විචාර

හිතේ දුකට එතකොට කවි කියවෙනවා…………….

Off

සිත්තරාට වර්ණ මෙන් කවියාට, ගී පද රචකයාට මාධ්‍ය වන්නේ භාෂාවයි. සිත්තරා වර්ණ උපයුක්ත කරගනිමින් ස්වකීය නිර්මාණය හැඩගන්නවා මෙන් කවියා, ගී පද රචකයා භාෂාවේ ජීවය බඳු රසාලිප්ත වචන භාවිත කරම්න් මනබඳනා නිර්මාණ බිහි කරන්නට වෑයම් කරයි. නමුදු කෙටිකතාකරුවාට, නවකතාකරුවාට මෙන් කවියාට, ගේය පද රචකයාට නිදහසේ ඇති තරම් වචන භාවිත කිරීමට ඉඩ හසර නැත. මන්ද ගේය පද රචකයා ස්වකීය අත්දැකීම නැතිනම් ප‍්‍රස්තුතය පද පේළි 12 ක් තරම් කෙටි පද මාලාවක් ඔස්සේ සාරාංශ කරමින් සහෘද වින්දන මානයට ගෙන ආ යුතු හෙයිනි. ගේය පද රචකයකු ගීතයක් ලියූ පමණින් එය සාර්ථක නිර්මාණයක් ලෙසින් සමාජයට මුහු නොවේ. මන්ද ගේය පද රචකයාගේ තෙළිතුඩින් මෙලොව දකින පද වැල් දක්ෂ සංගීතඥයකුගේ සුරතින් තනු නිර්මාණය වෙමින් මධුර මනෝහර හඬ පෟෙරුෂයක් හෙබි ගායන ශිල්පියකුගේ මුවගින් සහෘද දෙසවන් පිනවාලිය යුතු හෙයිනි. මෙම ත‍්‍රිත්වයේ එකතුවෙන් කෘතහස්ත ගීත නිර්මාණයක් සමාජයට එක් වේ.

ඇතැම් විටක කතා ව්‍යවහාරයම ගීතයකයට තිඹිරි ගෙය වේ. මන්ද කතාවද නාදයක් වන හෙයිනි. මේ නිසා සෙසු සාහිත්‍යංග අභිබවමින් ගීතය වත්මන වන විටත් ඉදිරි පිම්මක් තබා තිබෙන බව නම් නිසැකය. ඒ අනෙකක් නිසා නොව එදිනෙදා දිවියේ මෙන්ම සමාජයේ නෙක ආතතීන්ගෙන් පිරුණු මිනිසුන්ගේ විඩාබර සිතට මොහොතක් හෝ සුව දෙන නිර්මාණයක් වේ නම් එය ගීතයම පමණක් වන නිසාය. සුලි කුණාටුවෙන් වැසුන කාන්තාරයකට වැටෙන සිහිල් පැන් බිඳක් සේ ගීතයද මිනිසුන්ගේ විඩාබර සිතට මොහොතකට සුවයක් ගෙන දේ යයි කීම අවිවාදයෙන් පිළිගැනීමට සිදු වේ. මන්ද ගීතයෙන් මිනිස් සිතකට අල්ප මාත‍්‍ර හෝ සතුටක් සැනසීමක් ගෙන දෙන හෙයිනි. නමුත් වත්මනේ හතු පිපෙන්නාක් මෙන් නිරුත්සාහකව එක රැයින් බිහිවන ගීත තුළින් විඩාබර මිනිස් සිතට සතුටක් සැනසීමක් ලැබේ දෝයි මොහොතක් අප සිතා බැලිය යුතු කරුණකි. නමුත් මෙවන් ගී නිර්මාණයන් අතරද අදටත් කර්ණ රසායනයන් බඳු මධුර මනෝහර සුලලිත ගීත අතලොස්සක් බිහි වන බවද කිව යුතුම කරුණකි. මෙසේ බිහිවන ගී පද නිර්මාණයන් අමරණීය නිර්මාණයන් බවට පත් වේ. මෙවන් අපූර්ව නිර්මාණයක් කළ නිර්මාණකරුවකු ලෙසින් මහගම සේකරයන් අපට පෙන්වා දිය හැක. මන්ද ඔහු සතු අපූර්ව ප‍්‍රතිභාවෙන් නිර්මාණය කල බොහෝ නිර්මාණයන් අදටත් සමාජයේ විරාජමානව පවතින නිසාය.

ඉහත කී රසභාවයන් උද්දීපනය කරමින් හැත්තෑව දශකයේදී මහගම සේකරයන්ගේ තෙළිතුඩින් මෙලොව දුටු සුභාවිත මධුර මනෝහර පද මාලාවක් හිමි ගීතයක් අදටත් අප හදවත් තුළ වැජඹෙනු දක්නට ලැබේ. ඒ ජනකවි ආර අනුව යමින් කාව්‍ය නිර්මාණයක් ලෙසින් බිහිකළ ‘පිලේ පැදුර හේනට අරගෙන යනවා ‘ යන ගීත නිර්මාණයයි. බොහෝ ගීත නිර්මාණයන් දෙස නෙත් යොමා බලන කළ අපට දක්නට ලැබෙන්නේ එක සමාන අද්දැකීම් නැතිනම් ප‍්‍රස්තුතයන් කිහිපයකි. එකිනෙක වෙනස් වන්නේ පද මාලාවෙන් පමණක් බවයි. මේ අතර බහුලව දක්නට ලැබෙන්නේ පේ‍්‍රමය, ආදරය, විරහව, තේමා කරමින් නිර්මාණය කළ ගී පද නිර්මාණයන්ය. මෙකී තේමාවන් ඔස්සේ එදා මෙදා තුර නිර්මාණය කර තිබෙන අපට ඇසුණ ගීත සම්භාරය සුළු පටු නොවේ. නමුත් මෙකී තේමාවන් වුවද රසාලිප්තව නිර්මාණය කළ නිර්මාණකරුවන් මෙන්ම ගීපද නිර්මාණයන් අපට හමුවන්නේ අතළොස්සක් තරම් ප‍්‍රමාණයක් යයි තර්ක කිරීම සාවද්‍ය නොවේ. මන්ද මෙකී තේමාවන් ඔස්සේ නිර්මාණය කළ ගීත අතරින් වුවද චිරාත් කාලයක් පවතින්නේ ගීත අතලොස්සක් තරම් ප‍්‍රමාණයක් වන නිසාය. ඒ අතරත ඉහත දක්වන ලද සේකරයන්ගේ උත්කෘෂ්ට නිර්මාණයක් වන ‘පිලේ පැදුර’ ගීතය අදටත් සහෘදයන් අතර ජීවමාන ලෙසින් තිබේ. ඒ අනෙකක් නිසා නොව මෙයද විදග්ධ ගීත කුළකයට අයත් ගීත නිර්මාණයක් වන නිසාය. සේකරයන්ගේ සුරතින් නිර්මාණය වන මෙම ගීතයට මධුර මනෝහර ස්වර රටා මවමින් ගායනය කරන්නේ මධුර මනෝහර හඬ පෙරුෂයක් හිමි ඩබ්. ඞී. අමරදේවයන්ය.

‘පිලේ පැදුර හේනට අරගෙන එනවා
එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහිවෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා’

කොළඹ අහසට පායන සඳ එළිය ගමේ වෙල් දෙණියට වැව් තාවුල්ලට පායන සඳ තරම් සුන්දර වේද, දූෂණය නොවූ ගැමි පරිසරයේ ගස්වල පිපෙන මල් තරම් කොළඹ පරිසරයේ පිපෙන මල් සුන්දර වේද. සාරධර්මයන්ගෙන් පිරුණු ගමේ ගැමි පරිසරයේ උපදින ආදරයද එසේමය. සෙම්‍යයය, පාරිශුද්ධය, හැඟුම්බරය. මේ සියල්ලටමත් වඩා සංවරය. විනීතය. නාගරීකරණයෙන් පිරුණු කොළඹ ආදරය තරම් ගමේ ගැමි තරුණයකුගේ සහ තරුණියකගේ ආදරය සංකර නොවේ. එසේම ගමේ උපදින ආදරය පිවිතුරුය. ගුරු දෙගුරුන්ගේ අණට අදටත් කීකරුය. මේ නිසාම ගමේ ගැමි තරුණියකගේ හා තරුණයකුගේ හදේ මෝදුවන ආදරය කෙමින් කෙමින් ගැබ්බර වෙමින් මල් පල දරන්නේ පැල් කවියකින් පාරු කවියකින් වීම අරුමයක් නම් නොවේ. අප කවියාටද ප‍්‍රස්තුත වන්නේ ගැමි පරිසරය හා බැඳුණු එවන් ආදරයකි. මෙවන් අද්විතීය නිර්මාණයන් නිසා අදටත් නගරයේ පවා මෝස්තරකාරී ගැමිකමක් රඳා පවතී. නමුත් මෙය සැබෑ ගැමිකම නොව ගැමි යයි සිතින් මවාගනිමින් ගමේ සිරිත් විරිත් බලෙන් තම ජීවිත සිත් සතන් තුළට ආරෝපණය කර ගැනීමට උත්සාහ දැරීමක් පමණක් යයි කීම නිවරදිය. මෙනිසා නගරයේ නාගරිකයයන් අතර පවතින්නනේ සැබෑ ගැමිකම නොව මෝස්තරකාරී ගැමි කමකි. මෙනිසා නගරයේ පවා දෙහදක ඉපදෙන ආදරයකට පවා ඇතැම් අවස්ථාවල තේමා වන්නේ මෙවන් ගී පද සංකල්පනාවන්ය.

ගැමිකමින් පිරුණු ගමේ තරුණියකගේ සහ ගැමි තරුණයකුගේ දෙහදක උපන් සදාචාර සම්පන්න මෙවන් ආදර කතාවක් සේකරයන්ටද මෙකී නිර්මාණය කිරීමට ප‍්‍රස්තුත වී තිබෙන බවක් ගම්‍යමාන වේ. ස්වකීය ප‍්‍රස්තුතය සහෘද වින්දනමානයට ගෙන ඒමට සේකරයන් සිය පද සංකල්පනාවන් ගොනු කරන්නේ ජනශ‍්‍රැතිය උපරිමයෙන් අනුගමනය කරමිනි.

‘පිලේ පැදුර හේනට අරගෙන එනවා
එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා’

පිල, පැදුර ජන ජීවිතය හා අන්‍යෝන්‍ය වශයෙන් එකට බැඳී පවත්නා වස්තූන් දෙකක් යයි කීම සාවද්‍ය නොවේ. මන්ද ගැමියාට නගරයේ පොහොසත් නාගරිකයන්ට මෙන් විල්ලූද පලස්, වටිනා පුටු සැටි නැත. ඔහුට නිදාගැනීමට මෙන්ම ආගන්තුකයකු නිවසට පැමිණිවිට වාඩිවීමට දීමටද තිබුන එකම පලස පැදුර පමණකි. තම බිරිඳගේ රතැගිලි තුඩු අගින් නිමවෙන පොල්අතු පැදුර හෝ පන් පැදුර තරුණයාට තිබෙන මහාර්ඝ වස්තුවකි. ඔහුට පැදුරුද කීපයක් නැත. ඇත්තේ එකම පැදුරකි. නිවසේ සිටින විට එය ගෙපැලේ පිලේ එලා එහි සැතපෙන ඔහු ඉර අවරට යමින් කළුවර බිමට වැටෙන විට එම පැදුරම හකුළා තුරුළු කරන් පැලට යයි. ඒ අනෙකක් නිසා නොව තමා තම බිරිඳත් සමගින් එකතුව හේනේ වගා කළ බෝගයන් වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමටය. නමුත් මෙහි කියවෙන තරුණයාට මහත් ඛේදජනක සිදුවීමක් සිදුව තිබේ. එනම් තම පෙම්වතිය නැතිනම් තමාගේ ජීවිතයට ජීවය දුන් නෑනා අද ඔහුගෙන් වෙන්ව ගොසිනි. තරුණයා තනිවී සිටී. නිර්මාණකරුවා එය අපට හඟවන්නේ ‘රටා වියපු අත්දෙක මට සිහිවෙනවා’ යන කවි පදයෙනි. තරුණයා නිදා සිටින්නේ තම පෙම්වතිය පෙර දිනක ඇගේ ඇගිලි තුඩින් වියන ලද පැදුරේය. ඔහුට අද දිනයේ ඇය ඉතිරි කර ගිය එකම වටිනාම වස්තුව පැදුර පමණකි. ඒ නිසා ඔහු එය හේනෙන් නිවසටත් නිවසෙන් හේනටත් යන හැම විටම රැගෙන යයි. පැදුරේ නිදන හැම මොෙහොතකම ඔහුට පැදුරේ රටා නෙත ගැටේ. ඒ හැම මොහොතකම ඔහුට සිහිවන්නේ තම බිරිඳයි. තමාගේ පාළුව කාන්සිය මැකූ ඇය, අද ඔහු ළග ණැත. ඔහුට තම කාන්සිය පාළුව මකා ගැනීමට සිදුව තිබෙන්නේ කවියක් කීමෙන් පමණි. තම පෙම්වතිය පිළිබඳ හිත් කොනේ ඉපදෙන ආදරය සමගින්ම සිතට දැනෙන විරහව ඔහු සුළුවෙන් හෝ මකාගන්නේ කවියකිනි. නෑනාගේ වෙන්වයාම ඔහුට වාවාගත නොහැක. මේ නිසා ඔහු දිවා රෑ සිතන්නේ ඇය සමග සතුටින් සිටි කාලයයි. එයද ඔහුට සැනසීමට කරුණකි. ඇගේ වෙන්වයාමත් සමගින්ම ඔහුට කඳුළ පමණක් උරුම වී තිබෙන බව අපට ගම්‍යමාන වන්නේ එනිසාය.

තම බිරිදගේ වෙන්වයාමෙන් පසු ඔහු හැඬූ වාර ගනන මෙතකැයි කීමට නොහැක. එමෙන්ම ගැමි ජන දිවිය ඔස්සේ හේන් ගොවිතැනින් දිවි සරිකරගන්නා ඔහුට ඇගේ වෙන්වයාමෙන් පසු දින සති මාස කොපමණ ගත වුණි දැයි කීමටවත් ඔහුට මතකයක් නැත. මන්ද ඇගේ වෙන්ව යාමත් සමගින්ම ඔහුගේ සිරුරේ ජීවය පැවතුනද ඔහු ඇවිදින මළමිනියක් බවට පත්වී හමාර නිසාය. ඔහුට පෙරදින ජීවිතය සුන්දර කිරීමට ජීවය දුන් එකම තැනැත්තිය ඇයම පමණකි. සේකරයන් මෙකී අවස්ථාව සහෘද වින්දනමානයට ගෙන එන්නේ අපූර්ව පද සංකල්පනාවක් ඔස්සේය.

‘ඉර පායා ඉර අවරට ගියාදෝ
සඳ පායා සඳ අවරට ගියාදෝ
ඇඬූ කඳුළු මූදට එක් වුණාදෝ
ළමා ළපටි නෑනා කොහි ගියාදෝ……..’

ඇගේ වෙන්වයාමත් සමගින්ම තරුණයා කෙතරම් ජීවිතයෙන් බිඳ වැටීමකට ලක් ව තිබේද යන්න උක්ත කාව්‍ය පාද කීපයෙන්ම අපට ප‍්‍රත්‍යක්ෂ වේ. පෙරදින ළද බොළඳ කම් පෑ නෑනා අද ඔහුගෙන් වෙන්ව ගොස් හමාරය. ඇගේ වෙන්වයාමත් සමගින්ම ඔහුගේ ප‍්‍රාණයද නිරුද්ධ වූවා සේය. පෙරදිගින් අහසට මුදුන් වන ඉර බැසගියාද ඔහුට මතකයක් නැත. පුන් පෝදා අහසට මෝදුවන සඳ පායා බැසගියාද වත් ඔහුට මතකයක් නැත. මෙහි ව්‍යංගයෙන් දැක්වීමට උත්සාහ ගන්නේ ඇගේ වෙන්ව යාම පෝය ගණනින් ගණන් කරමින් කීමටද ඔහුට මතකයක් නොමැති බවයි. මන්ද පුන් සඳ ගැමියන්ගේ දිවිය හා බැඳී පවතින්නාවූ වස්තුවක් වන නිසාය. සොබාදහමේ නිත්‍ය සිදුවීම් ගැන පවා ඔහුට මතකයක් නැත. ඒ අනෙකක් නිසා නොව දහවල් රෑ නැතිව ඔහු නිතරම සිතන්නේ පතන්නේ තමාට පෙරදින ළඳ බොළඳ කම් පෑ නෑනාගේ වෙන්වයාම පිළිබඳවම පමණක් නිසාය. ඈ පිළිබඳ මතකයට එන වරක් පාසා ඔහුගේ දෙනෙත් කඳුළින් තෙත් වේ. ඇය සිහි වී ඇඬූ වාර ගණන පවා මෙතකැයි කිව නොහැක. ඒ බව සේකරයන් දක්වන්නේ අපූර්ව පද පෙළක් ඇසුරිණි. – ‘ඇඬූ කඳුළු මූදට එක් වුණාදෝ ‘ – නෙත් කෙවෙණි දෙකට උණන උණු කඳුළු දෙකොපුල් නිම්නය ඔස්සේ ගලා ගිය වාර ගණන අනන්තය. ඇඩූ කදුළු මහ මුහුදට එක් වීමට තරම් යයි දක්වන්නේ එනිසාය. ඔහුගේ සිත නිතර දෙවේලේ විමසන්නේ එකම දෙයක් පමණි. එනම් නෑනා තමා හැර දමා කොහි ගියේද යන වගයි. වත්මනේ නම් තරුණියක් ගම හැර යාමට හේතු කාරණා බොහොමයක් තිබේ. නමුත් ගමේ තමා ළගින් සිටි නෑණා තමාට පිටුපෑවේ ඇයි දැයි ඔහුට අදටත් සිතා ගත නොහැකි උභතෝකෝටික පැනයකි.

ඇගේ වෙන්ව යාමත් සමගින්ම ඔහුට උරුම වූ දෙය නම් කඳුළ පමණක්මය. නමුත් කිසිම විටක ඔහුගේ සිතේ තම නෑණා පිළිබඳ කෙස් ගසක තරම්වත් වෛරයක් , තරහවක් නැත. ඒ ගමේ ගැමි පරිසරයක උපදින පරම පිවිතුරු ආදරයේ ස්වභාවය නොවේද? ගමේ දෙහදක උපදින ආදරය අදටත් සංකර නැත. මෙය ගැමි සිරිත් විරිත් පිටමං කරමින් සංකර සමාජ සිරිත් විරිත් කරපින්නාගත් සමාජයකනම් මෙවන් තරුණියකට උරුම වන්නේ මරණය හැර අන් කුමක්ද? අද එවන් සිදුවීමක් සිදු වූ සැණින් ආදරය වෛරයක් බවට පත්වෙමින් තම පෙම්වතිය මරා දමන ලද පෙම්වතුන් පිළිබඳ වග තුග කොතෙකුත් හමුවේ. නමුත් මේ ගැමි තරුණයාගේ සිතේ තම නෑණා පිළිබඳ එවන් සිතුවිල්ක් සිත් කොනක වත් නැත. ඔහු ඇය ගැන සිතමින් ඇඬූ කඳුළින් දිවි ගෙවයි. ඔහු සොයන එකම දේ වන්නේ ඇය තමා හැර දමා කොහි ගියාද පමණි. ඔහු සිතේ ඇය ගැන තරහක් නැත. ඔහු මුතු හැදෙන තුරා මුතු බෙල්ලෙක් දුක වාවා සිටිනවා මෙන් නෑනාගේ වෙන්වයාමෙන් තමාට ඇති වූ දුක සිතේ තදකරන් තනිවම විඳවමින් ජීවිතය ගෙන යයි. මේ පරම පිවිතුරු සැබෑ ආදරයක ස්වභාවය නොවේ යයි කාටනම් කිව හැකිද?

සේකරයන් ස්වකීය ප‍්‍රස්තුතයම කැටිකරන්නේ ජනකවි ආරක් තුළය. ඔහුගේ බස සරලය සුගමය. එමෙන්ම කෝමලය. මේ නිසා කවියක් ලෙසින් නිමවෙන මෙකී නිර්මාණය ගීතයක් බවට පෙරළීමට අමුතු ආයාසයක් ගත යුතු නොවේ. මන්ද ජන කවි ආරෙන් පෝෂණය වෙමින් උපමා අලංකාර ඇ යෙදුම් මතින් කළඑළි බසිනා කාව්‍ය නිර්මාණය සුගායනීය ගීතයක් බවට පත්වන්නේ අනායාසයකිනි. සෑම කවියකම එළිවැට රකිමින් නිමවෙන මෙම කෘතහස්ත නිර්මාණය රූපකාර්ථත් බස් වහර නිසා තව තවත් සුගායනීය වේ. මේ නිසාම සේකරයන්ගේ ගැමි සංස්කෘතියේ අවියෝජනීය බැඳීම් මනා ප‍්‍රතිභාවකින් පෝෂණය වෙම්න් පෙළ ගස්වා ඇති සැටියක් විද්‍යමාන වේ. සිය නිර්මාණය පුරා ජන සාහි්ත්යික විචාර ච්න්තාව ගැබ්ව පවතී. සේකරයන් සතු අපූර්ව පරිකල්පනයෙන් පෝෂිත රූපකාර්ථවත් බස් වහර නිසාවෙන් තරුණයාගේ විරහව හුදු වේදනා ප‍්‍රවාහයක් බවටම පත් නොකරමින් විරහවේ සෙවනැල්ලක් නැතිනම් සිහිල් සුළං පොදක් බවට පත් කිරීමට සමත් වී තිබෙන්නේ සේකරයන් සතු අපූර්ව භාෂා කුසලතාව නිසාය.

ගම් දොරේ පිපෙන නේක වර්ණ මල්, මිහිරි හඬක් හිමි පක්ෂීන් පේ‍්‍රමයේ චමත්කාරය තව තවත් වැඩි කරනවා පමණක් නොව වියෝ සිතට ඒ දේවල්ම විටක මිහිරක් ද ගෙන දේ. වත්මනේ පවා පෙම්වතුන් පෙම්වතියන් තමන්ගේ ආදරය පවසන්නේ අනෙකාට ලස්සන රෝස මලක් හෝ මල් පොකුරක් දෙමිනි. නමුත් ගැමි සමාජයේ රුපියල් සත වියදම් කරමින් තම පෙම්වතියට පෙම්වතාට අලංකාර මල් පොකුරු ලබා දීමට වත්කමක් නැත. නගරයේ පෙම්වතුන් රෝස මල් දෙමින් ආදරය පවසද්දී ගමේ තරුණ තරුණියන්ට දිය හැක්කේ වන මලක් විය හැකිය. නමුත් ගැමි පරිසරයේදී පෙම්වතාගෙන් ලැබෙන වන මල වුවද පෙම්වතිය භාරගන්නේ හද පිරි සතුටිනි. කවියාද මෙවන් සිදුවීමක් තම ප‍්‍රස්තුතය තුළට කැටි කරන සෙයක් අපට ගම්‍යමාන වේ.

‘උඹේ කරට මල් මාලා ගොතන්නට
මදුමල් පිපෙනවා හේනේ වැට දිගට
උඹේ කටින් ගී සීපද අහන්නට
තවමත් ගිරව් එනවා පෙර පුරුද්දට’

නෑනා තමා සමගින් සිටින පෙර දිනයේදී හේනේ වැටේ පිපෙන මදු මල් මාලා ගොතමින් නෑනා ගේ ගෙල සැරසූ සැටි තවමත් තරුණ මස්සිනාට සිහිවේ. ඇය තමාගෙන් වෙන්ව ගියද තවමත් මදු මල් වැට දිගට පෙරදා මෙන්ම පිපෙන බව තරුණයා පවසන්නේ එනිසාය. ඔහුට වැට දිගේ පිපී මද සුළගින් හිනහෙන මදු මල් දකින හැම මොහොතේම සිහිවන්නේ තම නෑනා පිළිබඳ මතකයයි. ඔහු කොතරම් ඇය හා සමීප ලෙසින් සිටියාද යන වග කීමට මේ පද පෙළම ප‍්‍රමාණවත් නොවේද? හේනේ බෝගයන් ආහාරයට ගැනීමට පැමිණෙන ගිරවුන් පවා ඔහුට පෙනෙන්නේ තම පෙම්වතියගේ මිතුරු මිතුරියන් ලෙසිනි. ගිරා මලිත්තන්ගේ හඬ සවනේ වැටෙන හැම වරකම පවා ඔහුට ඒ හඬින් ඇසෙන්නේ නෑනාගේ මිහිරිතම සුරතල් බස් පමණි. කවියා මෙහිදී ව්‍යංගයෙන් කියන්නේ අනෙනක් නොව නෑනාගේ ලස්සන රූප සෝභාව හා ඇගේ මිහිරි සුකොමළ බස් විලාසයයි. වනේ මදුමල් පිපීීම ස්වභාවික සිදුවීමකි. නමුත් තරුණයා එය දකින්නේ වෙනස් අයුරකිනි. එනම් මදුමල් පිපෙන්නේ පරිසරය සුන්දර කිරීමට නොව නෑනාගේ ගෙල අලංකාර කිරීමට ඇවැසි මල් මාලා ගොතන්නට බවයි. එමෙන්ම ගිරව්න්ගේ මිහිරි හඬ පවා තම නෑණාගේ මිහිරි හඬට දෙවනි කොට පෙන්වයි. එනම් ගිරවුන් පවා පෙර පුරුද්දට හේනට එන්නේ අනෙක් කරුණක් නිසා නොව නෑනාගේ මහිරි හඬ ඇසීමට බව කීමෙනි. ඇගේ හඬ පවා ගිරවුන්ගේ හඩට නොදෙවනි සේ කියාපෑමට තරුණයා උත්සුක වේ. ඒ ඔහුට මෙලොව සිටි සුන්දරම වස්තුව ඇය පමණක්ම වන නිසාය. ඇගේ හඬට, ඇගේ රුවට සමාන කිරීමට මෙලොව කිසිවක් ඔහුට නැත. ඔහුගේ ලෝකයේ සුන්දරම මිහිරිතම වස්තුව ඇයම පමණකි. ඇය තමා හැර දමා වෙන්ව ගියද ඔහු තවමත් සිතන්නේ ඇය ගැනම පමණකි. ඇය ඔහුගේ ලෝකයම වී සිටි පෙර දින ඔහුට කිසිදා අමතක කළ නොහැක. මන්ද ඔහු ඇයට එතරම්ම සමීපව සිටි හෙයිනි.

සේකරයන් ස්වකීය නිර්මාණය සඳහා පේ‍්‍රමයේ විරහව ප‍්‍රස්තුත කර ගත්තද කිසිම මොහොතක තරුණිය නැතිනම් තරුණයා හැර ගිය නෑණා පිළිබඳ අල්පමාත‍්‍රයකුදු තරහවක් වෛරයක් සහෘද සිතේ පවා නොඉපදෙන අයුරින් ස්වකීය නිර්මාණය කිරීමට සමත් වේ. ඒ දක්ෂ නිර්මාණකරුවකු උපතින්ම මෙලොවට රැගෙන එන අපූර්ව පරිකල්පනය හා නිර්මාණාත්මක ‍‍කෞෂල්‍ය ගුණය නිසාය. සේකරයන් යනු සිරිලක බිහිවූ අග‍්‍රගන්‍ය නිර්මාණකරුවෙකි. ඔහුගේ දෘෂ්ටිපථයට හසු වූ සුළු සිදුවීමක් පවා අපූර්වාකාරයෙන් සහෘද වින්දන මානයට ගෙන ඒමට ඔහු සමත් වේ. උක්ත ගේය පද නිර්මාණය තුළ පවා කිසිම මොහොතක විරහ වේදනාව වුවද හුදු ශෝකාලාපයක් බවට පත් නොකරමින් වෛරය තරහව සුළුවෙන් හෝ මතු නොකෙරන අයුරින් මනා සජීවී බවකින් යුතුව නිර්මාණය ගොණු කිරීමට සමත් වන්නේ එනිසාය. ඔහු ජීවිතයේ ආදරය පමණක් නොව විරහව දෙස පවා උපේක්ෂා සහගත දෘෂ්ටියකින් බැලීමට සමත් වී තිබේ. මේ ශික්ෂණය අප සමාජය පවා ලබා ගෙන තිබෙන්නේ ආගමික සංස්කෘතිය මගින් පෝෂණය වී තිබෙන අප රටේ සාරධර්ම පද්දතිය නිසා යයි විටක තර්ක කිරීමටද හැකිය. මේ හේතුවෙන්ම මෙවන් උත්කෘෂ්ට නිර්මාණයන් අදටත් සමාජය තුළ සජීවි අයුරින් පැවතීමට හේතු භූූත වී තිබේ.

– සුරංග එස්. විජේසූරිය –

http://kurutugegeepawra.blogspot.com/2015_08_01_archive.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල