කාලීන සංවාද

දෙමළ ජාතිවාදීන් මේ සැරසෙන්නේ කුමට ද?

Off

ජාතිවාදීන්ගේ බොරු දත
මෙය අති විශිෂ්ට දේශපාලන කාටුනයකි. ඇත්තෙන් ම ජාතිකවාදය කියා රෙද්දක් නැත. තිබෙන්නේ ජාතිවාදයයි. සිංහල හෝ දෙමළ යනු ජාතිකවාදයන් නො වේ. මන්ද, ජාතිකවාදය සඳහා ඉවහල් වන සිංහල හෝ දෙමළ ජාතික රාජ්‍යයන් යථාර්ථය තුළ නැත. ශ්‍රී ලංකාව යනු සිංහල මූලික පාලනයක් ඇති රටකි. එහෙත් එය සිංහල ජාතික රාජ්‍යයක් නො වේ. ලංකාව තුළ සිංහල හෝ දෙමළ හෝ ජාතික රාජ්‍යයක් බිහි කර ගන්නට තැත් කරන්නෝ බෙදුම්වාදියෝ ය.

ලංකාවේ ජාතික ප්‍රශ්නය වන්නේ මෙම ජාතිවාදයන් අතර ගැටුමයි. මෙම ගැටුම අතරමැද එකිනෙකට ප්‍රතිවිරුද්ධ වූ මෙම ජාතිවාදයන් විසින් එකිනෙකා පෝෂණය කරනු ලබයි. ලංකාවේ ජනතාවට පුළුල් දේශපාලන ප්‍රජාවක් කරා පරිණාමය වන්නට බැරි වී තිබෙන්නේ මෙම ජාතිවාදයන්ගේ ප්‍රතිඵලයක් ලෙසයි.

මේ මොහොත අතිශය වැදගත් ය. ලංකාවේ ජනතාව ඒකාධිපති පාලනයක් පරදවා ප්‍රජාතන්ත්‍රවාදය දෙසට ප්‍රගතිශීලී පියවරක් තැබුවා පමණි. බලාපොරොත්තු රහිත මොහොතක ජාතිවාදය භයානක අන්දමින් හිස ඔසවමින් තිබේ.

පළමු ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ උතුරේ දෙමළ ජාතිවාදීන්ගෙනි. කණගාටුදායක තත්වය වන්නේ මෙය සිදු වන්නේ දකුණේ සිංහල ජාතිවාදය පසුබස්වා තිබෙන සංදර්භයක වීමයි.

දෙමළ ජාතික සන්ධාන නායකයන් දෙදෙනෙකු වන සම්බන්ධන් හා සුමන්තිරන්ට උතුරේ දෙමළ ජාතිවාදීන් දැඩි සේ විරෝධය පළ කරන්නේ ඔවුන් දරන මධ්‍යස්ථ ස්ථාවරයන් නිසා ය. සිංහල ජනතාව හා ආණ්ඩුව සමග ඔවුන්ගේ ඇති සම්බන්ධතා නිසා ය.

මේ ගැන රත්නජීවන් හූල් ලියූ ලිපියක මෙසේ දැක්වේ.

“ශ‍්‍රී ලාංකිකයන් වන අප දැන් සිටින්නේ තීරණාත්මක මංසන්ධියකයි. දෙමළ ජාතික සන්ධානය තුළ ජාතිකවාදී ගසාකන්නන් සිටින්නා සේම, ආණ්ඩුව තුළ ද වර්ගවාදියෝ සිටිති. ප‍්‍රජාතන්ත‍්‍රවාදය දැන් ක‍්‍රියාත්මක වන්නේ ඒ දෙපිරිසම මධ්‍යයේය. එසේ වෙතත්, ඒ දෙපිරිසේම නායකත්වය මේ අවස්ථාවේ සාමය, සංහිඳියාව සහ ප‍්‍රතිසංස්කරණය වෙනුවෙන් කැප වී සිටිති. ආණ්ඩුව මෙහි දී පමණට වඩා මන්දගාමී වෙනවා විය හැකිය. එහෙත් ඔවුන්ගේ සද්භාවය, අඩු වශයෙන් හමුදාව පවරාගෙන සිටි ඉඩම් ආපසු ලබා දීම සම්බන්ධයෙන්වත් අපට දැක ගත හැකිය.

“ආණ්ඩුව සමග දෙමළ ජාතික සන්ධානය කාර්ය නියුක්ත වීම මේ අවස්ථාවේදී තීරණාත්මක වන්නේය. සිංහලයන් දෙන පොරොන්දු හැම විටම කඩ කරතියි මොරගෑම සමහර විට ආකර්ශනීය සටන් පාඨයක් විය හැකිය. එහෙත් දෙමළ ජාතික සන්ධානයේ ජාතිකවාදී මොරදීම හේතුකොටගෙන, ආණ්ඩුවට කළ හැකිව තිබෙන දේවල් පවා කර ගැනීම දුෂ්කර කැරැුවිය හැකිය. කැබිනට් තනතුරු භාර ගනිමින් ආණ්ඩුවට මග පෙන්වීමක් කිරීමට දෙමළ ජාතික සන්ධානයට හැකි වන්නේ නම්, ඒ මගින් කැබිනට් මණ්ඩලය තුළ සිටින අන්තවාදීන් මැඩලීමට ද යම් බලපෑමක් කිරීමට ඔවුන්ට හැකි වනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි.” සම්පූර්ණ ලිපිය මෙතැනින් කියවන්න.

ජාතිවාදීන්ගේ මූලික ලක්ෂණය වන්නේ ජාතික ප්‍රශ්නය විසඳා ගන්නට සූදානමක් නැතිකමයි. ඔවුන්ට උවමනා මේ ගැටුම දිගට ම පවත්වා ගන්නට ය. ජාතිවාදයන් පියමං කරන දේශපාලන ප්‍රජාවක් ‍ගොඩනැගීමට ඉවහල් වන්නා වූ රාජ්‍ය ප්‍රතිසංස්කරණයකට ඔවුහු ඉඩ නො දෙති.

ජාතිවාදය පරාජය කරමින් නැගී සිටි අලුත් ආණ්ඩුව ස්ථාවර වන්නටත් පෙර මහා පෙළපාලි යමින්, මධ්‍යස්ථ දෙමළ නායකයන්ට මරණීය තර්ජන කරමින් දෙමළ ජාතිවාදීන් නටන ‍මේ නාඩගම තේරුම් ගත යුත්තේ එසේ ය.

එසේම, ජාතික ප්‍රශ්නය න්‍යායිකව පටලවමින් ප්‍රගතිශීලී වාමාංශික බලවේගය ද කොටි සංවිධානය සමග ම වල පල්ලට යන්නට සැලැස්වූ සිංහල වාමාංශික කොටස් ද මෙම තත්වය තුළ පිබිදී සිටිනු දකින්නට ලැබේ. දෙමළ ජාතිවාදය ප්‍රගතිශීලී ජාතිකවාදයක් ලෙස උත්කර්ෂයට නගන වාමාංශිකයකු වන රෝහිත භාෂණ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විකල්ප වෙබ් අඩවියට කරන පහත සඳහන් ප්‍රකාශය කියවා බලන්න.

“විපක්ෂයේ සංධානයේ මූලික ගැටලුව විදිහට ඒගොල්ලො පොර බැදුවේ දූෂණ සහ වංචා සම්බන්ධයෙන් අලුත් ආණ්ඩුව යටතේ ක්‍රියාමාර්ග ගන්නවා. අපි දන්නවා ඒ වෙලාවේ මැතිවරණ වේදිකාවේ පාවිච්චි වෙච්ච වචනේ තමයි ‘මෙගා ඩීල්’. මෙගා ඩීල් කාරයෝ හෙළිදරව් කිරීම සහ ඔවුන්ට දඩුවම් පැමිණ වීම. මෙගා ඩීල් කාරයෝ කොපමණ දුරට හෙළි දරව් වෙලා තියනවාද? ඔවුන්ට කොපමණ දඩුවම් පමුණුවලා තිබෙනවාද යන්න, තේරුම් ගන්න ඔබට පුලුවන්! දෙමළ ජනයා සම්බන්ධයෙන් ඒ වෙලාවේ තිබුණු ආකල්පය තමයි, දකුණේ, දෙමළ ජනයා ඡන්දය දෙනවානම් හැමකෙනාම කැමතියි. මේ වෙනස බලාපොරොත්තු වෙච්ච හැම කෙනෙක්ම යටි සිතෙන් අපේක්ෂා කළා දෙමළ ජනයා මේ වෙනසට පක්ෂව ඡන්දය දෙනවා නම් කැමතියි. හැබැයි ඒක මැතිවරණයට කලින් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් විදිහට නොකරනවා නම් කැමතියි. මොකද, එය ප්‍රසිද්ධ ප්‍රකාශයක් විදිහට කිව්වොත් එහෙම ‘අන්න දෙමළ ජනයාගේ ඡන්ද වලින් දිනන්න යනවා’ කියන සටන් පාඨය අනෙක් අය විසින් පාවිච්චි කරයි කියලා. මෙතන ප්‍රජාතන්ත්‍රවාදයේ උභතෝකෝඨිකය ඒකයි. මුළික ගැටලුව මේකයි. දෙමළ ජනයා මැතිවරණයට සහභාගි වෙන්නත් ඕන. ඒ අවශ්‍ය වෙනසට දායක වෙන්නත් ඕන. හැබැයි ඒ වෙනසට දායක වෙන්නේ මේ වගේ කොන්දෙසි යටතේ කියලා කියන්නත් බැහැ. ඒක විසින් අගතියක් වෙනවා කියලා. දෙමළ ජනයා කිව්වෙ නෑ, කාගේ වෙනසට ද ඡන්දෙ දෙන්නේ කියලා මුලින්. ඡන්දෙ දෙන මොහොතේදීත් කොන්දේසි මුකුත් පැනවුවේ නෑ. මොකද ඒ ගොල්ලො අවකාශයක් නිර්මාණය කර ගත්තා, තමන්ගේ බරපතලම ගැටලුව සාකච්ඡා කරීමට, ප්‍රසිද්ධියේ ඒ සම්බන්ධයෙන් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අවකාශය, ඒ ගොල්ලො නිර්මානය කර ගත්තා, නමුත් දැන් දෙමළ ජනයා එක හඩින් කියා හිටියේ අපට මුකුත් අවශ්‍ය නෑ අපට අවශ්‍ය යුක්තිය. අපේ මළවුන් වෙනුවෙන් නිදහසේ පහනක් පත්තු කරලා ඔවුන් සමරන්න තියන අයිතියට පළවෙනි දේ තමයි, සත්‍ය සහ යුක්තිය ඉටු වෙන්න ඕන කියලා. දැන් ඒක තමයි මැතිරණයෙන් පස්සේ ගත් වෙච්ච මාසෙදි ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දෙන් පත්වෙච්ච සෑම පක්ෂයක්ම, ආණ්ඩුවත් එක්ක කටයුතු කරපු ඊපීඩීපී සංවිධානය පවා මේ කියන වර්ග සංහාරය පිළිබදව යෝජනාවට පක්ෂව ඡන්දෙ දුන්නා. මේකට උතුරු සහ නැගෙනහිර සිවිල් සමාජ සංසදය ප්‍රසිද්ධියේ සහය පළකලා. ඒ වගේම යාපනයේ විශ්ව විද්‍යාල ආචාර්යවරු මේකට සහය පළ කලා. දෙමළ ජනයගේ පුලුල් හරස්කඩක් විසින් පෙන්නුම්කරලා තියනවා, මේක අපේ සාමූහික අභිලාෂයන්ගේ ප්‍රමුඛතම කාරණාව. දැන් දකුණේ ප්‍රජාතන්ත්‍රීය යැයි සැළකුණ පිරිස් වලට වගකීමක් තියනවා, දෙමළ ජනයා ඔවුන් බලාපොරොතු වෙච්ච වෙනසට දායක වෙලා ඉවරවෙලා ඔවුන්ගේ ප්‍රමුඛතාවය ප්‍රකාශයට පත් කළා. ඒ ප්‍රමුඛතාවය සම්බන්ධයෙන් තමන් මූලධාර්මිකව විශ්වාස කරන දේ කීමේ සදාචාරාත්මක සහ දේශපාලනික වගකීම දකුණේ මේ ප්‍රජාතාන්ත්‍රික වෙනස සම්බන්ධයෙන් දායක වෙච්ච අයට තියනවා. දැන් තියෙන්නේ ඒ මොහොත.” (සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව මෙතැනින් අසන්න)

අර්ධ සත්‍යයන්ගෙන් පිරි මෙම ප්‍රකාශයෙන් කරන්නේ ද මෙම දෙමළ ජාතිවාදී ප්‍රවණතාව ඇගයීමයි. දෙමළ ජාතිවාදයට පක්ෂ සිංහලයන්ට හෝ මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට අවශ්‍ය නම් අනුගමනය කළ යුතුව තිබෙන්නේ මෙම ප්‍රවේශය නො වේ.

මෙය සිංහල ජාතිවාදීන්ට කදිම උඩගෙඩි දීමක් බව අමුතුවෙන් කිව යුතු නො වේ.

‍යුද්ධයේ අවසන් සමයේදී රජයේ හමුදා මෙන් ම කොටි සංවිධානයත් යුද අපරාධවල යෙදුණු බව හා විශාල දෙමළ ජන ඝාතනයක් වූ බව අපි පිළිගනිමු. එම ජන ඝාතනයට පවා දෙමළ ජනයා මිනිස් පළිහක් ලෙස භාවිතා කළ කොටි සංවිධානය ද වගකිව යුතු ය. මෙම යුද්ධය සිදු වුණේ රජයේ, සිංහල ජාතිවාදීන්ගේ, කොටි සංවිධානයේ හා එයට සහයෝගය දුන් දේශීය හා විදේශීය ජාතිවාදී කොටස්වල ද උවමනාව මත බව අප අමතක නො කළ යුතු ය.

යුද අපරාධ සිදු කළ අය අල්ලා දඬුවම් කිරීම මුවාවෙන් කරන මේ උද්ඝෝෂණයේ මූලික අරමුණ සැක සහිත ය. ‍ලංකාවේ දෙමළ වාර්ගික සංහාරයක් සිදු වූ බවට ගෙන එන ලද යෝජනාව ද එබඳු ය. මේ වෙලාවේ මේ අන්දමින් අතිධාවනකාරී යෝජනා ගෙන එමින්, ජාතිවාදී පදනමින් ජනතාව නැවතත් බලමුළු ගන්වමින් මේ සැරසෙන්නේ ජාතීන් අතර සංහිඳියාවක් ඇති වීමට ඇති ඉඩකඩ අවුරා දැමීම සඳහා බව අපේ අදහසයි.

දෙමළ ජාතිවාදීන්ට හා ඔවුන් සමග සිට ගන්නා වාමාංශිකයන්ට අපට කීමට ඇත්තේ එක දෙයකි. ජාතිවාදී ගිනිදැල් ඇවිලවීම ඉතා පහසු ය.
මේ ගැන රත්නජීවන් හූල් මෙසේ පවසයි: “සිංහලයන් සමග මුහුණදීමේ දී ඉංගී‍්‍රසියෙන් පළවන විවිධ මතිමතාන්තර කියැවීමේ හැකියාවක් ඇති දෙමළ පිරිස් අද විරල ය. එවිට පිට්ටනිය විවර වන්නේ අන්තවාදීන්ට ය. කලින් පරම්පරාවන් සතුව තිබූ ලිබරල් මතිමතාන්තරවලින් වර්තමාන විශ්ව විද්‍යාල දෙමළ ශිෂ්‍ය ප‍්‍රජාව වියෝ කොට තිබේ. මන්ද යත්, ඔවුන් කියවන්නේ දෙමළෙන් පළවන වෙබ් අඩවි පමණක් වන බැවිනි.”

ජාතිවාදය ඇවිලවීම වීරකමක් නො වේ. අපහසු කාර්යයන් වන්නේ ජාතිවාදය පැරදවීම හා ජාතික සමගිය ඔස්සේ දියුණු දේශපාලන ප්‍රජාවක් වෙත පා නැගීමයි. ජාතික ප්‍රශ්නයට විසඳුම ඇත්තේ එතැනයි.

මේ මොහොතේ ප්‍රමුඛ ම දේශපාලන කාර්යය වන්නේ දේශපාලක සොරුන්ට, අපරාධකරුවන්ට, යුද අපරාධ කළවුන්ට දඬුවම් කිරීම පමණකැයි කිව නො හැක. එය සංකීර්ණ ක්‍රියාවකි. ඒ සඳහා පරීක්ෂණ සිදු විය යුතු ය. හැඟීම් මත පදනම්ව මෙවැනි අපරාධ සම්බන්ධයෙන් දඬුවම් කළ නො හැකි ය. එමෙන් ම එය පදනම් වන්නේ එක්තරා ආකාරයක අතීතකාමයක් මත ය. අතිශය සංකීර්ණ තත්වයක් වූ ලංකාවේ සිවිල් යුද්ධය තුළ අගතියට පත් වූ පාර්ශ්වයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා ඇති එකම මාර්ගය වගඋත්තරකරුවන් සොයා දඬුවම් කිරීම පමණක් නො වේ. එය අනවශ්‍ය යයි අපි කිසි සේත් ම නො පවසමු. එහෙත් එය ඉදිරි ක්‍රියාමාර්ගවලට පළමු ඉටු කළ යුතු කොන්දේසියක් නො වේ.

වඩා වැදගත් කාර්යය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා සාමය ගොඩනැගීමයි. එය පහසු කාර්යයක් නො වේ. අපි ඒකාධිපති පාලනයක් පැරදවූ මුත්, එතරම් ශක්තිමත් ප්‍රජාතාන්ත්‍රික පාලනයක් තවම ගොඩනගාගෙන නැත. තිබෙන පාලනයෙන් යම් සාධනීය පියවර ඉටු කරවා ගන්නට හැකි තත්වයක් තිබේ. එබැවින් පවත්නා ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ගන්නා පියවරවලට අප විවේචනාත්මක සහයෝගය ලබා දිය යුතු ය. එ්වා අවුල් කර දැමීම ප්‍රතිගාමී ක්‍රියාවකි. මහින්ද රාජපක්ෂ ඒකාධිපතියා පළවා හැරීමේ අරගලයට හවුල් නොවූ, අනියමින් රාජපක්ෂ පාලනය පවත්වා ගැනීමට උපකාර කළ සිංහල අති වාම කණ්ඩායම් වන හිරු කණ්ඩායම, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි කොටස් මේ මොහොතේ වේගවත් ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටිමින් කරන්නේ අවුලක් නිර්මානය කිරීමයි. ඔවුන් සේවය කරන්නේ ජාතිවාදයටයි.

උතුරේ ජාතිවාදය හිස එසවීම රජයේ මිලිටරිහරණ ක්‍රියාමාර්ග නිසා සිදු වූවකැයි අර්ථකථනය කරන්නට දැන් සිංහල ජාතිවාදීන්ට අවස්ථාව ලැබී තිබේ.

මේ ක්‍රියාත්මක වන්නේ පැරණි උපායමාර්ගයකි. ඒ වනාහි උතුරේත්, දකුණේත් ජාතිවාදය ශක්තිමත් කරමින් ප්‍රගතිශීලී බලවේග හා ක්‍රියාමාර්ග දුබල කිරීමේ ප්‍රතිගාමිත්වයයි. විග්නේශ්වරන්, ටැමිල්නෙට්, රෝහිත භාෂණ වැනි අය කරමින් සිටින්නේ එම කාර්යයි. එය පැරදවිය යුතු ය.

දෙමළ මධ්‍යස්ථ මතධාරියකු වන රත්නජීවන් හූල්ගේ පහත සඳහන් ප්‍රකාශයෙන් මෙම සටහන අවසන් කරමි. “නිදහස් දින සමරු උළෙලට සහභාගී වීම යුක්ති සහගත කරමින් සම්පන්දන් කී ආකාරයට ඔහුගේ එකී සහභාගීත්වය මේ රටේ සකල වාසීන්ට යහපත් පණිවිඩයක් ගෙන යනු ඇත. එසේම වේවා !”

කැලැන්ඩර් නිදහස් උළෙල අපට මහ ලොකු බක්කක් නො වේ. එය දේශපාලනිකව වැදගත් වී ඇත්තේ සම්බන්ධන්ගේත්, සුමන්තිරන්ගේත් සහභාගිත්වය නිසා ය. දෙමළ මධ්‍යස්ථ මතධාරීන් තනි නො කළ යුතු ය. දකුණේ මධ්‍යස්ථ ජනතාව ඔවුන් සමග අත්වැල් අල්ලා ගත යුතු ය.

-අජිත් පැරකුම් ජයසිංහ

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල