විශේෂ, සංගීතය

මැඩෝනා: යථාර්තය සහ ප්‍රතිරූපය අතර ස්ත්‍රීත්වය

Off
මැඩෝනා පොප් ගායිකාවක්ය, ඇය පොප් රැජිනය, ලෝකයේ වැඩිම ආදායමක් ඉපැයූ ගායක/ගායිකාවන් කිහිප දෙනෙකුගෙන් කෙනෙකුය යන්න බොහෝ දෙනෙක් දන්නා කරුණකි.
එහෙත් ඇය සිය ජිවිතයේ පෞද්ගලික ඉලක්කයන් සහ සුඛවිවරණයන් වෙනුවෙන් යම් ශිෂ්ටාචාරයක ගොඩනගන ලද සියළු ඇගයුම් සහ නිර්නායකයන් බිද දමමින් වඩාත් විප්ලවීය ප්‍රවේශයක් අනුගමනය කල අපේ කාලයේ අපූර්ව කාන්තාවක් යැයි යන්න බොහෝ දෙනාගේ අවධානයට ලක්නොවේ.
අප ජීවත්වෙන මෙම යුගය නිර්මිතයන් සහ ප්‍රතිරූපයන් මත ගොඩනැගුන යථාර්තයෙන් දුරස් සංස්කෘතියකින් යුත් ‘පශ්චාත්-නුතන’ යුගයක් නම් මැඩෝනා එහි වඩාත්ම දෘශ්‍යමාන උදාහරණයක යැයි (“Madonna is perhaps the most visible example of what is called post-modernism”) වරක් එංගලන්ත පල්ලියේ ග්‍රැහැම් ඇලන් ක්‍රයේ(Graham Alan Cray, Thirdway (1991), page 7-10) අගරදගුරුවරයා ප්‍රකාශකරන ලදී. එය ඉහත සදහන් කල ‘මැඩෝනා අපේ කාලයේ අපුර්ව කාන්තාවක් යැයි’ යන්න තවදුරටත් සනාථ කරන්නකි. අනෙක් අතට, වික්ටෝරියා රැජිනගෙන් (1837-1901) පසුව එක් සුවිශේෂ කාලවකවානුවක් විවරණය කිරීමට මැඩෝනා යෝජනා කිරීම තුල මැඩෝනා එම යුගයේ සුවිශේෂතම තැනැත්තියක් විය යුතුය නැතහොත් ඇය විස්තර කිරීම තුල අදාල යුගය විවරණය වීමට තරම් ඇය සහ මෙම ‘පශ්චාත්-නුතන’ යැයි හදුන්වන යුගය සමග එකිනෙකට බද්ධව තිබිය යුතුය.
ඕනෑම සමාජයක ඇගයුම් සහ නිර්නායකයන් ගොඩනැන්වීමෙහිලා මෙන්ම පුද්ගල හැඩගැන්වීමෙහිලා ද ආගම, පවුල සහ පාසැල මුලික වශයෙන් බලපාන අතර මැඩෝනාගේ ජීවිතය කෙරෙහිද එය ඒ ආකාරයටම බලපා ඇත. ඇමෙරිකාවට සංක්‍රමණය වූ ඉතාලි පවුලක උපත ලබන මැඩෝනාට සිය පුද්ගල සංජානනයන් ගොඩනගා ගැනිමෙහිලා ඇමෙරිකානු පාසැල සහ වටපිටාවත්, කතෝලික ආගම අදහන, ඉතාලි භාෂාව කථාකරන පවුලත් දෙයාකාරයකින් බලපාන ලදී. ඇය ස්ත්‍රීයක් වීම තුල ඒ සියල්ලම ඇය මත ආධිපත්‍ය පතුරුවන, ඇයව යටත්කොට, කොටුකර පාලනය කිරීමකට ලක්කරන බලවේගයන් ලෙස ඇයට පෙනුන බව මැඩෝනා සිය ‘The Immaculate Collection’ (1990) ගීත ඇල්බමය නිකුත් කිරීමෙන් පසුව පැවති පුවත්පත් සාකච්ඡාවකට පවසා තිබුණි. (Rolling Stone, True Confessions: the Rolling Stones interview with Madonna, 1991 /27 / June, page 45-9 and 78).
මැඩෝනා සිය ජීවන අරගලය ආරම්භ කරනුයේ මෙම සීමා සහ අවහිරයන්ට එරෙහිව කරන අරගලයක් තුලය. එහිලා සිය මවගේ අහිමිවීම තමාට තමා අහිමීවිමක් ලෙසද (මැඩෝනාට එම නම ලැබුනේ ඇයගේ මවගෙනි, ඇගේ මවගේ නම ද මැඩෝනා ය), මවගේ මරණයෙන් පසු පියා දෙවන කසාදයක් කරගැනීම සිය පවුල තුල තමා ආගන්තුකයෙක් වීමක් ලෙසද මැඩෝනා සලකන ලදී. එය ඇය වසා සිටි පවුල, පාසැල සහ පල්ලියේ ආධිපත්‍යට එරෙහිව අභියෝග කල හැකි අශික්ෂන, විවේචනාත්මක සහ අකීකරු වෙනස්-ගැහැණු ළමයෙකු ලෙස තමාට ගොඩනැගීමටද, ඒ සියල්ලට එරෙහිව ඇයගේම වූ ලෝකයක් නිර්මාණය කරගැනීමේ උවමනාව ජනනය කිරීමටද හේතුවූ බවද ඉහත පුවත්පත් සාකච්ඡාවට ඇය දක්වා තිබුණි. අන් අයගේ අවධානය දිනාගැනීමට ඇයට තිබු අසීමිත ආශාව ඒ සියල්ල කුළුගන්වන්නට විය.
පසුකලෙක සිය ජීවන ඉලක්කය ලෙස ඇය සදහන් කල ‘බොහෝදෙනාගේ ආදරයට පත්වීම’ (“My goal in life to be loved by many peopel”) සදහා කුඩාකල සිට ඇය ප්‍රිය කල නැටුමට සහ සංගීත හැකියාවට අමතරව ඩොලර් 35 ක මුදලක් පමණක් අතැතිව 1978 දී ඇමෙරිකාවේ මිචිගන් නුවර සිට නිව් යෝර්ක් නුවරට ලගාවෙන ඇය, ඉන් වසර 09කට පසුව (1987 සැප්තැම්බර් මාසයේදී) මිනිත්තු 34ක දී ප්‍රවේශ පත්‍ර 17,000 අලෙවී වෙන දැවන්ත සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට පවා සමත් චරිතයක් බවට පත්වනුයේ සිය පුද්ගල අභිමතාර්ථය සාක්ෂාත් කර ගැනීමට ඇය දැක්වූ කැපවීම තුලය.
සිය සාර්ථකත්වය වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට, ඕනෑම ඇදුමක් ඇදීමට, ඕනෑම මොස්තරයක් කිරීමට, ඕනෑම නැටුමක් නැටීමට ඇය නොපැකිලිනි. නිරුවත, ලිංගිකත්වය, ලැජ්ජාව, සමාජ ආකල්ප, ඕපාදුප, ආගම, සදාචාරය හෝ ශුද්ධවූ සංකේත පවා භාවිතා කිරීමට ඇය කිසිවිටකත් නොපැකිලිනි. කොටින්ම, කතෝලික පල්ලිය භාවිතා කරන කුරුසිය පමණක් නොව, කොන්තය, ත්‍රිත්වය, කන්‍යා මරියාවන් ආදී සියල්ල ඇය නිතර සිය සංගීතයට හෝ වේදිකා නිරූපණයට යොදා ගන්නා ලදී. එය ඇය කතෝලික පල්ලියේ පිළිකුලට මෙන්ම මැඩෝනා සහ පල්ලිය අතර ආරවුලක් නිර්මාණය කිරීමට පවා හේතුවිය.

1987 දී ඇයගේ ‘Who is that Girl’ ප්‍රසංගය ඉතාලියේ ටියුරින් නුවර පැවැත්වීමට සුදානම් කලවිට, දෙවන ජුවාම් පාවුළු පාප්තුමා එය වර්ජනය කරන මෙන් කතෝලික ජනයාගෙන් ඉල්ලා සිටියේය. ඇය සංගීත ශිල්පිනියක් නොවන බවට තර්කකල පාප්තුමා, ඇය ලෞකික සහ ද්‍රව්‍යමය අවශ්‍යතාවයන් වෙනුවෙන් සියල්ල විකුණන, කිසිදු ඇගයුම් සහ වටිනාකම්වලින් තොර, නාස්තිකාර, අවාදර්ශයක් යැයි මැඩෝනාව හදුන්වන ලදී. දෙවන ජුවාම් පාවුළු පාප්තුමා ගේ ප්‍රකාශයද සිය ප්‍රචාරක වාසියට යොදාගත් මැඩෝනා ඉතාලිය පුරාම ‘Papa don’t preach me’ නම් ඇය 1986 නිකුත්කළ ගීත ඛණ්ඩයක් යොදා ගනිමින් තවදුරටත් සිය ප්‍රසංගය සදහා කිසිදු චකිතයකින් තොරව ප්‍රචාරක් දියත් දෙන ලදී.

මෙය එක් ආකාරයකින්, මැඩෝනා පල්ලියේ සහ ආධිපත්‍යට එරෙහිව කටයුතු කරන, පිළිගත් සදාචාරාත්මක ඇගයුම් සම්පුර්ණයෙන්ම උල්ලංඝනය කරන, පැවති සම්ප්‍රදායික ඇගයුම් සහ නිර්නායකයන් සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන ‘නවතම සංස්කෘතික අනන්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටින, නව ස්ත්‍රීවාදී ප්‍රසංගිකාවක්’ යයි අදහසක් ජනිත වීමට හේතුවේ.
යම්තාක් දුරකට ඇය සංගීතය, නැටුම සහ නිරූපණය මිශ්‍ර වූ ප්‍රසංග කලාව අඩ-නිරුවත් ලිංගික රැගුම් සහ නවතම තාක්ෂණික උපක්‍රම තුලින් වර්ණවත්වූ නවතම ස්වරුපයකට රැගෙන ගියද, බලහත්කාරයක් නොමැතිනම්, උපත් පාලන කොපු පලදින්නේ නම් ඕනෑ කෙනෙකුට, ඕනෑ කෙනෙක් සමග කැමති ආකාරයකට ලිංගිකව හැසිරිය හැකියැයි ලිංගිකත්වය අළුතින් අර්ථ නිරුපනය කලද, විනෝදය, ආශාවන් පිනවීම, මුර්ත වටිනම්කම් එකතුකිරීම සහ කෙසේ හෝ සිය පෞද්ගලික අරමුණූ සාක්ෂාත් කරගැනීම ජීවිතය ලෙස අර්ථ නිරුපනය කලද, සිය පෞද්ගලික ජීවිතයේදී මෙන්ම වේදිකාවේදීද විවිධ වේශ නිරුපනයන්ගෙන් කලින් කලට විවිධ ස්වරූප ඔස්සේ පෙනී සිටියද, මැඩෝනා කිසිම ලෙසකින් කිසිදු අනන්‍යතාවයක් වෙනුවන් පෙනි නොසිටි බවත් සිදුව ඇත්තේ එසේ පෙනී සිටින බවට පෙනී සිටිම පමණක් බවත් ඇය නිපදවූ ඇගේම වාර්තා චිත්‍රපටි දෙකකම (In bed with Madonna (1991) / I’m going to tell you a Secret(2004)) දක්වයි. ඇය එය සාධාරණීය කරණය කලේ තමා කිසිවිටකත් කිසිදු ආකෘතිගත ජීවන ක්‍රමයක් සහතික කලේ නැති බවත් ඒ වෙනුවට එය විස්තර කිරීම පමණක් සිදුකල බවත් දැක්වීය (“I do not endorse a way of life, but descirbe one”).

ඇය විවිධ අනන්‍යතාවයන් නිරුපනය කිරීමට යාමතුල අනන්‍යතාව නැති කරගත්, ඇගේ බොහොමයක් ගීත ඇයම ලියා, ඇයම සංගීතය දමා, ඇයම නටා, ගයනා කර ඉදිරිපත්කිරීම තුල පමණක් නොව සියල්ල මමංකාරය (Ego) තුල නිර්මාණය කරගත්, නිෂ්පාදිකාව විසින් නිෂ්පාදනයද නැවත එම නිෂ්පාදනය විසින් නිෂ්පාදිකාවද, එමෙන්ම නිෂ්පාදනට පරිබාහිරව නැවත නිෂ්පාදිකාවද සම්පුර්ණයෙන්ම වෙනස් ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට සමත්, යථාව තුල නොව වේශය තුල නිරුපනය වන සුවිශේෂ ‘පශ්චාත්-නුතන’ නිෂ්පාදනයක් යැයි මතයක් නිර්මාණය වන විට මැඩෝනා සිය භාවිතය විස්තර කරනුයේ ‘සාප්පු සවාරියේ යාමක්’ (Shopping) ලෙසය.
එය මැඩෝනා සම්බන්දයෙන් මෙන්ම ‘පශ්චාත්-නුතන’ කතිකාව සම්බන්දයෙන්ද ඉදිරිපත්කල හොදම විවෙචනයක් යැයි Georges-Claude Guilbert (Madonna as Postmodern Myth (2002)) තර්ක කරයි. එසේනම් මැඩෝනා වූ කලී සම්පුර්ණයෙන්ම ව්‍යාජ, කිසිදු ඇගයුම් සහ වටිනාකම් වලින් තොර, හුදු වාණිජ අරමුණූ වලට පමණක් සීමාවූ, කිසිදු ආගමක් දහමක් නැති, හුදු සිය ජිවිතයේ පෞද්ගලික ඉලක්කයන් සහ සුඛවිවරණයන් වෙනුවෙන් පමණක් කටයුතු කරන ස්ත්‍රීයක් දැයි ප්‍රශ්නයක් මතුවේ ?

ප්‍රසංගිකාවක් ලෙස පෙනෙන මැඩෝනාට වඩා වෙනත් මැඩෝනා කෙනෙක් ඇය තුල සිටින බව අපට සොයාගත හැක. ඒ ඇය සිය දරුවන් හතර දෙනා ලොකු මහත් කරගැනීමට, ඔවුන්ට ඉගැන්වීමට, ඔවුන්ට මවක් වීමට මෙන්ම සාර්ථකත්වය වෙනුවෙනි වෙහෙසවී වැඩකිරීමට ඇය දක්වන කැපවීම තුලය. මැඩෝනා ගේ සාර්ථකත්වයේ ප්‍රධාන කේන්ද්‍රය ඇගේ අප්‍රතිහත උනන්දුව සහ කැපවීමයි. ඒය ඕනෑම සාර්ථක ගැහැණියකට සහ පිරිමියෙකුට පොදු ලක්ෂණයකි. තමාට සාර්ථක විවාහ ජීවිතයක් නොමැති වුවද සිය දරුවන්ට පවුලක් ලබා දීමට මවක් වශයෙන් සෑම අතකින්ම ඇය උත්සහකරන බව දක්වයි. ඇයට අනුව ‘පියා’ ගේ භූමිකාවට වඩා ‘මව’ ගේ භූමිකාව දරුවන්ගේ පෞරුෂ වර්ධනයට හේතුවෙන බව සිය පෞද්ගලික ජීවන අත්දැකීම් තුලින් ඇය දක්වයි. සිය දරුවන්ගේ වාසගම ලෙස පියාගේ නොව තමාගේ වාසගම (Ciccone) දෙන්නේ ඒහිනි. අනෙක් අතට පල්ලියේ ආධිපත්‍යට එරෙහිව පෙනි සිටියද ආගමික වටිනාකම් සහ සාරධර්ම පිළිබද සිය දරුවන්ට ඉගැන්වීමට ආගමික පසුබිමක් ඇති පාසැල්වලට දරුවන් ඇතුල් කර තිබේ. ඔවුන්ගේ අධ්‍යාපනය සදහා ඇය සිය පදිංචිය වෙනස්කර ඇමෙරිකාවේ සිට බ්‍රිතාන්‍යයට පැමිණියේය. මයිකල් ඩග්ලස් නම් අමෙරිකානු නළුවාට සිය පුතා ආගමික අධ්‍යාපනයට යොමුවීම තුල සිය පියාගේ (යුදෙව්) ආගමීක විශ්වාසය නැවත හමුවූ ලෙස, මැඩෝනාටද සිය පවුලේ ආගමික විශ්වාසය වූ කතෝලික ආගමීක විශ්වාසය නැවත සිය දරුවන්ගේ ආගමික අධ්‍යාපනය තුල ලැබුණු බවක් පෙනේ. ඒ ඇය දුර්වල වන සැමවිටම තනිවම දෙවියන් යදින බව ප්‍රකාශ කල බැවිනි. මැඩෝනා ආගමට හැරීම, සමාජයේ සියල්ල මායාවන් බව අවබෝධකරගෙන ආගම සහ දෙවියන් පමණක් යථාර්තයක් ලෙස පිළිගැනීමේ තත්වයක් හෙවත් සමාජය නිට්ෂෙගේ (Nietzsche) ‘දෙවියන් මීයගොස් තිබේය’ (God is dead) යන්නේ සිට දෙවියන් මීයගොස් නැත (God is not dead) දක්වා පැමිණීමක් හෙවත් ‘පශ්චාත්-නුතනත්වය’ (Postmodernity) සිට යථාර්තය (Reality) දක්වා පැමිණීමක් යැයි Jock McGregor (Madonna: Icon of Postmodernity (1997)) ආදීන් තර්ක කරයි.

මේ සියල්ල දෙස නැවත සමාලෝචනය කිරීමේදී පෙනී යන්නේ මැඩෝනා අපේ කාලයේ ස්ත්‍රීය පිළිබද අපුරුව විග්‍රහයක් ඉදිරිපත් කරන බවයි. එනම් ස්ත්‍රීය කිනම් චරිත නිරුපනය කලද, කුමන ක්‍රියාමාර්ග අනුගමනය කලද ඇය ඒ සියල්ල කරනුයේ තමාගේම වූ ස්වයං අවබෝධයක් සහ දැක්මක් තුල බවත්, සිය අරමුණූ සක්ෂාත් කරගනු වස් දැඩි කැපවීමකින් සහ නොපසුබස්නා උත්සහයකින් කටයුතු කරන බවත්, ඇයගේ සාර්ථකත්වය රදා පවතින්නේ ඒමත බව ඇය දන්නා බවත්, ආධිපත්‍ය සහ අධිකාරීත්වය ප්‍රතික්ෂේප කලද පවුල, ආගම සහ අධ්‍යාපනය වැදගත් ලෙස අවබෝධකරගෙන කටයුතු කරන බවත්ය. ඒහින් මැඩෝනා අපට ප්‍රදර්ශනය කරනුයේ මේ යුගයේ යථාර්තය සහ ප්‍රතිරූපය අතර දෝලනය වන ස්ත්‍රීය පිළිබද ආඛ්‍යානය නොවේද ?
          17/03/15
          (සමබිම පුවත්පතට ලිවූවකි).

 

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල