විචාර, විශේෂ

තාමරෛකුළම් මැද පිපුණු හෘදයාංගම නෙළුම් කැකුළු.. Inside out of ‘Journey to Thalawakele’ by Katussa

Off

“ජීවිතේ කියන්නේ මොකද්ද සර්….?”
එදා මීරියබැද්ද නාය යාමේදී තම පවුලේ සාමාජිකයන් අහිමිවූ තරුණයෙක් මාධ්‍යවේදී කැමරාවක් ඉදිරිපිටදී ඇසූ ප්‍රශ්නයට මාගේ හිත ගොඩක් සංවේදී වුනා.එදා ඔහු එම ප්‍රශ්ණය අසනවිට තෙත්වුන දෙනෙතෙන් රූපවාහිනිය නැරඹූ අයුරු මට තාමත් මතකයි.ඒ ප්‍රශ්නයම මටත් අහන්න වෙයි කියලා එදා මට නිකමටවත් හිතුනේ නෑ.
“ජීවිතය කියන්නේ මොකද්ද බං…?”
නෙළුම් යාය විසින් තලවකැලේ බලා ගිය නෑගමන අවසානයේ හිතට නැගුන එම ප්‍රශ්නය මම උඹලා ඉස්සරහා අතාරිනවා.හැබැයි ඒ උඹලාගෙන් උත්තර බලාපොරොත්තුවෙන්නම් නෙමෙයි.උඹලාගෙන් මනුස්සකම බලාපොරොත්තුවෙන්.
අවසාන මොහොත දක්වාම නොයනවායි කියා තීරණය කරතිබූ එම නෑගමනට සහභාගීවුවේ  කමියාගේ දැඩි පෙරෙත්තය නිසාමයි.ඒත් ඒ ගමන අවසානවූවේ එම ගමනට සහභාගීවීම හොඳද නරකද කියලා සිතාගන්න බැරි සිතුවිල්ලක මාගේ සිත අතරමංකරමින්.ගොඩගම හංදියෙන් බස් රථයට ගොඩවුනේ “තවත් එක් ට්‍රිප් එකක්” යනවා කියන සිතුවිල්ලෙන්.නොයෙක් විහිළු කතා,අල්ලාප සල්ලාපයෙන් දෙසවන් පිනවමින් ,මෙතෙක් හමුවී නොතිබූ අයවළුන් හදුනාගනිමින් ,හිමාශිට කෑම වෙලාව මතක් කර කර වදදෙමින් බස් රථයේ ඩ්‍රයිවර් අයියාගේ දක්ශකම නිසාම පයින් ඇවිදින්න තිබුන දුර ගොඩක් අඩුකරගන පලනි විසින් නවාතැන් සපයාතිබූ ස්ථානය අසලටම වාගේ බස් රථයෙන්ම යන්න අපිට පුළුවන්වුනා.එම නිවසට යනවිට කට්ටියම හිටියේ හොඳ බඩගින්නේ.පුටුවලට වාරුවෙලා නිවසේ තිබූ රූපවාහිණියට ඇස් අලෝගන ක්‍රිකට් තරඟය බැළුවේ පලනි ඇතුළු කණ්ඩායම කොයි වෙලාවි බත් පිගාන ගෙනත් දේවිදැයි නොයිවසිල්ලෙන්.ඒත් බත් පිගාන වෙනුවට පලනි ගෙනාවේ අසුබ ආරංචියක්.
“කෑම තව ටිකක් පරක්කුයි…එතකම් අපි අර ඉස්කෝලෙට ගිහින් එමුද…?”
හිටිය ඔක්කොගෙම වාගේ මූණූ රොටිය වගේ වුනා.(හැබැයි හිමාශිගේ මූණනම් වෙනස් වුනේ නැතුව ඇති.ඒකාට ආමාශයක් උප්පත්තියෙන්ම පිහිටා නැති බව කෑමවේල් 3ක් අවසාන වෙනකොට අපි තේරුම්ගත්තා.)
“කොච්චර දුරද…?”
“එහෙමට දුරක් නෑ…ළඟයි…විනාඩි 15ක් විතර යන්නේ…”
කන්නත් නැතුව මෙතනට වෙලා රබං ගන්න’යෑ….
“යමු…එහෙනම් ගිහින් එමු…”කවුරුහරි කෙඳිරිගෑවා.
පලනිගේ විනාඩි 15 රබර් විනාඩි 15ක් කියලා තේරුම්ගන්න කට්ටියට වැඩිවෙලාවක් ගියේ නෑ.නහයෙන්,කටින් පමණක් නොව සමහර එවුන් පසුපසින් පවා හුස්මගනිද්දී, ෆිල්ටර්කොට කටින් එළියට පනිද්දී යන්තම් විනාඩි 40න් විතර අදාල පාසලට අපි ගියා.එතකොට වෙලාව 1.30ට විතර ඇති.අනේ දෙවියනේ…..සෙරප්පු දාගත්තු, කැඩුණු සපත්තු දා ගත්තු,කහ ගැහුණු කමිස,ගවුම් වලින්,නැත්තන් කහපාට මකාගන්න ඕනෑවටත් වඩා නිල් යෙදූ කමිස,ගවුම් වලින් සැරසුන පොඩි එවුන් ටිකක් ලේන්නු අරගන ගිය දත් නැති කටවලින් හිනා වෙවී තමන්ගේ ටීචර් එක්ක අපි එනදිහා බලන් ඉන්නවා. බඩගින්න,පයින් ඇවිදපු මහන්සිය නිසා යන්තමින් වගේ හිත කොනක තිබුන නොරිස්සුමම මගේ ආත්මාභිමානය පුච්චලා දැම්මා, අළුවත් ඉතුරු නොකර.වැඩිම වුනොත් අපි එක පැයක් හෙන බඩගින්නේ ඉන්න ඇති.ඒත් ඒ පොඩි එවුන්….සමහර විට උදේ ඉදන් බඩගින්නේ උන්ට ගෙනත් දෙනවයි කියපු තෑගි හම්බවෙනකම් එතන වෙන්න ඇති.තෙත්විච්ච ඇස් අනිත් එවුන්ට නොපෙන්වා ඉන්න අසාර්ථක රංගනයක නිරතවුනේ මම විතරක්නම් නෙමෙයි.හැබැයි ඒ ඉස්සල්ලාම එළියට පැන්න කඳුළු අතරේ පොඩි එවුන් ගැන ඇතිවුන අනුකම්පාවට වඩා තමන් ගැනම ඇතිවුන ලැජ්ජාව දියවෙලා තිබුනා කියලා මම කිවුවොත් එතන හිටපු ගොඩක් එවුන් මාත් එක්ක එකඟවෙයි.

තමන් ගැනම ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි හිටිය අපේ එවුන්ව උස්සලා පොලවේ ගහන්න එතන හිටපු පොඩි එවුන්ට තප්පර 10ක්වත් ගියේ නෑ.අපි මේ රටට එන සංචාරකයෝ එක්ක කතාකරනවා. රැකියාවේදී, අධ්‍යාපන කටයුතුවලදී හමුවන විදේශිකයෝ එක්ක අදහස් හුවමාරු කරගන්නවා.සමහර වේලාවල් වලදී අපේ කියලා බල්ලෙක්වත් නැති දේශ දේශාන්තරවල නතරවීගන විදේශිකයෝ එක්ක රැකියාවල යෙදෙනවා.ඒත් එතන හිටපු අපි එකෙක්ටවත් කොළඹ ඉදන් කිලෝ මීටර 200ක් විතර ඈතින් ඉන්න අපේම පොඩි එවුන් ටිකක් එක්ක අදහස් හුවමාරු කරගන්න බැරුව අසරණවුනහැටි…..මතක් වෙනකොටත් මැරෙන්න තරම් ලැජ්ජයි.තමන් දෙමළ වීම නිසාම දෙමළන්ට මේ රටේදී අමුතු අසාධාරණයක් ඇතිවුනේ නෑ කියන බක පඬීස්ලාට එම ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න ඉස්සල්ලා ඔවුන්ව මේවගේ පොඩි එවුන් ගොඩක් මැද්දේ තනිකලානම් ඔවුන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන ඈයන්ට වචන ගොඩක් ඉතුරුකරගන්න තිබුනා.කොහොමින් කොහොම හරි ඒ පොඩි එවුන් මැද්දේ හරිම ආදරණීය විදිහට හෝරාවක් විතර ගෙවුනා.ඒ අයට ගෙනාපු තෑගි ටික ඒ පොඩි අත්වලට දෙනකොට උන්ගේ ඇස් දිහා තෙත් නොවුන දෑසින් නොබලපු අපේ එකෙක්වත් එතන නොහිටින්න ඇති.එතනදී ආදරය ,ලෙංගතුකම,සහෝදරකම එක්කම ලැජ්ජාවත් අඩුනැතුවම පොදිගහගත්තු අපි අනිත් පාසලටත් යන්න සූදානම් වුනේ ආපහු එනවා කියන පොරොන්දුව ඒ පොඩි එවුන්ට ලබාදෙමින්.යකෙක් කන්න තරම් බඩගින්නේ හිටපු එවුන්ගේ බඩ වගේම හිතත් ඒ පොඩි එවුන් උන්ගේ ආදරයෙනුත් අපේ ආත්මාභිමානයට සිදුකල පහරදීමෙන් ඇතිවුන ලැජ්ජාවෙනුත් පුරවලා තිබුන නිසා එකෙක්වත් කෑම ගැනනම් කතාකලේ නෑ ආපහු.අපේ කට්ටියගේ කඳු නැගීමේ දක්ශකම දැකලා බයවෙලා හිටපු පළනිලගේ ඇත්තෝ ඊළඟ පාසලවෙත යාමට අපිට වෑන් රථයක් සූදානම් කරලා තිබුනා.අර මලියා ,හිමාශි වගේ සද්ධන්ත එවුනුත් පටවගන ජපන් කාරයන්ටත් දුක හිතෙන විදිහට වෑන් එක කෙඳිරිගගා අදාල තැනට ආවා.ඒ පාසල සා.පෙළ දක්වා පන්ති තිබුන, ප්‍රදේශය හා සාපේක්ශව සැලකීමේදී පිළිවලකට තිබුන පාසලක්.නොයෙක් වසරවල් වල පොඩ්ඩෝ ගොඩක් අපි එනවා කියලා බලන් ඉඳලා බැරිමතැන ගෙවල්වලට ගිහින්.ඒත් වැඩිවෙලා යන්න කලින් අපි ආවා කියන ආරංචියට රෑන් රෑන් ආපහු එන්න ගත්තා පාසලට.එහි විදුහල්පතිතුමාට සිංහළ කතාකරන්න පුළුවන්.ඔහු හා කතාකරද්දී අපට වැටහුනු ආකාරයට ඔහු යමක් කරන්න ඕනේකම තියන අවංක පුද්ගලයෙක්.අපේ වචනයෙන් කියනවානම් පාසල දියුණු කිරීමේ ඇම්මෙන් පෙළෙන මුල් ගුරුතුමෙක්.අජිත් අයියේ ,නෙළුම් යාය සංවිධායක මහත්වරුනී,ඔහු කල කතාවේ එක් කොටසක් මම මෙතන සටහන් කරන්නම්; මතක තබා ගන්න.ඉදිරියේදී සටහන් කිරීමට බලාපොරොත්තුවන එක් කරුණක් නිසාවෙන්.
“ගොඩක් කට්ටිය මෙහාට එනවා.මොනවා හරි දෙයක් දීලා තව දේවල් අරගන එනවා කියලා පොරොන්දු දීලා පොටෝ ගහගන යනවා.ආපහු පැත්ත පලාතේ එන්නේ නෑ….”
එතන ඉදපු පොඩි එවුන් එක්කත් ආදරයෙන්, ලෙංගතුකමෙන් හා ලැජ්ජාවෙන් හෝරා එකහාමාරක් විතර කාලය ගතකරපු අපි අපහු එන්න එළියට බැස්සා.විදුහල්පතිතුමා හිටපු හින්දද මන්දා පාසල ඇතුලේ මීයන් වගේ හිටපු ඔවුන් එළියට ඇවිත් අපිට දක්වපු හිතවත්කම…..අපිට එන්න නොදී අපිව වටකරගන දක්වපු සෙනෙහස….කවදහරි දවසක මැරෙන වෙලාවෙත් අපිට මතක්වේවී.

ආපහු නවාතැන වෙත ඇවිත් හිතේ තිබුන ලැජ්ජාවටද මන්දා පලනිලාගේ නිවෙස්වල ඇත්තන්ටත් බය හිතෙන විදිහට දිවා ආහාරය ගන්න පුළුවන්වුනා අපි කට්ටියටම.ඔන්න ඉතින් ඒකත් ඉවරවෙලා වෙවුල වෙවුල නාගන කියාගන රාත්‍රී සංදර්ශනයත් හමාර කරමින් නින්දට වැටුන කට්ටිය පහුවදා උදෑසනින්ම පිටත්වුනා නෙළුම්යාය සංවිධානය කරලා පවත්වන කාන්තා ක්‍රිකට් තරඟාවලිය තිබුන පාසලට.කණ්ඩායම් 6ක් පමන සහභාගී වෙනවායි කියා තිබුනත් එතනට ගියහම එතන කණ්ඩායම් 12ක් විතර හිටියා.කාන්තා ක්‍රිකට් තරඟාවලියක් කිවුවහම අපේ එවුන් දහසක් බලාපොරොත්තු තියන් හිටියත් අනේ එතනට ගියහම කණ්ඩායම් 10ක විතරම හිටියේ අපේ එවුන්ට “අංකල්” යැයි අමතන තරමේ “තරුණියෝ”ය.යන්තම් අපේ එවුන්ගේ පිණකට කටපුරා “නංගි”යි කියා ඇමතිය හැකි තරුණියන් සිටි කණ්ඩායම් දෙකක් තිබුනි.ඉතින් අපේ එවුන් ඒ කණ්ඩායම් 2 දිහා බලාගන සිතූ සිතුම්, පැතූ පැතුම් එම නංගිලාටද වැටහුනු බැවින් කොහේ හිටියත් කෙල්ලෝ කෙල්ලොමයි කියන කතාව සනාතකරමින් එවුන්ද මල් මල් සිනා, රැවුම් ගෙරවුම් නොඅඩුව අපවෙත ලබාදුනි.ඒ අතරින් අපිට පේන්න බාර් ගහපු මුම්ටාස්, මුම්ටාස්ගේ නැගෙණිය, අර කහපාට තොප්පියක් දාගන හිටපු ටජ්මහල් කැප්ටන්,රෝස පාට පිලේ දිග නංගීව සොයාගන අපේ එවුන් නැවතත් තළවකැලේ නොගියොත් එයද පුදුමයකි.බිඳකුඳු විශ්වාසකල නොහැක්කේ අපි අතර සිටි පොඩිම එකා වූ මලියාය.ටජ්මහල් කැප්ටන්ට සිතින් පෙම් බැඳීම නිසා මානසිකව ඔද්දල්වූ ඌගේ මානසිකත්වය යළිඳු යතා තත්වයට පත්වූවේ නැවත නිවෙස්බලා එන ගමනේ රංවල ආසන්නයේ හෝටලයක වූ වැසිකිළියක පැය භාගයක් පමන ගතකිරීමෙන් අනතුරුවය.කොහොමින් කොහොම හරි තෑගිත් දීලා ,නංගිලත් එක්ක පොටෝත් අරගන හවස 5ට විතර දවල්ටත් කාලා අපි නැවතත් කොළඹට එන්න පිටත්වුනා.ඒ එන අතරමගදී මේ ට්‍රිප් එකේ පළවෙනි පාරට “අපි කමුයි “කියා හිමාශි පැවසීම අපි කාටත් අදහාගන්න බැරි දෙයක්වුනා.කට්ටිය බෑ බෑ කියද්දි හිමාශි හොටල් 3-4ක් ළඟ වාහනේ නතර කෙරෙවුවත් ඒ හෝටල්වල කෑම තිබුනේ නෑ.ඒකෙන් අපි එක දෙයක් තේරුම් ගත්තා.ඒ හිමාශිගේ උප්පත්ති කේන්දරේ ග්‍රහ පිහිටීම් අනූව ඒකාට බඩගිනි නොවෙනවා සේම ඒකා සමග සිටින සියල්ලටම බඩගින්නේ සිටීමට සිදුවන ග්‍රහ යෝගයක් පිහිටා තිබෙන බවයි.කොහොම හරි හිමාශි වචනේ පිටකරලා පැයකට විතර පස්සේ කෑමත් කාලා නිවෙස්වලට එන්න අපිට පුළුවන්වුනා.
තොරණේ විස්තර ඉවරයි.දැන් අපි මාතෘකාවට එමු.

මේක ලිවුවේ ගමන් විස්තර, ආගිය තොරතුරු ඔබ ඉදිරියේ දිග හැරීමටනම් නෙමෙයි.ජීවිතයේ වැඩියෙන්ම දුක හිතුන,වැඩියෙන්ම ලැජ්ජා හිතුන, වැඩියෙන්ම සතුටු හිතුන ගමනක ඇතුලත සැඟවුන කතාවක යථාර්තය තුලින් ඔබට,මට අපේම වූ පොඩි එවුන් වෙනුවෙන්,අපේම වූ මිනිසුන් වෙනුවෙන් කලහැක්කේ කුමක්දැ’යි යන්න පිළිබඳව යම්කිසි හැඟීමක් සිත් තුල ජනිත කිරීමටය.මේ විදිහට දුක්විදිමින් ඉගනුම ලබන්නේ අප ගිය මේ වතුකරයේ පොඩි එවුන් පමණක්ම නෙමෙයි.මේ විදිහේ දරුවන් මේ රටේ සෑම තැනකම පාහේ විසිරී ජීවත් වෙනවා. අපි කොටහේනට, පංචිකාවත්තට, අතුරුගිරියට, හොරණට, අකුරැස්සට, මාතරට, රඹෑවට, ගම්පහට,කුරුණෑගලට ආදී වශයෙන් කොහේ ගියත් ප්‍රධාන’යැයි කියන පාසල් සමූහයෙන් වෙන්වුන පාසල්වල මෙවනි දරුවන් දුලභ නෑ.එවන් පසුබිමක අපි එදා තළවකැලේදී දුටුවේ දහස් ගනනක්වූ වරප්‍රසාද නොලත් අපේම දරුවන්ගෙන් ටික දෙනෙක් විතරයි.අපිට බෑ ඒ හැම දෙනාගෙම ජීවිත සුවපත් කරන්න.අපිට බෑ ඔවුන්ගේ හැම අඩුපාඩුවක්ම සපුරලන්න.ඒත් අපිට පුළුවන් අඳුරට සාප නොකර එක පහණක් හරි දල්වන්න.හරියට නෙළුම්යාය සංවිධායකයන් කලාවගේ.එදා ඒ ඉස්කෝලෙට ගිහින් සිය ගනනක් ළමුන් ඉන්න තැනකට සපත්තු ජෝඩු කීපයක් දෙද්දී මගේ හිත දොස් කිවුවා.මටත් ගොඩක් දුක හිතුනා.ඒත් දැන් ඒ ගැන හිතද්දී එහෙම හරි දෙයක් දෙන්න පුළුවන්වුන එකගැන විශාල සතුටක් හිතට දැනෙනවා.අජිත් අයියේ; (අජිත් අයියාව මේකට ඇදලා ගන්නේ බහුතරයක් හදුනන නෙළුම්යාය සංවිධායක ඔහු බැවිනි ) එදා ඔය ගමන ගැන තවත් ටිකක් හරි දැනුවත් කලානම් අපිට තව ටිකක් හරි වැඩිපුර දේවල් ඒ පොඩි එවුන්ට දෙන්න තිබුනා.එදා ගමනට ආපු වගේම නොආපු බහුතරයක් දෙනා ඔවැනි ත්‍යාග ලබාදීමක් ගැන දැනුවත්වෙලා හිටියේ නෑ.එහෙම වුනානම් ඒ එකෙක්වත් ඔය පිංකමට සහභාගීවීම කර අරින්නැති බව මම හොඳාකාරවම දන්නවා.අඩුමගානේ පෑන් පැන්සල් ටිකක්වත් උන් දෙනවා.මේ උත්සහා කරන්නේ ඔබලාගේ කාර්යය හෑල්ලු කිරීමටනම් නෙමෙයි.එදා සිදුවුන අඩුපාඩුවක් පෙන්නලා දෙන්න හදන උත්සහයක් විතරමයි.සමහර විට මෙවැනි තත්වයක් ඔබලාද බලාපොරොත්තු නොවුනා වියහැකිය.ඒත් මේ ගමන ඔබලා මෙතනින් නවත්වනවා’යැයි මම නොසිතන නිසාම ඔබලාට මෙන්ම අප සැමටත් ඒ සිදුවූ අඩුපාඩුව මගහරවා ගැනීමට අවස්ථාව ඇතිබවද මම විශ්වාස කරමි.තවද ඔබගෙන් ඉල්ලාසිටින අනිකුත් ප්‍රධානතම ඉල්ලීමනම් එදා එම පාසල්වලට අවශ්‍ය භාන්ඩ බෙදාදීමේ සද්කාර්යය තවත් පාසල් කරා ව්‍යාප්ත කීරීමට මත්තෙන් මෙම පාසල් දෙකේ සුවපත් කිරීමට නොහැකිවුන පොඩි සිත් සුවපත්කර සිටිමු’යි යන්නයි.ඉහතදී අප දෙවනියට ගිය පාසලේ මුල් ගුරුතුමාගේ කතාව උදෘත කලේත් එම හේතුව නිසාමය.ඒ සඳහා මීට වඩා පුළුල් වැඩ පිළිවලක් යොදාගමු.සහයෝගය දෙන්න කැමති අපගේ සහෝදර බ්ලොග් කරුවන්ගෙන් ඒ සඳහා උපකාර ලබාගමු.අජිත් අයියලාට තව උපකාර සපයාගැනීමට මාර්ග ඇත්නම් ඒවාද යොදාගනිමු.අර විදුහල්පතිතුමා පැවසූ ආකාරයට බොරුකාරයන් නොවී ඒ කටයුතු සිදුකරලා ඊළඟ අදියරට කකුළ උස්සමු.

ඊළඟ අදහස ගැන කියන්න කලින් මේක කියවලම එන්න.
“සිරාගේ කාමරේ – ලොකු දුව බැඳලා “

කියන්න අදහස් කරපු දේ පැහැදිලි ඇතැයි සිතනවා.සමහර විට තරමට වඩා වැඩි අදහසක් වෙන්න පුළුවන්.නැතිනම් අපිට කිසිසේත්ම අදාල නැති කටයුත්තක් කියලා හිතෙන්න පුළුවන්.ඒත් අඩුමගානේ ඔය කටයුත්තේ සම්බන්ධීකාරක කටයුත්තවත් නෙළුම් යාය හරහා කරන්න පුළුවන්නම් මෙවැනි මල් වට්ටියකට අත ගහන්න කැමති ,මල් වට්ටි නැතිනිසා උඩබලන් ඉන්න වෙලා තියන ගොඩ දෙනෙකුට ලොකු උපකාරයක් වෙයි.කවුරුහරි අඩුමගානේ එක දරුවෙකුට මාසෙකට රු.1000ක් දුන්නත් ඒ දරුවන්ට ඒක මහමෙරක් වේවි. ඒ පොඩි එවුන්ට පොතක්-පෑණක් ගන්න, විවේකකාලේදී කන්න බනිස් ගෙඩියක් අරගන්න ඒ මුදල ගොඩක් වටිවී.

දැන් අජිත් අයියේ මේ ගමන යද්දී මම වගේම ගමනට සහභාගී වූ බහුතරයක් බ්ලොග්කරුවන් දැණුවත්ව සිටි කාරණා 2ට එමු.ක්‍රිකට් තරඟය හා තාමරී කුළම් වෙබ් අඩවිය විවෘත කිරීම.ක්‍රිකට් තරඟාවලිය ගැනනම් කතා කරන්න දෙයක්නෑ.කවදාවත් ඔවුන්ට නොලැබුන අවස්ථාව ලබාගන්න ඔවුන් බොහොමත් උනන්දුවෙන් ක්‍රීඩාකලා.ඒ අවස්තාව ඒ දූවරුන්ට මහමෙරක් තරම්වුනා.ඔවුන් ඒ අවස්ථාව හොඳින් රස විඳිමින් මහත් සේ ප්‍රීතියෙන් ගෙවා දැම්මා.එවැනි අවස්ථාවක් ඔවුන් වෙත ලබා දුන්නාට නෙළුම් යායට බොහොමත් ස්තූතියි.ඒත් තාමරී කුළම් විවෘත කිරීමනම් සම්පූර්ණයෙන් අසාර්ථකයි.මේස රෙද්දකින් වහලා තිබුන බැනර් එකක් විවෘත කරමින් වෙබ් සයිට් එකක් ඕපන් කරනවා මම දැක්කමයි.දැන් කරන්න තියෙන්නේ තාමරී කුළම් නැවත විවෘතකිරීම නොව එම වෙබ් අඩවිය දෙමළ කියවන ජනතාව අතර ප්‍රසිද්ධ කිරීමට ප්‍රවර්ධන කටයුතු සිද්දකිරීමයි.කන්න බොන්න දීලා මුන්ව තලවකැලේ එක්කගන ගියා මදැයි කියලා හිතෙනවනම් සමාවෙන්න අජිත් අයියේ.කරන හම දේකටම හොඳයි හොඳයි කියල මුරුංගා අත්තේ තියන්න අජිත් අයියා පාර්ලිමේන්තු අපේක්ශකයෙක් නෙමෙයිනේ.මේ ලෝකේ ඉපදුණු ගමන් ඇවිදපු ළමයි හිටියේ උපාසක අම්මලා රවට්ටපු කතාවල විතරයි.හැම පොඩි එකෙක්ම ඇවිදින්න ඉස්සල්ලා බඩගාලා,දණගාලා ,වැටිලා තමයි ඇවිදින්න පටන්ගන්නේ.බලෙන් ඇවිද්දන්න ගියොත් පොඩීකාගේ කකුල බකල් වෙනවා.එතකොට මුළු ගමනම බකල්.අජිත් අයියලා ඒක හොඳට දන්නවා කියලා මම හොඳට දන්නවා.ඒ නිසා මේ යන ගමනෙදිත් වැටුනට, තුවාල උනට වැඩිය හිතන්නේ නෑ කියලත් මම දන්නවා.එහෙම උනා කියලා මේ ගමන නවත්තන්නේ නෑ කියලත් මම දන්නවා.ඒ ගමන යනකොට ;ඒ ගමනට ආශිර්වාද කරන ,තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඒ ගමනට සහයවෙන්න බලාගන ඉන්න කට්ටියකුත් ඉන්නවා කියන එක අමතක නොකර ඔළුවේ තියාගන්න.

හරි…නෙළුම්යායේ ඇත්තෝ ඉවරයි.දැන් අපේ එවුන්.මම දන්නවා.මේ බ්ලොග්කාරයෝ අතර ජීවිතේ ගොඩක් දුක්වින්ද එවුන් ඉන්නවා.ඒ වගේම කිසිම දුකක් කරදරයක් නැතුව ළමා කාලය ගතකරපු එවුන් වගේම රත්‍රං හැන්ද කටේ ගහගන ආපු එවුනුත් ඉන්නවා.ඒ කවුරු වුනත් අපි ඔක්කොම මනුස්සයෝ.මෙතන ඉන්න බහුතරයක් දෙනා තමන්ගේ දෙමාපියන්ට මෙන්ම නිදහස් අධ්‍යාපනයට පිංසිද්ධ වෙන්න යමක් කමක් ඉගනගන ඒ පිහිටෙන් කීයක් හරි හම්බකරගන්න ඇත්තෝ.මිනිස්සු විදිහට ඉපදුණු අපි අපිට ලැබුන අවස්තාව තවත් කාටහරි උදාකරලා දෙනවනම් ,ඒ දේ නිසා ඒ මනුස්සයා සතුටින් ජීවත්වෙනවනම් මේ ලබාගත්තු මනුස්ස ආත්මය ඇතුලේ අපිට සතුටුවෙන්න තවත් දෙයක් තියනවද?මේ පොඩි එවුනුත් ඒවගේ අපේ උදවු ලැබෙන්නම ඕනේ පිරිසක්.ඔවුන් මහාලොකු දේවල් අපෙන් ඉල්ලන්නේ නෑ.ඔවුන්ට ඕනේ අඩුපාඩුවක් නැතුව ඉගනගන්න අවශ්‍ය වටපිටාවක් විතරයි.මතක තියාගන්න.ඔවුන්ගේ අම්මලා තාත්තලා බහුතරයක් දිනකට රුපියල් 625/=ට දාඩිය වගුරවන කම්කරුවන් වග.ඒ වගේම බහුතරයක් අධික මත්පැන් පානයට ඇබ්බැහිවූවන් වග.එහෙම පරිසරයක ජීවත්වෙන මේ පොඩි එවුන්ටත් ඒ වගේ අනාගතයක් උරුම නොවන්නට තියන එකම ගැලවීමේ මාර්ගය අධ්‍යාපනය විතරමයි.ඒ නිසා පුළුවන් ආකාරයට මේ සද්කාර්යට අපිත් සම්මාදන්වෙමු.ගෙදර වැඩට කෙල්ලෙක්, වත්තේ වැඩට මිනිහෙක්, ළමයා බලාගන්න ගෑනියෙක්, කඩේ වැඩට කොල්ලෙක් හොයාගන වතුකරයට යනවා වෙනුවට තමන්ගේම දරුවෙක් බලන්න යනවා කියන හැඟීමෙන් එහාට යමු.තමන්ගේ දරුවා  කියන හැඟීමෙන් ඔවුන්ගේ අධ්‍යාපනයට සහයවෙමු.එතකොට අපි උඹලා මැරුන දවසට දෙවියොත් අපිත් එක්ක හිනාවේවි, හදවතින්ම.

කටුස්සා….

අජිත් අයියාගේ හිත රිදිලා වගෙයි.ඒත් හිත රිදෙන්න තරමට දෙයක් කියවුනාද කියන එකනම් මට සැකයි.මේක ලියුවේ කරපු කටයුත්තේ සමාලෝචනයකට මිසක ඒ කටයුත්ත සිදුකල හා මෙහෙයවූවනට දොස් පැවරීමටනම් නොවේය.එසේ සිදුකලේද මේ කටයුත්ත තාමත් නිමනොවූ කටයුත්ට්තක් බැවු මා විශ්වාසකරන නිසා එහි ඉදිරි කටයුතු මීටත් වඩා ක්‍රමවත්ව සිදුකිරීමට ඔබලා හට අදහසක් ලබාදීමට පමණකි.

දුන්න තෑගි මදියි කියලා කිවීමට ප්‍රධානතම හේතුවනම්;
ළමුන් දෙදෙනෙකු සිටින පවුලක එක් දරුවකුට පමණක් කිසිවකුගෙන් තෑග්ගක් ලදවිට අනිකාගේ මුහුනේ ඇතිවන වෙනස්වීම දියනියන් දෙදෙනෙකුගේ පියකුවන ඔබහට අමුතුවෙන් කියාදීමට මට අවැසිනැත.බොහෝ වේලාවල් වලදී ඔවුන්ගේ එම ඊර්ශ්‍යාව එම මොහොතට පමණක් සීමාවන අතර පසුව ඔවුන්ට ඒ කිසිම දෙයක් මතක නැත.ඒ ඔවුන් ළමුන් බැවිනි.එහෙත් දුකින් සිටින එකාගේ මූණ දකිනවිට අපට ඇතිවන දුක බොහෝ කාලයක් අපේ සිතින් පහව යන්නේ නැත.ඒ අප වැඩිහිටියන් වන බැවිනි.මා එම කරුණ මෙතනදී සටහන්කලේද එදා ඇතිවූ කම්පනය හා දුක නිසාවෙමිනි.ඒ පොඩි එවුන් වෙනුවෙන් තව මොනවාහරි අපිට කරන්න තිබුනා’යි කියන පශ්තාපයෙනි.ඔබ කල කාර්යය අවතක්සේරු කිරීමට කිසිදු උත්සහයක් එතන නොමතිබව තරයේම සිහිතබා ගන්නාමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

හිමාශි;
ඇගේ සංවිධාන ශක්තිය හෝ ඇය ඉටුකල කාර්යයභාර්යය පිළිබඳව කිසුඳු ගැටළුවක් එදා ගමනට සහභාගීවූ කිසිවකුගේ සිතේ ඇතිවීමට කිසිඳු ඉඩකඩක් නැත.ඒ ඇය එම කාර්යය ඕනෑවටත් වඩා හොදින් ඉටුකල බැවිනි.ඒ පිළිබඳව ඔබලාගේ මෙන්ම අපගේත් ගෞරවය ඇයට ලැබිය යුතුමය.මෙම ලිපියේදී හිමාශි පිළිබඳව වැඩිපුර සටහන්වුවේ පොඩි බයිටකට මිස ඇය පිලිබඳව අංශුමාත්‍රයක තරමටවත් අප්‍රසාදයකින් නොවේය.ඇය මෙන්ම දයා නෙත්තසිංහ, උපුල් නිශාන්ත, නිශාන්ත ප්‍රියදර්ශන යන සහෝදරයින්ද සුමිත් කළනසිරි නම් අපේ කමියාද සංවිධාන කටයුතු සදහා දැක්වු සහයෝගය අගය කලයුතුමය.එම කරුණ පිළිබඳව යම්කිසි සිත් රිදීමක් ඇතිවූයේනම් සමාව ඉල්ලාසිටින අතර හිමාශි ඒ පිළිබඳව කිසිසේත් මා සමග අමනාප නොවේයයි මා විශ්වාස කරන්නේ ඇය 2 වසරේ පොඩි එකෙකු නොවන නිසාවෙමිනි.

කෑම සහ බීම;
කිසිඳු සැලකිල්ලක් ගතයුතු නොවන මාතෘකාවකි.ඒ පිලිබඳව සැලකිලිමත්වෙමින් ගමන් යන්නේනම් යන්නේ මෙවැනි නෑගම් නොව මීටවඩා වෙනස් අකාරයේ ගමන්ය.ඒම කරුණ පිළිබඳව සම්පූර්ණයෙන් අමතක කර දමන්න.

\\ඊළඟ සැරේ යනවා නම් සංවිධායක හැටියට කටුස්සව දාමු\\
හීනෙකින්වත් නොසිතන්න.මෙම දිනවල ඇතිවී තිබෙන ගැටළුකාරී තත්වයන් නිසා මම කවුදැයි මටම අමතකව ඇත.එදා ගමනට සහභාගී වුවේද සති අන්ත දිනවල රජයේ කාර්යයාල වසා දමා ඇති නිසාවෙනි.මෙම ලිපිය ලිවුවේත් “නයිට් මේල්” එකේ එනගමන්.කමියා සහ ඇනෝපීලිස් ඒ පිළිබඳව හොදින් දන්නවා.ඉහත සදහන් කල පරිද්දෙන්ම හිමාශිගේ සහ කමියාගේ සංයෝගය කිසිසේත්ම වෙනස්කලයුතු නැත.

\\ඒ නිසා ලබන සැරේ මම නම් එන ආධාර ගන්නවා කවුරු මොනවා කීවත්\\
කිසිම අවුලක් නැත.කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හෝ මෙවැනි කටයුතු සිදුකල යුතුමය.ඕනෑ එකෙකුට ඕනෑම දෙයක් කිව හැකිය.එහෙත් අර පොඩි එවුන්ට සතුටක් දිය යුතුමය.ඒ ඕනෑම විවේචනයක් ඒ පොඩි එවුන්ගේ සිනහ ඉදිරිපිට නිශ්ප්‍රභාවන හෙයිනි.

ජය වේවා…..
කටුස්සා

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල