කාලීන සංවාද

සමන්තභද්‍ර ගේ බර්ත් ඩේ පාර්ටි එක

Off

පිටිදුවේ සිරිධම්ම හිමි හෙවත් අරහත් සිරි සමන්තභද්‍ර හිමි පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක්වූ හිමි නමකි. උන් වහන්සේගේ 40 වන ජන්ම දින සැමරුම බෙල්ලන්තර පිහිටි සිරි සදහම් ආශ්‍රමයේදී ඊයේ (24දා) පැවැත්විණි. ඒ සම්බන්ධව බුකියේ තුළ එල්ලවී තිබුන විවේචන ඉලක්ක කරගනිමින් තබන සටහනකි මේ.

සමන්‍තභද්‍ර හෝ වෙනයම් කෙනෙක් විසින් තම උපන්දිනය සමරන්නේ කොහොමද කියන එක ගැන මට ඇති වැඩක් නැත. ඔහු/ඇය සිය උපන්දිනය සමරන්නේ නීත්‍යානුකීලව තමා උපයාගත්, ජනතාවගෙන් කොල්ලකා නොගත් සිය ධනයෙන් නම් එය වෙන කිසිම කෙනෙක්ට ප්‍රශ්නයක් විය යුතු නැත. නමුත් භික්ෂුවක් යනු ආගමික නායකයෙක් නිසා එම ආගම නියෝජනය කරන්නන් විසින් තම ආගමික නායකයෙක්ගේ හැසිරීම විවේචනය කිරීම අසාධාරණය කියාද කිසිවෙක්ට කිව නොහැක. මන්ද භික්ෂූන්ගේ හැසිරීම් වලට අදාලව බෞද්ධාගමේ ඉගැන්වීම් තුළින් සහ සංස්කෘතික සීමා තුළින් යම් සීමා මායිම් නිර්මාණය වී තිබීම නිසාවෙනි.

මේ මහදැනමුත්තන් සහ ගෝලයෝ රොත්තවල් ගේ ප්‍රශ්න නිරාගමිකයෙකු වන මට වැඩක් නැත. බෞද්ධ ගෝලබාල පිරිස විසින් හෙට සිට සිය ගමේ පන්සලේ මහදැනමුත්තා බණ දෙසීම පටන් ගැනීමට පෙර ඔහුට විස්කි ෂොට් එකක් පූජා කිරීමට පටන් ගත්තද මා හට එය ප්‍රශ්නයක් නැත. විරුද්ධත්වයක් නැත. ඔවුන්ට හොඳ නම් මට මොකද? ඔවුන්ට නරක නම් ඒකත් මට මොකද? උන් උන්ම කරේ තියන් ඉන්න මහදැනමුත්තන් නොවැ.

නමුත්,

මා මෙහි කතා කරන්න උත්සාහ කරන්නේ සමන්තභද්‍ර ගැන නොවේ. ඔහුගේ හැසිරීම ගැනද නොවේ.

මා කතා කරන්නේ තමාගේ ජාතිවාදී, ජාතිකවාදී, ආගම්වාදී, ගෝත්‍රිකවාදී අදහස් සාක්ෂාත් කරගැනීම සඳහා තමාට උපතින් ආගම ලෙස හිමිවුන බෞද්ධ දර්ශනය වේසකමේ යවමින් සමන්තභද්‍රව විනිශ්චය කරනු ලබන සෝ කෝල්ඩ් ‘සිංහලබෞද්ධයින්’ ගැනය. “I’m Buddhist. I’m proud of Nothing” කියමින් තම ගෝත්‍රයේ ඉතිහාසයයි, ගල් කෑලියි, දත් කෑලියි, කොඩි කෑලියි ගැන කයිය ගසමින් අතීතකාමයෙන් පෙළෙන සමහර ‘රැෂනල් බෞද්ධයින්’ ගැනය.

ඔවුන් බෞද්ධයින්ගේ මෙන්ම භික්ෂූන්ගේ මස් කෑමේ අයිතිය වෙනුවෙන් කථා කරයි. මස් කෑම පවක් නොවන අන්දම ගැන පැය ගණනින් ශාස්ත්‍රීය කතිකාවත් වල යෙදෙයි. නමුත් ඔවුන්ට සමන්තභ‍ද්‍රගේ උපන්දින උත්සවයේ උෟරු මස්-එළු මස් කුකුළු මස්-ඉස්සෝ කකුළුවෝ-දැල්ලෝ මාළු ඔළු තිබීම අවුල්ය.

සමන්තභද්‍රගේ උපන්දිනය උත්සවාකාරයෙන් සැමරීම ඔවුන්ට දිරවන්නේ නැත. මන්ද, බෞද්ධාගමේ ඔය විච්චූරන නැති නිසාය. නමුත් සිය මහතැන ගේ උත්සවය ඔලුබක්කෝ නටමින්, සරුවත් බෙදමින්, ෆෘට් ජූස් බෙදමින්, වෛවර්ණ ලයිට් දමා තොරණ් ගසමින්, පාට පාට කැරකෙන ඇදවෙන කූඩු එල්ලමින් සමරයි. ෆුල් හැපනින්ග් ය. එදාට විච්චූරණ අවුලක් නැත.

ඔවුන්ට සමන්තභද්‍රගේ භාෂා විලාෂය අල්ලන්නේ නැත. ස්වරය අල්ලන්නේ නැත. ඉඳගන්නා විදිහ අල්ලන්නේ නැත. ඉඳගන්නා පුටුව අල්ලන්නේ නැත. සිවුරේ පාට අල්ලන්නේ නැත. නමුත් සෑම දේශපාලන පක්ෂයකටම ඕනෑම වෙලාවල ‘පුක’ පූජා කිරීමට සැදී පැහැදී සිටින සංඝයියලා ගැන ඔවුන්ට අවුලක් නැත. තමා ඇඳගෙන සිටින ‘ස්පෙෂල් යුනිෆෝම්’ එක යොදාගෙන දේශපාලන පක්ෂවල ඡන්ද මල්ලට තව ඡන්ද කොටසක් එකතු කර සමාජය තුළ තමාගේ ‘ප්‍රභූ’ පට්ටම රැකගැනීමට තමාගේ ‘භික්ෂූ’ කම පාවා දීම ඔවුන්ට අවුලක් නැත.

ඒ තමා නියෝජනය කරන දේශපාලනය මතය වෙනුවෙන් කඩේ යන භික්ෂූන්ගෙන් තමාටද වටිනාකමක් ඇති නිසාවෙනි. සමන්තභද්‍ර ගේ සාදයේ තිබුන මාළු ඔලු හිරිකිත ලෙස දුටු අපේ ‘සිංහලබෞද්ධයින්’ ට නානසාරගේ කුණුහරප අවුලක් නොවුනේ ඒ නිසාය. සමන්තභද්‍ර ටී-ෂර්ට් එකක් හැඳ ෆොටෝ ගැසීම අසික්කිත වූ ඔවුන්ට නානසාරගේ බීමත්ව රිය පැදීම ප්‍රශ්නයක් නොවුනේ ඒ නිසාය. තමාගේ පටු ආගම්වාදී, වර්ගවාදී දේශපාලන උවමනාකම් වලට පිටුවහලක් වෙනවානම් සිවුරක් පොරෝගත් මෝඩ ගොන් මැට්ටෙක්ට වුනත් ඕනම වරදකට සමාව දී පිළිගැනීමට ඔවුන් සූදානම් වුනේ මේ නිසාය.

සමන්තභද්‍ර ගේ මුවින් ද තමාගේ ආගම්වාදී, වර්ගවාදී, ගෝත්‍රිකවාදී අදහස් වලට උඩගෙඩි දෙන වදන් පිට වුනා නම් සමන්තභද්‍රගේ මේ නොදිරවන අමුතු ස්ටයිල් එක කට්ටිය කොපමණ ආදරයෙන්, භක්තියෙන් පිළිගනීවිද? නානසාර වුනා මෙන්ම සමන්තභද්‍ර ඔවුන්ගේ ඇස් ඉදිරියේ වීරයෙක් නොවේවිද?

අවුල ඇත්තේ සමන්තභද්‍ර තුළින් ඔවුන්ට ‘සිංහල බෞද්ධ සංස්කෘතික අහවල් මෙව්වා එක’ දකින්නට නොලැබීමය.

සමන්තභද්‍ර තුළින් ඔවුන්ට සිංහල බෞද්ධ භික්ෂුව යැයි ඔවුන් දකිනා, පතනා චරිතය දක්නට නැත. සමන්තභද්‍රගේ මුවින් ඔවුන්ගේ ගෝත්‍රවාදී ආතල් චූන් කෙරෙන්නේ නැත.

ඉතින් උන්ගේ ‘සිංහල බෞද්ධ සංස්කෘතික අහවල් මෙව්වා එක’ නොවන අනෙකුත් සියලු දේ අජීර්ණ වන මොවුන්ට සමන්තභද්‍ර ගේ අමුතු ‘මෙව්වා’ එක නොදිරවීම පුදුමයක්ද?

සමන්තභද්‍ර ඇත්තටම රහත් වෙලාද, නැත්නම් ඒ මනුස්සයා පිස්සෙක්ද කියන එක මට වැඩක් නැත. මා කථා කලේ ඔහුව විනිශ්චය කරන්නන් තුළින් මතුවන තවත් පැත්තක් පමණි.

සොක්‍රටීස්ව මරණයට තීන්දු කල එදා සමාජය සිතුවේ ඔවුන් සොක්‍රටීස්ව විනිශ්චය කලා කියාය. නමුත් ඉතිහාසය තුළ විනිශ්චය වූයේ සොක්‍රටීස්ව නොව එදා සොක්‍රටීස්ව මරණ දණ්ඩනයට නියම කල ඒ ‘සමාජය’ වයි. සමන්තභද්‍රව විනිශ්චය කරන, ප්‍රතික්ෂේප කරන සමහර කොටස් ගැන කීමට ඇත්තේද ඒ කතාවමය.

සමන්තභද්‍ර සම්බන්ධව බුකියේ සහෘදයෙක් වන සුජීව කොකාවල විසින් ලියූ කවි පන්තියකින් මේ සටහන අවසන් කරමි.

මල් වට්ටියෙන් පිරිකරයෙන් ගොඩ දැම්ම
පන්සල් පෙට්ටිකඩ පරයා පැන පිම්ම
ඉල්ලන දෙයක් ඇති ෆුඩ් සිටියක් දැම්ම
මල් මල් වෙළෙන්දෙකි සමන්ත සිරිධම්ම

කොපමණ ඇතත් කරනා අකුසලෙහි බල
සිල්ලර කාසියෙන් එය අවලංගු කළ
නිර්ධනයින්ට නිර්වාණය අහිමි කළ
දැක්කද දහම් පදයට ඔහු කියපු මිළ

ස්පෝකන් රහත් පන්තිය මාස තුනේ
ඔහුගේ දෙතිස් ලක්ෂණයෙන් එලිය උනේ
සමන්තයාණන් බුදු බව ලබපු දිනේ
චෞර රැජිනියෝ කිරිපිඬු ගෙනෙනු පෙනේ

රට ගැන හිතන විට කිසිවිට නැති යාළු
රජයේ විපස්සේ කුණු එක් කෙරුවාලු
වේලෙන්නට නියම පත්තර කඩමාළු
ඔහුගේ සුලුදියෙන් තෙත් වී පණ ඒ ලු

ආතල් එකේ කරනා මැටි වැඩ ගොන්න
ආතල් කැඩුණු විටවත් පහදා ගන්න
සමන්තය කියා කවුරුත් නැහැ ඔන්න
සමන්තගෙන් ඔබ ගැන ඔබ කියවන්න

ඇදහිලි විශ්වාස ආගම් නමින් කියා
ධන බිලි පුදන කපුවන් හට දෙනෙත් පියා
කවුරුත් කරන ගොන් වැඩ පොඩි මෝඩ ක්‍රියා
ලොකු කර බලන කණ්නාඩිය සමන්තයා
**මෙම සටහනෙහි ‘සිංහලබෞද්ධ’ සහ ‘රැෂනල් බෞද්ධ’ යනුවෙන් සඳහන් කොට ඇත්තේ සියලු බෞද්ධයින් නොවන බවත් මෙහි සඳහන් දේවලට විරුද්ධව කතා කල, විරුද්ධත්වය ප්‍රකාශ කිරීමේදී අත්වැල් බැඳගත් මාගේ බෞද්ධ මිතුරු මිතුරියන් මෙය දැක කුලප්පු නොවනු ඇතැයිද බලාපොරොත්තු නොවෙමි. අහක යන තොප්පි දමා නොගැනීම සියල්ලන්ගේ සෞඛ්‍යට හිතකර වේ.

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල