කාලීන සංවාද

සිවුරෙන් වසාගත් මනුස්සකම නොහොත් පාත්තරයට දමාගත් ලැජ්ජාව.

Off

මෙම ලිපිය 2015 පෙබරවාරි මස ලන්කාදීප පත්තරයේ කොළඹ ගන්ගාරාමාධිපති ගල්බොඩ ඥානිස්සර හිමියන් හා සම්බන්ධ “අපට හරිගිය/වැරදුණු තැන්” නමින් පළවූ ලිපිය කියවූ පසු ඇතිවූ හැඟීම් ප්‍රකාශයකි.එහි මාතෘකාව වූවේ “කැලේදී මරාදමන් අලි පන්සලට දීමේ වරද මොකක්ද?” යනුවෙනි.ඇත්තය.කැලේදී මරා දමනවානම් උන් කොහේ හෝ සැපෙන් සතුටින් වසනවානම් එය මෙලොව වසන කිසිඳු පුද්ගලයකුට ප්‍රශ්නයක් වීමට හේතුවක් නැත.නමුදු මෙම මතය සමාජගත කරන්නේනම් ගණිකාවකට තමාගේ වෘත්තිය සාධාරණය කිරීම සදහා “ස්වාමියා නොසලකන හෙයින් වෙන එවුන් එක්ක නිදිවැදීමේ වරද කුමක්ද?”යි ඇසුවහොත් එය ඉවසා වදාරීමටද මේ සමාජය සූදානම්විය යුතුය.”කන්න නැතිනිසා හොරකම් කලා.ඒකේ වැරද්ද මොකද්ද?”යි කියා සොරෙක් ප්‍රශ්න කලහොත් ඔහු නිදහස් කිරීමට සමාජය සූදානමින් සිටිය යුතුය.අනික කැලයකදී මරාදමන්නේ අලි පමණක්නම් මේ ප්‍රශ්නය සාධාරන වේ.එහෙත් කැලයේදී මරා දමන වල් ඌරන් ඇතිකිරීමට කිසිදු පූජ්‍ය ස්ථානයක් බාරගන්නේ නැත.කැලයේදී හෝ වෙනත් ස්ථාන වලදී මරාදමන නිසා සර්පයන් ඇතිකිරීමට කිසිම කෙනෙකුන් සූදානම් වන්නේ නැත.කවුරු කෙසේ කිවුවත් කැලේ සතුන් විසිය යුත්තේ කැලයේ මිස මිනිස් වාසයක නොවේය.කැලයේදී උන්ව මරනවානම් විසදුම විය යුත්තේ එය එසේ සිදුවීමට බලපාන හේතු අවමකර උන්ගේ වනගත දිවිය සුරක්ශිත කිරීම මිස පන්සල්වලට ගාල්කිරීම’යැයි කිසිවකු සිතනවානම් ඔහු කෙතරම් සමාජයේ පිළිගත් පුද්ගලයකු වූවත් ඔහුගේ මානසිකතත්වය පිළිබඳව ඇතිවන්නේ දුකක් පමණී.

ලන්කාවේ වාසයකරන වන අලියකුට දිනකට කිලෝ 150ක් පමන ආහාර අවශ්‍ය වේ.මෙම අහාර ප්‍රමාණය ලබා ගැනීම උදෙසා ඔවුන් දිනකට කිලෝමීටර 30ක පමණ දුරක් ගමනේ යෙදෙයි.රන්චු වශයෙන් හැසිරෙන මෙම සතුන් වසරේ එක් එක් කාලසීමාවන්හීදී වනාන්තර හරහා සන්ක්‍රමණය වේ.දැනට ලන්කාවේ අලි-මිනිස් ගැටුමට ප්‍රධාන හේතුව වී ඇත්තේ වනාන්තර ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩුවීම හා අලිමන්කඩවල් ජනාවාස වීම යන හේතූන්ය.වැඩිවන ජනගහනය හේතුකොටගන රටක පවතින වනාන්තර ප්‍රමානය අඩුවීම මෙරට පමනක් නොව ලෝකයේ බොහෝ රටවලට ඇතිවී ඇති දැවෙන ප්‍රශ්නයකි.එහෙත් එය එසේයැයි කියා වනාන්තර වල වෙසෙන සතුන් කොහාට හෝ ගාල්කිරීම අතිසාරයට අමුඩ ගැසීමකි.දීර්ගකාලයක් මුළුල්ලේ තිබූ අලින්ගේ සන්ක්‍රමන මාර්ග,අලි මන්ක්ඩවල් මිනිස් ක්‍රියාකාරකම් නිසා අවහිරවීම අලින් ගම්වැදීමට ප්‍රධාන හේතුව වී ඇත.අලින්ට වඩා මිනිස් ජීවිත වටිනාබව අවිවාධිතය.එහෙත් එසේයැයි කියා වන ජීවිත විනාශකිරීම කොතරම් සාධාරනදැයි විමසීම තමන්ගේ මානසික මට්ටම අනූව සිතිය යුක්තකි.අප කලයුත්තේ මෙතෙක්කල් කලාක් මෙන් මෙම ප්‍රශ්නෙට පැලස්තර විසඳුම් යෙදීම නොව මිනිසුන්ට මෙන්ම සතුන්ට සාධාරන වූ විසදුමක් කරා යාමය.අවම වශයෙන් දැනට අවහිර වී ඇති අලිමන්කඩවල් නැවත මෙම සතුන් උදෙසා විවෘත කිරීම මගින් මෙම ප්‍රශ්නයෙන් 50%ක් පමන විසදාගත හැක.තම ගොවිතැන් පාළු කිරීම නිසා මෙම සතුන් තම පරම සතුරන් ලෙස සලකා ක්‍රියාකරන අහින්සක ගම්වාසීන්ගේ ආකල්ප වෙනස්කර එම සතුන් හා සම්බන්ධ පාරිසරික සන්චාරක කර්මාන්ත ස්ථාපනය කිරීම වෙනි ක්‍රියාමාර්ග තුලින්ද මෙම ප්‍රශ්නයට සහන ලබාගත හැක.මෙම ප්‍රශ්නය විසදීම උදෙසා ගනුලබන ක්‍රියාමාර්ග උදෙසා තම හැකියාව පරිදී උදවුකිරීම මෙම රටේ සියළු පුරවැසියන්ගේද යුතුකමකි.ඒ එමගින් තම සහෝදර ජනතාවගේ ජීවිත මෙන්ම අනාගත පරපුරේ උරුමයක්වූ වනජීවිතද සුරකෙන බැවිනි.

මෙම ලිපියේ මුග්ධ ස්වරූපය පෙන්නුම් කෙරෙන තැනකි:

“වනාන්තරයේ සිටින අලි ඇතුන් යන්න එන්න තැන් නැතිව බොන්න වතුර නැතුව ගම්වැදී හේන් පාළුකර ගේ දොර කඩනවානම් ඊට විසදුම උන් එතනින් වෙන ගමකට පන්නා දැමීමහෝ වෙඩිතබා මරා දැමීම නොවේ.
ඒ සතුන්ට කන්න බොන්න දී කරුණාවෙන් ඇතිදැඩි කලහැකි තැනකට භාරදීමයි.එවිට ඒ සතුන්ටද ආරක්ශාව හිමි වේ.ඒ සතුන්ට ආධාරකොට ජාති ආගම් භේදයක් නැතිව කාටත් බලන්නට පෙරහැරක් කිරීමටද භාග්‍ය උදාවේ”.

මෙම අදහස ගල්බොඩ තෙරණුවන්ගේද,නැතිනම් ලියුම්කරුගේද යන්න පැහැදිලි නොමැතිවූවත් එම තෙරණුවන්ගේ ඡායාරූප යොදාගන උන්වහන්සේගේ අදහස් ප්‍රකාශකිරීමක් ලෙස ඒත්තු යන පරිදී ලියා ඇතිනිසා ,අනාත අලි යොදා පෙරහැර පැවත්වීම මගින් තෙරණුවන් තමාගේ කීර්තිය හා මඩිය තරකරගැනීමේ උත්සහයක යෙදෙනවා’යි කියා කිසිවකුට නිගමනය කලහැක.මේ ලෙසම ක්‍රියාකල තවත් එක් ශාන්තුවරියෙකි,තෙරේසා මව්තුමිය.ඉන්දියාවේ සිදුවූ රසායනික අනතුරක් වූ බෝපාල් සිද්ධියේදී තෙරේසා මවුතුමිය ප්‍රමුඛ එතුමියගේ අනිකුත් සහෝදර කන්‍යා සොයුරියන් පිස්සුවෙන් මෙන් මව්පියන් අහිමි ළමුන් තමන් විසින් පාළනය කරනා අනාතනිවාස සදහා එකතුකරගත්තෝය.මෙම අනතුර පිළිබඳ විමසූ වාර්ථාකරුවකුට තෙරේසා මවුතුමිය පවසා තිබුනේ මෙම අනතුර දේව ආශිර්වාදයක් බවත් මෙනිසා දේවියන් කෙරේහි භක්තිවන්තවූ නව පිරිසක් බිහිකරගත හැකි බවත්ය.මෙම ලිපියේ සදහන් ඉහත කරුණ නිසා ගල්බොඩ තෙරණුවන් සිදුකරනු ලබන්නේද තෙරේසා මව්තුමිය මෙන්ම අනාතයන් විකුනමින් පෙරහැර මාර්කට් කිරීමක් බවට කිසිවකුට චෝදනා කලහැක.එලෙස චෝදනා ලැබුවහොත් එය එම තෙරණුවන්ට පෞද්ගලිකව එල්ලවන්නාක් නොව සමස්ථ බුදු දහමටම එල්ලවන්නාක් නිසා එයට නිසි පිළිතුරු සැපයීමද එම තෙරණුවන්ගේ යුතුකමකි.

පසුගිය කාලයේදී ගන්ගාරාමයේ කුඩා ඉඩකඩක බැඳසිටි අලිපැටවුකට ඇත්ගොවුවා විසින් පහර දෙනුලබන දර්ශන ඇතුලත් වීඩියෝවක් අන්තර්ජාලය හරහා හුවමාරු විය.ඒ පිළිබඳව දායකසභාවේ පිළිතුරවුවේ මේවා ප්‍රසිද්ධියේ නොව තමන්ට පෞද්ගලිකව දැන්වුවානම් මේ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගනුලබන බවය.මොන අමන ප්‍රකාශයක්ද?.තමන් සතුව සිටිනා කුඩා අලිපැටවකුගේ ආරක්ශාව බලාගත නොහැකි තෙරණුවක් විසින් කැලේ අලි මරාදමන හෙයින් පන්සලට බාරදෙන ලෙස පැවසීමම විහිළුවක් නොවේද?කැලයේ සිටියදී නිදහසේ ඇවිදිමින් දිවි ගතකරනා සතකු අල්ලාගනවිත් මිනිසෙකුට පවා සිටිය නොහැකි තරමට අවුවට රත්වෙන ටකරන් මඩුවක බැඳදමා උගේ ජීවිතයේ වසර 60-70ක් ගතකිරීමට සැලස්වීම බුදුධහමේ නාමයෙන් සාධාරනය කරගැනීමට උත්සහ දැරීම මිනිස්කම අගයන සමාජයකට කෙතරම් ගැලපෙනවාද යන්න විමසා බැලීමට තරමටවත් තේරුම්ගත නොහැකිනම් හොඳම දේ නිශ්ෂබ්දව සිටිමය.ඒ මෙවනි ප්‍රකාශනිසා අභියෝගයට ලක්වන්නේ සමස්ථ බුදුදහමම නිසාය.අභියෝගයට ලක්වන්නේ “සියළු සත්වයෝ දඬුමට බිය වෙති”යි නම්වූ බුදු වදනම නිසාය.

එක් පසකින් දළදා මාළිගාවට අගෞරවවේ’යැයි කියා දස දහස්ගනන් මහජනයා පීඩාවට පත්කරමින් පාරවල් වසාගන කිසිඳු ආකාරයකින් පිළිගත නොහැකි හේතු පවසනා මහානායක හිමිවරුන්ය.අනික් පසින් අලි අල්ලා හීලෑකිරීම සාධාරණීකරණය කරනා රටම පිළිගත් තෙරණුවෝය.ඕනෑමකෙනෙකුන්ට තමන්ගේ පෞද්ගලිකමතය ඉදිරිපත්කිරීමට කිසිඳු බාධාවක් නැත.එහෙත් බෞද්ධ නායකයන් වශයෙන් පෙනීසිටිමින් කරනා මෙවනි ප්‍රකාශ නිසා හෑල්ලුවන්නේ,නින්දා විඳින්නේ රටේ සමස්ත බෞද්ධ ජනතාවමය.”මේකද උඹලගේ මහාලොකු කරුණාව” යි කියා අන්‍යාගමිකයකු විමසුවිට බෞද්ධයකු වශයෙන් ඔහු ඉදිරියේ නිරුත්තර වීමට සිදුවේනම් එයටත් වඩා අවාසනාවක් බෞද්ධයකුට තවත් තිබේද?ගහට වැලට පවා ආදරය කිරීමට කියාදුන් මහා කාරුණිකයානන්ගේ අනුගාමිකයන් වශයෙන් ඔබවහන්සේලා මීටවඩා වගකීමෙන් ක්‍රියාකල යුතුබව තේරුන්ගත නොහැකි තරමට මානසික බෙලහීනතාවයට පත්වී ඇතැයි මම නොසිතමි.එහෙයින් සමස්ත බෞද්ධ සමාජයේම ගෞරවය උදෙසා මීට වඩා වගකීමෙන් අදහස් දක්වන ලෙස ඔබ වහන්සේලාගෙන් බැගෑපත්ව ඉල්ලාසිටිමි.

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල