සංචාරක හා ඡායාරුප

කඳුළු රසැති මොමෝ

Off

මම මුලින්ම හඳුනාගත් නේපාල ජාතිකයා අර්ජුන් වෙන්නට ඇති. ඒ වසර කිහිපයකට පෙර මා මුල්වරට මේ රටට ආ විටදී. ඉස්සෙල්ලාම දවසේ මා වැඩබිම් කන්තෝරුවේ හැමෝටම හඳුන්වා උන් අපේ ලොක්කා මට අර්ජුන්වත් හඳුන්වා දුන්නේ මෙසේ කියමිනි.

‘ ඔයාට ඕනිම වෙලාවක තේ එකක් කෝපි එකක් බොන්න හිතුනොත් අර්ජුනට කතා කරන්න’

මම කන්තෝරුවේ නුපුරුදු පුටුවේ වාඩි වී ටික වෙලාවක් ගත වෙත්ම තේ එකක් බොන්නට සිතිනි. අල්ලාපු ගොඩනැගිල්ලේ තියෙනවා කී කුස්සියේ ඉන්ටකොම් නොම්මරය සොයාගෙන බොත්තම් එබූ මම අර්ජුන් ඇමතීමි.
මට තේ එකක් බොන්න ඕනි.
කව්ද කතා කරන්නේ? .
මම අලුතින් ආපු අහවලා . මම කිව්වෙමි.
පැය බාගෙකින්වත් තේ එක නොලැබුන නිසා නැවත අර්ජුන් ඇමතීමි
එවරත් සුපුරුදු ප්‍රශ්නය ඇසිණි .
‘මම අර අලුතින් ආපු අහවලා උදේ කතා කරේ’ .
හරි මහත්තයා මේ දැන් ගේනවා .
තව විනාඩි විස්සකින් පමණ මට නැවතත් කුස්සිය ට කතා කරන්නට සිදු විය . කෝ අර්ජුන් මම දෙපාරක් තේ එකක් ඉල්ලුවා තාම නෑනෙ .
‘දැන් මම ගෙනාවනේ සර් . හරි මම ආයේ ගේන්නම්’
ටික වෙලාවක් බලා සිටි මම මේ වැඩේ හරි යන් නෑ කියා සිතාගෙන කුස්සිය සොයාගෙන ගියෙමි. කුස්සියට යනවිට නේපාල මල් පත්තරයක් කියවමින් මේසයට හේත්තු වී ගෙන අර්ජුන් සිටියේය.
කෝ අර්ජුන් මම ඉල්ලපු තේ එක?.

අර්ජුන් ඔලුවේ අත ගහ ගත්තේය. ‘අයියෝ ඔය මහත්තයාද තේ ඉල්ලුවේ?. අද අලුතින් ආපු තවත් මහත්තයෙක් ඉන්නවනේ එයාට තුන් පාරක් තේ ගෙනිච්ච. තුන්වෙනි පාර බැනුමුත් අහගෙන තේ එක ආපහු ගෙනාවා’ .
ඔය විදිහට හිතවත් වූ අර්ජුන් හරිම හිත හොඳ අහිංසකයෙක් බව මට නොබෝ දවසකින් පසක් විය. සන්තෝෂම් මුදල් කිසිවක් නොපැතු ඔහු ඉඳ හිට ඉල්ලා සිටියේ නගරයට සතිපතා ගුවනින් එන නේපාල යොවුන් පත්තරයක් ගෙනල්ලා දෙන්න කියලාය. අපේ වැඩබිම පිහිටියේ තරමක් නගරයෙන් බැහැරව නිසා අර්ජුන්ලාට නගරයට යන්න ඉඩක් ලැබුනේ කලාතුරකිනි.

ඒ වැඩබමේ සිටි නේපාල ජාතික ලිපිකාරිණිය ගෞරි පිළිබඳවද මතකයේ හිටින කතන්දරයක් තිබේ. ජපන් බෝනික්කන් සේ ඇඟ පසඟින් හා ඇඳුමෙන් වූ පිලිපීන ලියන් අතරේ කෘෂව ගිය සිරුරින් යුතුව ගෞරි මුළුගැන්වී සිටියාය. වරක් මම නිවාඩු ගොස් එනවිට අපේ පරණ වැඩබිම් කන්තෝරුවේ කොටසක් කඩා දමා තිබුනේ අලුතින් ඉදිවන සුවපහසු කන්තෝරුවට ඉඩ පහසුකම් සපයමිනි. කලින් තිබුණු කන්තෝරුවේ පුටු මේස ඉවත් කර තිබුණ අතර අලුත් ගොඩනැගිල්ලේ පැකින් නොකැඩූ අලුත්ම පුටු මේස ලොරිවලින් බාමින් තිබිණි.

මට ඉඳ ගන්නට ඉතිරි වී තිබුනේ පුංචි ස්ටූලයකි . ලඟපාත මේසයක වැඩ කළ නේපාල ලිපිකාරිණිය ඇය මෙන් දෙගුණයක් උස විධායක පුටුවක වාඩි වී සිටියාය. මම ලංකාවේ කලින් සිටි කන්තෝරුවක අලුතින් පුටු ගන්නා විට උස් පහත් බේදයකින් තොරවම හැමෝටම හොඳ තත්ත්වයේ එකම වර්ගයේ පුටු ගත්තා මතකය. ඒත් මෙතැනදීනම් නම් මට මදි පුංචිකමක් වුණායැයි සිතෙන්නට පටන් ගත්තේය. එතැන් සිට මම අර ලිපිකාරිනිය දෙස බැලුවේ තරමක් නොමනාපයෙනි.

මේ අස්සෙම ඇය මා දෙස බලා මෙසේ කිව්වාය.
‘මහත්මයා ඔය පුටුවේ ඉන්න අමාරුයි නේද? අපි අලුත් කන්තෝරුවට තව දවසකින් දෙකකින් මාරු වෙනවා. එතන ඔබට ඉතාම සුවපහසු මේසෙකුයි පුටුවකුයි ලැස්ති කරලා තියේවී .

මම කිසිත් නොකීමි. ‘ මට අපහසුයි කියල තේරෙනවනම් මේ පොඩි පුටුවක් තිබ්බේ මොකටද ‘ කියන්නාක් මෙන් ඈ දෙස නුරුස්නා බැල්මක් හෙළුවෙමි.ඇය අසුනින් නික්ම ඉවතට ගිය මොහොතක මම මදක් ඇයගේ පුටුව දිස බලා සිටියේ පහන් සිතින් නොවේ. ඒත් පුටුව පාමුල තිබු ගඩොල් කැටයක් දුටුවිට මට මා ගැනම මහා අප්‍රසන්නබවක් ඇති විය.
ඈ රෝදයක් ගැලවුණු , කැඩිච්ච කැරකෙන පුටුව අපහසුවෙන් අටවා ගන්නට ගඩොලක් තබා තිබිණි. තිබිච්ච පුටු අතරේ වඩා හොඳ පුටුවය මට ඉතිරි කර තිබුණේ .
ඔය සිදුවීම් දෙකෙන් පසුව මම නේපාල ජාතිකයන් දෙස හිතවත් කමින් බලන්නට පුරුදු වුනෙමි.

මේ ළඟදී නේපාල ජාතික යුවලක් මට රාත්‍රී අහර වේලකට ඇරයුම් කළහ. ඇත්තෙන්ම ඔවුන්ගේ මුල් නිජ භුමිය වී තිබුනේ ටිබෙට් රටය. ඉතාම දුෂ්කර පරිසරයක අල්පේච්ඡ ජීවිතයක් ගත කරමින් ඉහළට ඉගෙන ගෙන තිබූ ඔවුන් දෙදෙනා මේ රටේ සිටින ලක්ෂ හතරක් පමණ වූ අනෙකුත් නේපාල ජාතිකයන්ට වඩා වෙනස් වුයේ රැකියාවෙන් හා අධ්‍යාපන මට්ටමිනි.

ජනාකීර්ණ දෝහා නගරයේ ඔවුන්ට අනුව ඉස්තරම් නේපාල රස්ටෝරන්ට් එකකදී මා කැමැත්තෙන් කතැයි සිතා මොමෝ නම් මස් රොටි වැනි අහරක් ඔවුන් ඇනවුම් කළහ. ඉහත සේයාරුවේ පෙනෙන්නේ මේ මොමෝ සංග්‍රහයයි .

ඇත්තෙන්ම මට එහි රසයක් නොවුනි. එහෙත් අනන්ත දුෂ්කර ගිරි දුර්ග අතරේ වැඩී ශීතල ශුෂ්ක පරිසරයක හැදුණු ජන කොටසකගේ කඳුළු, දහදිය හා අහිංසක කමේ රසය එහි විය. මොමෝ ගෙඩියක හැඩයත් කඳුළු බින්දුවක් වගෙය.

ඒ නිසා මම සතුටු මුණක් පෙන්වා සුප් කෝප්පය සමග මොමෝ හතරක් ගිල දැම්මෙමි.

මේ රටේ දෙවැනි විශාල් ජනගහනය වුනත් නේපාල ජාතිකයන් පොදුවේ දුප්පත්ය. අහිංසකය. ඔවුන්ට කියා හොඳ තත්ත්වයේ ආපනශාලාවක්වත් නැත. ලක්ෂ විසි දෙකක් පමණ වූ කටාර් ජනගහනයෙන් ලක්ෂ හතරකට වැඩි නේපාල් ජාතිකයන් පිරිසක් සිටිනවා කියා හිතන්නත් අමාරුය. ඒ ඔවුන් සමාජයේ කැපී පෙනෙන මට්ටමේ මිනිසුන් නොවීමය. කරණවෑමියන් , වේටර්වරුන්, ගෘහ සේවිකාවන් හා කම්කරුවන් ලෙස ඉතා දුක්බර ජීවිතයක් ගෙවන ඔවුහු පෝෂ්‍ය ගුණයෙන් හීන , ඉතා සහැල්ලු අහරකින් , මිල අඩු ඇඳුමකින් සැනසී හම්බ කරන සියල්ල නේපාලයට මනි ඔර්ඩර් මගින් යවති. මැද පෙරදිග වෙසෙන නේපාල ජාතිකයන් යවන මුදල සමහර විට එරට ප්‍රධාන ආදායම වෙන්නට පුළුවන.

ගිය සතියේ ඇතිවූ භුමි කම්පාව මගේ හදවතේ තාමත් ප්‍රතිකම්පන මතු කරන්නේ සොබාදහමත් අන්තිමේ හිරි ඇර ගන්නේ මෙවැනි හද්දා අහිංසකයන්ගේ කඳුළුවලින් නේදැයි අසමිනි.

http://thilakasitha.blogspot.co.uk/2015/04/blog-post_28.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල