විද්‍යා හා තාක්ෂණ

තාරකා පරිණාමනය – -අශාන් රවිඳු යුගන්ත

Off

තරු සෑමකල්හිම එකම ආකාරයෙන් නොපවතින බවත් ඒවා බිහිවෙමින්, විවිධ ජීවන අවධි පසුකරමින්, මිය යන බවත් තාරකා පෙළින් එහා… ලිපියෙන් පැහැදිලි කෙරිණි.

ඒ අනුව සියළුම තාරකාවල බිහිවීම සිදුවන්නේ නිහාරිකාවන් (Nebulae) තුළදී ය. නිහාරිකාවේ යම් කොටසක ඇති වන ගුරුත්වජ බිඳවැටීමක් හෙවත් ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් නිහාරිකා කොටසේ අණුක සැකැස්ම බිඳවැටී සිදුවන හැකිළීමක් නිසා නව තාරකා බිහිවේ. මෙය බලා සිටිද්දී සිදුවන්නක් නොව වසර දහස් ගණන්, මිලියන ගණන් ගත කරමින් සිදුවන අතිශයින් මන්දගාමී ක්‍රියාවලියකි.

(වැඩිදුර තොරතුරු සඳහා තාරකා පෙළින් එහා… ලිපිය පරිශීලනය කරන්න.)

තාරකාවක ස්කන්ධය හා ආයුකාලය අතර ඇත්තේ ප්‍රතිලෝම සම්බන්ධතාවයකි. ස්කන්ධය වැඩි තරුවල ආයුකාලය අඩු ය. ඊට ප්‍රධානතම හේතු වනුයේ ස්කන්ධයෙන් වැඩි තාරකා තුළ සිදුවන න්‍යෂ්ටික විලයන ක්‍රියාවලිය වේගවත් වීම සහ ඉන් වැඩි ශක්ති ප්‍රමාණයක් පිටතට මුදාහැරීමයි.

මෙලෙස බිහිවූ තාරකා විවිධ ආකාර රැසකින් වර්ගීකරණය කළ හැකි වුවද, පරිණාම ක්‍රියාවලිය පැහැදිලි කිරීමේදී බහුලවම යොදා ගැනෙන්නේ ‘සූර්යයාට සාපේක්‍ෂව ස්කන්ධය’ නැමැති වර්ගීකරණය යි. මෙහිදී සියළුම තාරකා කාණ්ඩ තුනකට වර්ග කෙරේ.

1. සූර්යයාට වඩා වැඩි ස්කන්ධයකින් යුත් තාරකා

2. සූර්යයාට සමාන ස්කන්ධයකින් යුත් තාරකා

3. සූර්යයාට වඩා අඩු ස්කන්ධයකින් යුත් තාරකා

සූර්යයාට වඩා වැඩි ස්කන්ධයකින් යුත් තාරකාවක පරිණාමනය

rigel-starසාමාන්‍යයෙන් නිල් පැහැති, hyper giants (අතිදැවැන්තයින්) ලෙස හැඳින්වෙන මෙවැනි තාරකාවන්හි මතුපිට උෂ්ණත්වය කෙල්වින් 30,000 ක් පමණ වේ. ස්කන්ධයෙන් වැඩි නිසා ආයුකාලය වසර මිලියන කිහිපයකට සීමා වෙයි. වර්තමානයේදී මෙවැනි දැවැන්ත තාරකා ඉතා දුර්ලභ වන අතර අප ජීවත් වන ක්ෂීරපථ මන්දාකිණියේ ඇත්තේද දහයකට අඩු සංඛ්‍යාවකි. විශ්වයේ මුල් අවධියේදී මෙවැනි තාරකා බහුලව තිබෙන්නට ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.

මෙම තාරකාවන් තමන් සතු හයිඩ්‍රජන් සියල්ල න්‍යෂ්ටික විලයනයෙන් හීලියම් බවට පත් කිරීමෙන් අනතුරුව අවකාශයට අති දැවැන්ත ශක්ති ප්‍රමාණයක් මුදාහරින සුපර්නෝවා පිපිරුමකට මුහුණ දෙයි. මෙම පිපිරීමෙන් පසු සූර්යයා මෙන් තුන්ගුණයක් පමණ විශාල වූ තාරකාවක් නියුට්‍රෝන තාරකාවක් බවටද, සූර්යයා මෙන් තුන්ගුණයකට වඩා විශාල වූ තාරකාවක් කළු කුහරයක් බවටද පත් වේ. (අති දැවැන්ත තාරකා සුපිරි කළු කුහර බවට පත් වනු ඇත.)

සූර්යයාට සමාන ස්කන්ධයකින් යුත් තාරකාවක පරිණාමනය

sun-22262-1680x1050පෘෂ්ඨීය උෂ්ණත්වය කෙල්වින් 6,000ක් පමණ වන, වර්ෂ බිලියන දහයක පමණ ආයුකාලයකින් යුතු සූර්යයා වැනි තාරකා සමහර අවස්ථාවන්හිදී කහ වාමන තාරකා (yellow dwarf stars) ලෙසද හැඳින්වේ. මේ කහ වාමනයෝ විශ්වය පුරාම සුලභ ලෙස පැතිරී සිටිති.

මෙම තාරකාවන් තමන් සතු අවසන් හයිඩ්‍රජන් ප්‍රමාණය න්‍යෂ්ටික විලයන ක්‍රියාවලියට භාජනය වීම ආරම්භ වද්දී ක්‍රම ක්‍රමයෙන් ප්‍රසාරණය වීමට හෙවත් විශාල වීමට පටන් ගනී. සාමාන්‍යයෙන් මෙවිට අදාළ තාරකාව අවම වශයෙන් පෙර පැවති ප්‍රමාණය මෙන් සියගුණයකින් පමණවත් විශාල වන අතර මෙය හැඳින්වෙන්නේ රතු යෝධ අවස්ථාව (red giants) ලෙසිනි. අනාගතයේ යම් දිනෙක අප සූර්යයා රතු යෝධයෙක් බවට පත්වුණු පසු බොහෝවිට එහි මතුපිට පෘෂ්ඨය තිබෙනු ඇත්තේ අද පෘථිවිය ඇති තැන ය. (ඒ වනවිටත් වෙනත් අනතුරකට ලක් වී නොතිබුණහොත් පෘථිවිය විනාශ වී යන්නේද එවිට යි.) න්‍යෂ්ටික විලයන ක්‍රියාවලිය අවසන් වීමෙන් අනතුරුව තාරකාව සිසිල් වෙමින් නැවතත් හැකිළීමට ලක් වන අතර තමන් සතුව පෙර තිබූ වට ප්‍රමාණයටත් වඩා කුඩා වෙමින් දීප්තිමත් සුදු වාමන තාරකාවක් (white dwarf star) බවට පත් වී තමන්ගේ පෙර පැවති පිටත පෘෂ්ඨයන්හි අවශේෂ කොටස් දුමාරයක් මෙන් පිටතට මුදාහරියි. ග්‍රහ නිහාරිකාවක් (planetary nebula) ලෙස හැඳින්වෙන මෙහි දුමාරයක් වැනි වළා කොටස් තවත් වසර දහස් ගණනකට පමණ පසු වියැකී යන අතර අවසානයේදී සුදු වාමන තාරකාව පමණක් ඉතිරි වේ.

සූර්යයාට වඩා අඩු ස්කන්ධයකින් යුත් තාරකාවක පරිණාමනය

red-dwarf-starබොහෝවිට සූර්ය ස්කන්ධය මෙන් 0.5කටත් වඩා කුඩා ස්කන්ධයකින් යුතු මෙවැනි තාරකාවක මතුපිට පෘෂ්ඨයේ උෂ්ණත්වය කෙල්වින් 3,000 – 4,000 පමණ වන අතර ආයුකාලය ආසන්නව වර්ෂ ට්‍රිලියන නවයක් පමණ වේ.

මේ කුඩා තාරකාවල පරිණාමයේ අවසන් පියවර කිහිපය මෙතෙක් කිසිදු අයෙකු දැක නැත. ඊට හේතුව වන්නේ ඒවා සතු දීර්ඝ ආයුකාලය යි. ඔබ දන්නා පරිදි විශ්වයේ වයස දළ වශයෙන් වසර බිලියන 13.8කි. ට්‍රිලියනයක් යනු බිලියන දහසක් වේ. එබැවින් එතෙක් මෙතෙක් බිහිවූ කිසිදු කුඩා ප්‍රමාණයේ තාරකාවක් මේ වනතෙක් විනාශ වී නොමැත. නමුත් විද්‍යාඥයන් විසින් තාරකා පරිණාමනයේ මූලික සිද්ධාන්ත උපයෝගී කරගනිමින් මෙවැනි තාරකාවන්හි අවසානය පිළිබඳව පහත උපකල්පන ඉදිරිපත් කොට තිබේ.

සූර්ය ස්කන්ධය මෙන් 0.1ක් පමණ වන අතිශය කුඩා තාරකා රතු වාමන තාරකා (red dwarf stars) ලෙස හැඳින්වේ. මේවාට තම න්‍යෂ්ටික විලයන ක්‍රියාවලිය අවසන් වීමේදී රතු යෝධ අවස්ථාවට පිවිසීමට තරම් ප්‍රමාණවත් ස්කන්ධයක් නොමැත. එනිසා ඒවා විලයනය අවසන් වීමෙන් පසු ඍජුවම සුදු වාමන තාරකා බවට පත් වේ.

ඊට වඩා තරමක් විශාල තාරකා රතු යෝධ අවස්ථාවට පත් වන අතර ඉන්පසුව සංකෝචනය වෙමින් සුදු වාමන තාරකා බවට පත් වනු ඇත. (ග්‍රහ නිහාරිකාවක් බවට පත් නොවේ.)

අමතර කරුණු:

තාරකා පෙළින් එහා… ලිපිය අවසානයේදී තාරකාවක් අයත් වන්නේ පදාර්ථයේ කුමන අවස්ථාවටදැයි පැනයක් අසන ලදී. ඝන, ද්‍රව හා වායු යන අවස්ථා තුනෙන් එකකටවත් තාරකා අයත් නොවේ. ඒවා පවතින්නේ ප්ලාස්මා නම් විශේෂ අවස්ථාවේ ය. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ තාරකාවක් තුළ ඇති පදාර්ථය නිරතුරුවම අයනීකරණයට ලක් වීමයි. වෙල්ඩින් දැල්ල, සූර්ය සුළඟ හා අකුණු අයත් වන්නේද ප්ලාස්මා අවස්ථාවට ය.

නිහාරිකාවකින් නව තාරකා බිහිවීමේදී සාපේක්‍ෂව ඉතා කුඩා උදාසීන ගණයේ තාරකා විශේෂයක් ද බිහිවන අතර මේවා දුඹුරු වාමන තාරකා (brown dwarf stars) ලෙස හැඳින්වේ.

නෝවා පිපිරුම්, නිහාරිකා, කළු කුහර, නියුට්‍රෝන තාරකා, යෝධ තාරකා හා වාමන තාරකා පිළිබඳ ලිපි මීළඟට…

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල