කාලීන සංවාද

ළමා අවදියෙහිදී අලිපිට යෑමේ ආදීනව, මාළිගාවේ මුර දානය සහ දාහතේ වාට්ටුවේ සරෝජිනී.

Off

” අනේ පුතාට තුණුරුවන්ගෙම සරණයි..” නැන්දම්ම මගෙ ඔලුව අතගෑව.

” මේ පුතා මේ කිට්ටුවද? ”

” ඔව් නැන්දම්මෙ මම මේ පිළිමතලාවෙ…..”

මම නැන්දම්මෙ කියන කෑල්ල බරකරල කියන ගමං හොරැහිං බැලුව අර කෙල්ලගෙ මූණ දිහා. ඒකි තොල් හපාගෙන ඇස් දෙකෙං හිනා වෙනව.

” පුතාල උදේට කාල එහෙමද ආවෙ?…”

මම වැඳල එහෙම එකත්පස් වුනාට පස්සෙ ඔන්න නැන්දම්ම අහනව.

” ඔව් නැන්දම්මෙ කාල ආවෙ….”

” හිහ්..ආය අහන්ටත් දෙයක්ය…අම්ම දන්නෙ නැද්ද හීන් නැන්දම්මගෙ විත්තිය? මඟුල් මේසෙ ඇරිය වගෙ තියෙන්ට ඇති ” …ආයම නැමිල කෙස් වැටිය තෙත් මාත්තු කරන අතරෙ අසෝකා කිව්ව.

” එහෙනං පුතා තේ කෝප්පයක්වත් බොමු නේද? ” නැන්දම්ම කුස්සිය පැත්තට යන ගමං ඇහුව…

” හරි නැන්දම්මෙ එහනං කහට එකක් බොමු…..” අජිත් එහෙම කියල මිදුලට බැස්ස.. ” බයික් එකට ඒ ටිකට අව්ව වැටිල ..ඉඳහං මම අඹ ගහේ හෙවණට දාල එන්නං…”

” නැන්දම්ම නිකම්ම කහට එකක් උස්සගෙන එයිද මන්ද..” මම හෙමිහිට මටම එහෙම කියාගෙන කවිච්චිය ලඟට ගියා.අසෝකා මගෙ දිහා ඔලුව උස්සල බලල තොල් හපාගෙන ආයෙම අහක බලාගත්ත.

” ඔය වැලිතලප, වෙල්ල වැහුං, පුස් නාඹු, නාරං කැවුං, අග්ගල කොයි කොයිවත් දුන්නොත් අපි එපා කියන්නෙ එහෙම නෑ…හොඳේ? ” අසෝකා දිහාවෙ හොරැහින් බලල මම ආයෙම කිව්ව.

” දෙන්ට තියෙන්ට එපාය..ඔහෙ ඇති වෙල්ලවැහුමක්වත් වැලිතලපයක්වත් නෑ…” අසෝකා අහක බලාගෙනම කිව්ව..

” ෂිහ්.. වැලිතලප කෑල්ලක්වත් නැද්ද හලෝ? පුදුම වලව් තමයි මෙව්ව…” මම ආයෙම හොරැහින් ඈ දිහා බලල අහක බලාගෙන කිව්ව.

” මොන වලව්වක්ද? කවුද එහෙම කතාවක් කිව්වෙ?…” අසෝකා තුවාය අතට අරගෙන මා දිහාට හැරිල සැරෙන් ඇහුව..

” හරි හරි එහෙම නෙවෙයිනං කලබල වෙන්ට එපා. අජිත් තමයි මා දැක්ක කිව්වෙ..”

” මොනවද දැං අජිත් අයිය කිව්වෙ? ”

” කිව්වෙ මෙහෙමයි..මචං ඔය අසෝකා නංගිලගෙ අම්ම…. ඒ කිව්වෙ අපෙ නැන්දම්මල රඹුකේවෙල වලව්වෙ. රජකාලෙ රජ්ජුරුවංගෙ ඇත්පන්තිය බාරව ඉඳල තියෙන්නෙ ඒ පරම්පරාවෙ අය. අපි පොඩි කාලෙ ඒ නැන්දම්මලටත් හිටිය අලි හත් අට දෙනෙක්ම. ”

” එහ්?…..අජිත් අයිය ඇත්තටම ඔහොම කිව්වද? ” අසෝකගෙ ඇස් දෙකත් ලොකු වෙලා….

” කිව්වෙ නැත්තං ආය ඔයාලට අලිහිටියයි කියල දැනගන්ට මොකෝ මට දිව්‍යඥාණෙ තියනවය? අජිත් කිව්ව තමයි. ”

” ඉතිං?…. අජිත් අයිය තව මොනවද කිව්වෙ? ”

” ආආආ…..තව කිව්ව මෙහෙම මචං උඹ දන්නවද ඔය අසෝකා නංගි පොඩි කාලෙ ඉස්කෝලෙ හිට ගියේ අලිය පිටේ…”

” මොකක්?….. අලි පිටේ කවුද ඉස්කෝලෙ යන්නෙ? ”

” හරි හරි මමත් ඒ වෙලාවෙ ඔහොමම තමයි කිව්වෙ..බොරු කියන්ට එපා…කවුද බං අලිපිටේ ඉස්කෝලෙ යන්නෙ කියල? ”

” ඉතිං? …”

” ඉතිං කියන්නෙ…. අජිතය ඊට පස්සෙ කිව්ව, නෑ බං ඇත්තමයි..ඔන්න අසෝක නංගිව දැක්ක දවසට උඹටම පෙනෙයි එයා අලි පිටේ ගිහිල්ල තියනවද නැද්ද කියල..”

” ඈ???…….. ඒ කොහොමද එහෙම කියන්නෙ? ”

” එහෙම කියන්න පුලුවන්..හැබැයි ඔය කියුලට් බියුලට් ඇඳගෙන ඉන්නකොට ටිකක් අමාරුයි. ඔන්න කලිසමක් වගෙ ඇඳල ඉන්නවනම් ටක්කෙටම කිව්වැහැකි. ඔයාගෙ නැද්ද කලිසමක් එහෙම? තියනව නම් ඇඳගෙන එන්නකො. පොඩි කාලෙ අලිපිටේ ගියෙ නෑ කියල ඔප්පු කරන්ට ෂුවර් ඇන්ඩ් ෂොට් ක්‍රමේ තමයි ඒක. ”

” අනේ මේ….මගෙං මොකවත් අහගන්නෙ නැතුව ඉන්නවද ඔය ඉන්න විදිහට…..කලිසං…හුහ් ”

ඒ පාර නං කෙල්ලට මල පැනලම වගෙ. තුවායත් අතේ මිරිකගෙන මාදිහා රවාගෙන උන්න විදිහට මට මැරෙන්ට හිනා…

ඒ එක්කම නැන්දම්ම කුස්සියෙ ඉඳල ආවනෙ තේ කෝප්ප දෙකකුත් බන්දේසියක තියාගෙන.

” තේ එකක් බොන්ට පුතා..කෝ අපේ අජිත් පුතා? …” නැන්දම්ම වටපිට විපරම් කරමින් ඇහුව..

” බයිසිකලේ අව්වෙ කියල හෙවණකට දාල එන්නං කියල ඔය ගියෙ අම්මෙ…” අසෝකා එහෙම කියල දොරගාවට ගිහිල්ල පඩි දෙක බැහැල මිදුලට ගියා..

” බයිසිකලේනං අන්න අඹගහ හෙවණට දාල තියනව. අජිත් අයියනං නෑ පේනතෙක් මානෙක….”

” මේ ළමය කොහෙට ගියාද? ” …..නැන්දම්ම එහෙම කියල තේ බන්දේසිය මහෙ ඉස්සරහ ටීපෝ එක උඩ තිබ්බ.

” අනේ දුවේ අර ඊයෙ හදපු අග්ගලා මම පීරිසියක දාල ඇති කුස්සියෙ මේසෙ උඩ. එක පාරට ගේන්ට බැරිහින්ද ගෙනාවෙ නෑ. ගිහිල්ල අරං එන්ටකො. මේ පුතා පැණිරහ එහෙම කනව නේද?…”

” එහෙමකට කන්නෙ නං නෑ ..ඒත් නැන්දම්ම ඉස් ඉස්සෙල්ලම හිත සන්තෝසෙන් දෙන එක එපා කියල කොහොමද? ගේන්ටකො බලන්ට ඔය දහයක් දොළහක් විතර තියනවනං…..”

මම හෙමිහිට කිව්ව මා ගාවිං කුස්සියට යන්ට ආපු අසෝකට විතරක් ඇහෙන්ට..කෙල්ල මගෙ දිහා ඔලුව හරවල බලල ආයෙම ගස්සගෙන ඉස්සරහ බලාගෙන කුස්සිය පැත්තට ගියා.

අජිතය ඔන්න ඔය වෙලාවෙම ගෙට ගොඩවුනා.

” කොහෙද පුතා ගියේ?……”

” මම අර සමිතියෙ කඩේ පැත්තෙ පොඩ්ඩක් ගිහිල්ල එන්ට ගියා නැන්දම්මා……” අජිතය එහෙම කියල මා ගාවම ඉඳගත්ත.

” හා..එහෙනං පුතාත් බීල ඉන්ටකො තේ උගුරක් මේ දරුවත් එක්කම…..”

අපි ඉතිං අග්ගල කාල තේ බිව්ව.ගම්මිරිස් එහෙම යන්තමට දාල කිතුල් පැණියෙං හදපු එව්ව තමයි අග්ගල.අග්ගල කං ඩෝං පුතා හෙලේ නඟිං ඩෝං පුතා..හීතල මැකිල යන්ට ගම්මිරිස් දාපු අග්ගල කකා සිරීපාදෙ කරුණා කරන එක ගැන කියවෙන ඒ කවි පදේ මට මතක හිටියෙ අපෙ අත්තම්ම කියල දුන්නු කවියකිං..ඉතුරු හරිය මතක නෑ.

අජිතුයි මායි නැන්දම්මලගෙ ගෙදර ආවෙ මාළිගාවෙ මුරදානෙ ගැන කතාකරගන්ටෙයි කියල මම කිව්වනෙ කලින්ම නේද?..ඔය දාන සීන් එකත් සෙල්ලං කෙලියක් එහෙම නෙවෙයි මාළිගාවේ මුර දානයක් ගන්න එකත් අර කණ කොකා විය සිදුර ඇතුලෙන් ඉගිලෙනකොටයි සුද පේන්නෙ කියල කතාවක් තියෙන්නෙ, අන්න ඒ වගේ තමයි.

තේ බීල ඉවර වෙලා නැන්දම්මයි අජිතයයි තේ මේසෙ ඉඳගෙනම මාළිගාවෙ දානෙ දෙන එකේ Logistics කතාකරන්ට ගත්ත. ලොජිස්ටික්ස් කියන එකේ සිංහල වචනෙ ඇවිල්ල කාර්ය සම්පාදනය.ප්‍රසම්පාදන කියන වචනෙ අහල තියනවද? මේ ලඟදි තමයි ඔය වචනෙ නිර්මාණය කරල තියෙන්නෙ මම හිතන්නෙ. ප්‍රසම්පාදන කියන්නෙ Procurement කියන එකට. ඇත්තටම එහෙම අලුතෙන් සිංහල වචන හදන එක මගේ අදහසේ හැටියට බොහොම හොඳ දෙයක්.

මට ඉතිං ඔය මුර දානවල කාර්ය සම්පාදන ගැන කොහෙත්ම උනන්දුවක් නැතිහින්ද මම නැඟිටල මිදුලට බැස්ස. ඔය මම කියන කාලෙ පුදුම පෑවිල්ලක් තිබ්බෙ. තණකොල ඉඳල කරකුට්ටං වෙලා ගිහිල්ල. ඒත් අඹ ගහ වටේට ගඩොල් අල්ලල පාත්තියක් හදල බාර්බටන් ඩේසීස්, කපුරු අරව මෙව්ව වවල තිබ්බ. කවුරුහරි වතුර එහෙම දාල හොඳට සාත්තුකරන වගත් පේන්ට තිබ්බ. වෙන කවුද ඉතිං? එක්කො නැන්දම්ම නැත්තං මේ කෙල්ල වෙන්ට එපාය…මල් පිපිල හැම ගහකම වගෙ. මම මල් දිහාවෙ බලාඉන්දැද්දි ඔන්න එක අපරටම මට ඇහුන රෙද්දක් ගසල දාන සද්දයක්.

හැරිල බලද්දි ගේ පැත්තකට වෙන්ට වගෙ පේර ගස් දෙකක ගැටගහල තිබිච්ච වැලක අසෝකා හෝදපු රෙදි වගයක් වනනව.

මම හෙමිහිට ඒ පැත්තට ගියා..

” මේ නංගි ඔයා නුවර ඉස්පිරිතාලෙ නේද වැඩ?…” අසෝකා නර්ස් කෙනෙක් නැත්තං මාණ්ඩලික හෙදියක් කියල මම කලින් කිව්ව මතකයිනෙ නේද?

” ඔව් අයියෙ…..”

” මොන වාට්ටුවෙද? ”

” මේ දවස්වල නම් මම විසි හතරෙ…”

” දාහතේ වාට්ටුවෙ එහෙම වැඩ කරල නැද්ද? ”

” නෑනෙ… තවම නෑ.. ඒක කාඩියොලොජි මේල් වෝඩ් එකනෙ..ලඟදිම ඒකටත් වැටෙයි..”

ඔය වෙනකොට අසෝකා රෙදි වනල ඉවරයි .

” යං අයියෙ ගෙට. මොකටද මේ අව්වෙ වේලෙන්නෙ…”

අපි දෙන්න ගෙට ගොඩ වෙනකොටත් අජිතයයි නැන්දම්මයි කෑම මේසෙ වාඩිවෙච්චි විදිහට එහෙම්මම ඉඳගෙන බරටම කතාව. අජිතය කොලේක මොනවද ලියනව. මුර දානෙට ඕන බඩු ලැයිස්තුව වෙන්ට ඇති.

අජිතයගෙ හැටි එහෙම තමයි..මේ හවසට ඌයි මායි බෝතලයක් ගෙනල්ල ගහන්ට ලෑස්ති වෙයංකො..මෙන්න මේ යකා හාෆ් ෂීට් එකක් අරගෙන ලෑස්ති වෙනව ඉස්සොරෝම.

” මොකටද බං ඔය හාෆ් ෂීට් දැම්මම? අත පිහින්ට පත්තරයක් දෙකක් ඉරල ගමු…” මම දන්නෙ නැතුව වගෙ අහනව ඕකගෙ මල පන්නවන්ටම..

” අත පිහින්ට නෙවෙයි යකෝ..මේක මේ බඩු ලිස්ට් එක ලියන්ට.”

” ඈ???…..මේ අපි දෙන්න එකතුවෙලා බෝතලයක් ගහන්ට බඩු ලිස්ට් එකක් මොකටද බං?..”

” එහෙම තමයි බං ..මොනවහරි අමතක උනොත් ආය අතන මෙතන කියලද? ගව් ගාණක් යන්ට එපාය. ”

එක අතකට ඒ කතාවත් ඇත්ත. ඔය අපි අර මහ කැළේ මැද්දෑවෙ හිටපු කාලෙනෙ. කඩේකට යන්ට පාරටම ඉතිං එන්ට එපාය.

” ඒකත් හරි තමයි බලාගෙන ගිහාම..මොකවත් අමතක උනොත් කාරිය. උඹ එහෙනං බඩු ලිස්ට් එක ලියාපංකො මොකවත් අමතක නොකර..මම ගිහිල්ල බොසාගෙං ජීප් එකක් ඉල්ලගෙන එන්නං.. ”

අජිතය ඔන්න දිවත් හපාගෙන ඉඳගන්නව බඩු ලිස්ට් එක කියන්ට. මම ගිහිල්ල බොසාගෙන් වාහනේකුත් අනුමත කරවගෙන යනව කදුරුවෙල බඩු ගේන්ට අජිතයත් එක්ක. කදුරුවෙල ටවුමෙ මාකට් එක ඉස්සරහ වාහනේ නවත්තල අපි දෙන්න බැහැල යනව කඩ වීදිය දිගේ ඉස්සරහට.

” ඒයි කෝ ගනිං අර ලිස්ට් එක….” රෝහණ ස්ටෝර්ස් එක ලඟට එනකොට මම කියනව

රෝහණ එක පහුකරල තව යාර පණහක් හැටක් ඉස්පිරිතාලෙ පැත්තට යනකොට තමයි ෆැන්සි හවුස් එක තියෙන්නෙ. ඒ දවස්වල ඒ පැත්තෙ තිබ්බ ලොකුම කඩයක්. සපත්තු සෙරෙප්පු, රේඩියෝ, ටී.වී. නැති දෙයක් නෑ. විමලයයි මායි වාං පතුල් ගන්ට ගියෙත් ඕකට. හෙහ්,හෙහ්,….. ඔය වාං පතුල් කේස් එකෙන් නෙව මේ කතන්දර මාලාව පටන් ගත්තෙ. අද මේ ලියන්නෙ විසිහයවෙනි කොටස. නම වාං පතුල් උනාට ඉතිං මෙව්වයෙ ලියපු තරමක් ලිව්වෙ මගෙ ජීවන අත්දැකීම්….. අර බෝඩ් එකක් දාල නැති බස් එක වගෙ තමයි. ඔන්න බස් එකක් නවත්තල තියනව. ඒත් බෝඩ් එකක් නෑ

” මේ..කොන්දොස්තර මහත්තයො…මොකදෑ මේ බස් එකේ බෝඩ් එකක් නැත්තෙ? ” වයසක ලොක්කෙක් කිට්ටු වෙලා අහනව.

” අද ඩැයිවර නකතං වෙන්ට ගහල අංකල්, බස් එක කොහෙ යයිද කියන්ට බෑ.. ඒ නිසා බෝඩ් එකක් දැම්මෙ නෑ. ඔය කොහෙ හරි ගිහිල්ල නැවතුනහම එතනට හරියන බෝඩ් එක දානව. ” කොන්දොස්තර බස් එකට හේත්තුවෙලා ඉඳගෙන කිව්ව ඇස් පිල්ලං ගගහ. බලනකොට ඒ මනුස්සයත් කරපට් වෙන්ට ගහල.

රයිට් ආපහු රෝහණ ස්ටෝර්ස් එක ගාවට………

” ඒයි කෝ ගනිං අර ලිස්ට් එක…..” රෝහණ ස්ටෝර්ස් එක ලඟට එනකොට මම කියනව

අජිතය උඩ සාක්කුවට අතදානව..ඒ කරල ආයෙම කලිසං සාක්කු දෙකටම අත් දෙක දානව. ඕකා කලිසං සාක්කු වලට අත් දාන්නෙත් අමුතු විදිහකට. වං අත කලිසමේ දකුණු සාක්කුවට සහ දකුණු අත කලිසමේ වං සාක්කුවට..ආන්න එහෙම. අජිතයගෙ අත්දෙක හෙණ දිගයි. අර අපි හතේ අටේ පංතිවලදි ඉගෙන ගත්තෙ වානර මානවයො..අන්න ඒ වගේ. ඉතිං ඒ හින්ද අත්දෙක මාරු කරල සාක්කු වලට දාන්ට පුලුවෙනි හන්දි එහෙම ඇද ගන්නෙ නැතුව. ඉතිං ඔන්න අජිතය අර කදුරුවෙල ටවුමෙ දෙනෝ දාහක් සෙනඟ මැද්දෑවෙ ඇස් දෙකත් උඩ තියාගෙන සාක්කු දෙකේ ලිස්ට් එක හොයනව.

” මොකද බං වෙලා තියෙන්නෙ? කෝ ලිස්ට් එක? …” මම අහනව බැරිම තැන..

” ඒක අමතක වෙලානෙ බං …” ඔන්න අජිතය හෙමිහිට කියනව..

” අම්මාපල්ල උඹ වගේ එකෙක්..හා..හා..යමං ඕන බඩු ටික අපි ගමු බං.මහ ගොඩක් නෑනෙ ඕකට ආය අහවල් ලිස්ට් එකක්ද?…මෙන්න මෙහෙ වරෙං …….” මම ඌත් ඇදගෙන රෝහණ එකට ගොඩවෙනව.

අජිතයගෙ ඔය සීන් මතක් වෙලා මම තොල්පොට හපාගෙන හිනාව ගිලගත්ත.

” නංගි කෝකටත් අර ලිස්ට් එක ඔයත් ලියල තියාගන්ට..අවුලක් නැතුව දානෙ වැඩ ටික කෙරෙන්ට ඕනනං..”

එහෙම කියල මම ඒ දෙන්න ඉන්න දිහාට යන්නෙ නැතුව සාලෙට ගොඩ වෙන තැනම තිබ්බ වේවැල් පුටුවක ඉඳගත්ත. මෙන්න අර කෙල්ලත් මා ඉස්සරහ ඉඳ ගනිපි.

ඔය පරණ ගෙවල්වල සාලෙ එහෙම මහ විසාලයි. මේස පුටු එහෙම එක පැත්තකට අයිං කලොත් බැඩ්මින්ටන් අතක් වොලිබෝල් ගේමක් එහෙම ගැහුවැහැකි ඇහැ පියාගෙන. පිරිත් මණ්ඩප්පයක් ගහන්ට එතකොට හදිස්සියකට පණහකට හැටකට ඉඳගෙන බණක් අහන්ට, විසි තිස් නමකට දානයක් දෙන්ට පුලුවන් ඉඩ පහසුකම් තියන සාලයක් ඕනය කියල තමයි ඒ දවස්වල පිළිගැනීම තිබ්බෙ. එහෙම උනහම සාලෙම වෙනව පර්චස් විස්සක් විතර හෙහ්,හෙහ්,

කොහොම හරි අසෝකයි මායි ඉන්න තැනට අජිතුයි නැන්දම්මයි කතාවෙන එව්ව ඇහෙන්නෙ නෑ. අසෝකා මං ඉස්සරහ ඉඳගෙන මගෙ මූණ බලල හිනාවුනා.

” අයිය මොකද අර වෝඩ් සෙවන්ටීන් එක ගැන ඇහුවෙ ?…” …එයා හෙමිහිට ඇහුව.

” නෑ මේ නිකං …” මම ඇදල පැදල කිව්ව.

” නිකං නං වෙන්න බෑ…” එයා ආයෙම හිනා වුනා..

” වෝඩ් සෙවන්ටීන් එකේ වැඩ කරනව නේද සරෝජිනී කියල ගර්ල් කෙනෙක්?…”

” ඔව්..සරෝජිනී මගෙ බැච් මේට්..අයිය එයාව දන්නෙ කොහොමද? ”

” ඒක ටිකක් දිග කතාවක්…මෙහෙමයි..අපෙ අප්පච්චි මාස හයකට වගෙ ඉස්සෙල්ල හාට් ඇටෑක් එකක් ඇවිල්ල ඔය වෝඩ් එකේ හිටිය සති දෙකක් විතර…”

” ඉතිං?……..”

” ඉතිං මම තමයි වැඩිපුර අප්පච්චි ගාව හිටියෙ…” අසෝකා මා දිහා බලල ආයෙම බිම බලා ගත්ත…

” ඒ කාලෙදි තමයි මම සරෝජිනීව අඳුනා ගත්තෙ…”

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල