විශේෂ, සංචාරක හා ඡායාරුප

වෙහෙරගල ලුණුගම්වෙහෙර 01 – කටු සමග කැලෑ බළල්ලු

Off

මේ කියන්න යන්නෙත් කැලෑ කතාවක් උනාට වෙනදට වඩා වෙනස් කතාවක්, කතාවක් කියල කිව්වට කතා කීපයක්, සිදුවීම් කීපයක්. කොයිකටත් කියල කියවලම බලන්නකෝ.

මම රස්සාවෙන් අස්වෙලා රට යන්න හිතාගෙන හිටියේ 2010 පෙබරවාරි 17 වෙනිදා. ඊට කලින් රටේ තොටේ ඇවිදින්න යන්න හිතාගෙන ටිකක් කළින් කරකර හිටපු රස්සාවෙන් අස්වෙන්න මම තීරණය කලා. මට අස්වෙන්න තිබුනේ ජනවාරි 15 වෙනිදා.

එහෙම තිබුණත් ඊට කලින් ඉඳලම මම ඇවිදින වැඩේ පටන් අරගෙන තිබ්බේ. රස්සාවෙන් අස්වෙන්න ලියුම දුන්නට පස්සේ මම වැඩිය වැඩට ගිහිල්ලම නැහැ කියල තේරෙන්නේ මගේ ෆොටෝ කලෙක්ෂන් එක බැලුවම.
දෙසැම්බර් මාසේ අපිට ෂට් ඩවුන් තිබුනේ 13, 14, 15 සති අන්තයේ. ගෙදර ගිහින් ඇවිත් 16 වෙනිදා මම අස්වීමේ ලියුම දුන්නා. එතනින් පස්සේ 25, 26, 27 මම නුවරඑළියේ. ආපහු ජනවාරි 06, 07, 08 මම ඉඳල තියෙන්නේ ගෙදර. ඊට පස්සේ 12, 13, 14 මම ඉඳල තියෙන්නේ වෙහෙරගල. ඒ දවස් ටිකත් ෂට් ඩවුන් එකක්. ඔහොම වෙලා ජනවාරි 15 ආපහු ඇවිත් රස්සාවෙන් අස්වුණා.

මම මේ දින වකවානු කියන්න හේතුව වුනේ වැඩබිමක වැඩ කරන උදවිය දන්නවනේ මෙව්වයේ එහෙම ලේසියෙන් නිවාඩු ගන්න හැකියාවක් නැති විත්තිය. ගොඩ වෙලාවට නිවාඩු දෙන්නේ මාසෙකට වතාවයි. ඒකට කියන්නේ ෂට් ඩවුන් එක කියලා.

හැබැයි මම කවදාවත් ඒ නිවාඩුව විතරක් අරගෙන අත පිහිදාගෙන හිටපු මනුස්සයෙක් නෙමෙයි. එහෙම කරන්නත් සාධාරණ හේතු තියෙනවා. සමහර දවස්වල නයිට් එහෙම ගහල එක දිගට කටු කාගෙන වැඩ කරලා තියෙන නිසා ඒ වගේ චෑන්ස් ගන්න පුළුවන් කම මට තිබුනා.

ඔන්න ඔහොම කොහොමින් හරි මම ජනවාරි 12 වෙනිදා උදේ කුරූ ට කෝල් එකක් දාල කිව්වා මම අද එනවා හවස මාව ගන්න වරෙන්ය කියලා. ඌ මාව ගන්න තණමල්විලට එන්නම් කිව්වා. එදා සයිට් එකේ පඩි දවස. උදේ 10 ට විතර ඕෆ් වෙලා කැමරා ආම්පන්න ටික දාපු බෑග් එකත් පිටේ එල්ලගෙන පොඩි බෑග් එකකට රෙදි කඩමාලු ටිකකුත් දමාගෙන වෙහෙරගල යන්න පිටත් වුනා. බත්තරමුල්ලේ බෝඩිමෙන් පිටත් වෙච්ච මම මුලින්ම ගියේ කඩුවෙලට. පරක්කු වෙන නිසා මම දවල්ට කන්න නතර උනෙත් නැහැ. කඩුවෙලින් කෙටි කෑම ටිකක් බඩට දාගෙන තේ එකක් බිව්වා. පොඩි වතුර බෝතලේකුත් අරගෙන බස් එකක් එනකල් කල්මරන්න පටන් ගත්තා. ඒ අව්අස්සේ පොඩි පහේ චු බරක් හැදිච්ච නිසා කඩයක් පිටිපස්සේ තියෙන ටොයිලට් එකක් හොයාගෙන ගියේ ඒ බරෙන් නිදහස් වෙන්නය කියල හිතාගෙන. මම එතනට යද්දී ගිනි මද්දහනේ කියල බලන්නේ නැතුව හොඳට ඇඳ පැළඳ ගත්තු බුවාස්ලා දෙන්නෙක් මුල්ලකට වෙලා අමුවෙන්ම කාලක් ක්‍රියා කරනවා. කාලක් කිව්වට කාලක්ම නෙමෙයි කාලවල් දෙකක්, ඒ කිව්වේ බාගයක් විතර.

එදා දවසේ මොකක්හරි විශේෂත්වයක් තිබුනා, එක්කෝ පහුවෙනිදා මොකක් හරි ජන්දයක් හරි වෙන මොකක් හරි අහවල් එකක් නිසා හරි බස් වල යන්න සෑහෙන සෙනග හිටපු දවසක්. ඒ මදිවට බසුත් ටිකක් අඩුයි. ටික වෙලාවක් එතන ඉන්නකොට අර බුවාලා දෙන්නත් හිමීට බෑග් මලු දෙකකුත් අරගෙන බස් නතර කරන තැනට ආවා. විනාඩි හතළිස් පහක් විතර එතන හිටගෙන හිටියට පස්සෙයි ඕන් බස් එකක් ආවේ. ඒකෙත් හොඳටම සෙනග. අමාරුවෙන් බෑග් දෙකත් එල්ලගෙන බස් එකට නැග ගත්තා. බෑග් දෙක ඩ්‍රයිවර් මහත්තයා ඉන්න කිට්ටුව ඉස්සරහින්ම තියලා, මමත් ඒ කිට්ටුවම අයිනක හිටගෙන තණමල්විල බලා යන මගේ ගමන පටන් ගත්තා. කැමරා එක නිසා බෑග් දෙක එතන තියෙන්න ඇරලා පිටිපස්සට යන්නත් බැහැ. බස් එක යනවා යනවා ඉවරයක් නැහැ. හිටගෙන ඉඳල මට එපාවෙලා තිබුනේ. එදා දවසේ හොඳකම කියන්නේ තණමල්විලෙන් බහිනකල් මට වාඩිවෙන්න තියා හේත්තු වෙන්න සීට් මුල්ලක්වත් හම්බ වුනේ නැහැ.

තණමල්විල කිට්ටු වෙද්දී මම මුලින්ම කලේ කුරූට මගේ පැමිණීම දන්වලා කෝල් එකක් දීපු එක. උගෙත් හොඳකම කියන්නේ මම තණමල්විල බහිද්දීත් ඌ ඇවිත් හිටියේ නැහැ. ඌ එන්න තව විනාඩි පහළොහක් විස්සක් යනවා කියපු නිසා ළඟ තිබ්බ කඩේකට ගිහින් තේ එකක් කාරිය බීලා එළියට ඇවිත් ටික වෙලාවක් ඉන්නකොට මෙන්න මු එනවා වෙනද වගේ කබල් ජීප් එකෙන් නැතුව ටිකක් ඉතර අලුත් කැබ් එකක නැගගෙන.
මෙන්න අපි වෙනද යන වාහනේ. මු කැලේ ඇතුලේ මේ දරහැව වගේ වාහනේ නැගගෙන වල ගොඩැලි බලන්නේවත් නැතුව හුරේ කියල යනවා. ඒකෙ පිටිපස්සේ වැඩිවෙලා යන උන්ට සොරිම තමයි.

weheragalaa-2

weheragalaa-3

කැබ් එක ඇතුලේ පිටිපස්සේ සීට් එකේ තව කවුද බුවෙකුත් හිටියා. මිනිහගේ නම කුමාර වගේ තමයි මට මතක. බුවා කුරූල එක්ක වැඩ කරන සේවක මහත්තැන් කෙනෙක්. මම දැන් කැබ් එකේ ඉස්සරහ සීට් එකේ වාඩිවෙලා බෑග් මළු ටික පිටිපස්සේ සීට් එක උඩට පැටෙව්වා. ඔන්න අපි දැන් ගමනේ. බස් එකේ හිටගෙන ආපු අමාරුවත් එක්ක මේ වෙද්දී මට හොඳට මහන්සිත් එක්ක. අපි එදා වෙහෙරගල යන්න ඇතුල් වුනේ ලුණුගම්වෙහෙර පැත්තෙන්. ලුණුගම්වෙහෙරට ඇතුල්වෙන ගේට්ටුව ගාව තිබුණ විදුලි වැටේ අනිත් තැන්වලට වඩා පොඩි පිළිවෙල ගතියක් තිබුනා. විදුලි වැට ඒ කොටසේදී හදල තිබුනේ කම්බි කොයිල් එකක් වගේ එකකින්. අතින් අල්ලන්න හොඳ ප්ලාස්ටික් හැන්ඩ්ල් එකකුත් තිබුනා. ඒ හැන්ඩ්ල් එක ඇතුලෙන් යන කම්බිය අගිස්සේ කොක්කක් තියෙනවා විදුලි වැටේ තියෙන මුද්දක අමුණන්න. වාහනයක් ඇතුළට හරි එළියට හරි යද්දී ඒක ගලවල අහක් කරලා ඊට පස්සේ ඒ කොක්ක වගේ කොටස අමුණලා දානවා. අපි එතනට ගියාට පස්සේ ඒ වැඩ කොටස කලේ කුමාර අයියා. වාහනේ ඇතුළට ගන්නකල් ඉඳලා කොක්ක අමුණල දාපු කුමාර අයියා ඇවිත් කැබ් එකට නැග ගත්තා.

වාරිමාර්ගේ වාහන නිසා ගේට්ටුවෙන් ඇතුල් වෙද්දී අනවශ්‍ය ප්‍රශ්න අහන්නෙ නැහැ. ඒ වගේම තමයි උන් ඇවිත් විදුලි ගේට්ටුව අරින්නෙත් නැහැ, වහන්නෙත් නැහැ. නිකං යන්න දීලා තියෙන එකේ ගේට්ටු එහෙම ඇරගෙන කොකු ගලෝගෙනම පලයල්ලා කියල වගේ තමයි එතන හිටපු සික්ක අයියලා ටික ඉන්නේ. අපේ අමතර වාහනයක් ගියොත් තමයි පොඩ්ඩක් ඇවිත් හෝදිසි කරලා බලන්නේ “මේ වාහනේ කොහෙද යන්නේ” කියලා. ඒකත් ඉතින් වාරිමාර්ගේ වාහනයක් කියල කිව්වට පස්සේ වැඩි කතාවක් නැතුව අපි ඔක්කොම ඇතුළේ.
ඔන්න අපි දැන් ඉස්සරහට යනවා. මේ වෙද්දී බිම්කළුවර වැටිලත් අහවරයි. අපි දැන් ටික ටික කැලේ ඇතුළට යනවා. මෙහෙම ගියාම එක හරියක් තියෙනවා පාර හරහා සපත්තු පාළමක් දාල තියෙන. අන්න ඒ හරියේදී අපි එක පාරට දැක්කා මොකෙක්හරි තරමක සතෙක් උඩ පනිනවා, ආපහු වැටෙනවා. ආපහු උඩ පනිනවා කියලා.
වාහනේ හිමීට කිට්ටු කරලා බලද්දී පත වල් බළල් තඩියෙක්. පොඩි පොඩි කෘමි සත්තු අල්ල ගන්න පොදි කනවා. පොඩියි කිව්වට පළගැටියෝ වගේ සත්තුන්වද කොහෙද ඌ අල්ලගෙන කෑවේ.

මේ වගේ චෑන්ස් එකක් ලේසියෙන් එන්නේ නැති නිසා කුරූට මම කිව්වා කැබ් එක නතර කරපිය කියලා. කුමාර අයියට කියල කැමරා බෑග් එක අරගෙන කැමරා එක එළියට ගත්තා. හදිස්සියේ ආපු නිසාද කොහෙද එදා මම ටෝච් එක අමතක වෙලා ඇවිත් තිබ්බේ. ඒ නිසා කැමරා එක ෆෝකස් වෙන්න ගහන්නවත් එළියක් තිබ්බේ නැහැ. බළල් හාමිට එළිය වදින විදිහට කැබ් එක පොඩ්ඩක් කැලේ පැත්තට හරවන්න කියල කිව්වේ ඒ අඩුව පිරිමහ ගන්න. ඒ එළියේ පිහිටෙන් යාන්තමට ෆොටෝ කෑලි දෙක තුනක් කොටා ගත්තා. ඒත් හොඳම මට්ටමේ ෆොටෝ එකක්වත් එතන තිබුනේ නැහැ. පූස් නාට්ටව දැක්ක කියල කියන්න ඇති වෙන්න ෆොටෝ දෙකක් තුනක්නම් තිබුනා.

weheragalaa-4

දැන් ඉතින් කියන්න එපා මු ගෙවල් වල ඇති කරන පුසෙක් වගේ කියලා. පෙනුම එහෙම උනාට මේකා කැලෑවේ ඉන්න පුස් වර්ගයක්. සිංහලෙන් නම කිව්වොත් Jungle Cat වගේ තමයි මතක. මෙයාට සාමාන්‍ය වහර අනුව වල්බළලා එහෙමත් නැතිනම් වල්බාවා කියලත් කියනවා.

ඔන්න දැන් ඌ ටික ටික ඉස්සරහට යන්න තිබා ගත්තා. ඒ පැත්තට යන්න කියල කිව්වට කුරූ යන්න හදනවා, ඒත් වාහනේ යැවෙන්නේ නැහැ. පුෂා ගැන හිතන එක පැත්තක දාලා එන්ජිම සැර දාල අල්ලන්න කිව්වා. ම්හු… වැඩේ හරි යන්නේ නැහැ. රෝද එක තැන කරකැවෙනවා විතරයි.

ඔන්න අපි තේරුම් ගත්තා දෙයියනේ කියල අපේ කැබ් එක එරිලය, තල්ලුවක් නැතුව යා ගන්න බැරි විදිහට හිරවෙලාය කියලා. රජයේ වාහනයක් නිසා හතරගාතේ “ඒ කිව්වේ ෆෝ වීල් එක” ගලවලලු තියෙන්නේ වියදම අඩු කර ගන්නය කියල හිතාගෙන. ඒ අපේ මෝඩ මිනිස්සුන්ගේ තියෙන පිස්සු මරගාත වැඩ. ඒ වගේ වාහනේක හතරගාතේ ගැලෙව්වා කියල ලැබෙන මහලොකු සෙතක් නැහැ. තියෙන එකම සෙතේ තමයි මේ වගේ වෙලාවක බඩු හම්බ වෙන එක. මේ වෙද්දී වෙලාව රෑ හතත් පහු වෙලා. හොඳටම කළුවර වැටිලා.

කරුමෙට කකුල් හතරයි කියල කියනවනේ. අන්න ඒ වගේ එදා මගේ ගාව ටෝච් එකක් තිබ්බෙත් නැහැ. කැබ් එකෙත් හෙඩ් ලයිට් ඇරෙන්න වෙන එළියකුත් නැහැ.

සීන් එකටම ගැලපෙන විදිහට හීනියට පොද වැස්සකුත් පටන් ගත්තා. මගේ අතේ තිබ්බ ෆෝන් එකේ බැටරිය ගොඩක් බැහැල තිබ්බේ නැහැ. ඒකේ සහන් එළියෙන් බැලුවම තේරුනේ කැබ් එකේ පැත්තක් පාර අයිනේ වැලිවලින් ගොඩවෙලා තණකොළ වැවිල වැහිලා තිබ්බ කණුවකට දෙරි ගහල කියලා.

ආණ්ඩුවේ වාහනයක් කියල නැහැ. මේකේ දෙයියනේ කියල ජැක් එකක්නම් තිබ්බා, කාපට් දෙක තුනකුත් තිබ්බා, අමතර රෝදය ඒ කිව්වේ සිංහලෙන්නම් ස්පෙයාර් වීල් එකත් තිබ්බා. ඔන්න අපිට දැන් කැබ් එක ගොඩ දා ගන්න තිබ්බ බඩු මුට්ටු ටික. ඊට අමතරව අපි තුන් දෙනෙක් හිටියා.

මුලින්ම කලේ ජැක් එක ගහලා එරිල තියෙන පිටිපස්සේ රෝදේ පොඩ්ඩක් උස්ස ගත්තා. ඊට පස්සේ එතන යට තිබ්බ වැලි අත් වලින්ම අහක් කලා. මම කලා වගේ කිව්වට ඇත්තටම මේ වැඩ වලින් වැඩි හරියක් කලේ කුරූගේ කම්කරු නිලධාරි මහත්තැන් කෙනෙක් වෙච්ච අපේ කුමාර අයියා. ඊට පස්සේ ස්පෙයාර් වීල් එක අර වලට එබුවා. ඊට උඩින් අර බෝල බෝල හිලවල් තියෙන කාපට් තියෙන්නේ, ආන් එයින් එකක් දාලා ජැක් එකේ බර අහක් කරලා දැම්මා. මේ වැඩ යන අතරේ සරින් සැරේ අලි කුයිලේ එනවා යනවා කියන එකත් අපිට නොතේරුනා නෙමෙයි. එක පැත්තකින් කරන්ට් වැට තිබ්බ නිසා ඒ පැත්තෙන් අලින්ට එන්න බැහැ. අපේ වාහනේ පාරෙන් වැඩිපුර බරවෙලා තිබ්බේ ඒ පැත්තට. අලි ආවත් කරන්න දෙයක් නැහැ, ඌ එන්න කලින් වාහනේ ඇතුළට පැනගන්න එක ඇරෙන්න වෙන විසඳුමක් නැහැ.

දැන් ඔන්න අනිත් රෝදෙටත් කාපට් එකක් රින්ගෙව්වා. ඒ පැත්තේ වැලි අහක් කරන්න ඕනේ උනේ නැහැ. ඊට පස්සේ රිය පැදවීමේ වාරය මගේ. මම දෙතුන් පාරක් විතර ට්‍රයි කරලා සැර දැම්මට පස්සේ කැබ් එක යාන්තං පාර දිහාට ආවා. දැන්නම් මාර සැටිස්. හැබැයි එකසිය ගාණට බඩගිනියි. වෙලාව රෑ නමයත් පහුවෙලා. පැය දෙකකට වඩා අපි එතන කට්ට කාල තිබ්බා. පොළවේ වාලපු ස්පෙයාර් වීල් එක ගොඩ අරගෙන, කාපට් ටිකයි, ජැක් එකයි ඔක්කොම කැබ් එකේ පිටිපස්සට පැටෙව්වා. ඒවා කැබ් එක ඇතුළට ගන්න බැරි තරමට වැලි වලින් වැහිලා. අපිත් ඊට දෙවෙනි නැහැ, චුරු චුරු පොද වැස්සේ තෙමිලා අපිත් තෙමිච්ච කුකුල්ලු වගේ. ඒකත් කමක් නැහැ කියමුකෝ.දැන් ඔන්න කුරූ අපිවත් කැබ් එකේ දාගෙන උන්ගේ ඔෆිසිය, නවාතැන හරි මොකක්ද මන්ද මම අර කළිනුත් පෝස්ට් එකක කියල තිබ්බේ, අන්න ඒක බලා ගමනේ යෙදෙනවා.

එහෙම ගමන පටන් ගත්තට අපිට අපේ ගමනාන්තෙට ඒ කිව්වේ අපේ නවාතැනට නිදහසේ යන්න බැරි උනා. කොරේ පිටට මරේ කියල කියන වර්ගයේ වැඩක් සිද්ධ වෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ, ඒ සිද්ධිය ඊළඟ කොටසින්ම බලමු.

http://widiyabandara.blogspot.co.uk/2015/05/01.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල