විවිධාංග

සීයගෙ මරණෙ සමඟ අටපිරිකර, සාංඝීක දාන කතා සමග “ධනපාල ICU” …..

Off

කාලෙකට පස්සෙ…. ආයුබෝවන් , වාසනාවන් කිව්වා ඔන්න එහෙනං කට්ටියටම.. දහසක් දේවල් ලියන්න හිතේ තිබුනත්, ඉවාන් “කරුමෙ ඩබල් පින සිංගල්” කිව්වෑහැ මිනිස්සුන්ට ප්‍රශ්ණ කරදර සහ කාර්යබහුලත්වය එනකොට එන්නෙ ගස් ගල් පෙරලාගෙන. පොඩි කෙල්ල ඉපදුණ දවසෙන් පටන්ගත්ත වෙලාවක් ඉස්පාසුවක් නැතිකම, ඊට හරියටම මාසෙකින් අපේ සීය අන්තරා උනාම ගිනි විජ්ජුම්බරයක් උනා…. හරි හරි සීයට නිවන් සැප ලැබේවා… උඹලගෙ බලවත් කණගාටුව නිසාවට ඔන්න දැන් අපේ සීය දිවිය ලෝකෙ…

සීයට අඩුවක් පාඩුවක් නොවෙන්න හැමදාම සලකපු අපට ඒ සම්බන්ධයෙන් අබමල් රේණුවක තරමක් වත් පසුතැවිල්ලක් හිතේ නෑ.. උන්දෑ ඉන්න කාලෙ හරියට කන්න බොන්න දීල බෙහෙත් අරන් දීල සාත්තු සප්පායම් කරල මැරෙනකල් හොඳින් බලාකියාගත්ත අපට අවුරුදු 87ක් ජීවත්වෙලා අපිව දාල ගියා කියල හිතේ ලොකු දුකක් නෑ. එක්තැන් නොවී , අපා දුක් විඳින්නෙ නැතුව එකම මුණුබුරාගේ අත උඩ අන්තිම හුස්ම අරින්න තරමට අපේ සීය පින් කරල තිබුණ.මළමිනිය මාකට් කරකර දවස් ගණන් වටේ මිනිස්සුන්ට එන හැත්ත බුරුත්තට කන්න දෙන්න කරදර කරකර ඉන්නඑක එක අතකින් බැලුවම  කරදරයක්වෙන  නිසාවට මැරුණු දාට පහුවදා උන්දැව ආදාහනය කළා. දුර ඉඳන් අවසාන ගෞරව දක්වන්න එන්න තරම් නෑදෑයෝ නැති නිසා වගේම එහෙම ඉන්න එවුං සීය ජීවත්වෙලා ඉන්න කාලෙ උන්නද මළාද කියල නිකමටවත් ඇහුවෙ බැලුවෙ නැත්තං ඒ වගේ නෑදෑයෝ “මිනිය බලල දෙකට නැවිල යන්න අහවල් එකකට එනවද” කියන අදහස හිතේ තිබුන නිසා කරවල උම්බලකඩ කරකර දවස් ගණන් මිණිය “මාකට්” නොකරන්න තීරණයකළා.

කවුරුහරි මළාම දුක ඉවසගන්න බැරුව අඬන්නේ මට නම් තේරෙන විදියට හේතු කාරණා කීපයක් නිසා. එකක් ඒ මැරුණු පුද්ගලයා සමහ තිබෙන කායික හෝ මානසික සම්බන්ධතාවය අහිමිවීමේ දුක නිසාවට. තවත් එකක් තමයි ඒ මැරුණු පුද්ගලයා නැතිවීමෙන් ඔහුගෙන්/ඇයගෙන්  ලැබෙන්න තියන දේවල් ආයෙමත් නොලැබෙන අඩුව සහ එයින් ඇතිවන පාඩුව සිහිවෙන නිසාවට. ජීවත්වෙලා ඉන්න කාලයෙදි ඔහු වෙනවෙන් කලයුතු යුතුකම් හරි ආකාරව ඉටුකරගැනීමට නොහැකිවූ නිසාවට. සහ ජීවත් වී සිටින කාලයේ ඒ පුද්ගලයාට යම් කෙනහිලිකමක් , අඩුපාඩුවක් තමන්ගෙන් සිදුවීම නිසා සිතෙහි ඇතිවන පසුතැවීම නිසාවට.

ඔය කාරණා වලින් අපේ හිතේ සීය සම්බන්ධයෙන් ඇතිඋන එකම දුකට හේතුව පලවෙනි කාරණාව විතරයි. කන් ඇහෙන්නෙ නැති නිසා ගෙනත් දීපු ශ්‍රවනාධාර උපකරණෙ කණේ ගහපු වෙලේ ඉඳන් “මේක ගලවහාන් ….. කණ කහනවා” කියනකොට ඒකට බැනපු විදිය මතක් වෙලා ඒ ගැනත් දුකක් නොහිතෙනව නෙවෙයි… මැරුණුදාට පහුවදා අවසන් කටයුතු සිද්ධ කලාට හත්දවසම එළිවෙනකල් ආපු උදවියට හරියට කන්න බොන්න දීල , බණ දවසෙ රෑ ගමේම මිනිස්සුන්ට බඩපිරෙන්න කන්න දීල පහුවදා සාංඝීක දානෙත් හොඳට දුන්නු පිනෙන් අපේ සීයගෙ පින් කලෙක්ෂන් එක තව ටිකක් තර වෙන්නැති.

“කොළුවො උඹ ආවද, කපමුද බං රැවුල, අද නැද්ද බං මැච් එකක්, ඉළබැරැන්ද රිදෙනව ගාපන්කො සිද්ධාලේප ටිකක් වත් , කෝ යකෝ මෙතන තිබ්බ බුළත් වට්ටිය , අම්මට වක්කොරන්න කියහන් කහට එකක් ” වගේ වචන සෙට් එකක් එක්ක ඩේලි මගෙත් එක්ක ගනුදෙනු කරපු සීය සදහටම යන්න ගිහිං. කොහේ ගිහිං ආවත් උන්දැගේ කාමරේ දොර රෙද්ද මෑත් කරලා බලල “සීයෙ” කියල මහ හයියෙන් කතාකළාම “ආ උඹ දැන්ද ආවේ” කියල උත්තර දෙන්න ඒ ඇඳ උඩ හිටපු සීය අද නෑ….. කෙලින් කටින් ඉන්න කාලෙ ගොවිතැන් කරපු, බුලත් කොටු හිටෝපු අපේ  සීය පණ වගේ රැකගත්තු උදළු, යවුල්, යකඩ ඉණි , ඉණේ බැඳගෙන හිටිය රිදී හවඩිය , බුලත් වට්ටිය , විට කොටන වංගෙඩිය තැන් තැන් වල තනිවෙලා… අපිට අල්ලන්න වත් නොදී පණ වගේ රැකගත්තු ඔය වගේ දේවල් යනකොට අරන් ගියාද? ජීවිතේ හැටි ඔහොම තමයි… ජීවත්වෙලා ඉන්න කාලෙ මොන සෙල්ලම් දැම්මත් අන්තිමට යන්න වෙනවා…

පඳුරු තලන්න පටන්ගත්තාම නවත්තගන්න බැරි උනා මිසක් මේ ලියමනේ ප්‍රධාන කාරණාව සහ මාතෘකාවට අදාළ දේ සීයගෙ අන්තරා වීම නෙවෙයි. පහුගිය කාලෙ බ්ලොග් එක පැත්තෙ එන්න වත් අනිත් බ්ලොග් කියවන්න වත් වෙලාවක් තිබුනෙ නෑ. අඩුමගානේ දොස්තර ලියමනට අපේ කට්ටිය දාපු කොමෙන්ටු වලට වගඋත්තර බැඳලා සංවාදයක් මතුකරගන්න වත් ඉස්පාසුවක් නැති උනා. ඒ ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. ඒ ලිපියේදී සමහරු වැරදි අදහසක් හිතේ දරාගෙන තිබුන. හැම දොස්තර කෙනෙක්ම ඒ කිව්වා වගේ එපා කරපු ටයිප් පොරවල් නෙවෙයි.මගෙ ලොකු මස්සිනාත් දොස්තර කෙනෙක්. ආස්සරේ කරන අතීසාර දොස්තර මිත්‍රයෝ කීපදෙනෙක්ම ඉන්නවා. මේ වගේ දේවල් මතුකරලා දක්වද්දී හැමෝම ඒ “නරක කුලකයට”වැටෙන්නෙ නැති බව පුනපුනා කියල තියනව. දෙවිවරු වගේ වෙදදුරෝ ඕනෑ තරම්.හැබැයි අරවගේ කාලකන්ණි නිසා හොඳ උන්ගෙ නමටත්  කැළලක් වෙන එක තමයි අවුල.

මාතෘකාවට එන්නම්… හත් දවසෙ දානෙට හාමුදුරුවන්ට දෙන පිරිකර මොනවද කියන මාතෘකාව… “පන්සලේ ලොකු හාමුදුරුවන්ට අටපිරිකරක් දෙන්න එපැයි” … “අටපිරිකර සහ සෙසු පිරිකර” …..”සෙසු පිරිකර වලට සීනි, කිරිපැකට්, සබන්, බුරුසු, රේසර්?”…. “මළගෙදර,දාන වලට වියදම් වැඩි නිසා හැමෝටම අටපිරිකර දෙන්න විදියකුත් නෑ”…..දානෙ දවසට කලින් දවසෙ අපේ කතාබහක් තමයි ඒ… එකදිගටම යෙදුනු දේවල් නිසා ඇත්තටම ගෙදර ආර්ථිකේ නට්ටන් වෙලා තිබ්බෙ. ඔය වගේ කාලෙට අපේ තාත්ත කියන්නෙ “ධනපාල ICU” කියල. (දැඩි සත්කාර ඒකකේ) “ඔක්කොටම කලින් නායක හාමුදුරුවන්ට කතාකරල ඉමු” තාත්තගෙ අයිඩියාව.

“ලොකු හාමුදුරුවනේ අපේ මළගෙදර හත් දවසෙ දානෙට දෙන පිරිකර ගැන කතාබහ කරගන්නයි ආවෙ, අටපිරිකරකුයි ඉතුරු හයනමට සෙසු පිරිකරයි පූජා කරන්න තමයි අදහස.ඔබවහන්සෙ පූජකරන අටපිරිකර පරිහරණය කරනව නේද?”…. “බොහොම හොඳයි මහත්තය මට මේ දවස් වල පාවිච්චි කරන්න අටපිරිකරක් උවමනා කරල තියනවා නං තමයි. එහෙම අදහසක් තියනවා නං මං පාවිච්චි කරන අටපිරිකර ගැන යක්කල අසවල් පිරිකර කඩේ මුදලාලිට කිව්වම කියාවි සෙසු පිරිකර වලට මහත්තය දෙන්න අදහස් කරගෙන ඉන්නෙ මොනවද?” තාත්තා කලින් හිතාගෙන හිටපු විස්තරේ හාමුදුරුවන්ට කිව්වම හාමුදුරුවෝ කියපු කතන්දරේ තමයි මෙතන වැදගත්ම කතාව. ඇත්තටම මම මේ පෝස්ටුව ලියන්න හේතු වෙච්ච මූලිකම කාරණාවත් ඒකමයි.

“මහත්තය ( මහත්තය කතාව මෙතන දාන්නෙ ඇත්තටම හාමුදුරුවො එහෙම කියන නිසා මිසක් අර පත්තරකාරයො හැම කෙහෙල්මලටම මුලට දාන ලොකු ටයිප් ටෝක් එක නිසා නෙවෙයි)දානෙට වඩින පොඩි නමවල් පිරිවෙන් වල ඉගෙනගන්න බොහොම පොඩි දුප්පත් පන්සල් වල ඉන්න උදවිය. ඒ උදවියට ඉගෙනගන්න කාලෙ මුදල් උවමනයි. මහත්තේලා රුපියල් දෙසීයක් වියදම් කරල සීනියි තේකොලයි පිරිකරක් විදියට පූජා කලා කියල ඔය උදවිය ඒ දේවල් පාවිච්චි කරන්නෙ නෑ. ඒ දේවල් හැම තැන වලින්ම පිරිකර විදියට ලැබෙනව. උන්නාන්සෙල කරන්නෙ ඕක විකුණලා මුදල් කරගෙන වියදම් වලට තියාගන්නෙක. මහත්තේල රුපියල් සීයක් වියදම් කරලා සීනි කිලෝ එකක් දුන්නම හාමුදුරුවරු ඒක තම්බි මුදලාලිට රුපියල් පනහකට විකුනගන්නවා. සීයක් දෙන එකෙන් ප්‍රයෝජනයක් වෙන්නෙ රුපියල් පණහයි. අහක ඉන්න මනුස්සයෙක් අරකෙන් බාගයක් උපයගන්නවා. ඒ නිසා මෙහෙම කරන්න. අරගන්න පොඩි ඇක්සයිස් පොත් හයක් . මහත්තේල පිරිකරට වියදම් කරන්නෙ රුපියල් සීය නම් ඒ සීය අර පොත අස්සට දාල බ්‍රවුන් පේපර් කොලේක ඔතල පිළිගන්වන්න. මහත්තෙලාට ඒ දානෙ ආනිසංසේ ඒ විදියටම ලැබෙනවා වගේම හාමුදුරුවරුන්ටත් ඒක ලොකු උදව්වක් වෙනවා”ඔන්න කතන්දරේ.

මගේ ක්‍රමේට අනුව නම් හරිම කාලෝචිතයි. තර්කානුකූලයි. හාමුදුරුවරුන්ට මුදල් අකැපයි කිව්වට මුදල් මූලික වෙච්ච සමාජෙ උන්නාන්සේලාගේ වියපැහැදම් කවුද පියවන්නේ? ලොකු පන්සල් වලට මිලමුදල් යහමින් ලැබුනට ගමේ පොඩි පන්සල් වල හාමුදුරුවරු ගමන් වියදම්,බේත්හේත් වලට මුදල් ගොයාගන්නෙ ඔය පිරිකර ටික විකුණලා තමයි.එකෙන් බාගයක් ලාභ ගන්නෙ පන්සල් බඩු එකතුකරන මුදලාලි. බොහෝවිට මුස්ලිම් මනුස්සයෙක්. එහෙම බැලුවම හාමුදුරුවන්ගෙ “පිරිකර මෙතඩ් එක” කොච්චර සාධාරණද,  කොච්චර තාර්කිකද, කාලෝචිතද … ලොකු හාමුදුරුවෝ කිව්වා විදියටම පොත් අස්සෙ රුපියල් දාහ ගානෙ දාල සෙසු පිරිකර පිළිගැන්නුවේ බොහොම සන්තෝසෙන්. ඒ මුදලට බඩු භාණ්ඩ වලින් පිරිකර දුන්න නං හාමුදුරුවන්ට හම්බවෙන්නෙ රුපියල් පන්සීයයි බොහෝවිට.

ලොකු හාමුදුරුවන්ට අටපිරිකර ගන්න පිරිකර කඩේට ගියාම වෙච්ච සිද්ධියත් පිරිකර මුදලාලි කියපු කතාවත් අහන්න වටිනා නිසා ඒකත් කියල දාන්නම්. අපේ පන්සලේ නම සඳහන් කරලා ලොකුහමුදුරුවෝ අඳින වර්ගයේ අටපිරිකරක් කියල කිව්වම මුදලාලි වර්ග කීපෙක කට්ටල කීපයක් පෙන්නුවා. රුපියල් 2500 ඉඳල 6500 වෙනකල් මිළ නියමවුණු. එවෙලේම මුදලාලිට කිව්වා හාමුදුරුවන්ට කෝල් එකක් අරගෙන අහන්න කියල මොකද්ද ඕන කියල. ඇමතුම අරගෙන කතාකරලා ඉවරවෙච්ච මුදලාලි කියනව “හාමුදුරුවො කිව්වා මට මිනිස්සුන්ට වියදම් කරවන්න උවමනා නෑ සාමාන්‍ය එකක් දීල එවන්න”කියල. “එතකොට මේ 6500 එක?” .. “ඒක මහත්තය තායිලන්ත අටපිරිකරක්.”.. “මොකක්ද වෙනස?” .. “සිවුර බොහොම සනීපයි ,උපකරණත් හොඳ කොලිටි එව්ව”…  ඊට පස්සෙ තමයි  මුදලාලි අර මං කිව්ව හොඳම ටෝක් එක දෙන්නෙ. “මහත්තය… අපි මගුල් ගෙදරක යනකොට හොඳට ඇඳලා ටයි කෝට් දාගෙන යනව නේද බොහොම උජාරුවෙන්? හාමුදුරුවරුත් ඒ වගේ තමයි. සංඝ සභා , ලොකු පින්කම් වලට බොහොම උජාරුවට තායිලන්ත සිවුර ඇඳලා වඩින්නේ”.. යකොඩෝ ඉතිං අපේ හාමුදුරුවොත් එහෙම උජාරුවට වඩින්න එපැයි… ඒ නිසා  ඒක අරගෙන හාමුදුරුවන්ට ඒ ගැන කිව්වම “අනේ මොකටද ඒකක් ගත්තෙ මහත්තය. අපරාදෙ එව්ව හරි ගණන්නෙ” කියල කිව්වට ඒ වෙලාවේ හාමුදුරුවන්ට දැනුන සතුට ඒ කටහඬේ තිබුණ.

සිවුරක් ඇඳලා හිටියට හාමුදුරුවරුත් අපි වගේම පෘතග්ජන උදවිය. උන්නාන්සෙලටත් ආශාවල් තියනව. කන්න කැමති කෑම බීම වර්ග තියනව. හාමුදුරුවෝ එක්ක කතාකරල කැමැත්ත දැනගෙන එකපාරක් පන්සලට දානෙට ඌරුමස් උයලත් ගිහිං දීල තියනව. එක කිව්වම මතක් උනේ. මගේ අතීසාර මිත්‍රයා මුද්දා, එහෙමත් නැත්තං ඇනොපිලිස් කියල බ්ලොග් එකක් ලියන බුවා. ඌ කියපු විදියට උන්ගේ පන්සලේ ලොකු හාමුදුරුවෝ අයිස්ක්‍රීම් කන්න බොහොම කැමතියි. හැබැයි පන්සලේ ෆ්‍රිජ් එකක් නෑ… උන්ගේ දානෙ තියන දවසට ලීටර් බාගෙ එක එක ජාති වල අයිස්ක්‍රීම් පහක් විතර කූල් බොක්ස් එකකට අයිස් කැට දාල ඒකෙ අහුරලා ගිහිං පූජ කරනවලු. හාමුදුරුවොත් බොහොම සන්තෝසෙන් ඒක පිළිඅරගෙන සතියක් විතර තිස්සෙ තියාගෙන  ඒව  වළඳලා ඇබිත්තය අතේ කූල් බොක්ස් එක ආපහු එවනවලු. වැඩේ කොයිතරම් වටිනවද….

මම දන්න තරමින් පන්සල් වලට දාන වලට උයන “ස්පෙසිෆික් මෙනු” එකක් තියනවා. කජු මාළුව , පොළොස් ඇඹුල, අල හොද්ද, කෙලවල්ලෝ මාළුව ඕකට අනිවාර්යෙන් ඇතුලත් වෙනව. හොඳට බලන්න හාමුදුරුවරු ඔය ජාති බොහෝ වෙලාවට කටේ තියන්නෙ නෑ. ඇයි හැම එකාම උයාගෙන එන්නේ ඔව්ව. හීල් දානෙට ඉඳියප්පනුයි පොළොස් මාළුවයි කාලා උන්නාන්සෙලට එපා වෙලා. අපිට බොහොම අපූරු උනාට හැමදාම ඒ මලදානෙම හම්බවෙනකොට කටේ තියන්න හිතෙනවද? ඒ නිසාවට මං නං කියන්නෙ ඔය කෝක පිළිගන්නවන්නත් කලින් හාමුදුරුවොත් එක්ක කෙලින් කතා කරලා කරන ඒකයි වටින්නෙ.

අපි දෙන දෙයින් උපරිම ප්‍රයෝජනයක් උන්නාන්සෙලට ලැබෙන්නෙත් අපිට එකෙන් උපරිම ආනිසංස ලැබෙන්නෙත් එතකොටයි. “සිරකරුවෝද මනුෂ්‍යයෝය” කියල මැගසින් බන්ධනාගාරෙ තාප්පෙ ලියල තියෙන්නා වගේ “හාමුදුරුවෝද මනුෂ්‍යයෝය, උන්නාන්සේලාත් පෘතග්ජනයෝය ” කියල හිතාගෙන පිළිගන්වන දානයක් අසා දැනගෙනයි දෙන්න අවශ්‍ය. හිස මුඩු  කරගෙන සිවුරක් ඇඳගෙන ධර්මය ඉගනගෙන අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන කෙරුවාව බොහොම ලේසි පහසු වැඩක් කියල පිටින් බැලුවට හාමුදුරුවරු ඒ කරන සමාජ මෙහෙවර ලේසි පාසු වැඩක් නෙවෙයි.

මේකත් බොහොම දිග වැඩියි. ඒත් ඉතිං ඔලුවට එන දේවල් ලියල දාන්නත් එපැයි.ආයෙත් එහෙනං ලියන්න පටන්ගන්නවා. ඇවිල්ල බලල බැනලහරි යමු. පරණ පොස්ටුවට උත්තර නොබැන්දේ ලොකුකමකට එහෙම නෙමෙයි ඔන්න. දිගටම ලියන දේවල් වල සංවාද වලට වගඋත්තර බඳින්න මං බැඳිල ඉන්නවා.. ජයවේවා කිව්ව එහෙනං….

 

http://padanguwa.blogspot.com/2015/07/icu.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල