විචාර

‍මරණීය වේදනාවක් තියෙන රමණීය කතාවක්

2

අද සැඳෑව සැබවින්ම සුන්දර ය. මිතුරු සමාගමයේ ආදරවන්ත හෝරා දෙකකින් පසු විහාරමහා දේවි උද්‍යානය මැදින් බස් නැවතුම කරා ආ නිස්කලංක ගමනේ දී සිත බොහෝ සැහැල්ලුව තිබිණි. බැදපු රටකජු ගොට්ටකුත් රැගෙන දුම්රිය නැවතුමේ ලෑලි බංකුවක වාඩි වී ‘‘මේ කතාව‘‘ දිග හැරගතිමි.

‘‘ගැහැනුනි සාහිත්‍ය මදුරාපුර ගිනි තබනු.‘‘ සර්පයාගේ ඉල්ලීම (ආදරණීය අණක් මෙනි.) මගහැර, සුරේකාගෙ කෙටිම කෙටි පෙරවදන හද මත තැන්පත් කරගෙන ඒවා ගේ පරපුරේ ‘‘මේ කතාව‘‘ තුළ දැහැන්ගත වීමි.

මොහොතකින් මට රටකජු අමතක විය.

‘‘එකෝමත් එක දවසක බිළිදිය උපන්නා…… දුඹුරු ඇස්, රෝස කම්මුල්, පුංචිම පුංචි කම්මුල්, ලොකු කන්පෙති, සිනිදු කෙස්…..‘‘

නවකතාවක් ලියන්නේ නම් එවන් වූ කතා ලතාවක් ගැන සිහිනයක් මසිතේ ද විය. පේද්රෝ පරාමෝ ලියැවුණාක් මෙන් නිරායාසයෙන් ගලා යන කටවහරට සමීප හදබසට ළෙංගතු කතා ලතාවක්..

‘‘සුරේකා  ඉරිසියා හිතෙන තරම් මේ අකුරු ඇමිණුමට මං කැමතියි..‘‘ මසිත මුමුණයි.

‘‘පත්තර කඩදාසිවලින් කවර දා තිබුණු ඒ පොත්වල හිටපු නොයෙක් නොයෙක් ගෑනු ඔවුනොවුන්ගෙ ජීවිත කතාවල අත්වින්ද අපරිමිත ගැහැටවල් ගැන හුගක් කල්පනා කරපු අරුන්දතී හිතුවෙ හැම ගැහැනියක්ම දැවි දැවී තිබී දිය වෙලා වැහැරිලා ගිහින් නිවෙන්ඩ නියමිත ඉටිපන්දම් වගේ නේද කියල…..

ගෑනු කියන්නෙ දැවෙන කොට ලස්සන, දැවීම තුළම දියවෙන ඉටිපන්දම් ජාතියක් ද?‘‘ – 53 පිටුව

මගේ දෑසත්, හිතත් ඒ අකුරු අතර දැවටී, නැවතී අතරමං වී තිබිණි.

‘‘හලාවත ට්‍රේන් එක නේද එන්නෙ..‘‘ ආසන්නයේ අසුන් ගෙන උන් කාන්තාවක් මගෙන් නොවිමසන්නට දුම්රිය මා එහි දමා යන්නට ඉඩ තිබිණි.

ඒ මොහොත වන විට සමන්තා මැණිකේ ගේ දිනපොත අරුන්දතී අත පත් වී තිබිණි. දුම්රියට ගොඩවැදුණු පසු හිස් අසුනක් නොවන බව දැකීමෙන් ඇති වූ කණස්සල්ලට වැඩි ආවිස නොවිණි. මගේ දෑසේ අසරණ බැල්මක් ලියැවී තිබෙන්නට ඇත. කොලු ගැටයෙක් නැගී දොරටුව දෙසට නික්මිණ.

ඉදින්, සුරේකා මට දෑස් ඉවතට ගන්නට සිතුණේම නැත. හතරවටින්ම පුරුෂ පවුරක් ඉදි වී, දහදිය උෂ්ණය, ඉඳහිට හමන මත්පැන් දුඟඳ, එහෙන් මෙහෙන් වැදෙන ශරීරාංග, ගමන්මලු අතර වුව මසිත සමන්තා මැණිකේ, අරුන්දතී, කානම්මා, නන්දිතා සමඟ දොඩමළු වෙමින් තිබිණි. නමුත් අන්ධකාරය මැද සැඟවී යන දුම්රිය නැවතුම්වල ඡායාවන් හිතේ ඇඳගන්නට විටින් විට හිස ඔසොවන්නට සිදු විය.

රැවුල්කාරයා අරුන්දතී දකින්නට පාසල් නේවාසිකාගරයට පැමිණ ගියේය. නමුත් ඔහු තමා අප්පච්චී බව නොකියා යාම ගැන නොරිස්සුමක් මෙන් ම, අරුන්දතී ගැන අප්‍රමාණ දුකක් මසිත ඉතිරි විය.

රාගමින් පසු මම පොත වසා ගමන් මල්ලේ ලා ගතිමි. නැතිනම් සැබවින්ම මට මගේ නැවතුම මගහැරෙන්නට ඉඩ  තිබිණි. අල්ලා ගන්නා දෑ ගැන, අත්හැරිය යුතු දෑ ගැන මෙන්ම මඟ හැරෙන්නට නියමිත දෑ ගැන වුව ද සිහිබුද්ධියෙන් පසු විය යුතු ය. එවිට වේදනාවන් අවම ය.

නවාතැනට පැමිණි පසු අද ම, මේ මොහොතෙම යමක් ලියා තැබිය යුතු යැයි සිතුණි.

මේ කතාවේ 71 පිටුවේ නතර වී හිඳිනා අතර මේ අකුරු අමුණමි.

උණුහුම් හාදුවකින් සමුගන්නා මොහොතේ ‘‘අක්කට මේ පොත ගැන යමක් ලියන්න හැකි වේවි.‘‘ සුරේකා මිමිණුවා ය.

සුරේකා, මේ මොහොතේ ඔබ මා සමීපයේ වූයේ නම් කොපුල මත හාදුවක් තබා මෙසේ පවසමි.

‘‘ලස්සනයි නංගී.. මරණීය වේදනාවක් තියෙන රමණීය කතාවක්. මේ පුංචි කොදෙව්ව ඇතුළෙ නිදහසින් පස්සෙ අවුරුදු ගණනාවක දේශපාලන අවුල් වියවුල් ජාලය ඇතුළෙ තැලිලා පොඩි වෙලා මිරිකිලා විනාශ වෙලා යන ගැහැණුන්ගෙ කතාව ඔයා කොහොමද පිටු 144 කට ගන්න විස්මකර්ම වැඩේ කළේ…‘‘

http://tharurasi.blogspot.co.uk/2015/07/blog-post_9.html

  1. බොරු කියන්නේ මොකටද මටනම් පොත වැඩිය ඇල්ලුවේ නෑ තරූ.. සමාජය ගැන පොඩි මිස් රීඩිං එකක් එතන තියෙනවා කියලා හිතුනා.. ඊට වඩා දහස් ගුණයකින් ඔබේ මේ හඳුන්වාදීමනම් හොඳයි. මේක හැමෝගෙම කතාව කියලා දාන්නේ නැතුව ‘අරුන්දතීලගේ කතාව’ කියල ලියවුනානම් හිත හදා ගන්න තිබුනා. මොකද හොඳින් යහපත්ව රැකවරණයක් යටතේ හැදෙන වැඩෙන වැඩිහරියක් කාන්තාවන් අතර ඉඳහිට ‘අරුන්දතී’ලත් හමුවෙන නිසා. ඔබ හිතන්නේ අද සමාජේ හැම ගැහැණියකගේම කතාවද මේ? එතකොට පිරිමි අපි සියඹලා ගෙනියන්නෙම නද්ද?

    Reply

පළමු ආචාර වෙඩිමුරය…

ඔයා හිතන විදිය ගැන වරදක් කියන්න බෑ.. මේ සමස්ත ගැහැණුන්ගේ කතාව නෙවෙයි… ඒක ඇත්ත.. පිරිමි කියන්නෙ අන්තිම දරුණු සර්ප ගණයකුත් නෙවි.. ආදරවන්ත පිරිමි, ගැහැණු ඉන්නවා.. ආදරවන්ත ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා තියෙනවා… විප්ලවීය සිහිනයන් වෙනුවෙන් අවංකවම කැපවුණු ගැහැණු මිනිස්සු ඉන්නවා… නමුත් ඒ අතර මෙවැනි කතාත් තියෙනවා…

ඔන්න දැන් මම කතාව කියවල ඉවරයි… කතන්දර කලාවෙන් මේ කතාව කියාගෙන ගිය විදියට මම කැමතියි. ඒ අස්සෙ සුරේකා පොඩි ආකෘතික වෙනස්කම් කිහිපයකුත් කරල තියෙනවා. වඩාත් මගේ හිත ගත්තෙ මේ කතා ලතාව.

වාමවාදී ව්‍යාපාර එක්ක අතරමං වුණ ගැහැණු දෙන්නෙක් ඉන්නවා… සමන්තා මැණිකේ, අරුන්දතී බණ්ඩාර… ඒ කතා දුක්බරයි.. විප්ලවීය සිහින පොදි බැඳගෙන වමට හැරෙන කාන්තාව පාවිච්චි වෙන විදිය ගැන දරුණු කතිකාවක් තියෙනවා. ඒ ගැන මට මොනවත්ම කියන්න අමාරු මං ඒ අස්සෙ ගැවසිලා අත්දැකීම් ලබල නැති නිසා… තවත් නොඑක් ආකාර දුක්වේදනාවලට පාත්‍ර වුණ ගැහැණු මිනිස්සු ඉන්නවා… ඇලෙක්, නිහාල්, මයන්ත, නිරෝෂන් වගේ චරිත ගැන වුණත් වෙන වෙනම කතා කරන්න පුළුවනි..

මගේ හිතත් රිදුණු බිඳුණු තැනක් තියෙනවා… ඒ අරුන්දතී තමන්ගෙ තාත්තා එක්කම යහන්ගත වීම… එහෙම වෙන අවස්ථා නැතිව නෙවි. ඒත් ඒක දරාගන්න අමාරුයි… සර්පයකු සමඟ සටන් වැද කතාව මතක් වුණා…

අවුරුදු ගාණක දේශපාලන වෙනස්වීම් කෙටියෙන් කතාව ඇතුළට ගොනු කරන්න යද්දි සමහර තැන්වල හදිසි වාර්තාමය ගතියක් මතුවෙනවා.. මට ඒක දැණුනෙ රාජපක්ෂ පාලන කාලය ගැන කියාගෙන යද්දි. සමහර විට ඒ අපි හොඳින්ම දන්නා කාලයක් නිසාත් වෙන්න ඇති….

සුරේකා කතාවක් කියල තියෙනවා… ඒ ගැන විචාර විවේචන රසවිඳීම් ගොඩනැගෙන්න ඕන… මේ කතිකාව ඉදිරියට යන්න ඕන ආදරය අලුත් කරගනිමින් විප්ලවීය සිහින සැබෑ කරගන්න නම් මිනිස්සු විදියට අපි කොයි තරම් වෙනස් වෙන්න ඕනද? නම්‍යශීලී වෙන්න ඕනද? ආදරවන්ත වෙන්න ඕනද කියන කාරණා එක්ක කියලයි මම හිතන්නේ….

කතාව අන්තිමට දොරකඩින් එබුණු පුංචි අරුන්දතී වගේ අපේ දරුවන් වෙනුවෙන් මේ ලෝකය මීට වඩා යහපත් තැනක් කරන්නෙ කොහොමද කියන කාරණය මේ කතාව හරහා වැඩි වගකීමකින් හිතල බලන්න අපි යොමු වෙන්න ඕන…

මේ සුරේකා ගෙ පළමු නවකතාව… සාර්ථක ඉදිරි ගමනකට හොඳ ආරම්භයක් කියල මම හිතනවා…

Related Posts

2 Comments

  1. තරුරසී July 13, 2015 at 7:42 am - 

    ස්තුතියි… කමෙන්ට් එකකට පිළිතුරක් ලෙස පළ කළ අදහසක් එකතු කළ එක ගැන වැඩියත්ම සතුටුයි…

  2. Linton Fernando July 13, 2015 at 10:03 am - 

    අර කථාව මේ කථාව
    කාගෙ කාගෙත් කථාව
    ඒත් අනේ මේ කථාව
    නොවේවා කාගෙත් කථාව

    I think this story should be read by all of us or most of us. But I personally feel that since the introduction is too hard to understand for “most of us” someone (“most of us”) may not read the book thinking that the story is also written in the same style… therefore i kindly request you to add the introduction in a simple language so that it is understood by this “most of us” and encourage “most of us” to read the book.
    Hats off for your courage to write a first novel of this nature…..

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල