කාලීන සංවාද

ජිනසෝම වීරසුරියනම් ඔහු

Off

ජිනසෝම වීරසුරියනම් ඔහු

සුනිල් මාධව ප්‍රේමතිලක 2010 ජුලි මාසේ දවසක සිළුමිණ පත්තරේ ‘ජීවිතය සුන්දරයි’ තීරු ලිපියේ මෙසේ සටහන් කර තිබුනේය.

//තාත්තා මියගොස් ඉකුත් ජූලි 12 වැනිදාට අවුරුදු හතළිස් පහක් වෙනවා. අද ඊයේ වගේ. තාත්තා මට දුන් මනුස්සකම, පේ‍්‍රමය, ආදරය තවමත් මා ළඟ තියෙනවා. මගෙ ජීවිතයේ මට හමුවූ සුන්දරම මිනිසා ඔහුයි.

කැකුලාවල සර් ගැන පසුගිය සතියක මේ තීරුවේ ලියූ වචන කීපය නිසා කීප දෙනෙක් ම කතා කළා. මුලින්ම කතා කළේ මහාචාර්ය ජිනදාස දනන්සූරියයි.

“සුනිල්, කැකුලාවල සර් මියගොස් බොහෝ කාලයක් වෙනවා. ඔහුට උපහාර කිරීමට කැලණිය විශ්ව විද්‍යාලයේ ඔහු නමින් ශාලාවක් තියෙනවා. ඔයා කීවා වගේම හරිම සුන්දර මිනිහෙක්.”

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ සේවය කරන ජිනසෝම වීරසූරිය නොදුටු හිතවතා එවූ ලිපිය දින කීපයකට පෙර ලැබුණා.

“අපි සංස්කෘත, පාලි ඉගෙන ගත්තේ එකට. එවකට ඔබ නේවාසිකාගාරයේ සිටි කාලයේත් මා දිනපතා ඔහු හමුවීමට ආවා.”

ඔහු ගැන මේ නොදුටු හිතවතා ඉංගිරිසි පුවත්පතකට ලියු ලිපියක් ද ඒ ලියමන සමඟ එවා තිබුණා.

“මගේ ජීවිතයේ ඔහු මට පෙර ගමන්කරුවකු වුණා. ඔහුගේ මරණයේදීත් මේ ජීවන කතරේ ඔහු මට පහන් කණුවක් සේ හරි මඟ පෙන්වනවා.

ඒ ලිපිය අතේ තබාගෙන මා වැහි පොද දෙස බලාගෙන හිටියා.

සැබැවින්ම තාත්තා මගේ ජීවිතයේ පහන් තරුවක් සේම අදත් ඔහු මට හරි මඟ පෙන්වනවා නේද?//

මේ ලියන්නට යන්නේ සුනිල් මාධව සඳහන් කර තිබු රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ජිනසෝම වීරසුරිය කියන ඔහු නොදුටු හිතවතා ගැනයි. ජිනසෝම වීරසුරිය නම් හිතවතා ඔය කියන ලිපිය යැවීමට සුනිල් මාධවගේ ගෙදර ලිපිනය සොයා දෙන්නැයි මගෙන් කළ ඉල්ලීම මට විදිලි සැරයක් සේ යලි සිහියට ආවේ පහුගිය සෙනසුරාදා උදේ පාන්දරම මට ලැබුණු දුරකථන ඇමතුමක් නිසාය.

‘වීරසුරිය මහත්තයා නැති වෙලා’ සිය ගුරු පියාණන් කෙනෙක් සේ ඔහුව සැලකු මගේ බිරිඳ සැල කර සිටියේය.

අවුරුදු පහළොවක් තිස්සේ අපි බොහෝ දෙනෙකුට තාත්තා කෙනෙක් වෙලා සිටි ආදරණීය මිනිසා මිය ගොසිනි. ඔහු මිය ගිය පුවත එක්වරම මට විශාල කම්පනයක් නොගෙනාවේ දෙසැම්බර් මාසයේ ඔහු බලන්නට ගිය විට ඉතාමත්ව අසාධ්‍යව සිටිනු දැක තිබු නිසාය.

එහෙත් ඔහු නැති වීම නිසා ජනිත වූ මහා හිස් බව ටිකෙන් ටික දැනෙන්නට පටන් ගත්තේ දවසක් දෙකක් යද්දීය. රාජගිරිය පැත්තෙන් යන විට ඔහුගේ කන්තෝරුවට ගොඩ වී හමු වන්නට මින් පසු ඉඩක් නැත. ඕනෑම ඉංග්‍රීසි සිංහල ලිපියක් , උපාධි නිබන්ධනයක් ඔහුට පෙන්වා හරි වැරදි හරි ගස්සා ගැනීමට තව දුරටත් ඉඩක් නැත. දුරකතයෙන් සතියකට දෙකකට වරක් කතා කර ඔහු හොයා ගත් අලුත් වචනයක් ගැන අසා සිටින්නට මින් ඉදිරියට පිනක් නැත .එහෙත් මා ළඟ සුරැකිව තිබෙන, කවදාවත් කියවා හමාර නොකළ ,වීරසුරිය මහතා ලියු පොත් කිහිපය ඉක්මනින් කියවා බැලීමේ නොතිත් ආශාව පමණක් ඉතිරි වී ඇත.

සමහරු පහන් කණු දකිති. පහන් කණු තනන්නා නොදකිති.සමහරුන් පහන් කණු මෙනි. ඔවුන් නික්ම ගිය පසු ආලෝකයද නැතිව යයි. ඒත් පහන් කණු නිර්මාණය කරන්නා නික්ම ගිය පසුද ඔහු තැනු පහන් කණු දිගින් දිගටම එලිය දෙයි. බොහෝ විට පහන් කණු නිමවන්නා සිටින්නේ අඳුරේය.

පෙරේදා චාම් අවමගුල් උත්සවයකින් පසු නික්ම ගිය ජිනසෝම වීරසුරිය කියන්නේද පහන් කණු තැනුවෙකි. ඔහු කිසිදා ප්‍රසිද්ධියට කැමති උනේම නැත. නිහඬව බරසාර සේවයක් සිංහල සාහිත්‍යයට හා භාෂාවට ඉටු කළේය.

මේ තරම් නිහඬව මේ තරම් විශාල සේවයක් යමෙකුට කරන්නට හැකිදැයි මට පුදුම සිතෙයි. ජිනසෝම වීරසුරිය තරම් අහිංසක, නිරහංකාර එහෙත් දහිරියවන්ත වෙනත් මනුස්සයෙක් මට සිහියට නගා ගන්නට අපහසුය.

රවීන්ද්‍රනාත් තාගෝර්ගේ ‘ චිත්‍රා’ නාට්‍යය සිය කුළුඳුල් පරිවර්තනය ලෙස පළ කළ වීරසුරිය ඉන්පසු පොත් කිහිපයක් පරිවර්තනය කර ඇත. ඔහුගේ පරිවර්තන අතරින් සුවිශේෂ වන්නේ ආචාර්ය ආනන්ද ඩබ්. පී. ගුරුගේ විසින් රචිත අසෝක අධිරාජයාගේ ජීවන චරිතය Asoka a Definitive Biography කෘතියේ සිංහල පරිවර්තනයයි . එය ‘ධර්මාශෝක සුනිශ්චිත ජීවන චරිතය’ නමින් ගොඩගේ ප්‍රකාශනයක් ලෙස පළ විය.

සංස්කෘත භාෂාවේ ප්‍රාමාණික උගතෙකු වූ ඔහු පාලි හා වංග භාෂා පිළිබඳවද හදාරා ඇති බවට සාක්ෂි තිබේ.ජිනසෝම වීරසුරිය විසින් සිය ශාස්ත්‍රපති උපාධිය සඳහා 1968දී ලියන ලද ‘සංස්කෘත කෝෂ සාහිත්‍යය’ කෘතිය 1991දී ගොඩගේ පොතක් ලෙස එලි දුටුවේය.

ඔහු මෑත කාලයේ නියැලී සිටි ජාතික වශයෙන් වැදගත් වූ කාර්යය වුයේ නවීන තාක්ෂණික විෂයයන්ට සරිලන සිංහල පාරිභාෂිත පදමාලා නිර්මාණය කිරීමය. අවුරුදු අසුවත් පනින තුරු ශාස්ත්‍රීය සේවයේ යෙදුණු වීරසුරිය මහතා ඉසිඹුවක් ලද්දේ මීට දෙවසරකට පමණ පෙරදීය. හුදු හෙළ වදන්ම සොයන්නට යාම නිසා නවීන විෂය ක්ෂේත්‍රවලට ගැලපෙන සිංහල වචන තනන්නට බැරි බව ඔහු තේරුම් ගත්තේය. පරිගණක අංශයට හා ඉදිකිරීම් අංශයට අදාළ ඉංග්‍රීසි වචනවල සිංහල පද සෙවීම සඳහා ඔහු ගත් වෙහෙස ඉමහත්ය. භාෂාව සම්න්ධ ඔහුගේ අදහස් විප්ලවීය විය. නිරවුල්ව ලිවීමටත් නිරවුල්ව යමක් ප්‍රකාශ කිරීමටත් ඔහුට තිබුණු හැකියාව පුදුමාකාරය .

පළමු පංතියේ පරිපාලන නිලධාරියකුද වූ වීරසුරිය මහතා කලක් ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ වරයා ලෙසද සේවය කළේය. පරිපාලන ක්ෂේත්‍රයේ අත්පොත වන ශ්‍රී ලංකා ආයතන සංග්‍රහයේ බොහෝ කොටස් සිංහලට නගා ඇත්තේ ඔහු විසින් බව අසන්නට ලැබිණි

අපි පේරාදෙණියට යන්නට වසර තිහකටත් පෙර එහි ගොස්, මාර්ස් ශාලාවේ අංක එක දරන කාමරයේ සිය පාසල් මිතුරු කැකුලාවල සමග ලැගුම් ගත් හැටි වීරසුරිය මහතා ලියා ඇත. මාතර රාහුල හා , කොළඹ ආනන්ද විදුහල්වල ඔහු දීප්තිමත් සිසුවෙක් උනේය.

සිය අවසන් කටයුතු සිදුවන දා ගුණ කතන කිසිවක් නැතිව ඉතා චාමෙට එය සිදු කරන ලෙස ඔහු ඉල්ලා තිබුණි. ඒත් සිය මිතුරා වෙනුවෙන් වචන දෙකක් හෝ කතා කරන්නට මහැදුරු කේ එන් ඕ ධර්මදාසයන් ඉදිරිපත් විය . ඔහුගේ කතාව නිමා වන විට අපුරු සිදු වීමක් දකින්නට ලැබිණි.

ඉතා ආයාචනාත්මකව ඉල්ලීමක් කළ එක්තරා මහතෙක් වීරසුරිය නම් පරිත්‍යාගශීලී මිනිසා ගැන කුඩා තොරතුරක් හෙළි කරන්නට අවසර ඉල්ලුවේය . ඒ 1997 වසරේදී රජයේ දුත පිරිසක් සමග ඇමෙරිකාවේ සංචාරයක් කිරීමට වීරසුරිය මහතාට ලැබුණු අවස්තාව ඔහු තමන්ට පරිත්‍යාග කළ බව කීවේය. ඒ තරම් පරිත්‍යාගශීලී මිනිසෙකු වූ වීරසුරිය මහතා සිය හිතවතාට විදේශ ගමනට අවශ්‍ය සියලු ලියකියවිලිද කඩිනමින් සකස් කර දුන්නේය.

අසනීපයෙන් ලෙඩ ඇඳට වැටෙන තුරු ඔහු ක්‍රියාශීලීව පොත පත කියෙව්වේය. ලිව්වේය. මිතුරන්ට උදව් කළේය. වයස අසුවෙදීත් ජැන්ඩියට ඇන්දේය.මනාව නඩත්තු කරන ලද කළුපාට මයිනර් කාරය පදවාගෙන ගමන් බිමන් ගියේය. ආදර්ශමත් ලෙස දරුවන් හදා ප්‍රීතිමත් ගෘහ ජීවිතයක්ද ගත කළේය. ඉතින් ඔහු බොහෝ දෙනාගේ රෝල් මොඩල් එකක් වුනු එක අහන්නත් දෙයක්ද ?

සුනිල් මාධව ඔහුගේ තාත්තා ගැන ලියා තිබු දේ මට වීරසුරිය තාත්තා ගැනද කියන්නට සිතේ .

ඔහුගේ සරල පරිපුර්ණ ජීවිත කතාව පහන් තරුවක් වී අපිට තව බොහෝ කලක් හරි මග පෙන්නුම් කරනු ඇත .

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල