විවිධාංග

හතරරියන්ගේ කින්ඩි හිනාව

Off
සිද්ධිය ඇරඹෙන්නේ මීට වසරකුත් මාස තුනකට පෙරය. ආයතනික පුහුණු සැසියකදීය. ඉතා කාර්යබහුල මොහොතක ය.
පෙරදින රාත්‍රී අට වන තුරු පුහුණුවය. උදෑසන හතට යළි පුහුණු සැසිය ඇරඹෙයි. උයන්නට වේලාවක් නැත. පිරිමින්ට ගෙදර බත්පත ලැබෙති. ගැහැණුන් කන්නේ කඩයෙනි.
“කඩෙන් කන්න ඇවිදින්නෙ මොකටද? හවස ටෙස්ට් එකක් නේද? මං නොදන්නවද ඔයා ගැන. කන්න නොගිහින් ලන්ච් බ්‍රේක් එකේ පාඩම් කරාවි.”
“මම උදේට එන්නම් කෑම එකක් අරගෙන!”
තමන් ආදරය කරන පිරිමියා එහෙම පැවසීම සාමාන්‍ය මනසක් ඇති සාමාන්‍ය කෙල්ලක වූ මට නම් රොමෑන්තිකය. ගොටුකොල සිහින්ව ලියා නොතිබුනු බව ඇත්තය. කැරට් කැබලි විවිධ හැඩයෙන් යුත් බවත් ඒ තරමටම ඇත්තය. නමුත් එහි ආදරය ගැබ්ව තිබුනේය.
පෙම්වතා අතින් පිසූ බත්පතේ කතාව එක්තරා අක්කියෙක් දැක්කාය. පෙරකී රොමෑන්තික භාවය හැර හැම දෙයක්ම ඈ දැක්කාය. බත්පතේ මහ කළුගල්ද, ඒ කළුගල් මත වූ නොඑක් පිපිරුම් ලකුණුද දැක්කාය.
“කොල්ල තමා උයන්නෙ.
කෑම උයලා බැඳලා ගෙනත් දෙන්නෙ. පව්.”
ඉතින් ඈ කියකියා යනවාය. හැමෝමත් හූමිටිත් දෙනවාය. ඇස් ඇතැයි – කන් ඇතැයි හිතා ඉන් මිතුරන්ද ඈ එක්ක කොස්සන් හිනා දෙනවාය.
රියැදුරු බලපත්‍රයක් හිමි වීම ගැහැණියකට ආඩම්බරයක් වන්නේ යම් සේද, බතක් උයන්නට හැකි වීම පිරිමියාටත් ආඩම්බරයට කරුණක් විය යුතු. තමන්ගේ රෙදි පෙරෙදි තමන් සෝදාගන්න ලැජ්ජා නොවිය යුතු. ගැහැණිය සෝදා, උයා, පිහා, කවා, පොවා, නහවා, ඇඳුම් අන්දවන තුරු සැටි පුටුවක වාඩි වී සිටින කශේරුව බිඳුනු අබ්බගාතයෙක් නොවිය යුතු. පිරිමිය මෙන්ම ගැහැණියද තම දෙපයින් සිටගත යුතු.
සිනාවට කරුණ නම්, උයන්නට උදව් වෙන පිරිමියෙක් හිමි ගැහැණුන්ට ඇඟිලි දිගුකර හිනාවෙන්නෙත් ගැහැණුන්ම වීමය. එළැඹිය හැකි ආසන්නතම උපකල්පනය නම්, ඔවුන් කොස්සන් ලා හිනාවෙන්නේ තමන්ගේම නොලැබීමට බවය. උදේ සිට හවස් වන තුරු කොම්පැණිවලට කඹුරා, ගෙදර ගියාට පසු, දෙපා සෝපාව උඩ වඩා හිඳුවාගෙන රූපවාහිනිය තුල කිමිදෙන සැමියන්ගේ අල්පමාත්‍ර වූ සහයක් හෝ නොමැතිව සෝදන-උයන-පිහන, තනි ඇහැට ඇඬෙන ඉරණමට බවය.
“ඇයි වේලාසන ගෙදර යන්නේ?
හස්බන්ඩ් නෙ උයන්නේ පිහන්නේ?”
ඕ අසයි. බොහෝ දෙනා හැරී බලයි. යල් පිනූ මොළයකට රොමෑන්තිකභාවය උගැන්වීමට වඩා බළලෙකුට අවකලනය උගැන්වීම පහසුය. එබැවින් මම මුවින් නොබැණ සිටිමි.
ඔව්. අද රාත්‍රී ආහාරය පිසින්නේ මම, ඔහු සමගය. ඔහු ෆ්‍රීලාන්ස් වැඩක් හෝ ආයතනික වැඩක් ගෙදර ගෙනාවොත්, උයන්නේ මමය. මම ලෙඩින් වැටුනොත් උයන්නේ ඔහුය. කවන්නෙත් ඔහුය. රෙදි සෝදන්නේ මමය. බරැති ඩෙනිම් කලිසම් පිරුණු රෙදි බාල්දිය බැල්කනියට ඔසවාගෙන යන්නේ ඔහුය. රෙදි වනන්නේ ඔහුය. රෙදි ගෙට ගන්නේ මමය.
දෙරියන් සමග හවුලේ කිරි එලදෙනක් ගත් හතරරියන්, මේ වෙනකොට පශ්චත්තාප වෙනවාත් ඇත. සමහරවිට දෙරියන්ගේ ගුණ ගයමින්, සාර්ථක හවුල් ව්‍යාපාරවලට කින්ඩි හිනාවක් දමා සැනසෙනවා ඇත.
ඉතින්, මිනිස්සු එහෙමය. පොල් පරාල ඇසැතිව, අනුන්ගේ ඇහේ පොල් කෙන්දට බණිනවාය. කුණු පිරි අතැතිව, විශබීජ නාශක දියරට දත නියවනවාය. වෙන කරන්නට දෙයක් නැතියෙන්, අපි “අනේ පව්!” යැයි කියනවාය.
……………………………………………………………………..

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල