කෙටි කථා

මත්වීම

Off

ඒ දෑසේ නිරතුරුව දිස් වූයේ මත් බවකි. දෑසේ අඩවන් බවත් අඩ සිනහවත් ඒ බව තීව්‍ර කළා පමණි.
 
මම බොන්නේ නැහැ කියලා නොදන්නා අය නිතරම අහනවා මම බීලා ද ඉන්නේ කියලා!”
මා වරක් ඒ ගැන ඇසූ විට ඔහු පැවසුවේ සිනාසෙමිනි. එදා සීරුවට වැසි වැටෙනා වස්සානයක අතරමැද දිනයක් බව මට මතක තිබෙන්නේ ඇයි දැයි නොදනිමි. මගේ බොහෝමතකයන්ට හේතු නැත. එදා, උදුනේ දැවෙන දර කොට වලින් නිකුත්වෙන සියුම් ශබ්දයත් කවුළු මත ඉහිරෙන වැහි බිඳු වල තාලයත් හැරෙන්නට ලොව ම නිහඬ ව සිටි දවසකි.
ඉතින් ඉබේම බේබදු ලේබලය වැදිලා තියෙන එකේ බොන්න නේ තියෙන්නේ!”
මා සිටියේ ඔහු අසල සෝපාවේ ගුලිවී ඔහුගේ අත්ලත රේඛා මත ඇඟිලි තුඩින් රේඛා අඳිමිනි. අප වටා තැන තැන පොත් දුසිමක් තරම් විසිරී තිබුණු බව මට මතක ය.  ඒ ඔහු මට පොත් මිටියක් ම ගෙනා දවසකි. පොත් සාප්පු වලදී පොත් දුටු විට මා සිහිවීමේ නරක පුරුද්දක් ඇති බව ඔහු මට නිතරම කීවේය. අළුත් පොත් ගන්නට මුදල් හිඟ වූ විට ඔහු පරණ පොත් හල් ඇති වීදි වල සක්මන් කරමින් ගත කළ දවස් තිබුණි.
මෙන්න එක්කෙනෙක් මට බොන්න කියනවා! වෙන කෙල්ලෝ ඕකේ අනිත් පැත්ත!” ඔහු සිනාසුණේ මා බඳ වටා අතක් යවා තුරුළු කරගනිමිනි.
මෙන්න එක්කෙනෙක් මම කියන දේ අහන්න හදනවා! වෙන කොල්ලෝ ඕකේ අනිත් පැත්ත!” මා මිමිණුවේ ඒ උණුසුමට ලොබ බඳිමිනි.
එවන් වස්සාන දින ගෙවුණේ නිම් නැති කෝපි කෝප්පත්,උණුසුම් පීට්සාත් ගණ වූල් පොරෝනා ත් ඇසුරේ යි. මිතුරු සාද ආදී ගමන් බිමන් වල නොයෙදීමට වැස්ස අපට මනා නිදහසට කරුණක් විය.  එහෙත් සරසවි දෙසුම් අවසාන වූ පසු ඇතැම් දිනවල මහා වැස්සේ ම පුස්තකාලය වෙත දුවන්නට අප පැකිලුණේ නැත. පුස්තකාලයේ පිවිසුම් දොරටු ළඟ ඇති විසල් සිංහ පිළිරූ ළඟ මොහොතකට නතර වී හති අරින අපි එකිනෙකාගේ තෙත බරිත බවට සිනාසෙන්නෙමු.
අද නම් කොත්තමල්ලි බොන්න වෙනවා.. බලන්නකෝ නැද්ද කියලා!”
ඔහු මගේ කබාය පිසලමින්, කෙහෙ රැළි වලින් වැසි දිය ගසමින් සරදම් කරන්නේ එය මට අපුල පානයක් බව හොඳින් දැනගෙනයි.
නිකම් නෙමෙයි, හොඳට තිත්ත වෙන්න වෙනිවැල්ගැට ත් දාලා!” ඔහු තවත් සිනාසෙන්නේ මා මුව ඇඹුල් කරනු දැකීමෙනි.
එවන් හවස් වරු වලදී පුස්තකාලයේ පුස් ගඳැති පොත් රාක්ක අතරේ ගතවී ගිය කාලය කොටස් වශයෙන් මා මතකයේ තැන්පත් ව ඇත.
මොනාද බලන්නේ?” වරුවක් තිස්සේ කිමිදී උන් ගනකම් නීති පොතකින් දෑස මෑත් කර ඔහු අසන්නේ පැන්සලක කෙළවර හපමින් මඳ සිනහවෙන් ඔහු දෙස බලා සිටින මා නෙතගැටීමෙනි.
කොන්ඩේ ස්ටයිල් එක!” මා රහසින් කියන්නේ මුළු පුස්තකාලයම බරැති නිහඬ බවක ගිලී ඇති නිසායි. ඔහු පොත් කියවන්නෙත් පාඩම් කරන්නේත් තම ඇඟිලි තුඩු හිසකෙස් අතරින් යවමින්, අවුස්සමිනි. නිරතුරුව අවුල් ඒ හිසකෙස් මෙයින් තව තවත් විසිරිණි. පරිසරයේ නිහඬ බව නිසා සිතට නැඟෙන දේ පිළිතුරු ලෙස කියා ගනු නොහැකිව එවිට ඔහු නපුරු බැල්මකින් රවා බලයි.
නෑ.. ඇත්තම කියනවා නම් ඇස් දෙක දිහා බල බල වෙරි වෙවී හිටියේ මම!” මා යළිත් රහසින් කියන්නේ ඔහු තවත් කෝප ගන්වන අටියෙනි.
පාඩම් කරනවා.. පාඩම් කරනවා කෝලම් කරන්නේ නැතිව!”එවර නම් ඔහු සිනාසේ . ඒ, මා හට මත් වීමට ඒ මත් දෑසේ කිමිදීම සෑහෙන බව ඔහු දැන සිටි නිසා යි.
…………………………………………………..
ඊට වසර ගණනාවකට පසු අප යළිත් දොඩමලු වෙමින් සිටියේ වයින් බෝතලයක පතුලට කිට්ටුව දීයි. ස්වභාවයෙන් ම මත් වූ ඒ දෑසට එදා වයින් මතත් එක් වී රත් පෑ වී තිබිණි.
නින්ද නොයන නිසායි බොන්න පටන් ගත්තේ!”
ඔහු වයින් බෝතලය පෙන්වමින් නිදහසට කරුණු කියන්නා සේ පැවසීය. අවන්හලේ දහසකුත් එකක් හඬ තිබුණ ද අප අසල තිබුණු උදුනේ දැවෙන දර කොට වලින් නිකුත්වෙන සියුම් ශබ්දයත් කවුළු මත ඉහිරෙන වැහි බිඳු වල තාලයත් පමණක් මට ඇසෙමින් තිබිණි. එළියේ වැස්ස, කුණාටුවක් වීමට අර අඳිමින් පසු විය. සුළඟ ගස් වලින් ඉරා ගත් පත්‍ර වියරුවෙන් දස අත විසුරවමින් තිබිණි.
ඉතින් බිව්වහම නින්ද යනවද?” තවත් අපමණ දේවල් අසනවා වෙනුවට මම ඇසුවෙමි. තවමත් එදා මෙන් ම අවුල් ව තිබුණුඔහුගේ කෙහෙරැළි වැස්සේ ඇවිදීම නිසා තෙතබරිත වී තිබිණි.
නැහැනේ! බලන්නකෝ ඒකෙත් හැටි නේද?” ඔහු සිනාසුණේ පෙර පුරුදු ලෙසටමයි.
මම කිසිත් නොකියා අප අතර මේසය මත ඇඟිලි තුඩගින් රටා මවමින් වරුවක් ගතකළෙමි.
ඉතින්? මොනවාහරි බොන්න ගේන්න කියන්නද? වැස්සේ තෙමුණු නිසා කොත්තමල්ලි එකක්?”
ඔහු කිසිදු සිත් තැවුලක් නැති ලෙසට රඟපාමින් සිනාසී ඇසුවේය. මට මෙන් ම පපුව මැද දැවී ගිනිගන්නා ලෝදියක් ඔහුට නොතිබුණා විය නොහැකියි.
වේටර් මල්ලි! මේ නෝනාට කොත්තමල්ලි එකක් ගේන්න!”
ඔහු උස් හඬින් පැවසුවේ මා හැරෙන්නට සිංහලෙන් දුන් ඔහුගේ ඇණවුම තේරුණු කෙනෙක් අහලක නොසිටි බව දැනගෙනයි.
ඔහුගේ විහිලු වලින් උපන් සිනහවත්, ඉමක් කොණක් නැති දුකත් මගේ වචන උදුරාගෙන තිබිණි.
මා දෙස නිසොල්මන්ව බලාගෙන උන් ඔහු හදිසියේම නැඹුරු වී මගේ තෙත කෙහෙරැළක් එය ඇලී තිබුණු කොපුලතින් මුදාගෙන අතැඟිල්ලක පටලවා ගත්තේ ය. ඒ වෙද්දීත් මගේ හිසකෙසින් බේරුණු වැසි දියෙන් කබාය තෙත් වී තිබිණි. ඔහු මෙන්ම එතැනට එන්නට පෙර මාද වරුවක් තිස්සේ වැස්සේ තෙමෙමින් ඉබාගාතේ ඇවිද තිබුණි.
එහෙම නැත්නම් මත් වෙන ජාතියක්?”
ඔහු රහසෙන් මෙන් මගෙන් විමසුවේ ය. එතෙක් වේලා සෙමෙන් ගත වූ කාලය සම්පූර්ණයෙන් ම නැවතුණේ හුස්ම කීපයක වේගයෙනි. යළිත් වතාවක් මා ඒ මත් දෑසේ කිමිදී ගිලෙමින් සිටියෙමි.
නෑ.. මේ වැඩිත් එක්ක මත් වෙන්න!” මම ඇසෙන නෑසෙන හඬින් කීවෙමි.

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල