සඳැස් / නිසඳැස්

උඹ කොහෙද……???

Off

සත්තු වත්තෙ හොඳට හිටපු ඔරං ඔටං
දිනක් බලද්දී කූඩුවෙ මැරිල හිටං
මොකද කොරන්නේ මේකට කෙළා හුටං
හිතයි එහේ නව පාලක එතැන් පටං

දුර්ලභ වේ මේ ජාතියෙ සත්තු ලොවේ
කුමක් කරම් මෙතැනට මා අළුත්ම වේ
සත්තු වත්ත බලන පිරිස වැඩි වැඩි වේ
ඔරං ඔටං නැති පාඩුව විශාල වේ

ගණ දෙවි නුවණ පහළ වුණේ ඔහුට සැණින්
හනික ගොහින් කෙරුවේ එය සැමට කලින්
වහා දැම්මෙ දැන්වීමක් පුවත් පතින්
රඟපෑමට කෙනෙක් අවැසි සතා ලෙසින්

ඔරං ඔටං චරිතය රඟපෑම ගරු
පෝලිමෙ එයි ජොබ් එක වෙයි ඉතා සරු
ගතවෙයි මේ ලෙස එකිනෙක ගණන් වරු
එකෙක් තෝර ගත්තයි රඟපෑම හුරු

වානර ඇඳුමක් ඇඟලා මේ කොල්ලා
ඔරං ඔටං ලෙස හොඳහැටි වැඩ අල්ලා
හොයන්න බෑ මූ මිනිහෙක්දැයි කියලා
ඒ තරමට මුගෙ වැඩ කිඩ බලපල්ලා

අළුත් ඔරං ඔටංගෙ වැඩ බලන්නට
වැල නොකැඩී සෙනග පිරෙයි වලාවට
වඳුරු කොලුව දැන් දැන් වී කලාවට
ගහයි පිනුම් සෙනග පිරෙන වෙලාවට

එක දවසක් වුණේ වැඩකි මහ නරක
ගැහු කරණම පිම්ම වැරදි වෙලාවක
ගොහින් උඩින් එහා තිබුණු කූඩුවක
සිංහය ළඟට වැටුණේ මහ භයානක

සිංහය දැන් නැගිටියි තොල් ලෙවකාලා
ඔරං ඔටං දෙසට හැරෙයි ගොරවාලා
නරඹන්නන් සිත් හොඳහැටි කැලඹීලා
කුමක් වේද අනේ අපොයි හිතපල්ලා

පැමිණෙයි සිංහයා දැන් වී ළං ළංව
ඔරං ඔටං හිරවී බිත්තියෙ අගුව
ඇස් පියවා කෑ ගැහුවා මරු සිහිව
‘බුදු අම්මෝ’ මා බේරා ගනු මැනව

මොකක් බොලේ මේ විකාරෙ බලනු හොඳයි
නරඹන්නන් දැන් විස්මය වී ඇළලෙයි
ඔරං ඔටං වෙත සිංහය හෙමින් ඇදෙයි
ළංව වඳුරු කන වෙත ඌ මෙසේ කියයි

මචං උඹ කොහෙද… සබරෙද… බය වෙන්න එපා… මම ජ’පුරෙ……!!!

-අසංක ගයාන් අබේසිංහ-

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල