විද්‍යා හා තාක්ෂණ, විශේෂ

විසිපස්විය සපිරි හබල් පිළිබඳ ආවර්ජනයක් – The Eye In The Sky – 25th Anniversary

Off
ඒ 1990 අප්‍රේල් මාසෙ අන්තිම සතියට කලින් සතිය…..ජනාධිපති ප්‍රේමදාස මහත්තයගෙ පාලන කාලයට අවුරුදු අවුරුද්දකුත් මාස හතරක් වගෙ ගෙවිල ගිහිල්ල. එතුමා කොටු වැටිච්ච කැප් තොප්පියක් එහෙම දාගෙන ( අර ඩිකී බර්ඩ් මතකයිනෙ, සුප්‍රසිද්ධ ක්‍රිකට් විනිසුරු..අන්න මනුස්සයත් දාගෙන හිටියෙ ඒ වගෙ කැප් එකක් ) සුපුරුදු අත්කොට බුෂ් ෂර්ට් එකෙං සහ සුදු සරමෙං සැරසිල රටපුරා යන කාලෙ ගම් උදාවලුයි, ඇඟලුං කම්හලුයි හන්දියක් හන්දියක් ගානෙ ඔර්ලෝසු කණුයි විවෘත කරනව ඊට පස්සෙ කකුලෙ ඇඟිලි වලින් ඉස්සි ඉස්සි කතා පවත්වනව.

රොහාන් විජේවීර ( ජේ.ආර්. කිව්වෙ රෝහණ නෙවෙයි රොහාන් කියල විජේවීරට ) මැරිල ඒ වෙනකොට මාස පහක් වගෙ ගතවෙලා.ජේ.වී.පී. එක ආරම්භ කරපු සහ ආණ්ඩුව ඊටත් වඩා සාහසික ලෙස ඊට පිළිතුරු දුන්නු භීෂණයෙ අඳුරු හෙවණැලි සම්පූර්ණයෙන්ම පහව නොගියත් සෑහෙන දුරකට මැකිල ගිහිල්ල. සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා තිබ්බ ජන ජීවිතය ඒ වෙනකොට ආපහු ප්‍රකෘති තත්වයට එන්ට පටන් ගනිමින් තිබ්බ.

 

මේ ඊයෙ පෙරෙයිද වගෙ අප අතරින් වෙන්ව ගිය ඩී.එෆ්. කාරියකරවන මහත්මයට පෙන්නන්නට බැරි යෙදුමක් තමයි ඔය පත්තරකාරයන්ගෙ සම්පූර්ණයෙන් අඩාල වෙන කතාව. යම් දෙයක් සම්පූර්ණයෙන් අඩාල වෙන්නෙ කොහොමද කියල දන්නෙ ඒ වගෙ අන්ඩර දෙමළ ලියන පත්තර කාරයොයි, එව්ව අනුමත කරන සංස්කාරකලයි විතරක්ම වෙන්නැති කියල එතුමා කීප දවසක කියල තිබ්බ මට මතකයි.
1990 අප්‍රේල් මාසෙ තිබ්බ රටේ තත්වය ඕකයි. ඒ වෙනකොට මම සේවය කලේ අර කැළේ මැද ව්‍යාපෘතියෙ. එතනින් ස්ථාන මාරුවක් ලබා ගොවි ජනපදයක සේවයට පැමිණීම තවත් වසර දෙකක් අනාගතයේ සහ අපෙ ප්‍රියම්බිකාස් මුණ ගැහීම ඊටත් වසරක් අනාගතයේ සිදුවීමට නියමිතව තිබූ ඒ සුපුරුදු වියළි අප්‍රියෙල් මාසෙ මුල් සතිය අවසානයෙ මම ගෙදර ආවෙ අලුත් අවුරුදු නිවාඩුව අල්ලල. ශත වර්ෂ කාලකට ඉස්සෙල්ල ඔය දවස්වල අලුත් අවුරුද්දට කඩ සාප්පු, කාර්යාල, පෞද්ගලික සමාගම් ඔව්ව මෙව්ව ඔක්කොම අඩුම ගානෙ සති දෙකක්වත් වහනව. බොහෝවිට අප්‍රේල් 10 වගෙ වහන එව්ව ආයම විවෘත වෙන්නෙ අප්‍රේල් 22, 24 වගෙ.

අවුරුදු කාලෙ මෙහෙම සති දෙකක් විතර මුලු රටේම නිෂ්පාදනය ඇණ හිටින එක එක අතකින් ජාතික අපරාධයක් කියල මට හිතුනෙ ඒ කාලෙමයි. කොටින්ම වෙන දෙයක් ඕන නෑ සහගින්දරට රෝස්පාං එකක් නැත්තං කිඹුළෙක් ගන්ට බේකරියක්, තිබහට කහට කෝප්පයක් ගන්ට තේ කඩයක් නැතිවෙනව. එව්ව ඔක්කොම වහල මුදලාලිල, ගෝලයො ඔක්කොම ගෙවල් වලට ගිහිල්ල අවුරුදු කන්ට.


එක පාරක් මම ඉසතෙල් ගාපු ගමන්ම අප්‍රේල් 17 නැත්තං 18 විතර ඔන්න ආපහු වැඩට ගියා. ඒ කාලෙ අපෙ ගෝලයගෙ ගෙවල් හිඟුරක්ගොඩ. වැඩි ඈතක් නෑනෙ. මිනිහත් පොරොන්දු වුනා මම ආපහු එන දවසටම වැඩට එන්ට. ( ගෝලයයි කිව්වෙ අපේ ක්වාටර්ස් එකේ උයන්ට හිටි කොලුව.)

” හරි මහත්තය ප්‍රශ්ණයක් නෑ..මමත් එන්නං ….මහත්තය එන දවසටම…” .එහෙමයි අවුරුද්දට කලින් ගෙදර යද්දි මිනිහ කිව්වෙ. 

” එහෙනං නොවැරදීම වරෙං හොඳද? මට මේකෙ තට්ට තනියම ඉන්ට බෑ.” මම එහෙම කියල මනුස්සය හගිස්සව ගත්ත. 

පොළොන්නරුවෙන් මඩකළපු යන බස් එකක ඇවිල්ල මහ පාරෙ ඉඳල ලෑන්ඩ් මාස්ටරේක නැඟල ඇවිල්ල යන්තමට හවස පහ වගෙ වෙනකොට මම කෑම්ප් එකට ආව. අවුරුදු කාලෙ අපෙ වගකිවයුතු නිලධාරියෙක් කවුරුහරි නවතිනව කෑම්ප් එකේ. ජීප් එකක්, ඩීසල් සහ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නව හදිස්සියකට. මම කියන ඔය කාලෙ අපේ එස්.කේ. ලොක්කා ( S.K. = Store Keeper ) අළුත විවාපත් වෙලා භාර්යාව එක්කලා ඇවිල්ල විවාහක නිල නිවාසෙක පදිංචි වෙලා මාසයක් වගෙ වෙලා තිබුනෙ. ඒ හින්ද සැකේ ( අපි එස්කේලට පොදුවෙ කිව්වෙ සැකේ කියල ) ඒ අවුරුදු කාලෙ කෑම්ප් එකේ නැවතුනා. බඳින්ට කලින් බිව්වට බැන්දයින් පස්සෙ අමද්‍යප සංගමේ යාවජීව සභාපති තනතුර මිනිහ ස්වේච්ඡාවෙන්ම භාරගත්ත. 

ගේට්ටුවෙ මුරකුටියෙ වොචර් හිටියෙ ස්ටැන්ලි. 

” ආ මහත්තය මොකද කලින්ම? “

” කලිං ආව බං ටිකක්. කෝ අමරේ ආවද? ” අමරෙ කිව්වෙ අර කලින් එන්ට පොරොන්දු වෙච්චි අපෙ ගෝලය. 

” ඔහෙ නෑ මහත්තය. එස්කේ මහත්තයායි, සුමෙනෙයි මායි විතරයි ඉන්නෙ. ” සුමනෙ කිව්වෙ ජීප් ඩ්‍රයිවර්.

” ඈහ්???? ……….” මම මුරකුටියෙ මේසෙ උඩ මගෙ බෑග් මල්ල තියල එතනම තිබ්බ ලී පුටුවෙ ඉඳගත්ත. 

ස්ටැන්ලිය වතුර පුරවල තිබ්බ ගල් බෝතලයක් අතට ගත්ත මේසෙ යට තිබිල. ” මහත්තයටත් ඕනද? “

” හරි දීපංකො එහෙනං උගුරක්…අර ලෑම්මාට්ටරේ ඇවිල්ල ගිණිගහන හුලඟටම උගුර කටත් වේලිල. ” මම උඩ බලාගෙනම වතුර උගුරු හත අටක් හලාගත්ත. 

” මේ ***** පුතා මරන්ට එපාය බං..මූ මට දහ අතේ පොරොන්දු වුනා නෙව දහ අට එනවය කියල.”

” ඔය කොල්ලොනෙ මහත්තය,….. ගෙවල් වලට ගිහාම දන්නෙ නැද්ද? “

” හරි..බලමුකො ඕකා සමහරවිට රෑ වෙලා හරි එයි. හිඟුරක්ගොඩ මහ දුරක් නෙවෙයිනෙ. මම බෑග් එකත් අරගෙන එළියට බැස්ස. 

” මහත්තය රෑට කෑම කොහොමද? බත් එකක් බෙදල මම ගේන්ටද? “

” ගේන්ට ඕන නෑ බං….. මම එන්නංකො නාගෙන කාරිය උඹලගෙ ඩෝමිටරි එක පැත්තෙ. “

නාගෙන ටිකක් නිදාගෙනත් ඉඳල මම ගිය උංගෙ කාමරේට. ඉතුරු වෙලා තිබ්බ කොටේකිං පොඩ්ඩක් වගෙත් ක්‍රියකරල එහෙං බතුත් කාල ඇවිල්ල නිදාගත්ත.

පහුවදත් දොළහ වගෙ වෙනකල් බලල අමරෙ ආපු නැතිකොට මම සුමනෙ එක්ක ජිප් එකේ කදුරුවෙලට ඇවිල්ල ගෙදර ආව. තට්ට තනියම ඕකෙ ඉන්ට පුලුවන් මොන යකාටද?

ඔය වගෙ 1990 අවුරුද්දෙත් මම සාමාන්‍යයෙන් අපේ කට්ටිය වැඩට එන දවස් වලට දවස් කීපයකට කලින් ආපහු ආව කෑම්ප් එකට. ඒ අවුරුද්දෙ හැබැයි පාලුව තනිකම ගැන කිසි අවුලක් නෑ. ඒ මොකද කියනවානම් අපේ සෝමෙ අයිය තමයි ඒ අලුත් අවුරුද්දෙ කෑම්ප් එක භාරව නැවතුනෙ. 

සෝමෙ අයිය මතකයි නේ?….අර ඕලු මලේ කතන්දරේ..අන්න පොර…


සෝමෙ උයන්ට පිහන්ට නොම්බර එකයි. ඒ නිසා අවුලක් නෑ. අපි දෙන්න ඉතිං ඔහෙ දඩ කයියක් ගහගෙන උයා පිහාගෙන හිටිය. ඒ දවස්වල ඔය අපේ කෑම්ප් එක මැද්දෑවෙ ටී.ටී. ගහන්ට එහෙම පොඩි ශාලාවක් වගෙ එකක් හදල, ඒකෙම පැත්තක ටෙලිවිෂන් එකකුත් ගෙනල්ල තිබ්බ. දවල්ට කාල මම ඔය පැයක් දෙකක් වගෙ ඇලට් එකකුත් ගහල හවස ආයෙම නාල තේ එකකුත් බීල යනව ක්ලබ් එක දිහාවෙ. අර ටි.වී. එක එහෙම තිබ්බ ශාලාවක් වගෙ ගොඩනැඟිල්ලට අපි කිව්වෙ ක්ලබ් එක කියල.ඕකෙම කාමරේක තමයි මම අර කලින් දවසක කියපු අපි සල්ලි එකතුකරල ෂෙයාර්ස් අරගෙන පවත්වාගෙන ගිය සිල්ලර වෙළඳසැළත් තිබ්බෙ. ඒකට පස්සෙ පස්සෙ අරක්කුත් ගෙනාව.

” සෝමෙ අයියා යමං ක්ලබ්බෙක දිහාවෙ………….ටී.වී. එකවත් පොඩ්ඩක් බලන්ට බැරිය….” මම සෝමෙයවත් ඇදගෙන ගියා තේ එහෙම බීල.

එදා රූපවාහිනී ප්‍රවෘත්තිවලට පෙන්නුව විශේෂ තොරතුරක්. ඈත විශ්වය ගැන ගවේෂණය කරන්නට පෘථිවියෙන් ඉහල අභ්‍යාවකාශයට දුරේක්ෂයක් කක්ෂගත කරන එකයි ඒ සුවිශේෂී ප්‍රවෘත්තිය.

ගවේෂණය ( Exploration ) කියන වචනෙ මූලාරම්භය දන්නවද? ඉස්සර කාලෙ මිනිස්සු බහුතරයක් හරක් ඇතිකලා. මිනිස්සුන්ගෙ ධනවත්භාවය මනින ප්‍රධානම ඒකකයක් වුනේ කුඹුරු, වතුපිටි වලට අමතරව හරක් කීදෙනෙක් ඉන්නවද කියන එක. උදේට ලිහල දැම්මම හරක් දවස පුරා ඔය තැන් තැන්වල ඇවිදල කාල හවසට ආපහු ගෙදර පිටිපස්සෙ තියන ගවගාලට එනව. ඔය ගව පාලනය නිසා හැදුනු තව වචනයක් ගොම්මං වෙලාව. සාමාන්‍යයෙන් හවස පහමාර , හය, හයාමාර තමයි ගොම්මං වෙලාව කියල හඳුන්වන්නෙ.දවල් තිස්සෙ කැළේ කොළේ ඇවිදල කාල, බීල හවස්වීගෙන එනකොට ගොන්නු මඟට බැහැල ආපහු තමංගෙ ගෙවල් වලට එන වෙලාවට තමයි ඔය ගොම්මං වෙලාව කියල නම වැටුනෙ.

ඒ ගොම්මං වෙලාව ගැන..එතකොට ගවේෂණය මෙහෙමයි. හිටපු ගමං හරත් හතර පස් දෙනෙක් කොහොමිං කොහොමිං හරි රැළෙන් වෙන්වෙලා අතරමං වෙනව. එතකොට ආපහු ගාලට නාපු හරක් හොයාගෙන රාත්තිරියෙම යන්ට වෙනව හුළු අත්තකුත් පත්තු කරාන. මොකද නැත්තං සතා සීපාවට උං ගොදුරු වෙන්ට පුලුවං. එහෙම හරක් හොයාගෙන යනවයි කියන තේරුමෙන් තමයි ගවේෂණය කියල භාවිතාකරන්ට ගත්තය කියන්නෙ. අන්වේෂණය කියන්නෙ සෙවීම. ඒ හින්ද ගවයින් ගැන සොයාබැලීම ගවේෂණය.

රයිට් ආපහු අර අභ්‍යාවකාශයට යවන දුරේක්ෂය ගැන.( ඒකෙ නම හබල් ). ඔය දිනය 1990 අප්‍රේල් 24 වෙනිදට දවස් හතර පහක් කලින් දිනයක් වෙන්න ඕන. මොකද මට මතකයි එදා ඒ ප්‍රවෘත්තියෙ කිව්ව නොබෝ දිනකින් හබල් දුරේක්ෂය අභ්‍යාවකාශ ගතකරනවයි කියල. හබල් අභ්‍යාවකාශගත කරපු ඒ ඓතිහාසික දිනය 1990 අප්‍රේල් 24 වෙනිදා.

හබල් දුරේක්ෂයේ සම්පූර්ණ මූලික පිරිවැය අමරිකන් ඩොලර් බිලියන 2.5ක්. නඩත්තු සහ වැඩිදියුණු කිරීම් එක්ක අද වෙනකොට වියදම ඩොලර් කෝටි බිලියන 10 වගෙ වෙනවා. මේවාගෙ අධික පිරිවැයක් දරමින් අභ්‍යාවකාශයට දුරේක්ෂයක් යවන්නට, එම දුරේක්ෂය නඩත්තු කරන්නට අමරිකාවෙ නාසා ආයතනය කල්පනා කලේ ඇයි?

අනාදිමත් කාලෙක ගල්ගුහාවක් ඉස්සරහ ගිණිමැලයක් වටේ ඉඳගෙන යන්තමට ඔලුව උස්සල තම ඝනව වැඩුනු දෙබැම යටින්, ගිලීගිය එහෙත් තීක්ෂණ නෙතින් රෑ අහස පුරා ඉහිරිච්ච තරු පොකුරු දෙස ඇසිපිය නොහෙලා බලා හිටපු දවසෙ ඉඳල අද මේ මොහොත වෙනකල්මත්, බොහෝවිට තවත් නොගිණිය හැකි කාල පරාසයක් ඉදිරියටත් මානව වර්ගයාගෙ නොසන්සිඳෙන ආශාව මේ තරු පොකුරු ඇතිවුණේ කවදාද? ඇතිවුණේ කොහොමද? සහ ඇතිවුණේ ඇයි? යන ගැටළු තුන විසඳාගැනීමයි.

සමහරවිට, සමහරවිට නෙවෙයි බොහෝවිට, මිනිස් වර්ගයාගෙ අවසානය තෙක් ඒ ගැටළුවලට පිළිතුරු සොයාගන්නට නොහැකිවේවි කියලත් මට වෙලාවකට හිතෙනව.

කාලෙකට ඉස්සර මම කියවපු විද්‍යා ප්‍රබන්ධයක කතාවෙ තේමාව මිනිස් වර්ගයාගේ අභිමතාර්ථය කුමක්ද? ( What’s the purpose of humankind? ) ඒ කතාවෙ කියවෙන්නෙ මිනිස් සංහතිය පෘථිවිය මත උත්පාදනය කිරීමේ පරමාර්ථය ඉහත කී ගැටළු වලට පිළිතුරු සෙවීමට ඔවුන් දරණ උත්සාහය නීරීක්ෂණය කිරීමටයි යන්නයි. මිනිසුන් ඒ ගැටළු වලට පිළිතුරු සොයාගත් දින මිනිස් වර්ගයා නිර්මාණය කල පරමාර්ථය ඉටුවී ඔවුන් තව දුරටත් ප්‍රයෝජනයක් නොමැතිව එකෙණෙහිම අතුරුදන් වන බව ද ඒ කතාවේ සඳහන් වුනා මට මතකයි.

හබල් අභ්‍යාවකාශ දුරේක්ෂයෙන් කෙරෙන ප්‍රධානම කාර්‍යය නම් ඒ විද්‍යා ප්‍රබන්ධය සත්‍යයක් වේවා අසත්‍යයක් වේවා මිනිස් සංහතියේ පැවැත්මේ අරමුණ, ඔවුන්ගේ පවැත්මේ පරමාර්ථය සාක්ෂාත් කරගැන්මෙහිලා මඟ හෙලිකිරීමයි. එනම් මම ඉහත පැවැසූ විශ්වයේ ආරම්භය කවදා සිදුවිණිද? කෙලෙස සිදුවිනිද? කුමක් උදෙසා සිදුවිනිද යන ගැටළු විසඳීමෙහිලා මනුෂ්‍ය වර්ගයාට සහයවීමයි.

ඈත චක්‍රවාටයන්හි සිට ආලෝක වර්ෂ මිලියන ගණනක් පසුකොට අප වෙත එන ආලෝක කිරණ අවසාන කිලෝමීටර 480 දී පෘථිවියේ වායුගෝලයේ ආකූලතා හේතුකොටගෙන බොහොසේ විකෘතිවේ. රාත්‍රි අහසෙහි තාරකාවන් දිදුලන්නාසේ අපට දිස්වන්නේ එනිසාවෙනි. ” Twinkle, twinkle little star…..” කියා කුඩා අවදියෙහි සමූහ වශයෙන් ගායනා කලද ඇත්ත වශයෙන්ම තාරකා දිදුලන්නේ නැත. වායුගෝලයෙහි කැළඹීම් නිසා එලෙස දිස්වනවා පමණකි. 

එලෙසම මිලියන කිහිපයක් මානවයින් වාසය කරන මහා පුරවරයන් ආලෝකමත් කරමින් රැය පහන් වන තෙක් දැල්වෙන විදුලි ආලෝකය හේතුකොටගෙන දුර බැහැර අනන්තයෙහි සිට අප කරා ලඟාවන කුඩා ආලෝක දහරාවන් වෙන්කොට හඳුනාගැන්ම ද ඉතා අසීරුය.

පෘථිවි තලය මතුපිට පිහිටුවා ඇති බොහෝ විශාල දුරේක්ෂ ස්ථාන ගතකොට අත්තේ හැකිපමණ මේ බාධාවන් මඟහරවාගැන්මට හැකි පරිදිය. එනම් මිනිස් වාසයන්ගෙන් දුර බැහැර කඳු මුදුන් හෝ කන්තාරවන් ස්ථානයන්හිය.එසේවුවද විශ්වයේ බොහෝ දුර බැහැර ආලෝක ප්‍රභවයන්ගෙන් නිකුත් වන්නාවූ දුබල ආලෝකය පැහැදිලිව ඡායාරූපයක් ගත හැකි පරිදි ග්‍රහණය කොට ගැනීමෙහිලා ඒ අපොහොසත්ය. හබල් වැනි අභ්‍යාවකාශයෙහි කක්ෂගත දුරේක්ෂ තාරකා විද්‍යාඥයින්ට මහෝපකාරී වන්නේ මෙහිදීය. අභ්‍යාවකාශයෙහි ස්ථාපිත දුරේක්ෂයකට වයුගෝලයෙන් හෝ විදුලි ආලෝකයෙන් කිසිදු බාධාවක් නොමැත. 

එබැවිනි මීටර 13.2 දිගකින්, මීටර 4.2 විෂ්කම්භයකින් සහ කිලෝග්‍රෑම් 11.110 ස්කන්ධයකින් යුතු, පෘථිවි මතුපිටින් කිලෝ මීටර 559 ඉහලින් කක්ෂගතව තත්පරයමට කිලෝ මීටර් 7.16 වේගයෙන් අප වටා භ්‍රමණය වන හබල් අපට ඈත විශ්වයේ මෙතෙක් අප නොදුටු සිහිනෙන් පවා නොසිතූ නොයෙක් ආශ්චර්යයන්ගේ ඉතා පැහැදිලි ප්‍රතිබිම්බයන් 7,00,000 අධික ප්‍රමාණයක් මේ පසුගිය විසිපස් වසර තුල අප වෙත එවීමට සමත්ව සිටිනුයේ.

හබල් දුරේක්ෂය එසේ නම් ලැබූයේ සුප්‍රකට අමරිකානු තාරකා විද්‍යාඥ එඩ්වින් හබල් ( 1889 – 1953 ) අනුස්මරණය උදෙසාය. ක්ෂීරපථය නොහොත් අප වසන චක්‍රවාටය හැරුනුකොට විශ්වයෙහි වෙනත් චක්‍රවාටයන් පවතින බව මුල් වරට සනාථ කලේ ඔහු විසිනි. විශ්වයේ සියළුම චක්‍රවාට එකිනෙකා කෙරෙන් ඉවත ඇදීයන බව ද හබල්ගේ සොයාගැනීමකි.චක්‍රවාටයන් අපගෙන් ඉවතට ඇදීයන ප්‍රවේගය චක්‍රවාටයට ඇති දුරට අනුලෝමව සමානුපාතික වන බවද ඔහු නිගමනය කලේය. හබල් නියතය යනුවෙන් අද තාරකා විද්‍යාඥයින් හඳුන්වන්නේ මේ නියමයයි.

අභ්‍යාවකාශයෙහි රැඳීසිටි වසර විසිපහ තුල හබල් දුරේක්ෂයේ ආධාරයෙන් විද්වතුන් කල අනුපමේය සොයාගැනීම් කිහිපයක් මෙසේය.

1. චක්‍රවාටයන් එකිනෙකින් ඉවත ඇදීයන ප්‍රවේගය නිවැරදිව ගණනය කිරීම.මේ සඳහා ඉතා දුරකින් පිහිටි චක්‍රවාටයන්ට දුර නිවැරදිව ගණනය කල යුතු අතර පෘථිවිය මත පිහිටි දුරේක්ෂයකින් එසේ නිවැරදි මිනුම් ගැනීම ඉතා අසීරුය.

2. චක්‍රවාටයන් එකිනෙකින් ඉවත ඇදීයන වේගය අනුව විශ්වයේ උපත මීට වසර බිලියන 13.82 පෙර සිදුවූ බව ගණනය කල හැකිවිය. හබල් දුරේක්ෂයේ නීරීක්ෂණයන්ට ප්‍රථම විශ්වයේ වයස වසර බිලියන 10 – 20 දක්වා අතර අගයක් ගන්නා බව අනුමාන කෙරිණි.

3. සෑම චක්‍රවාටයක් මධ්‍යයේම චක්‍රවාටයෙහි ස්කන්ධයට සමානුපාතික ස්කන්ධයකින් යුතු කළු කුහරයක් ( Black Hole ) පවතින බව නීරීක්ෂණය කරන ලදී.

4. තාරකාවක් වටා ඇති අන්තරීක්ෂ දූලි වලාවන් කැටි ගැසී ග්‍රහලෝක බිහිවන අයුරු හබල් දුරේක්ෂයෙන් ගත් ඡායාරූපයන්හි දක්නට ඇත.

5. වෙනත් තාරකාවන් වටා භ්‍රමණය වන ග්‍රහලෝක සහ එවන් ග්‍රහලෝකයක කාබනික අණු සොයාගැනීම ( මෙසේ සොයා ගන්නා ලද්දේ මීතේන් වායුවයි. )

6. විශ්වය සිග්‍රයෙන් ප්‍රසාරණය කරවන, එමෙන්ම ගුරුත්ව බලයට පරස්පරව ක්‍රියාකරන තාරකා විද්‍යාඥයින් විසින් න්‍යායානුකූලව පැවතිය යුතුයැයි සැකකල Dark Energy නම් ශක්ති විශේෂයක් විශ්වයෙහි පැතිර පවත්නා බව නීරීක්ෂණ මඟින් ස්ථිර වශයෙන්ම සනාථ කිරීම.
Pillars Of Creation – Where Stars Are Born
පසුගිය වසර විසිපහ තුල විනාඩි 96 වරක් පෘථිවිය වටා එක් වටයක් යමින් හබල් දුරේක්ෂය විසින් මානව වර්ගයාගේ බුද්ධිමය ක්ෂිතිජයෙහි සීමාවන් පුළුල් කිරීමෙහිලා ඉටුකල මෙහෙය අතිවිශාලය. මේ මොහොතේ පවා හබල් ඈත අභ්‍යාවකාශයෙහි කිසිදා නොපියවෙන තම නෙතු ඈත විශ්වයෙහි නිම් වළලු වෙත යොමු කොටගෙන සිටිනුයේ සමස්ත මානව වර්ගයාගේම යහපත වෙනුවෙනි.

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල