සාහිත්‍ය කළා විචාර

හොඳම මැතිවරණ ක්‍රමය

Off

හොඳම මැතිවරණ ක්‍රමය මොකක්ද?

මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න ඉස්සෙල්ල මැතිවරණය කියන්නෙ මොකක්ද කියල අපි තේරුම් ගන්න එපායැ.

මැතිවරණයක් තියෙන්නෙ ආණ්ඩුවක් තෝරගන්නද?

නෑ. ඒකට නෙමෙයි. එතන තමයි වැරදිච්ච තැන.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ වැඩි දෙනෙක්ගෙ කැමැත්ත අනුව අඩු දෙනා දුක් විඳීම කියල තමයි අපේ මිනිස්සු ඉගෙනගෙන තියෙන්නෙ. එහෙම නේද? ඔන්න අහවල් පක්ෂය දිනනව. අනිත් පක්ෂෙ පරාදයි. මේකනෙ අපේ හිතේ ඇඳිල තියෙන්නෙ.

දැන් බලන්න, ඡන්ද ලක්ෂ පනස් අටකට වඩා දිනාගත්තු මහින්ද රාජපක්ෂ මහත්තයා පරාදයි. ඇයි පරාද? දිනන්න බැරි වෙච්ච හින්ද. ඇයි දිනන්න බැරි වුනේ? වෙන කෙනෙක් ලක්ෂ හැට දෙකක් ඡන්ද දිනාගත්තු හින්ද. හැට දෙක පනස් අටට වඩා වැඩි හින්ද.

විධායක ජනාධිපති ක්‍රමයකුත් එක්කල අපට උරුම වෙච්ච කාලකණ්ණි මතවාදය තමයි ඒක.

“රටේ මිනිස්සු වැඩි දෙනෙක් තෝර ගන්න නායකය රට පාලනය කරන්න පත් කර ගන්න එක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ“ කියලයි අපි හිතන්නෙ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ඊට වඩා බොහොම ගැඹුරු සංකල්පයක්. දැන් මේ දවස්වල කතාබහට ලක් වෙලා තියන “ලංකාවට සුදුසු මැතිවරණ ක්‍රමය“ ගැන අපි උනන්දුවෙන් බැලිය යුත්තෙ මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය ගැනත් අවධානය යොමු කරමින්මයි.

රටක් පාලනය කළ යුතු වඩාත්ම හොඳ ක්‍රමය මොකක්ද කියන එක ගැන මිනිස්සු කාලයක ඉඳල හිතල මතල විවිධ සංකල්ප ඉදිරිපත් කරල තියනවනෙ. ඉස්සර කාලෙ නම් රාජකීය හස්තියා රට පුරා ඇවිදල ගිහින් කාට හරි දණ නමනවා. එන්න එයා තමයි රජ්ජුරුවො. දැන් එහෙම නෙමෙයි.

මොනව? දැන් එහෙම නෙමෙයි?

ඇත්තටම, දැන් එහෙම නෙමෙයිද? දැනුත් එහෙමයි. දැන් රාජකීය හස්තියො කීප දෙනෙක් ඉන්නව. උන් ටික ගණන් බලල වැඩිපුර කිතුල් ගස් ගිලින්න පුළුවන් වෙන්නෙ මොකා රජ වුනොත්ද කියන එක තීරණය කරගෙන ඉවර වෙලා (තීරණය කරල හිටං) ඒ පුද්ගලය ඉස්සරහ දණ ගහනව. ඊට පස්සෙ එයා වෙනුවෙන් පෝස්ටර් ගහනව. පෝස්ටර් ගහන එවුන්ට කසිප්පු අරන් දෙනව. රැස්වීම් වලට සෙනග අදින්න බස් අරගෙන දෙනව. සරසන්න පොලිතීන් අරගෙන දෙනව. ඔන්න ඔහොම ක්‍රමයක් තමයි විධායක ජනාධිපති ක්‍රමය කියන්නෙ. ඉතින් ඇත්තු දණ ගහපු මනුස්සයට අපිත් දණ ගහන්න පටන් ගන්නව.

ඔය ක්‍රමයට පොඩ්ඩක් හරි වෙනස් විදිහකට කවුරුහරි ජනාධිපති වුනොත් ඊට පහුවෙනිද ඉඳල කෝ අහවල් එක කළාද?, දැන් ඔක්කොම හරිද?, මේකටද ආවෙ? ප්‍රශ්න කෝටියයි.

ඉස්සර වෙලාම ග්‍රීසියෙ මිනිස්සු එක් රැස් වෙලා රට පාලනය කරන එක ගැන සාකච්ඡා කරල තීන්දු තීරණ අරගත්තලු. පස්සෙ කාලෙ ජනගහණය වැඩි වීමත් එක්කල මිනිස්සු ඔක්කොම දෙනාට රැස්වෙලා කතා කරන එය ප්‍රායෝගික නොවන තත්වයක් ආවට පස්සෙ නියෝජිතයො පත් කරල යවන්න පුරුදු වුනාලු. ඒ නියෝජිතයො තෝරගෙන තියෙන්නෙ වැඩි දෙනාගෙ කැමැත්ත අනුවලු.

මෙහෙම වැඩි දෙනෙකුගෙ කැමැත්ත අනුව තීන්දු තීරණ ගන්න එක නිවැරදියිද?

ඒක සමාජයට හිතකරයිද?

ඒ ඇරෙන්න වෙන ප්‍රායෝගික වූ ක්‍රමයක් නැති නිසා, ඒ කියාපු වැඩි දෙනාගෙ කැමැත්ත අනුව තීරණ ක්‍රියාත්මක කරන ක්‍රමය භාවිතා කරනවද?

මිනිස්සු දියුණු වුනාම තමන්ගෙ සමාජයෙ පැවැත්ම ගැන ගැඹුරින් හිතනව. මිනිස්සු විතරක් නෙවෙයි, සත්තු වුනත් තමන්ගෙ සමාජයේ පැවැත්ම ගැන තමයි හිතන්නෙ. ඒක ස්වභාව ධර්මයෙන් සත්වයාට ලැබිල තියන දෙයක්. හැබැයි මිනිස්සු පෞද්ගලිකත්වය ගැන අඩුවෙන් හිතල සමාජය ගැන වැඩියෙන් හිතනව. දියුණු මිනිස්සු එහෙමයි. නොදියුණු මිනිස්සුනම් තවමත් සත්තු වගේ හිතනව. මෙතනදි මං දියුණුව කියල කියන්නෙ ශිෂ්ටාචාරගත වීම (සිවිලයිසේෂන්) පැත්තෙන්.

ඉතින් ඒ නිසා තමයි, මේ ශීලාචාර වූ සමාජයේ පැවැත්ම ගැන හිතන නිසා තමයි, සමහර අය ආණ්ඩු ක්‍රම ගැන, යහපාලනය ගැන, ප්‍රජාතන්ත්‍රවාදය ගැන, නීතියේ ආධිපත්‍යය ගැන, මැතිවරණ ගැන කතා කරන්නෙ.

දැන් අපි මැතිවරණ ගැන කතා කරන්න පටන් අරගෙන මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරල හරියනවද? නෑනෙ. අපි ප්‍රජාතන්ත්‍රවාදය ගැන පොඩ්ඩක් කතා කළේ, මැතිවරණ කියන ජාතිය අපට ලැබෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදයේ අංගයක් හැටියට නිසායි.

මැතිවරණයක් පවත්වන්නෙ ඇයි? උත්තරය සරළයි. මැතිවරණයක් පවත්වන්නෙ මැතිවරු, ඒ කියන්නෙ මහජන නියෝජිතයො තෝරා පත් කර ගන්න. මේ තෝරා පත් කරගන්නේ පාලකයො නෙමෙයි. නියෝජිතයො.

එතකොට, මෙහෙම පත් කරගන්න නියෝජිතයො
“වැඩි දෙනාගෙ කැමැත්තෙන් පත් කරගන්න එක
හරිද වැරදිද?
ඒක හරි නම් “හරියි“ කියන්න හේතු මොනවද?
වැරදි නම් “වැරදියි“ කියන්න හේතු මොනවද?

මේ පත් කරගන්නෙ පාලකයෙක් නොවන නිසා, නියෝජිතයෙක් පමණක් නිසා, වැඩි දෙනාගෙ කැමැත්ත උඩ පාලකයා පත් කරගන්නව වගේ හානියක් මේ පත් කර ගැනීමෙදි සිද්ද වෙන්නෙ නෑ.

මේ කතාව තේරුම් ගන්න පහසු වීම සඳහා
මං පොඩි උදාහරණයක් ගන්නම්. මේක මෝඩ උදාහරණයක්. ඒත් පහසුව සඳහා අපි ඒක කතා කරමු.

ඔන්න එකෝමත් එක රටක ප්‍රධාන ආහාරය ධාන්‍ය වර්ගයක්. ඒ ධාන්‍ය වර්ගයේ ප්‍රභේද දෙකක් තියනව. රතු පාට සහ සුදු පාට. මේ රටේ ඉන්න මිනිස්සුන්ගෙන් සීයට හැටක් කැමැතියි රතු පාට ධාන්‍ය වලට. අනිත් අය කැමති සුදු පාට ධාන්‍ය වලට. කරුමෙ කියන්නෙ, මේ රතු පාට ධාන්‍ය වර්ගය නිසා සුදු පාට වර්ගයේ බෝවීම අඩු වෙනව. ඒකෙ අනිත් පැත්තත් එහෙමමයි.

ඉතින් ඔන්න වැඩි දෙනාගෙ කැමැත්ත අනුව, ඒ කියන්නෙ සීයට හැටකගෙ කැමැත්තෙන් රතු පාට ධාන්‍ය කන්න කැමති එකෙක්ව විධායක ජනාධිපති හැටියට පත් කරනව. මේ පොරගෙ පවුලෙ අයත්, යාළුවොත්, හොර ගෑනුත්, මේ ඔක්කොම කැමති රතු හාල් වලට. ඔහොම යන අතරතුර තදබල නියඟයක් නිසා ධාන්‍ය අස්වැන්න අඩු වෙනව. තත්වය ක්‍රිටිකල් වෙනකොට වතුර සැපයීම ඇතුළු සියළු දේවල් පාලනය කරන්න ඕනැනෙ. දැන් වැඩි දෙනාගෙ කැමැත්ත රතු හාල් නිසා ඒවට වැඩි පුර වතුර දෙනව. සුදු හාල් කන එවුන්ට බඩ ගින්නෙ ඉන්න වෙනව. වේලක් ඇර වේලක් කන්න සිද්ද වෙනව. රතුහාල් වලට පුරුදු වෙන්න වෙනව.

දැන් මේක සාධාරණයිද? මට, මං උපන් බිමේ හැදෙන දෙයක් කන්න තියන අයිතිය, පාලකයා විසින් නැති කිරීම, සාධාරණද නැද්ද? සාධාරණ නෑ. නමුත්, වැඩි දෙනාගෙ කැමැත්ත.

ඒ වුනත්, නියෝජිතයෙක් පත් කරගත්තහම එහෙම නෑ. එකම දේ, අපි විශ්වාස කරනව අපේ නියෝජිතයා අපි වෙනුවෙන් හඬ නගනවයි කියල. ඒක අවිස්වාස නම් අපිට ගිහිල්ල පාර්ලිමේන්තු ගැලරියට වෙලා අහගන ඉන්නත් පුළුවනි.

මෙතනදි, වැඩි දෙනාගෙ කැමැත්තට ඉඩ දීමෙන් බරපතල හානියක් වෙන්න විදිහක් නෑ. මේ පත් කරගන්න එකාට මෙලෝ බලයක් නෑ. එකම දේ තමයි, මහජන නියෝජිතයෙක්ය කියල පොඩි නම්බුවක්, සමාජ පිළිගැනීමක් තියනව.

ඉතින් මෙහෙම පත් වෙන නියෝජිතයො එකතු වෙලා පාර්ලිමේන්තුවට යනවනෙ. එතන කණ්ඩායම් දෙකක් හැදෙනව. ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය. මොකටද, විවාද කරන්න. ඇයි විවාද කරන්නෙ. යහපත් දේ, නිවැරදි දේ එළියට ගන්න. ප්‍රතිපලය යහපත් කරගන්න. සමාජ හිතවාදී කරගන්න.

මෙතනදි මහජන අභිලාෂය, විද්වත් අදහස්, විදේශීය බලපෑම්, මේ සියල්ලම සළකා බැලෙනව.

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල