කාලීන සංවාද

විනාශකයාගේ නිම්නතර දිටි පාරාදීස – Living together in destroyers paradise

Off

ඇත්තටම පටන් ගන්න විදියක් තේරෙන්නැහැ. ඒත් ඔබට වෙලාව තියේ නම් අනිවාර්‍යයෙන් කියවන්න.මං විශ්වාස කරනවා අළුත් යමක් දැනගනීවි ,

ඊශ්‍රායලයේ සංස්කෘතිය ගැන මීට පෙර ලියු හැම ලිපියක්ම මං ලිවුවේ කොන්ක්‍රීට් සහ නොනවතින වාහන සද්ද පිරිච්ච ටෙලවිව් නගරයේ ජනාකීර්ණම වීදියක ප්‍රධාන පාරවල් හතරක් හමුවෙන මංසන්ධියකට යාබද කාමරයක ඉඳන්…ඒක මොන ජීවිතයක්ද කියලා දැන් හිතෙනවා.
කළබල නගරයක් තුළ රටකට ආවේණික ජිවන රටාවක් දකින්න අමාරුයි; උදාහරණයක් විදියට නිව්යෝර්ක්,ටෙලවිව්,ලොස්ඇන්ජලිස්,ටෝකියෝ කියන්නේ රටවල් කීපෙක තියෙන නගර කීපයක් වුණත් ඒ හැමෙකකම පොදුවේ වාහන බිල්ඩින් සහ මොන හේතු නිසාද කියලා හිතාගන්න බැරි වේගෙන් ඇවිදින මිනිස්සු තමයි දකින්න තියෙන්නේ,,, ඒවා ලියන්න ගියොත් අද පෝස්ට් එකක් ලියන්න වෙන්නේ නෑ.

සත්ව කෑම ගබඩාව..
“කිඹුස් සදේලියාහු” වලදී මං ගත්ත ෆොටෝ එකක්.

israeli kibbutzim (קיבוצים)

ඒ මොකක්ද කිඹුට්සීම් කියන්නේ කියලා ඔයාලා හිතනවා ඇති. මට හැකි උපරිමයෙන් ඒ ගැන විස්තර කරන්නම්. ඊශ්‍රායලයේ තියෙන කෘෂිකාර්මික ගම්මාන වර්ගයක් තමයි කිබුට්සීම් කියන්නේ. දැනට ඊශ්‍රායලය තුල මෙවැනි ගම්මාන 270 කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. යුදෙව් භාෂාවෙන් “kvutza” කියන්නේ සමුහය ,කණ්ඩායම කියන අදහස තියෙන වචනයක්.. පාපන්දු කණ්ඩායමක්, ශිෂ්‍යන් කණ්ඩායමක් හඳුන්වන්න උණත් මේ වචනේ පාවිච්චි වෙන නිසා. පසුකාලීනව “කුවුට්සා” කියන වචනය කඩලා මේ ගම්මාන වලට විශේෂිත නමක් විදියට “කිඹුට්ස්” කියලා පාවිච්චි කරන්න පටන් ගත්තා. “කිඹුට්සීම්” කියන්නේ බහුවචනය .

දෙවන ලෝක යුද්ධයට පෙර යුරෝපයේ ජීවත්වූ සමහර යුදෙවුවන් තම නහයට දැනුණ යුද්ධයක සුවඳක් නිසාදෝ තමන්ට අයිති සියළු දේ එක මොහොතින් අතෑරලා කණ්ඩායම් විදියට 1900 සහ ඒ අවට කාළය තුළ වරින් වර ඊශ්‍රායලයට එන්න පටන් ගත්තා. . ඒ ගැන විස්තර සහිතව ඉදිරියේදි ලියන්නම්. අද ලියන්නේ ඊශ්‍රායලයට පමණක් ආවේණික උප සංස්කෘතියක් වෙච්ච යුදෙව් සමුහ ගොවිපළ නැත්නම් කිඹුස් ගැන විතරයි.

පළමු කිඹුස් එක විදියට 1909 වසරෙදි “කිඹුස් දිගේනියා” ආරම්භ වෙනවා.
පිරිමි හත් අට දෙනෙක් සහ ගැහැණුන් දෙදෙනෙකුගෙන් සමන්විත රුසියාවෙන් පැමිණි මේ යුදෙව්වන් පිරිස ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයේ තිබෙරියා නගරය ආසන්නව (ගලීල මුහුද ආසන්න ප්‍රදේශයක) කණ්ඩායමක් විදියට එකට ජීවත්වෙමින් කෘෂිකර්මානත්යේ යෙදුණා.ඒ වගේ කුඩා කණ්ඩායමකින් පටන් ගත්ත මේ ගම්මාන සංකල්පය ඉන්පසුව ඊශ්‍රායලයේ ජස්රීල් නිම්නය අවට (Jezreel valley) උතුරු ඊශ්‍රායලය පුරා පැතිරුණා.
ජස්රිල් නිම්නය කියන්නේ ඊශ්‍රායලයට දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක් වගේ සාරවත් විශාල ප්‍රදේශයක්. (“ජස්රිල් නිම්නය සහ සාවුල් රජතුමා මැරුණු ජිල්බුවා කන්ද “ගැන පසුව ලිපියක් ලියන්නම්.)

ඉහත තියෙන කළුසුදු ෆොටෝ සේරම ගූගල් වලින් ගත්ත ඒවා. මේ හැම ෆොටෝ එකේම ඔයාලට පේනවා ඇති ගැහැණුන් සහ පිරිමින් එකට වැඩ කරන හැටි. මුල්කාළයේ කිඹුස් සමාජය පදනම් වෙලා තියෙන්නේ සම්පුර්ණම කෘෂිකර්මානත්ය මත. කිඹුස් සමාජය තුළ ඉන්නේ සාමාජිකයෝ,ගැහැණු පිරිමි විදියට වර්ග දෙකක් නෙමේ.ඔවුන් නිතරම වැඩ කරන්නේ එක පවුලක් විදියට කණ්ඩායමක් විදියට. අදටත් ඒක ඒ විදියමයි. මේ වෙනකොට කිඹුස් ගම්මාන හැම එකකම වගේ 500-1000 ත් අතර සාමාජිකයන් පිරිසක් ඉන්නවා. කෘෂිකර්මයට අමතරව අනෙකුත් නිෂ්පාදන කර්මාන්තශාලා පවා කිඹුස් වල ඉදිකරලා තියෙනවා.

ලෝක වෙළඳ පොලේ කෘෂිකාර්මික ජලසම්පාදන උපකරණ නිෂ්පාදනයේ අංක දෙකට ඉන්න Plastro සමාගම තියෙන්නෙත් උතුරු ඊශ්‍රායලයේ “ගිවාත්” (kibbutz gvat ) කියන කිඹුස් එකේ.(අංක එකට තියෙන සමාගමත් ඊශ්‍රායල් සමාගමක්ම තමයි)

මේ තියෙන්නේ කිඹුට්ස් සදේලියාහු වල තියෙන විශේෂ හරිතාගාර

වලින් කීපයක්.ගඟකින් එහා තියෙන නිසා අපැහැදිලියි වගේ.

මීට අවුරුදු 100 කට විතර කළින් කිඹුට්ස් ගොඩනගන්න පුරෝගාමී වෙච්ච යුදෙව් ගැහැණුන් සහ මිනිසුන් තමන්ගේ මුළු ශ්‍රමයම ,ජිවිතයම කැප කරලා තියෙන්නේ ගම්මානය ගොඩ නගන්න,,,ඒ වගේම කිසිම තෙතමනයක් නැති කාස්ථක පොළව එක්ක ඔට්ටු වෙනවා වගේම නිතරම කඩාපනිමින් විනාශ කරන්න මාන බලපු අරාබිකාරයෝ එක්කත් හැප්පෙන්න ඔවුන්ට සිද්ධ වුණා. (3 රූපයෙන් ඒ බව පැහැදිළි වෙයි )

කිඹුස් වල විශේෂතා

අක්කර ගණනාවකින් සමන්විත මුළු ගම්මානයම එකම ඉඩමක් විදියට තමයි තියෙන්නේ. වැටවල් සහ මායිම් නෑ, එකිනෙකාට තමන්ගේ කියලා වෙන්කරපු දෙයක් නෑ. මුළු ගමම ගමේ හැමෝගෙම.

මේ රූපයේ තියෙන්නේ ගෝලාන් කිඹුස් එක.මුලින්ම ගෙවල් .හැම ගෙයක්ම සාමාන්‍යයෙන් එකම විදියට හදලා තියෙන්නේ බොහොමයක් කිඹුස් වල. ගෙවල් වලට පහළින් ෆැක්ටරි සහ ෆාම් .වටේටම තියෙන්නේ වගාබිම. ගෙවල් අතර සුදුපාටට තියෙන්නේ පාරවල්. වැටවල් නැහැ. පහල රූපයේ තියෙන්නේ කිඹුස් එක ඇතුලේ පාරක් .

මේ මායි යාළුවයි ගම වටේ ගිය වාහනේ “කැන්ලොයිට් එක” කිඹුස් වල බහුලවත් ඊශ්‍රායලය පුරාම ජිවත් වෙන මහළු අය පාවිච්චි කරන කරන්ට් එකෙන් වැඩ කරන පොඩි වාහනයක්

කිඹුට්ස් වල තියෙන වාහන හැම එකක්ම අයිති කිඹුට්ස් එකට තමන්ට ගමනක් යන්න අවශ්‍ය නම් තමන්ට අවශ්‍ය වාහනය වෙලාව සහ දිනය කලින් සටහන් කරන්න ඕනේ කාර්යාල වාර්තා පොතක. හැම කිඹුට්ස් එකකම වාහන ගොඩක් තියෙනවා ඒ හැම එකක්ම ඒ හැමෝගෙම.

මේ ගම්මාන වල ඉන්න හැම වැඩිහිටියෙක්ම ගම්මානය වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. කෙනෙක් මහාචාර්‍ය කෙනෙක් විදියට හෝ සභාපති කෙනෙක් විදියට ගම්මානය තුල වගකීම් සහිත නිලයක් දැරුවත් තව කෙනෙක් වගාබිමේ හෝ කිරිපට්ටියේ සේවකයෙක් විදියටත් වැඩ කලත් ඔවුන් දෙදෙනාම ලබන්නේ එකම අදායමක්. දෙදෙනාගේම සේවයෙන් කිඹුට්ස් එකට ලැබෙන ආදායම යන්නෙත් එකම ගිණුමට.
ඔවුන් දෙදෙනාගේම නිවෙස් වල විදුලි බිල, වතුර බිල ,දුරකථන බිල ,කිලිටි ඇඳුම් හෝදන්නේ කිඹුට්ස් එකෙන්..දෙන්නම කන්නේ එකම කෑම කාමරෙන්. මුළු කිඹුට්ස් එකේම ආදායම මුළුමනින්ම යොදවන්නේ කිඹුට්ස් එකේ වියදමට.

කෑම කාමරය කියන්නේ හරිම සුන්දර ගොඩක් විශාල තැනක්.. හිබ්රු භාෂාවෙන් “හෙදර් ඔකෙල්” කියලා හඳුන්වන කෑම කාමරයට යාබදව තියෙන විශාල කුස්සියේ තමයි කිඹුට්ස් එකේ ජිවත් වෙන හත් අටසීයක් වෙච්ච හැම කෙනෙක්ටම කෑම උයන්නේ. උදේට ,දවල්ට ,රෑට තුන් වේලටම. ඒ වගේම ඕනෙම කෙනෙක්ට තමන්ට බඩිගිනි වුණාම ගිහින් කාලා එන්න පුළුවන්. ඉස්පිරිතාලේ කුස්සිය වගේ කන්න බැරි කෑම නෙමේ ඒකෙ තියෙන්නේ. රස වත් වගේම ගුණවත් සුපිරි කෑම. එළවලු ,පළතුරු,මස්,මාළු ,ජෑම්,බටර් ,සිය ගාණක් චීස් වර්ග , සිය ගාණක් සලාද වර්ග ,කිරි ,අයිස්ක්‍රීම් මේ හැම එකක්ම හදන්නේ ගම්මානය ඇතුළෙමයි.

ඉස්සර කෑම කාමරය මේ , පහතින් තියෙන්නේ දැන් කෑම කාමරය

ගූගල් වෙතින් ලබාගත්තේ.

ගම්මානය තුල ඉන්න සාමාජිකයන් පවුල් විදියට ගණන් ගැනෙන්නේ. ඔවුන් හැමෝටම මාසෙකට වරක් එක සමාන මුදලක් හම්බෙනවා.කෑම බීම හැරුණු කොට අනෙකුත් පවුද්ගලික අවශ්‍යතා වෙනුවෙන්.

සාමන්යෙන් කිඹුට්ස් ගම්මාන තුළ සුපිරි වෙළඳ සැලක් තියෙනවා.මේකේ වැඩ කරන්නෙත් ගමේම අය. ඒ වගේම ඒකෙන් බඩු ගන්නෙත් ගමේම අය ගමේ හැම පවුලකටම සුපර්මාර්කට් එකෙන් බඩු ගන්න යම් මුදලක් කිඹුට්ස් එකෙන් වෙන් කරලා තියෙනවා. බඩු අරන් බිල ගන්න විතරයි ඕනේ මුදල් ගෙවන්න වෙන්නේ සීමාව ඉක්මවා ගියොත් විතරයි. සාමාන්‍යයෙන් ශෙකෙල් 2000 ක් වගේ ගාණක්. (රුපියල් 65000 ක් වගේ හිහි ) මං ජිවත් වෙන ගම කිඹුට්ස් එකක් නෙමේ වෙන වර්ගයේ ගමක් මෙහෙත් එහෙම තමයි මං ගිහින් බඩු අරන් ආච්චිගේ නම කියනවා බිල ගන්නවා. ඒවත් පස්සේ ලියන්නම්.

මේ එදා තරුණ පරපුර එකට වැඩ කරපු විදිය

දැනුත් එහෙමයි.

මේ වර්ථමානය කියන්නේ කිඹුට්ස් ගොඩනගපු මුල් පරම්පරාවේ හැම කෙනෙක්ම අවුරුදු 80 න් එහා මහළු අවදිය ගෙවන කාළය. ඒ අයගෙන් කිඹුට්ස් එකේ පැවැත්මට කිසිම දෙයක් නොලැබුණත් ජිවත් වෙලා ඉන්න හැම මහළු කෙනෙක්ටම සහ ඒ අයව බලාගන්න මං වගේ පිටරට වලින් ඇවිත් ඉන්න සාත්තු සේවකයන්ට වැටුප් ගෙවන්නෙත් කිඹුට්ස් එකෙන්.

ඒ විතරක් නෙමේ ගම්මානය තුළම ඉතාම අසීරු මහළු අය රඳවා සාත්තු කරන්න වැඩිහිටි නිවාසයක් පවා තියෙනවා.

කිඹුට්ස් එකේ දරුවෝ ඉගෙනගන්නේ කිඹුට්ස් එකේම තියෙන ඉස්කෝලෙන්. සමහර කුඩා කිඹුට්ස් වල පාසල් නැහැ ඒ වල ළමයි වෙන කිට්ටු කිඹුට්ස් එකක පාසල් වලට යනවා.

හැම කිඹුට්ස් එකක් තුළම සිනගොගයක් තිබෙනවා. “සිනගෝගය” (בית הכנסת) Synagogue කියන්නේ යුදෙවුවන් දෙවියන් නමස්කාර කරන ස්ථානය.

පුස්ථකාලයක්. දරුවන් සහ වැඩිහිටියන් සඳහා වෙන වෙනම විනෝදශාලාවන් තිබෙනවා (ක්ලබ්) සතුටු සාමිචියේ යෙදෙන්න. විශේෂයෙන් මහළු අය වෙනුවෙන්. පිහිණුම් තටාකය කියන්නෙත් හැම කිඹුට්ස් එකකම අනිවාර්යයෙන්ම තිබෙන දෙයක්.

හැම ගෙදරකම සාමාජිකයෝ ගාණට වඩා බයිසිකල් ගාණක් තියෙනවා, ඒකට හේතුව නිතර කෑම ගැනීමට කෑම කාමරයට යන්නත් ගම ඇතුලේ තම තමන්ට පුංචි පාරවල් දිගේ පහසුවෙන් යන්නත් ලේසි වෙන්න. වෙන ගෙදරක බයිසිකලයක් වුණත් හදිසියට අවසරයක් ගැනීමෙන් තොරව ඕනේ කෙනෙක්ට අරන් යන්න පුළුවන්…

අපේ වාහනේ ඉදන් යන ගමන් ගත්තේ මිදුලක තිබ්බ බයිසිකල් .
ඔබ විශ්වාස කරයිද දන්නේ නෑ, මං ගිය ගම් කීපයේම ගෙවල් වල අය ගෙවල් ලොක් කරන්නේ නැහැ. ඒ වගේම සමහර ගෙවල් වල ලොක් හයිකරලා නැහැ.

සමහර කිඹුට්ස් ඇතුලේ පිට්සා අලෙවිසැල් සහ විශාල ක්‍රීඩාගාර පවා තිබෙනවා.

ඉස්සර බොහෝ කිඹුට්ස් වල චිත්‍රපටි හෝල් සහ වේදිකා නාට්‍ය සඳහා රඟහල පවා ඉදිකරලා තියෙනවා. දැනටත් බොහොමයක් එසේම ක්‍රියාත්මකයි.

ගම්මානය තුල ජිවත් වෙන හැම කෙනාගෙම ලියුම් බාරගැනීම සඳහා කිඹුට්ස් ඇතුලේ කුඩා තැපැල් කන්තෝරුවක් සිංහලෙන් කිවුවොත් පෝස්ට් ඔෆිස් එකක් තියෙනවා. පහළ රූපයේ තියෙන්නේ මං ගත්ත ඒ වගේ පෝස්ට් ඔෆිස් එකක ෆොටෝ එකක්. හවසට ඇවිත් තම තමන්ගේ ලියුම් පෙට්ට්ය ඇරලා බලන්න තියෙන්නේ.

ඩිස්පෙන්සරියක්,ක්ලීනික් එකක් ඊට අමතරව කුඩා රෝහල් පවා සමහර කිඹුට්ස් වල තියෙනවා.
(ක්ලීනික් එකේ ඩොක්ටර් එන දවස් දවසට තමන්ට වෙලාව වෙන්කරගන්න තමන්ගේ නමයි වෙලාවයි සටහන් කරන්න කොළයක් නිතරම ක්ලීනික් දැන්වීම් පුවරුවේ එල්ලලා තියෙනවා. මගේ යාළුවා අවුරුදු 7ක් ඒ වගේ කිඹුට්ස් එකක වැඩ කරන්නේ එයා කියපු විදියට මේ මිනිස්සු ඒ කොලේ තමන් සටහන් කරපු වෙලාවට සහ දිනේට යන්න බැරි නම් ඒ වෙලාවට කලින් ගිහින් තමන්ගේ නම කපලා එනවලු. ඒ තරමට ඒ මිනිස්සු කාළයේ වටිනාකම දන්නවා සහ අනෙක් කෙනාගේ පහසුව ගැන හිතනවා.)
උඩම තියෙන රූපයේ දැක්වෙන්නේ ගම්මානය තුල ඇතිකරන ගවයන්,එළුවන්,අශ්වයන්,බැටළුවන් වගේ සත්තුන්ට දෙන කෑම ගබඩා කරන කුළුණ. මං සමහර පාරවල් වල බස් එකේ යද්දී ඔය කුළුණු ගාන ගැන ගැන යනවා .මොකද කුළුණක් කියන්නේ එතන කිඹුට්ස් එකක් 🙂 .රටේ මූලික කෘෂිකාර්මික අවශ්‍යතා වලින් 40% ක් සම්පුර්ණ කරන කිඹුට්ස් ගම්මාන ඇතුළේ අනිවාර්යෙන්ම කිරිපට්ටියක් තියෙනවමයි. සාමානයෙන් කිරිගවයන් 700 -1000/2000 දක්වා විශාලයි මේ කිරිපට්ටි.. යුදෙව් භාෂාවෙන් ගව ගාලට කියන්නේ “රෙෆෙත්” කියලා. තාක්ෂණය ඉහළින්ම පාවිච්චි කරලා ඔවුන් සත්ව පාලනය කරන්නේ. අද සාමන්යෙන් එක කිරිගවයෙක්ගෙන් දවසකට ගන්න කිරි ලීටර් ප්‍රමාණයේ සාමාන්‍ය ලීටර් 42ක්. (සොරි ඒ පාර කිරිගවයෝ ගැන ලියාගෙන යනවා. ලිපිය දික් වීම ගැන හිතන නිසා හැම දේම ලියන්නේ නෑ, අවශ්‍ය කෙනෙක් කමෙන්ට් එකකින් අහන්න හොඳේ )

මුල්කාළයේ කිඹුස් තුළ දැඩි නීති තිබිලා තියෙනවා. විවාහ වීමට සහ දරුවන් හැදීමට පවා කිඹුස් හි සාමාජිකයන් ගෙන් අනුමැතියක් ගන්න වෙලා තියෙනවා. ඒකට හේතුව මුල් කාලීන කිඹුට්ස් වල ගෙවල් එතරම් සුවපහසු නැහැ වගේම .අලුත් පරම්පරාවක් බිහි කරන්න කළින් ඔවුන් ස්වයංපෝෂිත වී සිටිය යුතුයි යන එකඟතාවට සාමාජිකයන් එළඹ තිබීම. දරුවෙක් හදන්න කලින් ඔවුන් ඒ පවුල වෙනුවෙන් අළුත් ගෙයක් හදන්න පුරුදුවෙලා තියෙනවා. කාළයත් සමග පවුල් වර්ධනය සමග අලුත් නිවාස ගොඩනැගුවත් 1980 කාළය වෙනකල්ම කිඹුට්ස් තුල විශාල ගෙවල් ඉදිකරලා නැහැ . දැන් දැන් අලුත් පරම්පරාව නවීන පන්නයේ ගෙවල් කිඹුට්ස් ඉඩම තුළ ඉදිකළත් නිවාස වල පැරණි හැඩය රැකගෙන ඇතුලින් පමණක් වෙනස්කම් කරගෙන තිබෙනවා.

දැන් කිඹුට්ස් වල ළමයි ඉපදුණාම මවට මාස තුනක විතර සහන කාලයක් ලැබෙනවා නමුත් මුල් කාළයේ දරුවෙක් ඉපදුණාම මව සාමාන්‍යයෙන් සතියකින් විතර ආපහු සාමන්‍ය පිරිස එක්ක වැඩට එකතු වෙනවා. ඒ කාලේ ඔවුන් ඔවුන්ගේ පවුල සහ ජීවිතය දෙවනි තැන තියලා තමයි තමන්ගේ ගම්මානය ගොඩනගන්න මහන්සි වෙලා තියෙන්නේ. ඒ ගැන හිතද්දීත් පුදුමයි. ඒ මවුවරුන්ගේ දරුවන් වෙනුවෙන් කිඹුට්ස් එක තුළ දරුවන් රැකබලා ගැනීම සඳහා කාන්තාවන් කීපදෙනෙක් සහ නිවසක් වෙන් කරලා තියෙනවා. මෙහි විශේෂම දේ තමයි දරුවන් 24 පැයේම ඉන්නේ නිදාගන්නේ එකට ඒ දරුවන්ගේ විශේෂ නිවසෙම.. මව පියා වැඩවලින් නිදහස් වෙන හැම මොහොතකම තමන්ගේ දරුවන් වෙත යනවා.

අද කාලේ අපිට සහ දැන් ඉන්න යුදෙවුවන්ට පවා ඒක පුදුමයක් වුණාට ඒ අසීරු කාලේ හිටපු මවුවරුන්ට පියවරුන්ට ඒ විදියට කැපකිරීම කරන්න සිද්දවෙලා තියෙනවා..ගම්මානය ගොඩනගන්න සහ සතුරන්ගෙන් පරිස්සම් වෙන්න. පැය 24 ම ඔවුන්ට වෙහෙසෙන්න සිද්ධ වෙච්ච නිසා.(විස්තර කරන්න ගොඩක් දේ තියෙනවා මේ ගැන පසුවට )

ටිකක් හිතන්න ළදරුවෝ දහ දෙනෙක් වෙනුවෙන් අම්මලා දහ දෙනෙක් වැඩ නොකර ගෙදර ඉන්නවට වඩා අම්මලා දෙන්නෙක් කිසි වැඩක් නොකර අර දරුවෝ දහ දෙනාම බලාගත්තම අනිත් අම්මලා අට දෙනාටම පුළුවන් වැඩ කරන්න. කිඹුට්ස් එක වෙනුවෙන් මහන්සි වෙන්න,

පේනවද එදත් අදත් එක වගේ

මේ වෙද්දී කිඹුට්ස් ගම්මාන පටන් අරන් අවුරුදු 100 ක් ගත වෙලා ඉවරයි. හැම කිඹුට්ස් එකක්ම නවීකරණය වෙලා දියුණු වෙලා සමහර කිඹුට්ස් පවුද්ගලිකරණය වෙලා. තම තමන් වෙන වෙනම අදායම් උපයන්න සහ පිට රැකියා කරන්න විවුර්ථ වෙලා. ඒත් අදටත් සිය ගාණක් කිඹුට්ස් වල මිනිස්සු කන්නේ එකට. කොටින්ම හැම දෙයක්ම සිද්ධවෙන්නේ එක පවුලක් විදියට.. ලංකාවේ නම් කොහොමට මරාගනීද පවුල් සීයක් විතර එක ආදායම එකට බෙදාගනිද්දී. එක කෑම කාමරයක් තුල කෑම කද්දී.. වැටක් මායිමක් ඔප්පුවක් නැතුව එකට ඉද්දි. ගමේ ආදායමෙන් ලොකු ලොක්කෝ මාටියා ගහලා මොන විකාරයක් කරයිද, ඒත් යුදෙව් කිඹුට්ස් ගම්මානය කියන්නේ අදටත් එක පවුලක්. පවුල් සේරම එකම පවුලක්. කිඹුට්ස් වල හැදුණු වැඩුණු ගොඩක් දරුවන්ගෙන් රටට ලොකු සේවයක් වෙලා තියෙනවා. මෝෂේ ඩයාන් Moshe_Dayan කියන්නෙත් කිඹුට්ස් දිගේනියා වල ඉපදිච්ච දරුවෙක්. ඒ වගේම Golda Meir ඊශ්‍රායලයේ හතරවෙනි අගමැතිණි පවා කිඹුට්ස් ගමක හැදුණු කෙනෙක්.
————————————————————–
ප/ලි

ලිපිය මේ ආකාරයෙන් සංශිප්ත කර ලිවීම ඉතාම දුෂ්කරයි. ලියන්න තව ගොඩාක් තොරතුරු සහ ජායාරුප බොහොමයක් ඉතිරියි. කොටස් වශයෙන් ලිවීමට අකමැති නිසා
කිඹුට්ස් ගම්මාන ගැන ඔබට යම් අදහසක් ලැබෙන පරිදි ලියන්න උත්සහ කලේ. ඉදිරියේදි හැකි අයුරින් ලියන්නම්. යුදෙව් සංස්කෘතියේ වෙනත් පැතිකඩවල්.
තව විස්තර දැනගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් kibbutz ලෙස ගූගල් සෙවුමෙන් තොරතුරු ලබාගත හැකියි. kibbutz වල පැතිරීම බලාගන්න මේ map ලින්ක් එකෙන් යන්න. ස්තුතී

– ලිපියට අදාළ වෙනත් පින්තුර බැලීමට බ්ලොග් අඩවියට පිවිසෙන්න . (සංස්කාරක)

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල