ගියා..කට්ටියට පරිස්සමෙන් නාන්න කියන්න.. කවුරුහරි පොඩ්ඩක් බලන්න. කියලා නලීන් අයියා කිව්වා.

අපේ අයට ටිකක් බීර වීදුරුවක් පානය කිරීමේ වුවමනාව හොඳටම තිබුණා. බීර වගේම රෑට කන්න පාන් අරන් එන්නම් කියලා නලීන් අයියා යන්න ගියා.

එයා එද්දි ටිකක් රෑ වුණ නිසා මට ඇඳේම නින්ද ගියා. ඒ එද්දි උපුල් අයියා පාන් කන්න හොඳ හොඳ එකකුත් හදලා තිබුණා. කොහොම හරි කට්ටිය කන්න සෙට් වුණේ මිදුලේ වැල්ලේ. කට්ටිය බීර වලින් සප්පායම් වෙලා කන්න හදද්දි මං කාලා පැදුරක් එළාගෙන මිදුලේම නිදා ගත්තා.

මාව නැගිට්ටවන්න බැරි හින්නදම වෙන්න ඇති අපේ අයත් එතැනම පැදුරු එළාගෙන නිදාගෙන තිබුණා. අලි එනවට වටේට ලැන්තෑරුම් පත්තු කරලා නිදා ගෙන තිබුනේ මට ෂීට් එකකුත් පෙරවලමයි. කොහොම වුණත් උදේ නැගිටිද්දි කොට්ට පැදුරු හැමදේම ඔක්කොම පින්නට තෙත්වෙලා තිබුණා.

අපි උදේ කෑමත් කාලා මාමාටත් සමුදීලා ඔකඳ යන්න පිටත් වුණා. අපේ මේ ගමනට හැමදාමත් අපේ දුක සැප බෙදා ගත්ත නිරෝෂන් එන බව කියලා තිබුණත් දින අවසන් වන තුරුම ඔහු වගේම ඔහුගේ දුරකථනයත් කිසිම ප්‍රතිචාරයක් දැක්වුයේ නැහැ..

පොතුවිල යන ඕනෙම කෙනෙකුට මෙන්න මේ මේ ෆොටෝ වල තියෙන විස්කි පොයින්ට් එකේ ගනේෂ් ගේට් කබානා එකක් බුක් කර ගන්න පුළුවන්.. මෙන්න නොම්බරේ..0776076949

එතැන විස්තරෙත් කියලම ඉන්නම්කෝ..පොතුවිල නගරයේ ඉඳන් කිලෝමීටර් 6ක විතර දුරින් තමයි තැන තියෙන්නේ ඇන්ඩෘ කියන මේ වන විට ඇමෙරිකාවේ ජීවත්වෙන මිතුරකු සමග ලදන් මුතුබණ්ඩා ස්වේද්‍රරාජ් (ඔකඳ දේවාලයේ බස්නායක නිළමේ දැන් ජීවතුන් අතර නැහැ ) සමග තමයි මේ ව්‍යාපෘතිය පටන් අරන් තියෙන්නේ, පරිසර හිතකාමී ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් විදිහට.

ලදන් මුතුබණ්ඩා ස්වේද්‍රරාජ්ගේ වියෝවත් සමග ඒ වගකීම නලීන් සහෘදයාට පැවැරුණා..

හරි කොහොම වුණත් නලීන්ට ලොකු වුවමනාවක් තියෙනවා මේ පරිසර හිතකාමී ව්‍යාපෘතිය තවත් ඉදිරියට කරගෙන යන්න.. වුවමනාව තිබ්බට කොල්ලා ටිකක් කම්මැලියි කියලයි වසන්න අයියනම් කියන්නේ.

paanama-4

හරි කොහොම වුණත් බජට් ට්‍රැවලර්ස්ලා, බැක් ෆැකර්ස්ලා වෙනුවෙන් පහසු මිලට නේවාසික පහසුකම් සැපැයීම නලීන්ගේ වගේම ඇන්ඩෘගෙත් බලාපොරොත්තුව වුණේ.

ස්වභාවික පරිසරයේම හැදුණු කොළ මැල්ලුමක පුහුල් මාළුවක රසත් එක්ක සුදු කැකුළු බතක සම්බෝලයක රස විඳින්න කියපු තැනක් කියලයි අපිට දැණුණේ.

වත්ත බලාගන්න ඉන්නේ මාම කෙනෙකුයි නැන්දා කෙනෙකුයි. ඔවුන්ගේ කුඩිල්ලෙන් (පැලෙන්) මුහුදේ හෝ ගාන සද්දයත් එක්ක ලාවට ඇසෙන දමිළ ගීත රාවය දැනටත් දැනෙනවා වගේ.. කියා ගන්න බැරි මිහිරක් හුරු පුරුදු කමක් ලෙන්ගතුකමත් ඔවුන්ගෙන් අපිට දැණුනා.

විස්කි පොයින්ට් එකේ සර්ෆින් පාරක් දාලා පොඩි ෆන් එක්ක ගන්න ඕනේනම් ඒ පැත්තේ ගිය වෙලාවක ගිහින් එන්න. කාබානා එකක් රැ. 2000ක් විතර වේවි. මේක නම් පුංචි ඇඩ් එකක්..(මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දක් නෙමෙයි හිතට දැණුන ලෙන්ගතු හැඟීමක්.

ඊලඟට පොතුවිල් ඉඳන් ඔකඳට…

paanama-9

paanama-8

paanama-7

paanama-6

paanama-5

paanama-2

paanama-3

http://www.lankadiscovery.com/sanchare/item/308-2015-04-21-08-38-58

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල