කාලීන සංවාද

අපරාධ නඩුවක සාක්ෂිකරුවකු මරා දමන්නැයි රජයෙන් ඉල්ලන මාධ්‍යකරුවෙක්

Off

මෙම ජනමාධ්‍යකරුවාත්, මෙම ත්‍රස්තවාදියාත් අතර වෙනස කුමක් ද?
ලංකාවේ පොලිසිය යනු අපරාධ විමර්ශනයේදී අතිශය අකාර්යක්ෂම ආයතනයකි. නීතිපති දෙපාර්තමේන්තුව වැනි වෙනත් ආයතන ද එවැනි ය. අධිකරණයේ කාර්යක්ෂමතාව ද බරපතල ප්‍රශ්නයකි.

මේ අතර පසුගිය කාලයේ මේ රටේ ජනප්‍රිය අපරාධ මර්දන මෙහෙයුම වූයේ අපරාධ සැකකරුවන් විවිධ ආකාරයෙන් නීතියට පිටින් ඝාතනය කිරීමයි. පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් මරා දැමීම මෙන් ම සිරගෙවල්වලදී මරා දැමීම ද සුලබ සිදුවීම් විය.

වැලිකඩ සිරගෙදරදී 1983 ජුලි කලබල අතරතුර දෙමළ දේශපාලන සිරකරුවන් 53දෙනෙකු ඝාතනය කිරීම, බංඩාරවෙල බිඳුණුවැවදී පුනරුත්ථාපනය වෙමින් සිටි දෙමළ තරුණයන් පිරිසක් මරා දැමීම වැනි සිද්ධි මාලාවක තවත් එක් සිද්ධියක් වන්නේ 2012දී සිදු වූ වැලිකඩ ඝාතනයයි.

ශිෂ්ට සමාජවල නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වනවා මිස රජය නීතියට පිටින් මිනිසුන් මරා දමන්නේ නැත. වැරදිකරුවන්ට දඬුවම් කළ යුතු ය. දණ්ඩනයෙන් බලාපොරොත්තු වන්නේ විශෝධනයයි. වැරදිකරුවන් නිවැරදි මිනිසුන් බවට පත් කිරීමයි.

මෙවැනි සිද්ධි නැවත සිදු නො විය යුතු ය. ඒ සඳහා සිදු වූ සිද්ධි පිළිබඳ නිසි පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම් කළ යුතු ය. රාජ්‍ය බලය අයුතු ලෙස මෙහෙයවමින් වැරදි කරන්නට මිනිසුන් නො පෙළඹෙන තත්වයක් නිර්මානය කළ යුතු ය. රාජ්‍ය බලය වුව වැරදි කිරීම සඳහා භාවිතා කිරීම නො ඉවසිය යුතු ය.

වැලිකඩ කැරැල්ල ‍හා එය මුවාවෙන් කරන ලද ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු ය. ඒ සම්බන්ධ සාක්ෂි දෙන්නට ඉදිරිපත් වී ඇති අයට ඒ සඳහා අවස්ථාව ලබා දිය යුතු ය. සාක්ෂිකරුවන්ට අතීතයේ තිබුණු චෝදනා මෙම කාරණයේදී අදාළ නැත.

මෙහෙම හිතන්න. ඔබේ දරුවකු, බිරිඳ, සැමියා, මව්පියන් හෝ වෙනත් නෑයකු මරා දමා ඇතැයි සිතන්න. ස්ත්‍රී දූෂකයකු ලෙස චෝදනා ලැබ සිටින අයෙක් එය දුටුවේ ය. දැන් එම පුද්ගලයා මිනීමැරුම ගැන සාක්ෂි දෙන්නට ඉදිරිපත් වූ විට ඔබට වැදගත් වන්නේ එම සාක්ෂිය ද, එහෙම නැතිනම් එම පුද්ගලයාට ඇති අතීත චෝදනාව ද?

ජනමාධ්‍යකරුවන් ලෙස අප ලියන දේ බුද්ධිමත්ව ලිවිය යුතු ය. අපට අපගේ පෑනෙන් මිනී මරන්නට පුළුවන. මේ තිබෙන්නේ එහෙම ලියවිල්ලකි. ලියා ඇත්තේ දිවයින පුවත්පතේ සමන් ගමගේ නම් මාධ්‍යකරුවෙකි.

මේ ලෙසින් වැලිකඩ සිද්ධිය අරබයා නැවත පරීක්‍ෂණ පැවත්වීමට යැමෙන් වත්මන් රජය ඉදිරියට එන ගැටලු රාශියකි. එහෙත් ඒ ගැටලුවලින් මිදීම සඳහා රජයට එක්‌ පහසු විසඳුමක්‌ද ඇත. ඒ “අපිත් හිරේ හිටියා” යැයි දොඩවමින් අද වැලිකඩ සිද්ධිය ගෙන එන්ජීඕ නඩ සමග එක්‌ව රණවිරුවන් පාවා දී බඩවඩා ගන්නට සැරසෙන සිංහල කොටින්ට එදා උණ්‌ඩයකින් නොලැබුණ පිළිතුර මෙදාවත් ලබා දීමය. අප එසේ කියන්නේද නිකන්ම නොව. එදා මෙන්ම අදටත් මුන් රටට බරක්‌ වී නටමින් සිටින නිසාය. (සම්පූර්ණ ලිපිය මෙතැනින් කියවන්න)

සමන් ගමගේ කියන්නේ රජය මෙම සාක්කිකරුවා මරා දැමිය යුතු බවයි. මෙය කෙතරම් මෘග ප්‍රකාශයක් ද යන්න විමසා බලන්න. ජනමාධ්‍යකරුවන් යනු අපරාධ නඩුවක සාක්ෂිකරුවකු මරා දමන්නැයි රජයෙන් ඉල්ලන මිනිසුන් වීම කෙතරම් බරපතල තත්වයක් ද?

ප්‍රධාන ජනමාධ්‍යවල පළ වෙන මෙවැනි වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන නීතිමය වශයෙන් පියවර ගත යුතු ය.

නැතිනම්, රජයට එවැනි නීති විරෝධී ක්‍රියා කරන්නැයි උපදෙස් නො දී මේ මාධ්‍යකරුවා ම ඔහු කියන මෙම කාර්යය කළ යුතු ය.

සමන් ගමගේ, ඔබ එයට සූදානම් ද?

මීට කලින් අවස්ථාවක සමන් ගමගේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයන් සම්බන්ධයෙන් මෙසේ පවසා තිබේ. (ලිපිය මෙතැන ඇත)

පැහැදිලිවම කිවහොත් කරන්නට තිබෙන්නේ එවුන්ට වෙඩි තබා සැබෑ නරින්ට අනුභව කරන්නට කැලේට වීසි කිරීමය. නමුත් එසේ කරන්නට යෑයි කීමට අපට නොහැකිය. මන්ද එලෙස රට පාවා දෙන්නට කටයුතු කරන්නවුන්ට මෙන් ගෝත්‍රික මානසිකත්වයක්‌ අපට නොමැති නිසාය. (සමන් ගමගේ)

ඔහු එසේ කීවේ 2014 අගෝස්තුවේ ය. මේ වන විට නම් ඔහුට ඒ ගෝත්‍රික මානසිකත්වය ඇති වී තිබෙන බව පෙනේ. මේ පුද්ගලයා මේ වන විට අතිශය භයානක මානසික තත්වයකට ගොදුරු වී ඇති බව පෙනේ.

මේ වන විට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් තනතුර දරමින් ජනමාධ්‍යකරණය ගැන ගැඹුරු අදහස් නිරතුරුව සන්නිවේදනය කරන කරුණාරත්න පරණවිතාන මේ වෛරී සන්නිවේදනය ගැන කුමක් කියන්නේ ද යන්න දැන ගැනීමට කැමැත්තෙමි.

— අජිත් පැරකුම්

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල