කාලීන සංවාද

ග්‍රීසියේ සිරිසා, දිල්ලියේ ආම් ආද්මි, ලංකාවේ ……………..?

Off

ග්‍රීසියේ සිරිසා පක්ෂය පසුගිය මහ මැතිවරණයෙන් ලැබූ ජය යුරෝපා සංගමය තුළ කම්පන තරංගයක් ඇති කරන්නට සමත් වුණා. එයට හේතුව සිරිසා යනු ක්‍රම විරෝධී දේශපාලන ව්‍යාපාරයක් ලෙස නමක් දිනා සිටි පක්ෂයක් වීමයි. එවැනි පක්ෂයක් ධනේශ්වර යුරෝපා සංගමේ රටක පාලන බලයට පත් වීම දෙස යුරෝපා සංගමය බැලුවේ සැකමුසුවයි.

පසුගිය සතියේ දිල්ලි රාජ්‍ය සභා මැතිවරණයේදී අරවින්ද් කෙජ්රිවාල්ගේ ආම් ආද්මි පක්ෂය ලැබූ ජයග්‍රහණය ගැන අපි ගිය සතියේ සටහන් කළා. ආම් ආද්මි යනු දූෂණ විරෝධී දේශපාලනය තුළින් මතු වී ආ පක්ෂයක්.

විරෝධතාවලට නායකත්වය දීමෙන් ජනප්‍රිය වූ ආම් ආද්මි, සිරිසා වැනි පක්ෂ බලයට පත් වූ පසුව කුමන ආකාරයෙන් කටයුතු කරාවි ද යන්න ගැන විවිධ අසුබවාදී පුරෝකථන තිබෙනවා. එසේම, ආම් ආද්මි පක්ෂය මීට පෙර 2013දී දිල්ලි රාජ්‍ය සභාවේ බලය ලබා ගත් අවස්ථාවේත් ඔවුන්ට පාලනය ගෙන යන්නට හැකි වුණේ දවස් 49ක් පමණයි.

මේ වන විට ස්පාඤ්ඤයේත් ‍’අපට පුළුවන්’ යන අරුත දෙන Podemos නම් පක්ෂය වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබෙනවා. ඔවුන් මීළඟ මහ මැතිවරණයෙන් ආණ්ඩුවක් පිහිටුවන්නට විශාල ඉඩක් තිබෙනවා.

ඉදිරි මාස කීපය ඇතුළත ලංකාවේත් මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතයි. මේ මහ මැතිවරණයේදී ජවිපෙ ශක්තිමත් කළ යුතු ය කියන ස්ථාවරයේ සිටින සැලකිය යුතු පිරිසක් අපට හමු වෙනවා. ආම් ආද්මි, සිරිසා හා ජවිපෙ වැනි දේශපාලන ව්‍යාපාර අතර එක්තරා සමානත්වයක් තිබෙනවා. මේ ව්‍යාපාර ආරම්භ වන්නේ ක්‍රම විරෝධී විභවයකින්. ධනේශ්වර ක්‍රමයේ දූෂණ, අක්‍රමිකතා හා ජන පීඩනයට එරෙහිව කරන අරගල ඔස්සේ ඔවුන් ජනප්‍රියත්වයට පත් වෙනවා. ඉන් අනතුරුව ජනතාව ඔවුන් බලයට පත් කළ යුතුයි කියන තැනට එනවා. ඒත්, ඒ වන විට ඔවුන් පිළිබඳ අසුබවාදී අදහස් පැතිරෙන්නට පටන් අරගෙන ඉවරයි. ඉතින් ඔවුන්ට සිදු වෙනවා ධනවාදයේ ප්‍රධාන බලවේගවල විශ්වාසය දිනා ගැනීම සඳහා කටයුතු කරන්නට.

ඔවුන් සාමාන්‍යයෙන් මුලින් මතු වන්නේ සමාජවාදී විසඳුම් ප්‍රවර්ධනය කරගෙනයි. ඒත්, බලය ලබා ගැනීමට ආසන්න වකවානුව වන විට ඒ වෙනුවට මධ්‍යස්ථ ප්‍රතිපත්ති ඉදිරියට ගැනීමට ඔවුන්ට සිදු වෙනවා. එහෙම වෙන්නේ ඇයි? මේ කාරණය සිරිසා පක්ෂය සම්බන්ධයෙන් බල පෑ හැටි ගැනයි මේ කරුණු කීපය.

රැඩිකල් වාම සන්ධානය ‍සිරිසා කියන නම ලබන්නේ ග්‍රීක් බසින් එන Synaspismós Rizospastikís Aristerás වචනවලිනුයි. එය සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන්, වාම ජනප්‍රියවාදීන්, හරිත වාමවාදීන්, මාඕවාදීන්, ට්‍රොස්කිවාදීන්, යුරෝ කොමියුනිස්ට්වාදීන් මෙන් ම යුරෝපා විරෝධීන් ආදීන්ගෙන් ද සමන්විත දේදුනු සන්ධානයක්. ඒ අතරින් විශාල ම කණ්ඩායමේ නායකයා වන ඇලෙක්සිස් සිප්‍රාස් තමයි සිරිසා පක්ෂයේ පාර්ලිමේන්තු නායකයා. සිරිසා පක්ෂය නිල වශයෙන් දියත් වුණේ 2004දීයි. 2012 වන විට එය රටේ ප්‍රධාන විපක්ෂය බවට පත් වුණා.

සිරිසා පක්ෂය තරමක් දුරට යුරෝපා විරෝධී පක්ෂයක් ලෙස සලකන්නට පුළුවන්. සිරිසා පක්ෂයට පිටින් ග්‍රීසියේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයත් ප්‍රබල පක්ෂයක් ලෙස පවතිනවා.

ජනවාරි 25දා පැවති මහ මැතිවරණයේදී සිරිසා පක්ෂය ඡන්දවලින් සියයට 36.34ක් ලබාගෙන ආසන 300ක් සහිත පාර්ලිමේන්තුවේ ආසන 149ක් දිනා ගත්තා. කලින් බලයේ සිටි අගමැති අන්තෝනියෝ සමරාස් නායකත්වය දුන් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට දිනා ගත හැකි වුණේ ආසන 76ක් පමණයි.

ග්‍රීසියේ ආර්ථිකය පසුගිය සමයේ දැවැන්ත කඩාවැටීමකට ලක් වුණා. එයට මූලික හේතුව වුණේ අධික ලෙස ණය ගැනීමයි. ලංකාවේ ආණ්ඩුවත් ග්‍රීක විදේශ බැඳුම්කරවල මුදල් ආයෝජනය කර පාඩු ලැබුවා. ණය ගෙවා ගන්න ග්‍රීක රජයට බැරි වුණා. ග්‍රීක් ආර්ථිකය කෙළින් කර තැබීම සඳහා යුරෝපා සංගමය හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඇප ලබා දීම සඳහා පනවනු ලැබූ කොන්දේසි හේතුවෙන් ග්‍රීසියේ ජනතාව දැඩි දුෂ්කරතාවකට පත් වුණා. සුබසාධන වියදම් කප්පාදු කර දැමුණා. විරැකියාව බරපතල ප්‍රශ්නයක් බවට පත් වුණා.

සිරිසා පක්ෂය ජනප්‍රිය වුණේ මේ කොන්දේසිවලට එරෙහි උද්ඝෝෂණ සමගයි. මැතිවරණ ජයග්‍රහණයෙන් පසු කතා කරමින් සිරිසා නායක ඇලෙක්සිස් සිප්‍රාස් පැවසුවේ ග්‍රීසිය හා යුරෝපය සඳහා ඔහු “නව ශක්‍ය විසඳුමක්” ඉදිරිපත් කරන බව යි. යුරෝපා සංගමය, යුරෝපා මහබැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන ත්‍රිත්වයේ ඇප කොන්දේසි ඔහුගේ දැඩි විරෝධයට ලක් වුණා. අලුත් සාකච්ඡාවලදී ග්‍රීසිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වත්මන් ඇපදීමේ කොන්දේසි දීර්ඝ කිරීමට සිරිසා ආණ්ඩුව එකඟ වී නැහැ.

සිරිසා අත්දැකීම ගැන අප හැදෑරිය යුතුයි. වාමාංශික හා රැඩිකල්වාදී පක්ෂවලට දැන් විරෝධතාවෙන් ඔබ්බට ගොස් රාජ්‍ය බලය මෙහෙයවීමට සිදු වන තත්වයක් මතු වී තිබෙනවා. මේ තත්වය ලංකාවේත් දකින්නට ලැබෙනවා. හැමදාමත් විරෝධය පළ කරමින් ඉන්නවා වෙනුවට විසඳුම් සඳහා අත්හදා බැලීම් කරමින් ඉදිරියට යන්නට වමට සිදු වී තිබෙනවා. ග්‍රීසියේ සිරිසා පක්ෂය බිහි වුණේ මේ උවමනාව වෙනුවෙන්. විවිධත්වයක එකමුතුවක් වූ එයට ඊළඟට සිදු වෙනවා සිය මුල් කාලීන සම්මුති විරහිත දේශපාලනය වෙනුවට ධනවාදය සමග යම් සම්මුතිවලට යන්නට. හේතුව පරමාදර්ශී සමාජවාදී විසඳුම් ඉදිරියට ගන්නට හැකියාවක් නැතිකමයි. මෙය සංකීර්ණ තත්වයක්. ඒ වගේ ම මගහැර යන්නත් බැරි තත්වයක්.

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල