විශේෂ, සංචාරක හා ඡායාරුප

වට වංදනාව නොහොත් Circle Pilgrimage 9

Off

සෙල්ලං බඩු, තොප්පි, තොරොම්බල් ගත්තු අය එව්වයෙ හැඩ බල බල එද්දි, සෙල්ලං බඩු ගොඩක් හිතේ පුරවගත්තු මාත් ඒ පස්සෙන් ඇදිල එනව. මගේ මග සලකුණ වෙච්චි තැඹිලි පාට කමිසෙට උඩිං තියෙන ඔලුවටත් ඉඳකොළ තොප්පියක් දාල තියෙනව.
අපි විශ්‍රාම සාලාවට එනවත් එක්කම අපි එනකං නැවතිල හිටිය අපේ නඩේ අනික් අයත් එක්ක බාප්පත් වැඳපුදාගෙන එන්න පිටත් වෙනව. අපි කට්ටිය ආයිමත් සාලාවෙ ඉඳගෙන “චරෝ බරෝ“ කියල කයිවාරු කියවන අතරෙ බාප්පත් එක්ක ගිය කට්ටියත් ආපහු එනව. එයිං පස්සෙ ඇරඹෙනව කෑම බෙදීමේ අවස්තාව.

කවුරු කවුරුත් තම තමංගෙ පිඟං අරගෙන කුස්සියට යනව. එතැන එක් එක් සාස්පානට අධිගෘහිතව හැංදක් අතිං ගත්ත එක්කෙනා ගානෙ ඉන්නව. මුලිංම කට්ටියම බත් සාස්පාන ගාව වටවෙලා පිඟං දික් කරනව. බෙලෙක් පිඟං, නිල්, රතු, කහ, කොළ ආදී ඉටි පිඟං, කලාතුරකිං මල් වැලක් ඇඳපු හොඳ පිඟං ආදී පිඟං රැසක් සාස් පාන වටේට බත් දෙනකං බලං ඉන්නව. බත් සාස්පානට අරක්ගත්තු එක්කෙනාව මට පේන්නෙ සංගීත කන්ඩායංවල ඉන්න “ඩංසැට්“ කාරය වගේ. මැද මහ බෙරෙයක් වගේ සාස්පාන, ඒක වටේට පොඩි පොඩි ඩංසැට් වගේ පිඟං ගොඩයි.

බත් බෙදන්නාට කලබලෙයක් නෑ. එයා සරම ටිකක් කෙටියට ඇඳගෙන හබලක් වගේ ‘පත්තකිං‘ බත් සාස්පාන කාල්ගානව කැට පොඩිවෙන්න. ඉං පස්සෙ පත්තෙ අග ඇලිල තියෙන බත් ටික සාස්පානෙ ගැට්ටෙ උලල සූරල සාස්පානටම දානව. අංතිමට පත්තෙං සාස්පානෙ ගැට්ටට “ටල් ටල්“ ගාල දෙකක් ගහනව. ඒ කාල්ගෑම අවසං කරන්න. ඊළඟට ලොකු පොල්කටු හැංදක් අරං ඒකෙං තමුං වටේට තියෙන පිඟං වලට බත් බෙදන්න පටං ගන්නව. බෙදද්දි හැන්දෙ අඩියෙ ඇලෙන බත් ගුලි පත්තෙං හූරල පිඟානට දානව. ගෙදෙද්දිනං ඒකට කරන්නෙ හැංදෙ මිටේ මැද හරිය වං අතේ අල්ලට වැදෙන විදිහට හැංදෙං අල්ලට ගහන එක.
“හා ඇති අයියෙ ඇති“
“ඔය වැඩී හැංදෙං කාලක් දැම්මනං ඇති. අපෙ පොඩියෙකා වැඩිය කංනෑ“
පිඟානට බත් බෙදනකොට පිඟාන අල්ලං ඉන්න අත අයිති එක්කෙනා එහෙම කියනව. මාත් ඒ අතරෙ මගෙ බෙලෙක් පිඟාන අල්ලං ඉන්නව. බත් හැඳි දෙකක් පිඟාන පිරෙන්න වැටෙනකොට “ඇති“ කියල ඊළඟ සාස්පාන ගාවට යනව. එතනත් අර වගේම ඉඳල බෙදෝගන්නව. මුලිංම අල කෑල්ලක් දානව. ඉං පස්සෙ හොදි දානව. සමහර අය “හොදි එපා“ කියනව. ඔය විදිහට තැං තුනකට ගියයිං පස්සෙ බෙදිල්ල ඉවරයි. ගෙදර උයන බත වගේ නෙමෙයි මේ බත් කුට්ටි වසයෙං එකට ඇලිල තියෙන්නෙ. දවලුත් හරි හමං කෑමක් නැති හිංද කවුරුවත් නැති ටිකක් දුරිං තැනක බිමිං ඉඳගෙන මං කන්න පටං ගන්නව. ගෙදෙද්දි කන තරං රහට නැති උනත් කාගෙංවත් හිරිහැරයක් නැති හිංද බඩ පිරෙන්න කැවෙනව. අනික් අයත් තැං තැංවල ඉඳං කනව. සමහරු ගිහිං ආපහු බෙදාගෙන එනව. අපිට බෙදාදීපු අයත් කුස්සියෙම ඉඳං කනව.
කෑමෙං පස්සෙ වැසිකිලි, වතුර ටැප් ගාව ආයිත් පෝලිමක් හැදෙනව. ආයිමත් ගමනක් යන්න වගේ කට්ටියම මූනු හෝදනව, දත් මදිනව, වැසිකිලි යනව එක විකාරෙයයි. මම නං කරන්නෙ රෑට කෑමෙං පස්සෙ වැටිච්චි තැනක බුදියන එකයි.
පුංචම්මලගෙ ගෙදර හැමෝමනං කෑමෙං පස්සෙ තුං වේලටම දත් මදිනව. අයියයි අක්කයි ගෙදෙද්දි රෑට නිදාගන්න කලිං දත් මැදල මූණ හෝදල ආයිත් පංසිල් අරං ඇඳට නගිනව. ඉං පස්සෙ ඇඳ උඩ දණගහගෙන නළල කොට්ටෙට තියාගෙන පස්සවල් උඩ තියාගෙන ඇඳේ ඔලුව තියන පැත්තෙ උස ලැල්ලට වැඳගෙන දෙන්නම එකවර අම්මට වඳින ගාතාව කියනව.
“දසමාසේ උරේකත්තා……………….
…………………………………….. මාතු පාදං නමා මහං…. අම්මෙ සාදූ“
එතකොට රෑට කාල ඉවරවෙලා සාලෙ පුටුවක ඉඳගෙන මොකක්හරි මහන ගමං නැත්තං ‘සිරිකත‘ පත්තරේ කියෝන ගමං ඉන්න පුංචම්මත්.
“හොඳායි… මගේ චූචි මාච්චෙයච බුජු ශලඥයි“ කියල එයාලට ඇහෙන්න කියනව.
ඒත් එක්කම ආයිමත් අයියයි අක්කයි කියනව
“උද්දිකාරෝ අලිං ගිත්තා තුම්බිත්තා පිය පුත්තකං…………………….
……………………………………….. පීතු පාදං නමා මහං… තාත්ති සාදු
“හොඳයි… තෙරුවං සර්ණයි දෙන්නටම…“
සාලෙ පුටුවක් උඩට වෙලා ටීවියෙකේ දේසපාලන සාකච්ඡාවක් හරි, චිත්තර පටියක් හරි බලන ගමං නිදි කිරාවැටෙමිං ඉන්න බාප්පත් ආසිර්වාද කරනව. එතකොටම අක්කයි අයියයි උඩ තියං ඉන්න පස්සවල් පැත්තකට වැටෙන පරිදි එක පැත්තකට පෙරලිලා නිදා ගන්නව.
අංතිමේදි කීප දෙනෙක් ඇරෙන්න හැමෝම සාලාවට ගාල්වෙනව. කීප දෙනෙක් ඇරෙන්නෙ උදේට කෑම උයන වැඩ ටිකෙං කොටසක් කලිං කරන්න ඕන නිසයි. ඒ අය රෑ ඉතුරු කෑම එක්කොම බල්ලංට දාල, බාජන හෝදල පහුවදා උදේ, දවල් කෑමට වැංජංවලට අඩු පාඩු හදනව. බෝංචි කැඩීම, පොල් ගෑම, හාල්වල වී ඇහිලීම වගේ කටයුතු ඉවර කරලයි ඒ අය නිදාගන්නෙ. එතකොට පහුවදාට උයන අයට ලේසියි.
මමත් මගෙ බෑක්කෙක තියල තිවුන ආච්චම්මගෙ ඉටිකොලේ ගාවිංම මගෙ ඉටිකොලෙත් එලාගන්නව. ගෙදර මේසෙට පෝර කවර තුනක් දාල මේසෙට එළල තිවුන ඉටි රෙද්ද තමයි මං අරං ඇවිත් තියෙන්නෙ. ආයිත් ගෙදර ගියහම මේක මේසෙට එළන්න පුළුවං. එදා රෑට අයියයි අක්කයි පුංචම්මට වැඳල, බාප්පව හොයං යනව එයාටත් වඳින්න.
“අනෙ හරි හොඳ ලමයි දෙන්න“
“හ…. ඒක තමයි අපෙ ලමයිංට නං කියලවත් වංදගන්න බෑ“
“අපෙ එක්කෙනානං ඉස්කෝලෙ යද්දි සමහර දවස්වල්ට වඳිනව. මේ දරුවො දෙන්න වගේනං නෑ“
“දැං දාම්පාසල් යවලත් ඒව කියාදෙන්නෑ වගේ නේද…?“
ඒ දිහා බලං ඉන්න ගෑනු අය කීපදෙනෙක් කතා වෙනව. අපෙ ආච්චම්මගෙත් කට ඇරෙන්න ඒක හොඳටම ඇති. සිය කුසෙං වදාපු ළමයි දෙන්න ගැන කියනව වගේ ආච්චම්මත් ඇලවෙලා ඉන්න ඉටි රෙද්දෙං ඔලුව ටිකක් උස්සල ඒ දෙන්නගෙ වර්ණනාව පටං ගන්නව.
“එහෙම තමා. ඔය ලමයි දෙන්න ගුණ යහපත් කමට හැදිල තියෙන්නෙ. අපෙ ගෙදෙර ආවහං මං ඔය දෙන්නටම එව්ව කියාදීල තියෙන්නෙ. පුංචි කාලෙ ඉඳං කියාදීල තමා ඔය තත්තෙට ගත්තෙ. නැහ්නං දැං කාලෙ මහ දෙන්නට වඳින එවුං හරි අඩුයි. මට නං අම්ම තාත්තට වඳිං නැති එවුං කෝටියක් හම්බුකොළත් වැඩක් ඇතෑ“
බාප්පත්, පුංචම්මත් තමංගෙ ලමයි දෙන්නට පුංචි කාලෙ ඉඳල උගන්නල තියෙන සියළුම හොඳ සිරිත් තමුංගෙ බූදලේට පවරා ගනිමිං ආච්චම්ම උඩ යන්න පටං ගන්නව. ආච්චම්මටයි ආතටයි මේ පුංචම්ම ඇරෙන්න ඒගොල්ලංගෙ අනික් ලමයි වඳින්නෙ අවුරුද්දට තෑගි දීල ඉතරයි. අපෙ අම්මනං කවදාකත් ආතටයි ආච්චම්මටයි තෑග්ගක් දෙන්නැති හිංද ඒගොල්ලංට වඳින්නෑ.
“ඒකට මෙ මූ. මූනං බැරිවෙලාක්වත් මහ එවුවො දෙන්නයෙං එක්කෙනෙට්ටවත් වඳින්නෑ. අපෙ මැණිකෙයි, පුතයි දෙන්නමත් මුට කියනව වැඳහං වැඳහං කියල. මුගෙ ඇට්ටර කම කියන්නෙ එව්ව තඹ සතේකට මායිං කොරන්නෑනොවැ. මුට පෙන්නන්න ඕනැ විහාරගෙවල් ඔල තියෙන අම්මට තාත්තට වැංද නැති එවුං අපායෙ ගිහිං තියෙන පිංතූර“
ආච්චම්ම මා ගැනත් වචන කීපයක් ඉදිරිපත් කරනව. හැමෝම මා දිහා බලල හිනා වෙනව.
“ඔයාටත් තියෙන්නෙ අම්මටයි තාත්තටයි වඳිංනනෙ“
“ඒකනෙ ඔයාටත් අයියටයි, අක්කටයි වගේ හොඳ වෙන්න පුළුවං එතකොට“
ඒ අය මට අවවාද කරනව. මං ඒ මොනවත් නෑහිච්ච ගානට ‘ගල්බිල්ල‘ වගේ ඉන්නව. ඒ අතරෙ බාප්පට වඳින්න ගිය අයියයි අක්කයි එනව. ඒ දෙන්න එන දිහාව හැමෝම බලනව උස්සවේකට පරක්කු වෙලා එන අමුත්තො දිහා බලනව වගේ.
“ම්චප් ආ…. ඔය එන්නෙ අපෙ ජුවයි පුචයි. තාත්තට වැංදද දෙන්නම“
ඊළඟට මේ දෙන්න ලවා පිරිස ඉදිරියේ වංදගන්න හිතාගන ආච්චම්ම අහනව. උංදැගෙ මූන උජාරුවෙං දිලිසෙනව.
“ඔව්වාච්චියෙ“
කියාගෙන ඒ දෙන්න පුංචම්ම නිදං ඉන්න ඉටි කොලේ උඩට පැනල දෙන්නම එක බෙස්සීට් එකක් ඇතුලට රිංගගන්නව. ආච්චම්ම “තාත්තට වැංදද“ කියල ඇහුවෙ තමන්ටත් වංදගන්න කියන එක ඒ දෙන්නට තේරුනේ නෑ. ‘ආච්චි අම්ම‘ කියන්නෙ නැතුව ‘ආච්චියෙ‘ කිව්ව එක ගැනත් උංදැට හිතට හරි නෑ. අපේ ගම් පලාතෙ ‘ආච්චි‘ කියන්නෙ වතුවල ඉන්න දෙමළ ගෑනු අයට. අංතිමට ආච්චම්මගෙ බොරු වර්ණනාව අතේ පැලවෙද්දි උංදැ හීං සීරුවෙ බෙස්සීට්ටෙක අස්සට රිංගගන්නව. අහල පහල බෙස්සීට් අස්සෙනුත් ‘කුටු කුටු‘ සහ ‘හිකි හිකි‘ නාද කිපයක් ඇහෙනව. මං හිතන්නෙ අනික් අය ආච්චම්මට හිනාවෙනව වෙන්නැති.

එකපාරටම කකුල මිටියකිං තැලුව වගේ වෙලා මං උඩ විසිවෙලා ඇහැරෙනව.
“අනේ මං දැක්කෙනෑ ඔයාගෙ කකුල. අමාරුයිද?“
මගෙ කකුල පටලවං ගිය එක්කෙනා අහනව.
‘ඥැහ්“
මං කියනව. ටික වෙලාවක් යනකං ඇඟිල්ල ඒ ගානටම රිදිල අඩුවෙලා යනව. ඉර එළිය වැටෙන්න කලිං හැමෝම නැගිටල ආයිත් මූන හෝදනව, ළමයිංව ඇහැරෝනව, කිරි හදල දෙනව. එකම ගාලගෝටිටියයි. මාත් නැකිටල වැනි වැනී ‘කුස්සියට‘ යනව. බාප්පත් තව කීප දෙනෙකුත් දුං දාන හැලි වලං ටිකක් එක්ක කුස්සියට වෙලා උයනව. ටිකකිං දෙන්නෙක් එක්ක ලිපෙං බාපු තඩි බත් සාස්පානක් එතැන බිම එළල තියෙන පැදුරට හලනව. ඉං පස්සෙ ඒකට පත්තකින් ඇනල කැට ලිහනව. පත්තෙං ඇනල තුනී කරද්දි ඒ බත් ගොඩෙං දුං පිටවෙනව. හැකිතරං කුඩා වෙන්න පොඩි කරපු බත් ටික නිවෙන්න ටිකක් වෙලා එහෙමම තියල නිවුනයිං පස්සෙ පිඟානකිං අරං වෙනිං සාස්පානකට දානව. අන්තිම බත් ටික පැදුර දෙපැත්තෙං ගසල මැදට එකතු කරල සාස්පානටම හලනව. ඒක දවල්ට කන බත් එක. ඒ අතරෙම ආයිමත් තව විසාල බත් සාස්පානක් ලිපෙං තියනව. ඒක උදේට. ඔය විදිහට උදේ දවල් දෙවේලම වෙන වෙනම උයනව.

මාත් ළිප ගාවිං අඟුරු කෑල්ලක් අරං ඒක ටැප්පෙක ලඟ සිමෙන්ති බැම්මෙ අතුල්ලල ඒකෙං එන කුඩු ටික ඇඟිල්ලට අරං දත් මදිනව. ඒක දැකපු නඩේ එක්කෙනෙක්
“ආ දබ්බෙහෙත්තෙක. මේකෙං අරං මැදගන්න“
කියල මට එයාගෙ දබ්බෙහෙත් එක දෙනව.
“බුලුතුවග් ගෙලාවෙ ලෑ“
ඇඟිල්ල කටේ තියෙද්දිම කියල මං එයාගෙ දත් බෙහෙත් එකෙං වැඩක් ගන්න බැරි හේතුව කියනව.

අපේ ගෙදර කාටවත් දබ්බුරුසු නෑ. තාත්ත දත් මදින්නෙ ඇඟිල්ලෙනුයි, බෝඹු කෝටුවලිනුයි. ඉඳල හිටල පොලෙං ගේන ‘දත්වල කහට අරින‘ දෙකයි පනහෙ කුඩු ජාතියෙං දත්ටික මැදල සුදුපාට මතුකරගන්නව. අම්මත් දත් මදින්නෙ ඇඟිල්ලෙං. මං දත් මදින්නෙත් ඇඟිල්ලෙං අඟුරු වලිං. මට දවසක් පංසලේ හාමුදුරුවංගෙං හරි වෙනිං කාගෙංහරි දබ්බුරුසුවක් හම්බුවුනා. මං ඒකට ‘පැරකුට්බා‘ හරි ‘දන්තමුක්ත‘ හරි පැකැට්ටෙකක් ගෙනත් ටික කාලෙයක් දත් මැද්ද. ටික දවසකිං අපෙ අම්මත් ගමනක් යනකොට ඒකෙං දත් මදින බව දබ්බුරුසුවෙ කෙඳිවල රතු පාටිං තේරුන හිංද ආයිමත් මං ඇඟිල්ලටම මාරු උනා.

එක්කෙනෙක් කකුල හෝදනකොට තව එක්කෙනෙක් ඊට උඩිං ජොග්ගුවක් ටැප්පෙකට අල්ලල වතුර ටිකක් ගන්නව. ඒ එක්කම තව එක්කෙනෙක් මැදල ඉවර දබ්බුරුසුව වතුරට අල්ලනව. ටැප්පෙකෙං එන වතුරෙං දබ්බුරුසුවෙ පෙන ටිකත් හේදිල අනික් කෙනාගෙ කකුලත් හෝදගෙන යනව. ඔය විදිහට හැමෝම හේදිල ඉවර වෙලා ඇඳුං අඳිනව. ඒ අතරෙ උයපු අය දැලි දුං යන්න කියල නාගන්නව. තව කීප දෙනෙක් කෑම බීම බස්සෙකට පටෝනව. දවල්ට කන්න උයාපුව තියෙන සාස්පාං ටික බස්සෙකේ පිට වම් පැත්තෙ බැටරි පෙට්ටිය ගාවිංම විසේසයෙංම හදල තියෙන ලොකු කවුලුව ඇතුලට දානව. උදේ කෑම බස්සෙක ඇතුලෙ ඉඩ තියෙන තැනකිං තියාගන්නව.
අංතිමට බඩු මුට්ටු, බෑග් ආදිය අරගෙන හැමෝම බස්සෙකට නැගල තම තමං හිටපු සීට් වලිංම ඉඳගන්නව. මාත් මගෙ කෝටු දෙක සීට්ටෙක අස්සෙං ඇදල ගන්නව. බාප්ප ආයිමත් ගිහිං අපි හිටපු සාලාව හෝදිසි කරනව අමතක වෙච්චි දේවල් තියෙනවද බලන්න. ටිකකිං එයා සෙරෙප්පු කුට්ටමක් උස්සං එනව.
“මේ දෙක කාගෙද?“
බාප්ප ඒකෙ අයිතිකාරය හොයාගන්න හැමෝටම ඇහෙන්න අහනව.
“ආ… ජෝකපාල මහත්තෙය. ඒක මයෙ. අමතක උනානෙ“
අයිතිකාරය කියනව.
“හෙහ් හෙහ්…. මං දැක්ක හිංද හොඳා. ආ.. අරං තියාගන්න“
බාප්ප ආයිමත් ගිහිං අපි එතන නවාතැං ගත්තට සල්ලි ගෙවල කොලේකුත් අරං එනව. ආයිත් පාරක් කාංඩෙ හරිද බලල හයියෙං සාදුකාරයක් දීල ගමන පිටත් වෙනව.
“සාදු … සාදු .. සා……..දු“

http://yanhella.blogspot.co.uk/2015/08/circle-pilgrimage-9.html

Related Posts

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල