පරිවර්තන, විශේෂ

ක්‍රිෂ් මල්හෝත්‍රා, අනන්‍යා ස්වාමිනාදන් සමඟ චේටන් භගට් – 2 States , The Story Of My Marriage

Off

ඇය සිටියේ පෝළිමෙහි මට දෙදෙනෙකුට ඉදිරියෙනි. ඒ අහමදාබාද්හි ඉන්දියානු කළමණාකාරිත්ව ආයතනයෙහි භෝජන ශාලාවෙහි දිවා ආහාර ලබාගැනීමේ පෝළිමයි.ඇය දෙස ඇස් කොණින් පිරික්සමින් මම කල්පනා කලේ මේ දකුණු ඉන්දියානු යුවතිය පිළිබඳව මගේ සහෝදර සිසුන් අතර මේසා විශාල ආන්දෝලනයක් හට ගැනීමට හේතුව කුමක් විය හැකිද? යන්නයි. දින ගණනක් කුසගින්නෙන් පෙලෙනා සරණාගතයකු මෙන් නොඉවසිල්ලෙන් ඇය තම සුරත රැඳි ආහාර ලබාගන්නා තැටියට වමතෙහි දිගු සිහින් ඇඟිලිවලින් සෙමින් තට්ටු කරද්දී ඉඟ තෙක් දිගු ඇගේ කෙස් කළඹ ඒ රිද්මයට අනුකූලව නැටවෙනු මම ඇස් කොණින් බලා සිටියෙමි.
ඇගේ රන් පැහැ ගෙලෙහි පසුපස දක්නටවූ නූල් තුනකින් ගෙතුනු කාළවර්ණ තරමක් මහත් වූ හුය අධ්‍යාපනයට ප්‍රමුඛස්ථානය දෙන මේ තක්සලාවෙහි සිසුවියක වුවද ඇය විලාසිතාවනටද රුචි කරන්නියක බව කියා පෑවේය.

” Ananya Swaminathan – best girl in the fresher batch ” ජේෂ්ඨ සිසුහු නේවාසිකාගාර දැන්වීම් පුවරුවෙහි ඇයට දැනටමත් කිරුළු පළඳවා ඇත.

දෙසියයකින් සමන්විත වූ අපේ කණ්ඩායමෙහි සිසුවියන් වූයේ විසි දෙනෙක් පමණි. සිරිතක් ලෙස අප ආයතනයෙහි සිසුවියන් අතර දැකුම්කළු යුවතියෝ ඉතා විරලය. ඉන්දියානු කළමණාකාරිත්ව ආයතනයට ( IIM ) යුවතියන් ඇතුළු කොට ගැනීමෙහිහිදී සැළකිල්ලට ගනු ලැබෙනුයේ ඔවුන්ගේ රූසපුව නොව අවශේෂ ඉන්දියානුවන්ගෙන් යටත් පිරිසෙයින් 99.9% කටවත් වඩා වැඩි වේගයකින් ගණිත ගැටළු විසඳීමෙහි ලා ඔවුන්ගේ හැකියාවයි.

බහුතරයක් IIM යුවතියෝ සුවඳ විලවුන් ආලේපය,රූප ලාවන්‍ය කටයුතු, සිරුරට කැපෙන ඇඳුම්, ස්පර්ෂක කාච භාවිතයෙන් ඇසෙහි වර්ණය වෙනස් කොට ගැනීම, මුහුණෙහි සහ දෙපාවල රෝම ඉවත්කිරීම සහ ඩිඔඩරන්ට් භාවිතය ආදිය තම බුද්ධි මට්ටමට නොගැලපෙන සිල්ලර කටයුතු ලෙස සැළකූහ. එසේ හෙයින් වියයුතු ලෙසම අනන්‍යා වන් රූබර යුවතියෝ කුමන අහඹුවකින් හෝ මෙහි ඇතුළුවූ සැණෙකින් මේ ටෙස්ටස්ටරොන් සපිරි සහ ඊස්ට්‍රජන් දරිද්‍රතාවයෙන් නිරතුරු පෙලෙනා ආයතනයෙහි සිහින කුමරියන් වන්නෝය.

ස්වාමිනාදන් මෙනෙවිය මේ පසුගිය සතිය තුල ඇගේ මෙතෙක් ජීවිත කාලය තුල ලැබුණාට වඩා අධික ලෙස පිරිමින්ගේ ඇල්ම බැල්මට ලක්වූ බවට මට කිසිදු සැකයක් නොවීය.එසේ හෙයින් ඒ නිරතුරු පිරිමි අවධානයට ලක්වීම හේතුකොටගෙන ඈ තුල අනිවාර්යයෙන් ඇතිවියයුතු මාන්නාධික බවට පිළිතුරක් ලෙස ඇය නොතකා හැරීමට මම තීරණය කළෙමි.

සිසුහු එකා පසුපස එකා ලෙස ස්වයංක්‍රීයව මෙන් ඉදිරියට ඇදුණහ.උකටලී සේවකයෝ කිසිදු හැඟීමකින් තොරව ඔවුනට ආහාර බෙදූයේ තමන් ඉදිරියේ සිටිනුයේ හෙට දිනයේ රට බබලවන වෘත්තීයවේදීන් පිරිසක්ද එසේ නැතහොත් බන්ධනාගාර ගතවූ මං පහරන්නන් පිරිසක්ද යන්න වගේ වගක් නැති අයුරිනි. ඔවුහු මිට දිගු බොකු ගැසුණු ලී හැන්දකින් කහවන් දියරයක් සිසුන්ගේ තැටිවලට කිසිදු උනන්දුවකින් තොරව බෙදූහ. එහෙත් තම අවස්ථාව පැමිණි විට ස්වාමිනාදන් මෙනෙවිය ශාන්තව තමන්ට නියමිත ආහාර සළාකය ලබාගෙන ඉවත්ව යාමට සූදානම් නොවූවාය.

” ඒ රසම් නම් නෙවෙයි.ඒක මොකක් වුනත් රසම් නම් නෙවෙයි කියල මට සහතිකයි. එතකොට..අර..අර ..තියෙන තද කහපාට?..ඒ මොනවද? ” ඇය කෑම බෙදන්නා විමසුවාය.

” සම්බාර් ” කෑම බෙදන්නා උගුර යටින් ගෙරෙව්වේය.
සම්බාර් – Google Images

” ඊක්…ඒකෙ පෙනුමනම් අන්තිමයි.කොහොමද ඔයාල එව්ව හැදුවෙ? ” අනන්‍යා විමසා සිටියාය.

” ඔහෙට කෑම ඕනද එපාද? ” කෑම බෙදන්නාට අවශ්‍ය වූයේ අනන්‍යා හා සමඟ කෑම වට්ටෝරු පිළිබඳව විද්වත් සාකච්ඡාවකට එළඹීම නොව හැකි ඉක්මනින් දිවා ආහාරය බෙදාදී නිදහස්වීම බව ඉතා පැහැදිලිය.

අනන්‍යා තීරණයක් ගැනීමට පෙර කල්පනා කරන්නට වූවාය. ඒ අතර ඇයට පසුපසින් පෝළිමේ හුන් සිසුවෝ දෙදෙන තම තැටි කවුන්ටරය මත ශබ්ද නැඟෙන සේ තැබූයේ එක් විටමය. අහර බෙදන්නා ඔවුන්ගේ සලාකය බෙදූ අනතුරුව ඔවුහු කිසිදු විවේචනයකින් හෝ සමාලෝචනයකින් තොරව ආහාර අනුභවය සඳහා මේසයක් සොයා එතැනින් ඉවත් වූහ.

ඊළඟ අවස්ථාව මටය. මම අනන්‍යා පසුපසින් සිටගතිමි.මෙතෙක් ඇය දෙස කෙලින් නොබැලූ මම මෙවරද ඇය දෙස බැලූයේ ඇස් කොණිනි. ඇය සැබවින්ම සුන්දරය. IIM ප්‍රමිතියට සහ නිර්ණායකයන්ට අනුව කිසිදු විවාදයකින් තොරවම ඇය රූප සුන්දරී යන කාණ්ඩය යටතේ වර්ග කල හැකි බව මම එකෙණෙහිම තීරණය කළෙමි.

ඇගේ වත සුන්දරවූයේ අදාල සියළු වැදගත් ශරීරාංගෝපාංග එනම් ඇස්, කට, නාසය තොල් සහ කණ් ප්‍රශස්ත ප්‍රමාණයෙන් මෙන්ම ඊට අමතරව එකිනෙකට ප්‍රශස්ත දුරින් ද පිහිටීම හේතුකොටගෙනය. මිනිසුන් හෝ ගැහැණුන් රූමත් වන්නේ එසේ පිහිටීම නිසාමය. එසේය. එනම් සාමාන්‍ය ශරීරාංගෝපාංග නිවැරදි ලෙස පිහිටීම නිසාය. එහෙත් මේ ඉතා සරල කාර්යය ස්වභාව ධර්මයා කොපමණ භයංකාර ලෙස නැවත නැවතත් වරද්දා ගන්නේද?

අනන්‍යාගේ නිල් පැහැ කුඩා තිලකය ඇය හැඳ සිටි අහස් නිලෙන් සහ ශ්වේත වර්ණයෙන් යුතු සල්වාරයට ඉතා හොඳින් ගැලපිණි.ඇය ශ්‍රී දේවීගේ සොහොයුරියක මෙනැයි මට සිතුනේ නිරායාසයෙනි.

මේ අතර කෑම බෙදන්නා කහ පැහැති දියරය බොකුටු හැන්දෙන් දෙකක් මගේ තැටිය මතට දැමීය.

” මේ සමාවෙන්න ඒත් මම මෙයාට කලින් පෝලිමේ හිටියෙ ” අනන්‍යා වහා පැවසූයේ තම විසල් ඇස් යුගලයෙන් කෑම බෙදන්නා දෙස එක එල්ලේ බලමිනි.

” මොනවද ඔහෙට ඕන? ” කෑම බෙදන්නා ඇසූයේ ඇය දෙස නොපහන් බැල්මක් හෙලමිනි. ” ඔහේ මේ තියෙන්නෙ රසම් නෙවෙයි කියනව.සම්බාර් දැක්කම මූණ ඇඹුල් කර ගන්නව.මම මෙතන සිය දාස් ගාණකට කෑම දීල තියනව හැමදාම.ඒ කවුරුත් ඔහොම කණුකුණු ගෑවෙ නම් නෑ.”

” අන්න හරියටම හරි, ටක්කෙටම හරි, මම හිතන්නෙ ඒකම තමයි මෙතන වෙලා තියන වැරැද්ද. දෙතුන් දෙනෙක් වත් ඉහළට පැමිණිළි කලා නම් ඔහෙගෙ සූප සාස්තරේ ඔයිට වඩා දියුණු වෙන්න තිබ්බ. ” අනන්‍යා ද එවැනිම ස්වරයකින් පැවසුවාය. කෑම බෙදන්නාගේ ඉවසීමේ සීමාව ඉක්ම ගියේය. මිටෙන් අඩක් දක්වා සම්බාර් තැවරුණු බොකුටු හැන්ද සම්බාර් බාල්දිය තුලටම අතහල ඔහු දෑත් එසවූයේ දෙවියන්ට යාඥා කිරීමට පරිද්දෙනි.

” හරි ඔහේට පැමිණිළි කරන්ටනෙ ඕන..ගිහිල්ල පැමිණිළි කරනව මැනේජර්ට. දෙයියම්පල්ල දැන් කාලෙ හැදෙන ගෑණු ළමයි නම් ….” කෑම බෙදන්නා මා දෙසට හැරුනේ ඔහුගේ අදහස් ප්‍රකාශනයට මගේ අනුමැතිය පතන්නාක් මෙනි. ඉහලට පහලට සෙමෙන් සෙලවෙමින් ස්වයංක්‍රීයව ඔහුට අනුමැතිය පලකිරීමට සූදානම්වූ වූ මගේ හිස මම ඉන් වළක්වා ස්ථාවරව පවත්වා ගත්තේ බොහෝ අසීරුවෙනි.

අනන්‍යා ප්‍රථම වරට මා දෙස බැලුවාය. ” මේ..ඔයාට මෙව්වා කන්න පුළුවන්ද? ” ඇගේ හැකිලුණු දෙබැම එම ඉතා වැදගත් ප්‍රශ්නයට මවෙතින් පිළිතුරක් අත්‍යාවශ්‍ය බව පවසයි. ” පොඩ්ඩක් කාල බලන්නකො ” ඇය නැවත ද ඉතා ලෙංගතුව ඉල්ලා සිටියාය.

හැන්දට ගත් සම්බාර් ස්වල්පයක් මම මුව තුල බහා ගතිමි. කෑම බෙදන්නා සහ අනන්‍යා යන දෙදෙනාම දෑස් විදහාගෙන බලා සිටිනුයේ මගේ විශේෂඥ තීරණය ලැබෙන තුරුය. මම සෙමෙන් සම්බාර් ස්වල්පය ගිල දැමීමි. ” ම්ම්ම්ම්ම්ම්…ලුණු ටිකක් නම් වැඩියි. කොහොමත් තරු පහේ සාම්බාර් එකක් නම් නෙවෙයි. ඒත් වෙන කන්ට දෙයක් නැත්නම් ජීවිතේ රැකගන්ට අවුලක් නැතුව කන්ට පුලුවෙනි. මට නම් දවල් කෑමට මේක අවුලක් නෑ. කොහොමත් මම මේ හොස්ටල් එකේ ගෙවන හතරවෙනි අවුරුද්දනෙ.” මම එසේ සිතුවා පමණි.

සම්බාර් ස්වල්පය ගිල දමා හිස ඔසවා බැලූ මා දෙනෙතට ලක්වූයේ යම්තමට ලාරත් පැහැයක් ගත් අනන්‍යාගේ රූමත් මුහුණය. මම ඇය සහ අවම වශයෙන් වයස පණහකට වැඩි මිසක අඩු නොවන කෑම බෙදන්නා සැසඳීමට තැත්කලෙමි. මුහුණෙහි දින කිහිපයකින් නොකැපූ තැනින් තැන සුදු පැහැ ගැන්වුනු රැවුලක් සහිත ඔහුගේ හිසකෙස් අවුල්ය. ඔබට සැකයක් ඇත්නම් සෑමවිටම රූමත් යුවතිය නිවැරදියි. එසේ පැවසූයේ කවුද යන්න කිසිසේත්ම වැදගත් නොවන බව මම තොල මතුරාගතිමි.

” ෂික්, කටේ තියන්ට බෑ ජරාව. ….” මම පැවසූයේ මුහුණද ඇඹුල් කර ගනිමිනි.

” අන්න දැක්කද? බොරුද මම කිව්වෙ? ” ඇය කුඩා දැරියකමෙන් මහත් ප්‍රීතියෙන් සිනාසුණාය. කෑම බෙදන්නා ගිණි පිටවන දෑසින් මා දෙස බලා සිටියේය.

” ඒ වුනාට..ඒ වුනාට..පුරුදු උනහම ඒ හැටි අවුලක් නැතිවෙයි මම හිතන්නෙ….” ඔහු සිත සැනසීමට මම අසාර්ථක උත්සාහයක නිරත වූයෙමි. පුළුටු කොටගත් මුහුණින් යුතුව කෑම බෙදන්නා මගේ තැටියට බත් කන්දක් බෙදුවේය.

” මේ…ඔයා කැමති වෙන මොනවහරි ගන්න. ” මම ඇය ඇමතූයේ අහක බලාගෙනය. අහමදාබාද් ඉන්දීය කළමණාකරන ආයතනයෙහි සෑම සිසුවෙක්ම පසුගිය දින කීපය මුලුල්ලේ ඇය දෙස ඇසිපිය නොහෙලා බලා සිටියේ විදුලි පන්දමක එළියට ගිණිකන වැටුනු සාවුන් රැළක් මෙනි. ඔවුන් පරිදි හැසිරීමට මට කිසිසේත්ම අවශ්‍ය නොවීය.

” මට දෙන්න අර රස්ගුල්ලා.” එම අතුරුපස ගොඩ ගසා තිබූ පැතලි තැටිය දෙසට ඇය ඉඟි කලාය.
රස්ගුල්ලා – Google Images

” එහෙම කොහොමද? අතුරුපස දෙන්නෙ කෑමෙන් පස්සෙ ” කෑම බෙදන්නා ඒ හා සමඟම පැවසීය.

” මේ…ඔහේ කවුරු කියලද හිතාගෙන ඉන්නෙ? මගෙ අම්ම කියලද? මම කාල ඉවරයි…මට දෙනවා කරුණා කරල අර රස්ගුල්ලා දෙකක්.” ඇය පැවසූයේ උච්ච ස්වරයෙනි.

” එක්කෙනාට එකයි දෙන්නෙ. ඊට වැඩිය බෑ” එක් රස්ගුල්ලාවක් දැමූ කුඩා ඇළුමිනියම් කෝප්පයක් ඇගේ තැටිය මත තබා ඔහු ආපසු හැරුනේය.

” පුදුම වැඩක්නෙ මේක. කටේ තියන්ට බැරි සම්බාර් ඕන හැටිය දෙනවා. ඒත් යම්තම් එක විදිහකට තියෙන අපුලක් නැතුව කන්ට පුලුවන්ය කියල පේන්ට තියන එව්ව එකයි දෙන්නෙ. ” ඇය හිස දෙපසට සොලවමින් පැවසුවාය. අපට පසුපස පෝලිම ක්‍රමයෙන් දිගු වන්නට විය. එහෙත් පෝළිමේ උන්නෝ ඒ ගැන කිසිදු තැකීමක් නොකළහ. ආයතනයෙහි රූමත්ම සිසුවිය දෙස කටවල් විවර කොටගෙන බලා සිටින්නට ඔවුනට මහඟු අවස්ථාවක් ලැබී ඇත.

” මගේ රස්ගුල්ලා එක එයාට දෙන්න ” මම එක්වරම පැවසුවෙමි. එහෙත් ඒ සමඟම මම ඒ මහඟු පරිත්‍යාගය පිළිබඳව පසුතැවිලි වූයෙමි. “අනේ මෝඩයා, ඒ අපූරු ගෑණු ළමයා කවදාවත් ඔයා එක්ක යාලුවෙන එකක් නෑ. ඔහේ ඔහෙගෙ රස්ගුල්ලා එක නිරපරාදෙ නැතිකරගත්තු එක විතරයි ඔන්න වුනේ. බලනවකො මම කියන්නෙ බොරුද කියල?” මම මටම දොස් පවරා ගතිමි.

” මට එහෙම කරන්න බෑ..ඔයාගෙ එක මම දෙන්නෙ ඔයාට ” කෑම බෙදන්නා ශාන්ත ලෙස එසේ පවසමින් රස්ගුල්ලාව මගේ තැටිය මත තැබුවේය.

රස්ගුල්ලාව බහාලූ කුඩා භාජනය මම ඇගේ තැටිය මත තැබුවෙමි. ඒ හා සමඟම ඇය කෑම බෙදන කවුන්ටරය අසලින් ඉවත්ව වටපිට නෙත් යොමු කරන්නට වූයේ හිඳ ගැනීමට සුදුසු ස්ථානයක් සොයමිනි. ” ඔන්න ඉතින් හරිනෙ මෝඩයා,අන්න ඒ රැවැති ළඳ උඹේ රස්ගුල්ලා එකත් අරගෙන යන්නයි ලැහැත්ති වෙන්නෙ.දැන් සනීපයිනෙ. ඉතින් මුල්ලක් අල්ලගෙන කාපං උඹේ සාම්බාරුව ” මම තොල් මතුරාගතිමි.

ඇය මදෙස හැරුණාය. ඈ හා සමඟ ආහාර ගැනීමට පැමිණෙන ලෙස ඇය මට ආරාධනා නොකල නමුදු එසේ කිරීමට ඇය තුල අකමැත්තක් නැතිබව ඇගේ ඉරියව් කියා පෑවේය. හිස් මේසයක් අසල නැවතුනු ඇය ඇඟිල්ලක් දිගුකොට එය මට පෙන්වා එහි හිඳගත්තාය. ඇය ඉදිරිපස අසුනේ මම ද හිඳ ගතිමි.

ශාලාව පුරා හිඳ ආහාර ගන්නා සියල්ලන්ගේ ඇස් යොමුවී තිබුණේ අප දෙසටය. ඈ වන් සුර දූතියක හා සමඟ එකට හිඳ ආහාර ගැනීමට පමණ මගේ තිබෙන විශේෂය කුමක්ද යන්න ඔවුනට විසඳා ගත නොහෙන ගැටළුවක් බව ඔවුන්ගේ විපිළිසර දෑස් පැවසීය. “යකුනේ මම ඈ වෙනුවෙන් මහ විසාල පරිත්‍යාගයක් කලා. මගෙ රස්ගුල්ලාව මම ඇයට දුන්නා.” එසේ ඔවුන් අමතා කෑගැසීමට මට අවශ්ය විය.

” මම ක්‍රිෂ්…..” සම්බාර් බඳුන හැන්දෙන් කාල්ගාමින් මම පැවසුවෙමි.

” මගෙ නම අනන්‍යා.. ඊක්… වස අප්පිරියයි නේද? ” සාම්බාර් මිශ්‍ර බත් සවල්පයක් මුව තුල බහා සපන්නට වූ මගේ ඇඹුල්වූ මුහුණ දුටු ඇය යටිතොල පෙරලා විමසුවාය.

” මට හොස්ටල් කෑම පුරුදුයි.කෑම මීටත් වඩා සවුත්තු වෙන දවස් අනන්ත තියෙනව. ” මම උරහිස් හැකුළුවෙමි.

” හිහ්..මීටත් වඩා නරක කෑම? මට නම් එහෙම දෙයක් හිතාගන්නත් අමාරුයි”

සැර අමු මිරිස් කරලක් සැපීම නිසා මට කැස්සක් ඇතිවිය. ඇගේ වැලමිට අසල තිබූ වතුර ජෝගුව අතට ගත් අනන්‍යා වහා ඉදිරියට නැමී මගේ වීදුරුවට වතුර පිරවූවාය. දෙසියයකගෙ මුවින් එකවර නැඟුනු සූ හඬක් ශාලාව පුරා විහිද ගියේය. අප දෙදෙන ඔවුන් සියල්ලන්ගේම අද දවසේ අවධානයෙහි නාභි ලක්ෂ්‍යය වී ඇති බව නිසැකය.

අතුරුපස ඇය කටට දෙකට අවසාන කලාය.” මට තාම බඩගිනියි. මම උදේට කාලත් නැතුව මේ ඉන්නෙ.”

” එක්කෝ මේ මෙලෝ රහක් නැති කෑමට පුරුදු වෙන්ට වෙනව. නැත්නම් බඩගින්නෙ ඉන්ට වෙනව. හොස්ටල් ජීවිතේදි ඉතින් ඔය දෙකෙන් තමන්ට ලේසි මොකක්ද කියල කලින්ම තීරණය කරගන්ට වෙනව.එහෙම කලාම තමන්ටම ලේසියි ” මම දර්ශනවාදී අදහසක් ඉදිරිපත් කළෙමි.

” මේ මොකද කියන්නෙ? එනවද මා එක්ක ටවුමට ගිහිල්ල මොනව හරි කන්ට? මෙහෙ ඇතිනෙ නේද හොඳ මට්ටමක රෙස්ටුරන්ට් ? මං කියන්නෙ මේ අඩුගනනෙ එකක් දෙකක්වත්? “ඇය මා දෙස බලා සිනහසුනාය.

” මේ…. දැං? ” හරියටම පැයකින් පංතියක් ඇරඹීමට නියමිත බැවින් මම එසේ ඇසුවද ආයතනයෙහි ඉගෙනුම ලබන සොඳුරුතම යුවතිය තමා හා සමඟ නගරයට යාමට මට ආරාධනා කොට ඇති විට එය ප්‍රතික්ෂේප කරන්නේ කෙලෙසද? ඇය ආරාධනා කලේ ඇගේ කුසගින්න නිවාගැන්ම උදෙසා බව සැබෑවක් වුවද මම ඒ අමතක කළෙමි.

” ඔව් දැන් තමයි ….ඒ පංතියට නොගියයි කියල ඒ හැටි පාඩුවක් වෙන්නෙ නෑ ” පුටුව පසුපසට කොට නැඟිටිමින් ඇය පැවසුවාය. මම ලහි ලහියේ තවත් තවත් බත් හැඳි දෙකක් ගිල දැමීමි.

” ඔය කෙහෙල්මල ඔහොම තියල එනව හලෝ ” ඇය කකුලක් පොළවේ ගැසුවාද යන්න මට හරිහැටි කිව නොහැකිමුත් බොහෝවිට එසේ කරන්නට ඇත.

මුහුණු දෙසියයක පිහිටි ඇස් හාරසියයක් මම අනන්‍යා ස්වාමිනාදන් මෙනෙවිය එනම් සියළු සිසුන්ගේ ඒකමතිකත්වයෙන් ආයතනයෙහි සොඳුරුම යුවතිය ලෙස තෝරාගැනුනු සුන්දරිය සමඟ භෝජන ශාලාවෙන් පිටවයන අන්දම විශ්මයපත්ව බලා සිටියහ.

******************************

2 States : The Story Of My Marriage By Chetan Bhagat…මේ පොතේ සිංහල පරිවර්තනයක් තියනවද කියල නම් දන්නෙ නෑ. සමහරවිට ඇති මොකද භගට්ගෙ පොත් බොහොම ජනප්‍රියයි. සිංහල පරිවර්තනයක් තියනව උනත් කමක් නෑ කියල හිතලයි මේක ලිව්වෙ.

චේටන් භගට් ගැන පොඩි පඳුරු තැලිල්ලකුත් නම් තියනව. ඒක ලබන පාර හොඳද?

http://ranrandil.blogspot.co.uk/2015/09/345-2-states-story-of-my-marriage.html

දෙවන කොටස:  http://ranrandil.blogspot.co.uk/2015/09/346-story-of-my-marriage-2.html

තුන්වන කොටස :http://ranrandil.blogspot.co.uk/2015/09/347-story-of-my-marriage-3.html

හතරවන කොටස : http://ranrandil.blogspot.co.uk/2015/09/348-story-of-my-marriage-4-surest-way.html

 

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල