සංගීතය

“මල්ලියෙ කොහේ කොතැනක නුඹ සිටිනවද…”

Off
“යකෝ මං මෙච්චර නැහීගෙන දඟලන්නෙ තොට හොඳට උගන්නල මිනිහෙක් කරන්න. මේ විදියට නන්නත්තාරෙ ගිහින් කාලකණ්නි වෙන්න වටිනවද උඹට.”
 
“යකෝ මේක පුදුම කරුමයක් උනානෙ. උඹට ඉගෙන ගන්න බැරිවෙච්ච එකට මංද පලි? උඹට හැබෑ කරගන්න බැරිවෙච්ච හීන උඹ මගෙන් දකින්නද හදන්නෙ?”
 
“පාහරය, වටිනවද උඹට උඹේ අයියට ඔයවගේ කථාවක් කියන්න. යකෝ මගේ ඉස්කෝලෙ ගමනත් නවත්තල දාල මං ගල් වලේ ගල් තලන්නෙ උඹට උගන්නනන්න. එහෙව් මටද උඹ ඔය දැන් ඔහොම කතාකලේ?”
 
“ඔව්,ඔව්, ගෙදර හැමෝතම හැමදාමත් මං පාහරය, බල්ල, කාලකණ්නියා.තොපි සේරම හොඳයි. මමයි වරදකාරයා”
 
“අනේ බොලවු.. මට කනක් ඇහිල ඉන්න දීපියව්කෝ, ගෙට ගොඩ වෙච්ච වෙලේ ඉඳලා තොපි දෙන්නගෙ අඩව්ව.”
 
“අම්මෙ ටිකක් අම්මත් තේරුම්ගන්න. මූට ඕනි ඕනි පදේට හැමදාම නටන්න දීල මූව නන්නත්තාර වෙන්න අරින්න පුලුවන්ද. මං ගල්වලේ ගිනි කූටකේ ගල් තලන්නෙ ඒකටද. ඇයි මේ මීමට ඒක තේරෙන්නෙ නැත්තෙ? කන්න බොන්න ටික ගෙන්ත් දෙනවනම්, අධ්‍යාපනේට අඩුපාඩුවක් නොකරනවනම් මූට හෙනද ඉස්කෝලෙ වැඩ ටික හරියකට කරගෙන හොඳට ඉගෙනගන්නෙක.”
 
“උඹට අයිය හැමදාම කියවන්න තියෙන්නෙ ඔය ටිකනෙ. උඹේ ඔය මහ ලොකුකම උඹ අපිට කන්න ටිකක් ගෙනත් දෙන එකනේ. මං ගෙදරට වෙලා උඹෙන් නිකං කකා ඉන්න නිසානෙ මට උඹේ ඔය ලොකුකම් ඔක්කොම බලන් ඉන්න වෙලා තියෙන්නෙ. ඉඳින් මං හොඳ වැඩක් කරන්නම්.”
 
“පෙනේද අම්මෙ මේකගෙ කට. මූ මොකෙද්ද. මූ මොනාද මේ කියවන්නෙ. මේවට අම්මත් වැරදියි. අම්මගෙ බුරුල තමයි මේකගෙ මේ නහරං කමට ලොකුම හේතුව.”
 
“අනේ ඉතින් තොපි සේරගෙම සේරටම අන්තිමේ වැරදි කාරයා මේ නාකි මං තමයි. අනේ මංද බොලවු උඹල තව කල් යනකොට මේකෙ මරාගනී. පොඩි එකෝ, ඒ ගමන උඹ ඔය කොහෙද යන්නෙ කඟවේනා වගේ. අනේ මංදන්නෑ කොල්ලනේ උඹලට මොන යක්කු වැහිලද කියලා.”
 
***********************************************************************************************************************
 
තෙදවසකට පෙර ගොම්මනක මේ ඉඳි කඩුල්ල ලඟම සිදුවූ මේ දෙබස මේ දැන් දැන් වගේ මගේ කන් තුල තවම දෝංකාර දෙන්නේ මා මහා වැරදි කරුවකුයි මටම හඟවමිනි. තාත්තා අකාලයේ අප හැරදා ගිය දිනේ සිට කණකොක් පාට වෙච්ච අපේ ජීවිතේට කොහොම හරි එළියක් එකතුකරගන්න මං නොකරපු දෙයක් නැති තරම්. තනිවූ අම්මගේත් මල්ලීගේත් සියලු බර උරහිසට ගෙන ජීවන සටන් පිටියට මා බැසීමට තීරණය කලේ, පිය සුව්ඳ නික්මුණ පැල්පතක වැඩිමහල් දරුවාගෙ යුතුකම දෝතින්ම දරාගනිමිනි. 
 
උසස් පෙළ පංතියට ගොඩවී දෙමසක් ගත වෙන්නටත් මතු පාසැල් දිවියට සමුදී රතු මහත්තයාගෙ ගල් වැඩපලේ මා සේවයට ගියේ අඩවන් වූ වූ පාසල දොර දයාබර මලණුවන්ට හට වඩ වඩාත් විවර කර දෙමිනි. එදා සිට මාගේ ජීවිතයේ පරම සිහිනය වූයේ ඔහුට හොඳින් ඉගැන්වීමත්, මෑණියන් පෝෂණය කිරීමත්ය.
 
නමුදු පිය සෙනෙහයෙන් රැකවරණයෙන් මිදුනා වූද, මවු තුරුලෙහි තව තවත් සුරතල් වූද, මා දයාබර මලණුවන් හට අප තිදෙනා වෙනුවෙන් මා දුටු සිහිනය කැප නොවුනා සේය. නිදහසේ තටු විදා පියෑඹූ කුරුල්ලකු වූ ඔහුට ජීවිතයේ ගැඹුර පිලිබඳ අදහසක් තුන් සිත් මානයකවත් නොතිබූයේ ඔහුගේම වරදින්යැයි මා නොකියන්නේ ඔහුට එම ගැඹුර පෙන්වීමට තරම් නිවනක් මා හටද නොවූ හෙයිනි.
 
එහි අවසාන ප්‍රතිපලය වූයේ බොහෝ සැඳෑ යාමයන්හීදී අප නිවස තුල සිදුවූ ඉහත ආකාරයේ බහින්බස් වීම් හා මත ගැටුම්ය. නමුදු අද එය කවරදාකටත් වඩා උග්‍ර වී ඇත.
 
“අනේ දෙයියනේ මගෙ කොලුව… ඒක කොහේ ගිහින් ඇත්ද, මොන වැඩේ කලත් ඌ යසට හිටියා. ඉස්කෝලෙන් කට්ටි පැනපු එක ඇත්ත. කොලු රෑන එක්ක දඩාවතේ ගිය එකත් හරි. පොතක් අතින්වත් ඇල්ලුවෙ නෑ ඌ. ඒත් හැම හවහකම ඌ මගෙ උකුලෙ හිටියා. හීන් එකෙක් වගේ මට කියල බත් කව්ව ගත්තා. අනේ අද ඌ කෝ.. ලොකු පුතේ මට ඌව කොහෙන් හරි හොයල ගෙනත් දියන්, නැත්නම් මගෙ පපුව පැලෙයි..”
 
අම්මා මේ වක්‍රාකාරව පවසන්නේ මල්ලී පෙරේදා රාත්‍රියේ ලිපියක් ලියා තබා හොර රහසේම මහ රෑ අප හැර ගෙදරින් පලා ගිය හේතුවට මා වරදකරු වන බව නොවන්නේද. නො එසේනම් මා හද අභ්‍යන්තරයෙන්ම මගේම හෘද සාක්ෂියද මට අඟවන්නේ මා වරද කරුවකු බවටද. මා හට නොතේරේ. දන්නා එකම කරුණනම්, කුමන හෝ දුකක් විඳ මා උත්සාහ ගත්තේ ඔහුට හොඬ අධ්‍යාපනයක් ලබා දී මට විවර නොවූ සොඳුරු ලොව ඔහුට විවර කර දී මෑණියන්හටද නිරාමිස සතුටක් ලබා දීමයි. ඒ වෙනුවෙන් මම දහදිය හෙලීමි. දුක් විඳීමි, ඔහුට හරි මඟ කියාදීමට උත්සාහ කලෙමි. හොඳින් බැරිකොට බැණ වැදී හෝ උත්සාහ කලෙමි. නමුදු ඔහුවත්, කිසිවෙකුවත් මගේ ව්‍යායාමය වටහාගෙන නොමැති වී ඇත. මෑණියන් පවා දැන් මා දකිනුයේ ඇගේ සුරතල් පුතු ඇකයෙන් උදුරාගත් නරුමයකු විලසිනි.
 
නමුදු ඔහුවත්, කිසිවෙකුවත් මගේ ව්‍යායාමය වටහාගෙන නොමැති වී ඇත. මෑණියන් පවා දැන් මා දකිනුයේ ඇගේ සුරතල් පුතු ඇකයෙන් උදුරාගත් නරුමයකු විලසිනි. අසීමිතව ආදරය කල සොහොයුරාගේ හැරයාමත්, දයාබර මෑණියන්ගේ විලාපයත්, ශෝකයත් අතරම නැඟෙන මා පිළිබඳ නොපැහැදීම ආදී දහසකුත් එකක් දෝමනස්සයන් අතර හුදෙකලාවී මම කඩුල්ල අසලටවී වැටහිර කණුවේ හිස ගසාගෙන සිටින්නෙමි.
 
උඹේ හිතේ හයියට හිතුවක්කාරකමට උඹ අපිව දාලා රස්සාවක් හොයාගෙන ගියාට මලේ, මං දන්නව උඹේ හැටි, ගමේ ගොඩේ කරක්ගගහ ටැග් ගැහුනට උඹට හයිය නෑ රස්සාවක් කරන්න. රස්සාවක් හොයාගන්න. නගරේ හක්කලන් වෙන්න. මට දරාගන්න බැරි ඒකයි මලේ. මං දන්නෑ උඹ කොහේ කොහොම වැටිල ඉන්නවද කියලා. උඹ කොහේ නිදාගන්නවද, හිරිකඩේ කඩ පිලක උඹ ගුලි ගැහිලද, නැත්නම් කපටි ලොරි මුදලාලියෙකුගෙ ගෝලයෙක් වෙලාද, ගමෙන් ගමට, නගරෙන් නගරෙට, උඹ ලොරි බාග වල එල්ලි එල්ලි නිදිකිර කර යනව වත්ද. මෙහෙම ගිහින් උඹ කරවල වාඩියකතවත් පැටවෙයිද. මං දන්නෑ මලේ, මගෙ ඔලුව කචල් වෙලා උඹ ගැන හිතලම.
 
ඇයි උඹට නොතේරුනේ මං උඹට ආදරේ කරපු තරම, උඹ ගැන මං හිතපු තරම.උඹේ හොඳටම උඹට මං තරවටු කලාට, උඹ අපිට ඇයි මෙච්චර් දඬුවමක් දුන්නේ. උඹ ගැනම හිතල අම්මා දැන් ලෙඩවෙලා. ඒ මනුස්සයා දවස්ගානකින් බත් ඇටයක් කාල නෑ, කහට උගුරක් බීලා නෑ. ඇයි මල්ලියේ උඹ අපිට මේ තරම් වේදනාවක් දුන්නේ.
 
මං මේ හිතන දේවල් කොහොමද උඹට කියන්නේ. හිතිවිලි හුලඟෙ පාවෙලා හරි උඹේ කනට යනවනම්. හීනෙන් හරි ඉන්න තැනකට උඹට මේව ඇහෙනවනම්.. අනේ මලේ, උඹේ අයිය උඹට වඳින්නම්, අයියට සමාවෙලා, අම්ම ගැන හිතල වරෙන් ගෙදර…
“පින්නේ රැයේ කඩ අගුවක නිදනවද
ලොරියක ගෝනි මත්තේ නිදි කිරනවද
කරවල වාඩියක සිරවී තැවෙනවද
මල්ලියෙ කොහේ කොතැනක නුඹ සිටිනවද
 
අම්මා විඳ දරාගෙන හැම දුක් ගැහැට
නැති බැරි වුණත් දුක දුන්නේ නැහැ නුඹට
බැරි වුණු නිසා මට අකුරෙන් ජය ගන්ට
දහ දුක් ඉහිලුවේ නුඹ තැනකට ගන්ට
 
ඉස්කෝලේ නොයා කැලයට පැන්නාට
තරවටු කලේ ගුරු දෙගුරුන් නුඹෙ හොඳට
ගහ බැන්නේ හදාගන්නයි මං නුඹට
හිතුවේ අනේ ඇයි ඒ හැම වැරදියට
 
නුඹ නැති දා ඉඳන් අම්මා හැඞු කඳුලෙන්
ඔත්පල වුණා අප්පච්චී සංකාවෙන්
ගේ මළ ගෙයක් වාගෙයි අද නුඹ නැතියෙන්
හනිකට වරෙන් ඉගිලී ඉන්නා තැනෙකින්”
පද රචනය: කුලරත්න ආරියවංස
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය : සුනිල් එදිරිසිංහ
 
 
දැන් අහමු ගීතය..
 

(Pinne Raye – Sunil Edirisinghe)
 
 
 
***************************************
 
සටහන…
 
 
දිගු කාලාන්තරයකට පසු නැවත වතාවක් ඔබ වෙත ගී සංවේදනාවක් ගෙන ඒමට තරම් මම යලිත් වාසනාවන්ත වුනෙමි. පසුගිය පෝස්ටුවකින් මම ලිපි සියයේ කඩයිමට ලඟා වූ බව ඔබ සමඟ පැවසුවෙමි. ඒ මොහොතේ දයාබර සිංදු ඇනෝ කීවේ, එකසිය එක්වෙනි පෝස්ටුවෙන් හෝ කියවන්නට දෙයක් ලබා දෙන ලෙසයි. ඇත්තෙන්ම සියයේ කඩයිමට ලඟා වූ පසුව මා එය ඔබ හට දැනුම් දුන්නේ එකසිය එක්වෙනි පෝස්ටුවෙනි. කෙසේ වුවද මෙලෙස එකසිය දෙවන පෝස්ට්ටුව සමඟින් මා හට යලිත් ඔබ වෙත ගී සංවේදනාවකින් ලඟා වීමට මෙලෙස හැකියාව ලැබුණි. පසුගිය කාලය පුරාවටම නිබඬ මා ලඟම හිඳින්මින්, නිරතුරුවම ලිපියක් ලිවීමට මා දිරිමත් කරමින්, මා සමඟම සිටි මගේ දයාබර සහෘදයෙනි… ඔබට මාගේ නමස්කාරය…
 
එමෙන්ම මෙවෙලෙහි සඳහන් කලයුතු තවත් විශේෂතම කරුණක් නම්, මෙම ගීතය මා හට ලබා දෙමින් මීට කලකට ඉහතදී මේ සඳහා සංවේදනාවක් ලියමු යැයි යෝජනා කරන ලද්දේ අපේ දයාබර පත්තර මල්ලී බ්ලොග් රසවතායි.. එනිසා මේ මොහොතේ ඔහුවද දයාබරව සිහිපත් කරන්නෙමි…
 

 

 

http://masandumal.blogspot.com/2015/07/blog-post_27.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල