බ්ලොග් නවකතා, විශේෂ

සියාමා 1 – අප හමු වුනෙමු

Off

මහාචාර්ය වරයාගේ දේශනය පළමු කොටස  හමාර වූ පසු මම දේශනා ශාලාව ඇතුළත  තිබෙන දොරින්ම තාරකා භෞතික විද්‍යා පීඨයේ දේශකයන්ගේ කාමරයට ඇතුළු වුනෙමි. මා  පසුපස තවත් සිසුන්ද ඇතුළු වුනි. දේශනය කල මහාචාර්ය එමර්සන් සිසුවකු සමග කතා බහ කරමින් සිටි අතර තවත් ආචාර්ය වරු කීප පොළක්ම විය. ශාස්ත්‍රපති උපාධිය කරන සිසුන්ට හා පීඑච්ඩී කරන සිසුන්ට මේ විශාල කාමරයේ හිඳගෙන කියවීමට හෝ අභ්‍යාස කිරීමට, වතුර ඩිකැන්ටරයෙන් පානය සඳහා වතුර ගැනීමට, කෝපි හෝ තේ කෝප්පයක් බීමට හැකි විය. බොහෝ සිසුන් තමන්ට පිළිතුරු  සැපයීමට අමාරු ප්‍රශ්න මෙහි සිට සාකච්චා කළහ.

තේ කෝප්පයක් මැෂින් එකට මුදල් දමා ගත් මම එය බීමට  ජනේලය අසලට ගියෙමි. කවුදෝ මා  දෙස බලා  සිටින්නාක් මෙන් දැනුන හෙයින් එදෙස බැලීමි. මට ඇගේ නෙත් ගැටුනේ එවිටය. සුරූපි ආසියානු කාන්තාවක් වූ ඇයට සිනාවකින් සංග්‍රහ කල මම අසල තිබු මාසිකව පළවන භෞතික විද්‍යා සංගමයේ භෞතික විද්‍යා සඟරාව පෙරලුවෙමි. එවිට මද සිනාවක් නගමින් ඇය මා  අසලට  පැමිණ සිට ගත්තාය.

“ඔයා බංග්ලා දේශ සම්භවයක් තියෙන අයෙක්ද?”

“නැහැ මම ශ්‍රී ලංකාවෙන් ආ කෙනෙක්, හැබැයි හුඟක් අය අහනවා තමා බංග්ලාද කියල. ඒ කියන්නේ ඔයා බංග්ලාදේශ් ද? මේ හරියේ ගොඩක් ඔයාලගේ අය ඉන්නවා” මම පැවසුවෙමි. විශ්ව විද්‍යාලය පිහිටි නැගෙනහිර ලන්ඩනයේ බංගලාදේශ වාසින් දශක කිහිපයක සිට මුල්  බැස  ගෙන ඇති නිසා බොහෝ බංගලා දේශ සම්භවයක් ඇති පවුල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිටිනු දුටිමි.

“ඔව් ඔයා හරි. ඔයා  උපාධිය පටන් ගත්තේ ගිය අවුරුද්දේද?  අමාරුද”

“ඔව්, සෑහෙන්න අමාරුයි. ආසාවට කළාට. මම ගණිතය  මේ තරමට ගැඹුරට කලේ අවුරුදු  15කට විතර කලින් ”

“ඉතින් මතක් වෙනවද? මම අවුරුදු දෙකකට කලින් මැත්ස් වලින් පළමු උපාධිය ඉවර කළේ. මට දැන්මම මතක නැහැ.” ඇය  කීවාය.

“මම නම් කලේ විවෘත විශ්ව විද්‍යාලයේ BSc වලට තියෙන ගණිත පාඨමාලා අන්තර් ජාලයෙන් බා ගැනීම. ඒවා කෙරුවාම හොඳ  මතකයක් ආව, අනික මගේ මැත්ස් ඒ දවස් වල හොඳයි. ” යයි මම පිළිතුරු දුනිමි.

“එහෙනම් මට ඔයාගේ උදව් ගන්න පුළුවන් ” ඈ ඇසක් පුංචි කරමින් පිළිතුරු දුන්නාය. මුස්ලිම් බංග්ලාදේශ යුවතියක් ලෙස ඇගේ කෙලින් කතා විලාශය හා පැකිලීමකින් තොරව මා කරා පැමිණ කතා කිරීම ගැන පුදුම වුනු මා,

“කිසිම ප්‍රශ්නයක් නැහැ ” කියා ඈ සමග දේශනයේ ඉතිරි කොටස සඳහා ශාලාව තුලට ගියෙමි.

ඒ අපේ පළමු හමුවීමයි.

ඉන්පසු නැවත මා දේශන වලට ගියේ බ්‍රහස්පතින්දා දවසකයි. දේශනයට පමාවී පැමිණි ඈ  මා  ලඟින් අසුන් ගනිමින් සුන්දර සිනාවක් පෑවාය. එදිනද අපි විවේක කාලයේ කතා කළෙමු. ඇය එංගලන්තයට පැමිණ අවුරුදු ගණනක්  බවත් මෙම විශ්ව විද්‍යාලයේම ප්‍රථම ගෞරව උපාධිය ගණිත අංශයෙන් ලබාගෙන ඇති බවත් දැන ගතිමි.   එදින තිබු දේශන දෙකම අවසන් වීමෙන් පසු අප දෙදෙනා එකට එලියට පිවිසුනෙමු.

“ඔයා කොහෙන්ද යන්නේ ” මා  ඇසුවෙමි.

“මට 102 බස් එක ගන්න ඕනේ බෙත්නල් ග්‍රීන් යන්න. ඔයා? ”

“මම කාරෙකේ ආවේ. මට කෝච්චිය මිස් වුණා . මම පාක්  කලේ එහා පැත්තේ. ඔයාට ඕනේ නම් ලිෆ්ට් එකක් දෙන්නම්. මම සාමාන්‍යයෙන් එන්නේ උමං දුම්රියේ” යි පැවසුවෙමි .

“ඒක හොඳයි අපට එතකොට එකට යන්න පුළුවන් එතනට එනකන්. මම බස් එකේම යන්නම්” පැවසූ ඇය  මා සමග විශ්ව විද්‍යාලයේ ගේට්ටුවෙන් එලියට පිය මැන්නාය.

“මෙයා මොකාට එන්න හදනවද ” මට සිතුනි.

එළියේදී අප දෙදෙනා එකට පාර පනින විටත් ඇවිදින විටත් ඇගේ කිසියම් නොඉවසිලි ගතියක් හෝ ඉක්මනින්  මිනිසුන්ට නොපෙනී සැඟවී සිටින්නට යත්න දරන ගතියක් මට පෙනිණි. මුස්ලිම් යුවතියක් නිසා යයි සිතුනද ඇය පැමිණ කතා කල ආකාරය අනුව එසේ සිතීමටද නොහැකිය. පාර මාරු වී මද දුරක් ගිය පසු මා  කාරය නවතා සිටි පාර ආසන්නයට පැමිණ ඇයට සමු දුනිමි. විටින් විට පිටු පස, මග දෙපස බලමින් පැමිණි ඈ එක වරම වේගයෙන් මෙන් පිය මැන්නා ය. ඇය ඇවිද  ගිය වේගය මට පුදුම එලවන සුළු විය.  කිසිවකු ඇය ලුහු බඳින්නාක් මෙනි.

ඊළඟ සති කිහිපයේද ද ඇය මගේ ලඟින් හිඳ ගත් අතර අප දෙදෙනා එකට තේ බිමටත් දේශනා අවසානයේ එකට පිටවීමත් කළෙමු. මෙසේ සති කීපයක් ගෙවී ගිය අතර අප හොඳ අඹ යහළුවන් බවට පත්වී සිටියෙමු. සුදු ජාතික ඇන්ඩ්රු එක් දිනෙක හිමින් සීරුවේ මගෙන් ඇසුවේ අප දෙදෙනා පෙම්වතුන් ද කියායි. මම නැතැයි පැවසුවෙමි.

“ඒකනේ මම දන්නවා උඹ බැඳලා කියල “.

ඔහු එය දන්නේ කෙසේදැයි සිතු මට,  ඒ පිළිබඳව අප සමග ඉගෙන ගන්නා භෞතික විද්‍යා ගුරිවරියක වන කැරන් ට එය කිවූ බව මතකයට නැගිණි.

“ලස්සන කෙල්ල, මම අහන්නද ඩේට් එකකට ” ඔහු ඇසීය.

“ඉතින් අහපන්,  මගේ මොකෝ”.  මම මදක් අමනාපයෙන් මෙන් පිළිතුරු දුනිමි.

ඊළඟ දිනයේදී ඇය  මා  සමග කතා කලේ ටිකක් ගස්සා  ගෙනය.

“ඔයා  මගේ මහා භාරකාරයද ?

“ඇයි?”

“ඔයා ඇන්ඩ්රුට කීවද මාත් එකක් ඩේට් එකකට යන්න  කියල, පිස්සුද?”

“මුගේ හොම්බට එක්ක දෙන්න ඕනේ. මු මගෙන් ඇහුව මම ඔයාගේ පෙම්වතාද කියල. මම නැහැ කිව්වම ඇහුවා ඔයත් එක්ක ඩේට් එකකට යන්නද  කියල. මන් කිව්වා ඕන එකක් කර ගනින් මට මොකද කියල “.

ඇගේ මුහුණ එක් වරම අඳුරු වලා කුලකින් වැසුනාක් මෙන් කිසියම් ශෝකී  ස්වභාවයක් ගත්  බව දුටිමි.

“ඇත්තටම ඔයාට ගානක් නැත්ද ?”

මම මහත් ව්‍යාකූල භාවයකට පත් වුනෙමි.

“මට එයත් එක්ක ඩේට්  එකකට යන්න ඕන නැහැ. මං  එයාට කිව්වා.” ඇය  ශෝකී ස්වරයක් ආරුඪ කර ගනිමින් පැවසුවාය.

මම ඇයවද ඇදගෙන දේශනා ශාලා පිහිටි පීඨ ගොඩනැගිල්ලෙන් ඉවතට පැමිණියෙමි.

එම ගොඩනැගිල්ලෙන් පිටතට වන්නට දකුණු අත පැත්තෙන් ශිෂ්‍ය ආපන ශාලාවය. වම් අත පැත්තේ ඇත්තේ විශ්ව විද්‍යාලය තුල තිබෙන පබ්  එක හෙවත් අවන්හලයි. එහි බියර් ආදිය එළියේ ඇති මිලට වඩා අඩු අතර , කෝපි තේ ආදී වෙනත් බිම වර්ගද විකුණති. එහි ඇති ලී බංකු වල වාඩි වී බොහෝ සිසුන් හා ගුරුවරුද සිසුන්ගේ යහළුවන් ද කෝපි හෝ බියර් බොමින් කතා කරමින් සිටීම සුලභ දැක්මකි.

මම කෝපි දෙකකුත් මිලදී ගෙන ඇය සමග අහල පහල කවුරුත් නැති කෙළවරේම බංකුවක වාඩි වුනෙමි.

“මම විවාහකයෙක්” ඇය දෙස එක එල්ලේ බලමින් පැවසුවෙමි.

“මම ඇහුවයැ ” ඇය ද එක එල්ලේම පිළිතුරු දුන්නාය.

කීමට දෙයක් නොමැතිව මම මොහොතක් ඇය දෙස බලා සිටියෙමි.

“මට කැරන්  කිව්වා ” ඇය සෙමෙන් තෙපළාය.

මා විවාහක සිසුවකු බව ඇය දැන  සිට ඇත.

“ඔයාගේ නම සියාමා නේද ” මම ඇසුවෙමි.

මාස දෙකහමාරක් මුළුල්ලේ එකට හිඳගෙන දේශනා වල සිටියත්, එකට පිටව ගියත්, තේ බිබී , දේශනා වලදී ලැබුණු ගණිතමය ගැටළු ආදිය එක්ව  විසඳුවත් ඇගේ නම හෝ මම නොවිසීමි. ඇයද මා  පිලිබඳ පුද්ගලික කිසිම දෙයක් නොඇසූ බවද මට සිහි විනි.

“ඔව්. ඔයා දන්නවනේ ඒක නේද?”

“නැහැ මං  හිතුවා  ඒක වෙන්න ඇති කියල. ඔයා කෝස් වර්ක්  එකක්  භාර දෙනකොට නම ලියල තිබ්බ ”

“ඔයාගේ නම …”

“මට ප්‍රියාන් කියන්න ”

“නමුත් ඔයාගේ නම වෙන එකක් නේද ”

“නැහැ ඒ මම කෙටියෙන් භාවිතා කරන නම. මේ රටේ නම් හරි කෙටියි නේ. ඔයාට ප්‍රියාන් උච්චාරණය කරන්න පුළුවන් නේ.”

“ඔව්. ප්‍රියාන්. මං ඒ නමට ආසයි . ගීතවත් ගතියක් තිබෙනවා.”

මා නැවතත් ඇගේ පියකරු මුහුණත්, උරහිස උඩින් දමා තිබු කෙස් කළඹත්  දෙස බැලීමි.

“මම ලස්සනද ” මගේ හිත කියෙව්වාක්  මෙන් ඈ ඇසුවාය.

“හරිම” කෙටි පිළිතුරක් දුනිමි.

ඇය සිහින් සිනාවක්‌ පෑවාය. එහි මුදු ගතියට මගේ සිත වෙලෙවි වී ගියේය.

“ඔයාට ආදරවන්තයෙක් ඉන්නවද” මා ඇසුවෙමි.

“BSc එක කරන කොට යහළු වෙලා හිටිය ඇඩම් එක්ක. කළු අප්‍රිකානු කොල්ලෙක්. හොඳ කොල්ලා  ”

“ඉතිං  මොකද වුනේ ”

“අවුරුදු දෙකක් විතර එයා එක්ක හිටිය. ඒ ගොල්ලන්ගේ ගෙදරත් ගියා”

“ඊට පස්සේ ”

“අපෝ එයාලගේ පවුලේ කට්ටිය ප්‍රශ්න පන්සීයක් විතර අහන්න ගත්ත. මගේ ගැන, අම්ම තාත්තා ගැන. ඒක එතැනින්ම ඉවරයි.”

“ඒ කියන්නේ ඔයා කොල්ලව හැලුවා. දරුණු ප්‍රාණයක් නේ ඔයා.”

“මම දරුණුයි කියනවා නම් කොල්ලෙක් ඩම්ප් කළාට, ඔයා දරුණුයි කියන වචනේ තේරුම දන්නේ නැහැ ” ඈ අමනාප වූ සෙයකින් පැවසුවාය.

“නෑ, නෑ මම විහිළුවට කිව්වේ. ” කියුවෙමි.

“අද මට අදේවවාදීන්ගේ සංගමේ රැස්වීමකටත් යන්න  තියෙනවා. ඔයා එනවද? ” ඈ  මගෙන් ඇසුවාය.

“ඒ කියන්නේ ඔයා  මුස්ලිම් නෙමේ. කොහොමද අදේවවාදීන් එක්ක එකතු වුනේ. මම බුද්ධාගමේ. මම දෙවියන් අදහන්නේ නම් නැහැ. බුද්ධාගමේ කොහොමත් මැවුම්කාර දෙවියෙක් නැහැ. නමුත් මම ඔය මිලිටන්ට් සංගම් වලට බැඳෙන්න අකමැතියි. ඒ ගොල්ල හරියට මුස්ලිම් අයට හෙම රණ්ඩුවට  කතා කරනවා වගේ බනින්නේ. අර හයිඩ් පාක් එකේ හෙම යන වාද මම දැකල තිබෙනවා. ඒ ගොල්ලයි , මුස්ලිම් අයයි, කතෝලික අයයි. ” මම කියාගෙන ගියෙමි.

“ඔයාට තේරෙන්නේ නැහැ ප්‍රියාන්” ඇය  කිවාය.

“මොකද මට තේරෙන්නේ නැත්තේ. මගේ ෆේස් බුක් එකේ හෙම නොයෙකුත් ආගම් වල අය ඉන්නවා. ඒ ගොල්ලන්ගේ හිත රිදෙයි කියල මම අදේවවාදී ඒවා මුකුත් දාන්නෙ නැහැ. මම රිචර්ඩ් ඩොව්කින්ස් ට හෙම කැමැති  බව ඇත්ත. නමුත් ඩොව්කින්ස් වලියටමයි යන්නේ. බුද්ධාගමේ අයත් බොහොමයක් අය  දෙවි වරු අදහනවා. හින්දු අය එහෙම. මම අදහන්නේ නැහැ. නමුත් මම මුකුත් කියන්න යන්නෙත් නැහැ.  නිකන් රණ්ඩු  කර ගන්නේ මොකටද? ඒ ගොල්ල ඕන එකක් අදහ ගත්ත දෙන්.” මා නැවත ඇය  හා වාද කරන්නට වීමි.

“ඔයා දන්නවද ඔයා මුස්ලිම් නෙමේ නම් ඔයා මිථ්‍යා දෘෂ්‍කයෙක් (infidel) හැටියට සලකනවා කියල.  ”

“ඔව් මම අහල තියෙනවා. ”

“එතකොට ඒ මිථ්‍යා දෘෂ්ටිකයන්ගේ ගැහැණු උදවිය තමන්ගේ වහලියන් හැටියට ගත හැකියි කියලත්, ඔවුන්ව ලිංගික වශයෙන් යොදා ගැනීමටත් අවසරයි කියලත්  අහල තියෙනවද? ”

“නැහැනේ. මන් එහෙම එකක් දන්නේ නැහැ ”

“මාව අදේවවාදී සංගමයට අරන් ගියේ ඇනා. අපේ බැච් එකේ හිටියේ. අපි දෙන්න කතා කරනවා නිතරම. ඇඩම් ගෙන් පස්සේ මම ඇනා එක්ක යාළු වුනා. ” ඈ එක් වරම පැවසුවාය.

“මොකක්, ඔයා  සම රිසිද ද්වි -ලිංගික ද  (bi-sexual)? ” මම විමතියෙන් මෙන් සිනහ වෙමින් විචාළෙමි.

“මම එහෙම ලේබල් එකක්  ගැන කල්පනා කලේ නැහැ. ඒක ස්වභාවිකව වගේ  සිද්ධ වුන දෙයක්. අපි දෙන්න හුඟක් ලං වුණා. මම එයාගේ කාමරයට ගියා. සමහර වෙලාවට හිටිය එකට. එකට ට්‍රිප් ගියා. අපි දෙන්නම තාරකා බලන්න ආසයි . වරු ගණන් ග්‍රිනිච් වල ග්‍රහලෝකාගාරේ තියෙන තණ  පිට්ටනියේ, සවුත්-එන්ඩ්-ඔන්-සී වල වෙරළේ තාරකා පිරිණු රෑ වල ඉඳන් හිටිය.  මොකද? අපේ බංගලා එවුන්ට වගේ ඔයාටත් නලියන ලෙඩක් හැදෙනවද ඒක කිව්වම” ඇය සැරෙන් මෙන් ඇසුවාය.

“අපොයි නැහැ. අර දේශන වල අපි ඉන්න බංකු වලම කෙලවරේ සාමාන්‍යයෙන් ඉඳ ගන්න ඒමි සම රිසි ගැහැණු ළමයෙක්. එයාගේ පෙම්වතිය කොරීන් ඉඳ හිට එනවා අපිත් එක්ක පබ්  යන්නත්. දෙන්නම හරි හොඳයි. මගේ යාලුවෝ. එහෙම  ප්‍රශ්නයක් නැහැ මට. කෝ දැන් ඇනා?”.

” ඇනා BSc එක ඉවර වුණාම බෙල්ජියම් ගියා. එයාගේ අම්ම ප්‍රංශ, තාත්තා ජර්මන්. ඉන්නේ බෙල්ජියම් වල. එයාට එහෙ පෙම්වතියක් ඉන්නවා. අපි තවම ඊමේල් වලින් කතා කරනවා. අපි හොඳ යාළුවෝ. හැබැයි මොකද ඔයා  නිකං සමච්චලේට වගේ හිනා වුනේ. ” නොසන්සුන් ස්වරයෙන් සියාමා නැවත විචාලාය.

“සමච්චලේටම නෙමේ සියාමා. දැන් බලන්න. විශ්වාස කරන්න අමාරු කතාවක්  ඔයා කියන්නේ.  ඔයා මුස්ලිම් යුවතියක්. බංග්ලා දේශ් කියන ටිකක් තද අන්තවාදීන් සිටින රටකින් ඇවිත් ඉන්නේ.  මට මුස්ලිම් යාලුවෝ ගොඩක් ඉන්නවා. තුර්කි අය තමා ඒ අයගෙන් ගොඩක්ම විවෘත කට්ටිය. වැඩිය ආගම  ඔලුව උඩ තියා ගන්නේ නැති. තුර්කි අයට නම් හැම වර්ගයෙම යාලුවෝ ඉන්නවා. බංගලා අය එහෙම කරනවා අඩුයි. ඔයා  මා  ගාවට ඇවිත් කතා කරාම මට හිතුන ඔයා බොරු සබකෝලය නැති කෙල්ලක් කියල. හැබයි ඊට පස්සේ ඔයා  කියනවා ඔයාට කළු අප්‍රිකන් පෙම්වතෙක් හිටියලු.  මං දන්නා දෙමල යුවතියකට කළු පෙම්වතෙක් හිටිය. ඔවුන්ගේ ගෙදරින් හැමදාම ප්‍රශ්න. කොච්චර එංගලන්තේ හිටියත් ඒ දෙමළ අම්මයි තාත්තයි කළු කොල්ලට විරුද්ධයි. ජාතිය පිලිබඳ ප්‍රශ්නය. මට ඇත්තටම හිනා. මොකද ඔවුන් ලංකාවේදී මහ ජාතියේ සිංහලයන් ඔවුන්ට එරෙහිව ජාතිවාදීව කටයුතු කරනවා යැයි කියමින් මෙහිදී කළු පිරිමියෙකුට එරෙහිව තමන් විසින්ම එසේ හැසිරීම නිසා”.

“ඉතින් මොකක්ද මට තියෙන සම්බන්ධය ” ඇයට තරහ ගොසිනි.

“සියාමා, ඒ දෙමළ  ක්‍රිස්තියානි අය හැසිරෙන්නේ එහෙම නම් ඔයාගේ දෙමව්පියන් කොහොම හැසිරෙනවා ඇත්ද? අනික ඔයා කියනවා ඔය සමරිසි සම්බන්ධයකුත් තිබුන කියල. එහෙම එකක් තිබුන නම් ඔයාගේ දෙමව්පියෝ කොහොම සලකයිද ඔයාට? ඔයාගේ ඔය වගේ වගේ නිදහස් හැසිරීම සම්ප්‍රදායික ඔවුන් මුස්ලිම් දෙමව්පියන් යුවලක් නම්  ඒ දිහා බලන්නේ කොහොමද? ”

“විශ්වාස කරන්නා අමාරු කතා තව කොච්චර තියෙනවද ? මගේ දෙමාපියෝ කොහේ හරි ඉඳන් බලන් ඉන්නවා ඇති. නැත්නම් කොහේ හරි ඉපදිලා ඇති ඔයාගේ ආගමට අනුව ” ඇය  සෙමෙන් කීවාය.

“අහ් ..සමාවෙන්න සියාමා. ඔයාට එච්චර වයසක් නැති නිසා මට හිතුනේ නැහැ එහෙම දෙයක්”

ඇගේ රවුම් පියකරු නෙත් කඳුලින් බර වුනු මට පෙනිණි. මා  වාද කරමින් කලේ අනවශ්‍ය වැඩක් යයි සිතුනි.

“මට සමා වෙන්න දෙමව්පියන් සිහි කළාට ” ඇගේ අතක සුලැඟිල්ල  අල්ලා ගනිමින් පැවසීමි.  ඇය අත වනමින් නැහැ කියන්නාක් මෙන් සංඥාවක් කලාය. ඇය හැඟීම්  සමුදායක් තෙරපා ගනිමින් සිටින බවක් මට වැටහුණි.

නැත. එය දෝරෙ ගලා උතුරා  ගියේය.

ප්‍රථමයෙන් සෙමින් සෙමින් හැඬීම පටන් ගත්  ඇය ඉන්පසු ඉකි ගසමින් හඬන්නට පටන් ගත්තාය.  අසල බංකුවක සිටි යුවතියන් දෙදෙනෙකු නුරුස්නා බැලුම් හෙළුහ. ඔවුන් සමහරවිට මගේ වරදක් නිසා ඇය හඬනවා යයි උපකල්පනය කරන්නට ඇත.  ඒ ලඟම  සිටි සිසු යුවලක්ද අප දෙස බලනු දුටිමි.

“සියා, අපි දිහා කට්ටිය බලනවා. මට තේරෙනවා. මම සොරි කිව්වනේ. අනේ අඬන්න  එපා. අපි නැගිටලා පොඩ්ඩක් ඇවිදිමු.”

සියාමා කලේ ඇගේ මුදු දෑත් වලින් මගේ අත් තරයේ අල්ලා  ගැනීමයි. එසේ කරමින් මගේ දෑත මත හිස තබාගත් ඈ සිහින් හඬින් ඉකි බින්දාය. ඇගේ උරහිස් උඩට පහලට සෙලවෙන යුරු මම නිහඬව   බලා සිටියෙමි. මා  දෙස නුරුස්නා  ලෙස බලු යුවතියන් දෙදෙනා එවර බලන්නේ අනුකම්පා සහගත බැල්මකින් බව මට පෙනිණි.  එක යුවතියක් “යූ ඕකේ ” යයි දැනෙන ලෙස මුවෙන් ඇඟවීමක්  කලාය. මම එසේ යයි හිස වනමින් සංඥා කලෙමි.

එක්වරම නැගී සිටි සියාමා “අපි යමු කීවාය”. මම ඇය දෙසට ගොස් ඇගේ බඳ වටා අත යවා මා  දෙසට ලං කර ගතිමි. එය බලා  පොරොත්තු වූවාක්  මෙන් ඈ  මගේ උරහිසට හිස තබාගෙන හේත්තු වී ගෙන ඉවතට පිය මනිමින්,

“මට දේශන වලට  යන්න  බැහැ.”යි  සෙමින් කනට කොඳුලාය.

“ඔයාව ගෙදර ඇරලන්නද” මම ඇසුවෙමි.

“එපා. මම පුස්තකාලෙට යනවා. ඔයා දේශන වලට යන්න. දැන් පරක්කුත් වෙලා. අනික මරේ කැමති නැහැ පරක්කු වෙලා එනවට. ඒක අමාරු විෂයනේ ”

මහාචාර්ය කා….. මරේ යනු නාසාහි කැසිනි නැමති සෙනසුරු ග්‍රහයා  බලා ගිය යානයේ මෙහෙයුම් මණ්ඩලයේ සිටි තාරකා විද්‍යඥයෙකි.  සෞර ග්‍රහ මණ්ඩලය හා සුර්යයා ගැන ඉගැන්වීම කල ඔහු තරමක් තද ගති ඇත්තෙකි. පමාවී එන විට ඔහුගේ ඇහි බැම  ඉහල යයි.

“ප්‍රශ්නයක් නැහැ. ඔයා අඬපු  විධිහට මට ඔයාව දාල යන්න හිතෙන්නේ නැහැ. ”

අපි දෙදෙනා අලුතින් ගොඩ නැගූ පුස්තකාලයට පිවිසුනෙමු. ශිෂ්‍යයන් විභාග කාලයේ පාඩම් කිරීමට යොදා ගන්නා කුටියක් වැනි දෙපැත්තම වැසුන කියුබිකල් එකක ඇය හිඳ  ගත්තාය.

“ඔයා ඉවර වෙලා එන්න. ඔයා මතක් කරපු හින්දම නෙමේ මට ඇඬුනේ. මම හැමදාම අඬන කෙනෙක්. ඉගෙන ගන්න වෙලාව  ඇරුනහම”

ඇය ඉන්පසු තාරකා ගැන ලියු පොතක් පෙරලා ගත්තාය.

ඇගේ හිස සෙමෙන් පිරිමැද මම එතනින් නික්මුනෙමි.

මින් පසු මට ලියන්නට වෙන්නේ  ඉදිරි මාස හත අට මුළුල්ලේ ඈ කිවූ ඇගේ ජිවිත කතාවේ දුක්මුසුම කොටස්ය. අප හමුවූ තැන් ගැන සුන්දර මතකයන් නොවේ. ඒවා දුක්බර මතකයන් පමණි.

…………………………

(මේ පළමු කොටසයි. මෙය ප්‍රබන්ධයකි. නම් ගම් සියල්ල මනඃකල්පිතය. )

http://kolambagamaya.blogspot.co.uk/2015/06/blog-post_25.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල