සංචාරක හා ඡායාරුප

වට වංදනාව නොහොත් Circle Pilgrimage 2

Off

ආච්චම්මා ගෙනා ආම්පන්න මල්ල පැත්තකින් තියල ඒකෙං ගත්ත ‘නිල් සබං‘ කෑල්ල තණකොළවල තියෙන පින්නෙං තෙමල අරං කකුල් දෙකේම දනිහ ගාවට යනකං ගාගත්ත. ඉං පස්සෙ අපිටත් ගාගන්න කියල දුන්න. බාප්පත්, පුංචම්මත් ඒ කියපු ආකාරෙටම ගාගත්ත. ඔය සබං ගාගන්නෙ කූඩැල්ලො එල්ලෙනවට. තවමත් අපේ ගම් පළාතෙ කූඩැල්ලන් පලවාහැරීම තියෙන්නෙ පර්යේසණ මට්ටමේ. අපේ ගමේ ග්‍රාමීය විද්‍යාඥයින් ඒ පිළිබඳ නොයෙක් අත්හදා බැලීම් කලා. මුලින්ම ලුණු වතුර කකුලෙ ගාගැනීම. ලුණු කූඩැල්ලට විසයි. ඒ වුනාට පින්න නිසා හේදීමෙන් හෝ තණකොළවල වැදීමෙන් කකුලෙ තියෙන ලුණු ඩිංග ඉවත් වුන ගමන් කූඩැල්ලො අහුවුන තැන කනව. ඒ වැඩේ අසාර්ථක වුණු තැන දුංකල පොට්ටනියක් කකුලෙ උලාගැනීම පාවිච්චියට ගත්ත. එතැන වියදම වැඩියි. දුංකලෙයක් දවස් දෙකක් යනකොට ඉවරයි. ඉං පස්සෙ කූඩැල්ලගෙ රඳා පැවැත්ම නැති කරන්න කකුලෙ සබං ගෑම පටං ගත්තා. අපි ඒකට භාවිතා කලේ එදවස මිල අඩුම ‘සංලැයිට්‘ හෝ ඊටත් අඩු මිලෙං යුත් නමේ අගට ‘-වයිට්‘ හෝ ‘-ලයිට්‘ යන වාසගම ඇති සබං වර්ගයක්. යහමිං කකුලෙ සබං ගෑවම කූඩැල්ලට කකුලෙ එල්ලිල ඉන්න බෑ ලිස්සනව. නමුත් සබං වේලුනහම පරණ ඒවටත් එක්ක හරියන්න කනව. ඒ හිංද වෙළඳපොලට ආපු ජාතියක් ජම්මෙයක් නැති ‘නිල් සබං‘ මිලෙං අඩු, සබංවල ලිස්සන ගතිය වගේම ලුණුවල තියෙන විසත් ඇති කූඩැල්ලංගෙ මාරයෙක් බවට පත්වුනා. හැබැයි ඇඟිලිකරුවල ඉඳං හමයන හිංද ඒ සබං අපිටත් විසයි. ඕං ඔය හිංද මගෙ නං තීරණය වුනේ කූඩැල්ලො මාව කෑවට කමක්නෑ. උංගෙ බඩ පිරෙනවනෙ කියල. ඒකෙං මට පිං සිද්ද වෙනව ඇති කියල මට හිතුන. මං මේ ආත්මෙ කූඩැල්ලංගෙ බඩ පිරෙවුවහම ඊළඟ ආත්මෙ මට බඩ පිරෙන්න කන්න තියෙන තැනක ඉපදෙන්න පුළුවං වෙයි. එතකොට මහන්සිවෙලා වැඩ නොකර ගෙදෙට්ට වෙලා ඉන්න ඇහැකි.

ඕං ඔය හිංද මං සබං ගෑවෙ නෑ.

කූඩැලු භීතිකාවෙන් වෙලී ගිය අයියයි අක්කයි දෙන්නම ඒ අහලක තිවුන කපල දමපු රබර් ගහක ඉතුරු කොට කෑල්ල උඩට නැග ගන්නව. ඉං පස්සෙ ඒ දෙන්න තල්ලු කරගන්න පටං ගන්නව. කොටේ පල්ලෙ වැටිච්ච එකා හූ කියාගෙන මරහඬ තලාගෙන ආයිත් සිය ක්‍ෂේම භූමිය වන කොටේට නගින්න හදනව. එතකොට කොටේ උඩ ඉන්න එකාට ලකුණු පහක් හම්බෙනව.

ඔය අතරෙ ආච්චම්ම රබර් කෑල්ල පුරා නිරීක්ෂණ චාරිකාවක් යනව. නිරීක්ෂණ චාරිකාවක් කියන්නෙ මෙහෙමයි. ඔන්න පළමුවෙනි රබර් ගහ ගාවට යනව. ගිහිං බිම ඉඳං උඩට යනකං ගහ දිහා බලාගෙන යනව. හරියට පෝය දවසට ටීවි එකේ බණ කියන අතරෙ චෛයිත්තියක් පෙන්නනව වගේ. බිම ඉඳං උඩට හිමීට බලාගෙන යනව. ඉං පස්සෙ ගහේ කඳ දිහා බලල පොඩ්ඩක් අතගාලත් බලනව. ඊළඟට ඒ ගහෙං කිරි ලැබෙන ප්‍රමාණය මතක් කරනව.

“මේ ගහනං හොඳා. ඒ උනාට කිරි තියෙන ගහ කපල අපරාදෙ“

ඊළඟට ආච්චම්ම චීත්තෙ ගැටේ ලිහල ආයිත් තද කරල ඇඳ ගන්නව. වෙනිං ගහක් බලන්න යනව. ඒක දිහාත් අර විදිහටම බිම ඉඳං උඩට යනකං බලාගෙන යනව. ගහ අතගානව. බිම තියෙන කිරි පිරෙන පොල්කට්ට දිහා බලනව. ඔය විදිහට ආච්චම්ම රබර් කෑල්ල පුරාම ඇවිදිනව. ඒ අතරෙ ගහක පෝට වැලක් තිවුනොත් ඔක්කොම පැත්තක තියල ඒ වැල ඇදල අරං සුද්ද කොරනව. ආයි පුවක් ගහකින් බිම වැටිච්ච පුවක් ගෙඩියක් කොළපතක් තිවුනොත් ඒක අහුලනව.

ඔය අතරෙ බාප්ප මං ගෙනාපු කියත අරං ඒකෙ අඩුපාඩු බලනව. පොරවෙ මිට හයියද කියල බලනව. ඉං පස්සෙ කමිසෙ ගලවල නවල ගහක් උඩිං තියල ඇඳං ඉන්න සරම වෙනුවට පරණ සරමක් ඇඳගන්නව.

ඔය කිසිම දේකට නැති මං අහලක තිවුන මොට්ටු ගහකිං මොට්ටු කඩාගෙන ඒවයිං නලලට ඇනගන්නව. එතකොට ‘ටක්‘ සද්දෙට එව්ව පුපුරල නළලෙ යාංතං රෝසපාට පැල්ලමක් ඉතුරු වෙනව.

ඒ අතරෙ පුංචම්ම ආච්චම්ම පස්සෙං යනව. ඒ යන ගමං දෙන්නත් එක්ක විස්තරත් කතා කරනව.

“මේං බලහං මේ සබර ගහ හිටෝන කාලෙ උඹලෑ මල්ලි හම්බු වෙන්න ඉන්නව එතකොට මට. දැං බලාං මේකෙ වයස කීයක් වෙනවද“

ආච්චම්ම රබර් ගහට උප්පැන්න සහතිකේ හදනව.

“අනේ අම්ම ඇයි අම්මෙ මෙහෙම දුක් විඳිංනෙ. අම්ම ගෙදෙට්ට වෙලා ඉන්නකො මං අම්මට මාසෙ වියදමට කීයක් හරි දෙන්නං“

පුංචම්ම ආච්චම්මට විශ්‍රාම වැටුපක් දෙන්න කතා කරනව.

“ගිය මුරේ පුවක් අහුලල කරුංක වේලල ගත්ත සල්ලි ඔලිං මං ගත්ත උණුවතර බෝතලේ තමා එදා මැණිකෙ කුඹුරෙ ගිනිහිං ගලක් උඩ ඇතෑරියෙ“

“අම්මෙ මේ කෝපි ගස්සොල කෝපි හැදිල තියෙන්නෙ කාටහරි කියල කඩොවන්නකො“

ඔය ආදී වශයෙන් දෙන්නත් එක්ක එක් එක්කෙනාට ඕනි දේවල් කිය කිය නිකං පැය බාගෙයක් විතර ඇවිදිනව. එතකං බලා ඉන්න බැරි කමට බාප්ප කෑ ගහනව.

“මැණිකේ… මැණිකෙ. අම්මෑං අහන්නකො කොයි ගහද කපන්නෙ කියල“

ඒ සද්දෙ මදි ඒ දෙන්නගෙ කතාව ඇතුලින් රිංගන්න. ඉතිං බාප්ප තව ඩිංගක් හයියෙං අහනව.

“මැණිකේ.. අම්මගෙං අහන්නකො කොයිකද කපන ගහ කියල“

ඕං ඒගමන පුංචිට ඒක ඇහෙනව. ඒ හොඳටම ඇති මෙතෙක් වෙලා නැලවිලා හිටපු පුංචි සිය විනෝදාංසය පටං ගන්නව.

“අනීඊඊඊ.. ඇයි ඔයා මට ඔහොම හයියෙං කෑගාන්නෙ ඉහි ඉහි ඉහික් හී… හී…“

“නෑ නෑ… ඔයාට ඇහුන්නැති හිංදනෙ මං ටිකක් හයියෙං කිවුවෙ. බැන්නයැ. බයින්නෙ ඔහොමයැ“

බාප්ප පුංචිව සනසන්න යනව.

ඕං ඔය විදිහට ගිය කාරණාව පැත්තක  තියෙද්දි හැමෝම වෙනිං වෙනිං විකාර කරනව. ආයිත් ටිකකින් ආච්චම්මට මතක් වෙනව ආ කාරනාව

“ඔය විකාර කොලා ඇති විජහට ගහක් කපල කුට්ටි කොරගමු. ජෝකපාල, මේං මේ ගහ හොඳයි නේද?“

අපි හැමෝම විකාර නටද්දි තමුං විතරක් හොඳ සිහියෙං ඉන්න බව පෙන්නන ආච්චම්ම ‘වලපයයි ගොඩපයයි‘ ඉන්න අත්තක කොල හතරක් පහක් තියෙන සබර ගහක් අපට පෙන්නනව. ලෝකපාලු, මදුවැල්, පෝටවැල් ආදී සියලුම වැල් වලින් සමන්විත පොදියකින් වෙලී කෝපි ගහක් සමග ‘ආල වඩන‘ ඒ ගහ දකිද්දිම මගෙ කට ඇදවෙනව. බාප්පටත් විරවෙන්න ඇති.

“මක් කොරලද ආච්චම්මෙ මේක මේ වැල් ගාලෙං දොට්ට ගන්නෙ.“

මං ආච්චම්මගෙන් අහනව.

“බෝ කට වහපං. ඒක ජෝකපාල ගනියි යස අගේට. බොට බැරි උණාට. ජෝකපාල, මේ කෝපි ගහ කැඩෙන්නැති වෙන්න ඔය සබර ගහ කපන්න. ඕක ඒහැටි එකක් නෙමෙයි. පිහියෙං දෙපාරක් ගහල වැල්ටික ඇදල දැම්ම. හීං සැරේ ගහ කපල අනික් ගස් බේරල බිමට පෙල්ල ගත්ත. එච්චරයි“

ආච්චම්ම බොහොම ලේසිවට කියල දැම්ම. වෙනිං කෙනෙක් අහං හිටියනං හිතන්නෙ අපි ආච්චම්මව රවට්ටල උන්දැගෙ සේරම බෝග ටික ආසනාසි කොරන්න හදනව කියල. බාප්ප මගෙ දිහා බලල ‘හික්‘ ගාල හිනාඋනා.

ඉතිං අපි සබර ගහ කපන්න පටං ගත්ත. ආච්චම්ම කිව්වට ගස් මුදුං දෙකේ පැටලිල තියෙන වැල් ගාල් ලිහන්න අපිට උඩිං යන්න හැකියාව තියෙන්න ඕනි. ඒ හිංද ආච්චම්ම ඒ මහඟු අවස්තාවෙං පොරෝජං අරගෙන ‘මුට ගහක කොළකට නැගගන්නවක් බැරි‘බවත් ‘නැහ්නං සබර ගහේ නැගල වැල් ටික කපාදාන්න‘ තිවුන බවත් කියා මගෙ නොහැකියාව පෙන්වා දුන්නා. ඒ අතරෙ බාප්ප පොරවෙං සබර ගහ කපන්න පටං ගත්ත.  ආච්චම්ම ඒ ගහ මුල තියෙන පුවක් අහුලන්නත්, ඒ පස්සෙං පුංචම්ම හොටු පෙරමිං යන්නත්, අක්කයි අයියයි ඔට්ටු තියන්නත් පටං ගත් හිංද එතැන මොහොතිං ජනාකීර්ණ උනා. ඉතිං බාප්පට සිය පොරෝ පාරවල් කෙරෙහි සැලකිලිමත් වෙන්නත්, “අහකට වෙන්න“ කියන්නත් සිද්ද උනා. එයට සැම දෙනාම විවිධ ප්‍රතිචාර දැක්කුවා.

ආච්චම්මා:- “මං හිටියට කමහ්නෑ. මට අහකට වෙතෑකි. මංගැන බය වෙන්නෙපා. ඕක පෙල්ලෙනකොට මට හැතැහ්මක් ගියෑකි“

පුංචම්මා:- “අනේ ඇයි ඔයාට මාව පේන්න බැරිද? මට කොච්චරවක් සැර කරන්නෙ. ඉහි ඉහි ඉහි“

අක්කා:- “මං මගෙ තාත්ති පැටී ඉන්න තැන්ටම වෙලා ඉන්නෝ. “

අයියා :- “මං විතරක් ගිහිං වැඩක් නෑනෙ. මාත්තින්නව“

ඔය ආදී වසයෙං කට්ටියම තොදොල් වීම නිසා බාප්පට සිය වැඩේ කරගෙන යන්න බැරි වෙන බව දැනගත් මම

“කොහෙ ගියක් කමහ්නෑ. ඔය සබර ගහට එහායිං තියෙන පෝර වැල් ගාල අස්සෙනං යන්නෙපා. මං දැක්ක මොකෙද්ද ඒක අස්සට ඇදෙනව. “

කියා අනතුරු ඇඟෙවුවා.

“හ්‍රීඊඊඊඊඊක්“

“බුදු අම්මෝ“

“ඌ අපිව කනකංද බොල තෝ බලං හිටියෙ“

“තොට ඉස්සෙල්ල කියන්න තිවුං නැද්ද“

ආදී වසයෙං සිය සතුට පළකල අය විජහට එතනිං අයිං වෙද්දි, මං කිව්වෙ බොරුවක් බව මයෙ මූන දිහා බලපු බාප්පට මං එක හිනාවෙං පහදා දුන්න.

ඉතිං බාප්ප සතුටිං නිදහසේ ගහ කැපුව. ආච්චම්ම කියපු විදිහට තණකොලේ ඉඳං බේරල කැපිය යුතු සබර ගස අවසානයේදී තමං වෙලාගෙන සිටිය වැල් ගාලේ ආධාරයෙං වටේ පිටේ තිවුන කෝපි ගස් දෙක තුනකුත් පටලවාගෙන ඇලවෙන්න පටං ගත්තා. එය අහස පොලවට කඩා වැටෙන තරං විශාල දෙයක් ලෙසට සැලකූ අනිත් අය

“අනී … යෝකේ බලාගෙන ඔයා අහකට වෙන්න“

“අනි අනි අනීඊඊඊ තාත්ති පැටී අහකට වෙන්නකෝ“

“ඕක වැටෙන්නෙ අක්ක ඉන්න තැන්ට තමයි“

“මං මුට කිව්ව අර කෝපි ගහේ පැටලිල තිවිච්ච වැල් ටික කපාං කියල. අපසාදෙ, ගිය මුරෙත් ඕකෙ කෝපි ටික ගස්යට වැහ්ල ගියා“

ආදී වසයෙං මරහඬ තලද්දි. සබර ගහ මුලිං වෙං වෙලා පුවක් ගස් දෙකක් සහ සබර ගහක් අස්සෙ හිරවුනා. ඉස්කෝලෙදි විතරක් කියන කුණුහබ්බ වලිං එකක් මට කියවුනත් අතු පොඩිවෙන සද්දෙට ඒක කාටවත් ඇහුන්නෑ,

http://yanhella.blogspot.co.uk/2015/06/circle-pilgrimage-2.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල