විවිධාංග

‘තරු ඇස් රහස්‘ මුලින්ම වෙරෝනිකා ට…

Off

‘‘අම්මේ තරු ඇස් රහස්නෙ. මේ පොතේ අක්කගෙ රහස් ඔක්කොම ඇති.‘‘

අද උදේ වරුවේ කුස්සියේ සාමුහික උයමනක යෙදී සිටින අතරතුර නංගි කීවාය.

‘‘ඔව්.. ඔව්.. මගෙ රහස් ඔක්කොම තියෙනවා..‘‘ මම ද පොල් ගාමින් සිනාසුනෙමි.

‘‘අම්මේ, අපි දෙන්න එකින් එක හෙමිහිට කියවල, ඩික්ෂනරියක්වත් හොයාගෙන කවි තේරුං කරගෙන මෙයාගෙ රහස් අල්ලගම්මු..‘‘ එවර නංගීගේ සිනාවට අම්මා ද එක්වුණි.

‘‘ඔයාල නොදන්න කිසිම රහසක් මට නෑනෙ අනේ.. ඔයාල දන්න රහස් තමයි කවි පොතෙත් තියෙන්නෙ..‘‘

ඒ සුන්දර කතාබහ ඇති වූයේ අපි තරු ඇස් රහස් කවි පොතේ මුල් ම පිටපත මුල් වරට ලොකු අම්මාගෙ ( අම්මාගෙ අම්මා ) දෝතට පිරිනැමීමේ ප්‍රීතිමත් ම කටයුත්ත නිම කර ආපසු පැමිණ සිටියදී ය.

වෙරෝනිකා බර්නදෙත් නම් වු ඇය,

ලොකු අම්මා ආදරයේ උල්පතකි. ටිකක් කට සැර බව ඇත්ත ය. නමුත් මම නම් කිසිදා ඇගෙන් බැනුමක් නොඇසීමි. කප්පරක් දුක් ගැහැට දෙවියන් තුළ ඉවසීමෙන් දරාගනිමින් ජීවිත සටන අත්නොහැරි ධෛර්යසම්පන්න ආදර්ශමත් ගැහැණියකි ඈ. ලොකු අම්මාගේ ලොකුම මිණිබිරී මා ය. ඉතින් මේ ලොකු දුව අනෙක් මුණුබුරු මිණිබිරියන් ආදරණීය නෝක්කාඩු නගන තරමට ම ලොකු අම්මාගේ හදවතේ වැඩි ඉඩක් හිමි කරගෙන සිටියාය.

‘‘ප්‍රේමය‘‘ පදනම වූ මගේ කවි හිත පුදදෙනුව උවමනාවටත් වඩා වැඩි සුදුසුකම් ඈ සතු ය.

ලොකු අම්මාට ලොකු තාත්තා හමු වී තිබුණේ මංගල යෝජනාවකිනි. දෙවෙනි හමුවීම මගුල ය. බලන්නට ආ දිනවත් හරි හැටි මුහුණ නොදැක කසාද බැන්දේ කෙසේදැයි ඇසූ විටෙක ඈ කීවේ ‘‘ඒ කාලෙ එහෙම තමයි පුතේ.‘‘ කියාය. ලොකු තාත්තා බීමට ඇබ්බැහි වූවකු බව ඈ දැන සිට නැත.

ලොකු තාත්තාගේ බේබදුකමත්, රණ්ඩු සරුවලුත් ඉවසනු බැරි තැන ඇය අම්මාත්, මම්මාත් රැගෙන ආපසු ගම රට පැමිණ තිබුණේ අම්මාට අවුරුදු හතරක් තරම වයසේ දී ය. ලොකු තාත්තාගේ බීමත්කම කොතරම් බරපතල ව්‍යසනයක් වී තිබුණිද යන්න වැටහෙන්නේ ඔහු වරක් ලොකු අම්මාත්, ළදැරියන් වූ මම්මාත්, අම්මාත් නිදා සිටියදීම පොල් අතු හෙවිල්ලූ නිවසට ගිනි ලූ බැවිනි. ඉතින්, ලොකු අම්මා ඔහු අත්හැර පැමිණීම පුදුමයක් නොවේ.

අනතුරුව කප්පරක් දුක් විඳිමින් ඇය දරුවන් උස් මහත් කළාය. බීමත්කමෙන් පාරට වැටී සිටි ලොකු තාත්තා දැක අනුකම්පා උපදවා, මම්මා විවාහ වූ පප්පා විසින් නැවත ඔහු අපේ ජීවිතවලට කැන්දාගෙන එන විට අම්මාට මාත් ලැබී තිබුණු බව පවුලේ ඉතිහාස කතාවල දී මතු වන කාරණයකි.

ඒ පැමිණ සිටියදී වුව ඔහු කොතරම් කරදරකාරී, නාස්තිකාරී, අනුකම්පා විරහිත ස්වාමිපුරුෂයෙක්ද යන්න මම දෑසින් දුටුවෙමි. ‘‘මොන එහෙකටද ලොකු අම්මා ඔය මනුස්සයා බැන්දෙ..‘‘ අපි අසන විට ‘‘ බොන බව දැනගෙන හිටියෙ නෑනෙ පුතේ. හරියට මුණවත් දැක්කෙ මගුල් දා තමයි..‘‘ ඈ කීවා ය. කෙසේ නමුත් ලොකු තාත්තා මුණුබුරු මිණිබිරියන්ට නම් ආදරය කළේය.

පප්පා අකල්හිම ජීවිතයෙන් සමුගත් විට මම්මා විදෙස්ගත වුයේ ජීවත්වීමේ මඟක් පාදා ගනු පිණිස ය. මම්මාගේ කුඩා දියණියන් දෙදෙනාද රැක බලාගෙන, ලොකු තාත්තාගේ දුක් ගැහැට ද ඉවසමින්, අරපිරිමැස්මෙන් වැඩ කරමින් ලොකු අම්මා ඔවුන්ට නිවසක්ද තනා දුන්නාය. මම්මා විදෙස්ගතව උන් සිව් වසරක කාලය අපතේ ගියේ නැත. ලොකු අම්මා කොතරම් දිරිය ගැහැණියක්ද යන්න එකල්හි මම මැනවින් පසක් කරගතිමි.

අවසන ලොකු තාත්තා අංශබාග රෝගයෙන් ඔත්පල වූ විට දරුවකු රැක බලා ගන්නාක් මෙන් ඈ ඔහු රැක බලා ගත්තා ය. ආහාර ගන්නට නොහැකි වූ තැන, කිරි වීදුරුවෙහි පොගවා ක්‍රීම් කැකර් කැව්වාය. අවසන රෙදි පාන්කඩයක් කිරෙන් පොඟවා දෙතොල තෙමමින් පැය ගණන් ගෙවා දමන්නට තරම් ඉවසීමක් ඈ සතු විය. ඒයි කියනා පමාවට සිය දහස් වරක් හෝ ලොකු තාත්තා වෙත යන්නට තරම් කාරුණික වූවා ය. එතරම්ම වධ දුන් ස්වාමිපුරුෂයකු වෙනුවෙන් එතරම්ම කැපවෙන්නට හැකි වීම විස්මිත ය. නමුත් ඒ ඇය ය. ප්‍රේම පාරමිතාව ඈ අප වෙත ජීවිතයෙන්ම කියා දෙමින් උන්නා ය.

තම දෑතින් නිවසේදීම කැවිලි පෙවිලි හදමින් දරු මුණුබුරන්ට කන්නට දීම ඇගේ සිරිතකි. වත්තේ කෙසෙල්කැනක් ඉදුණොත් ආප්ප හැදෙන්නේම ය. නිකම්ම ආප්ප ද නොවේ. බිත්තර ආප්ප, පැණි ආප්ප, වාටි ඇති නැති ආප්ප එකිනෙකාගේ රිස්ස අනුව ය. ආප්ප වට්ටිය වටේ බංකු තබා වාඩි වෙන අපි උණු උණුවෙන්ම ඒවාට වග කීමු. ඈ හදන, පිට්ටු රොටී වුව ද වෙනම ම රසකි. කුමන කැවිල්ලක් හැදුණද මගේ පංගුව වරදින්නේ නැත.

‘‘ලොකු අක්කා ආවම හැංගිල තියෙන කෑම ජාතිත් එළියට එනවා.‘‘ නංගිලා කියන්නට පුරුදුව සිටියහ. ගෙදර හදන මිරිස් තුනපහ දමා ඇය හදන ව්‍යංජන රස අතරින් මා කවදත් කැමති කජු මාළුවටත්, කලවම් පලා මැල්ලුමටත් ය. දැන් ඉතින් ඒ දෙඅතින් ඉවුම් පිහුම් සිදුවන්නේ නැත. එනමුත් ඒ ආදරණීය දෑතින් මැවූ රසය මතකයෙන් ගිලිහෙන්නේ නොවේ.

මගේ ජීවිතයේ බරපතලම තීරණයේ දී ඇය නිහඩවම මා අනුමත කළා ය.

‘‘ගෑණු උනාම ජීවිතේම දුකක් තමයි පුතේ. බැන්දම ඉතින් ඔය සැනසිල්ල ඉවරයි. දරුවො හදනවා. ජීවත්වෙන්න නොසෑහෙන්න දුක් විදිනවා. ඉන්පස්සෙ දරුවන්ගෙ දරුවො හදනවා. කෙළවරක් නෑ. පුතාට හිතෙන දවසක් එනකල් ඔහොම ඉන්න. රටේ ලෝකෙ මිනිස්සු කියන හින්ද කසාද බදින්න ඕන නෑ..‘‘

ඉතින් ඒ පුතාට බඳින්න ඕනම යැයි හිතුණේ ද නැත. ඒ ගැන ඈ විස්සෝප වූයේ ද නැත. ජීවිතේ සතුටත්, දුකත් සැඟව ඇත්තේ බැඳීම්වල බව ඇත්ත ය. නීතියෙන් නොබැඳුණා කියා ඒ සිනා කඳුළුවල වෙනසක් සිදුවන්නේ ද නැත.

එදා සේම අදත් ඈ මා එනතුරු මග බලා හිදින්නීය. මගේ අතින් ලැබෙන සොච්චම රටක් රාජ්‍යයක් මෙන් මිට මොළවා ගන්නීය. සමුගන්නා විට ඇස්වල කදුළු පුරවා ගන්නී ය.

අවුරුදු 83 ක් වයසැති ඈ අද සිටින්නේ එක්තැන්ව ය. එක්තැන්ව සිටින්නේ ලෙඩක් දුකක් නිසා නම් නොවේ. නැගී සිට ඇවිදින්නට තරම් දෙපා වාරු නැති බැවිනි. ෂුගර්, ප්‍රෙෂර්, කොලොස්ටරෝල් වැනි ලෙඩ ඇයට නැත. දවසට තුන්වරක් කොන්තෙ කියනා ඈ නිතරම රේඩියෝවෙන් ගීතයක් අසන්නී ය. කණ්ණාඩි කුට්ටමක් නැතිවම පත්තර කියවන්නී ය. ඒ කිසිත් නැති තැන දෑස් වසා නිහඬවම සිටින්නී ය. අතීත සක්මනක විය යුතු ය.

ලොකු අම්මාගේ ජීවිතය අරාබි නිසොල්ලාසය මෙන් නිමා නොවන කතා කප්පරකින් සැදුම් ලද්දකි. මා ඉන් දැන සිටින්නේ ස්වල්පයක් විය හැකි ය. කෙසේ නමුත් ඒ ස්වල්පය මහමෙරක් තරම් ආදරයක්, ගෞරවයක් හදවතේ නිදන් කොට ඇත. ඉදින්, මගේ කවි හිතේ පළමු අස්වැන්න ඈ අත තබන්නට ලැබීම හිතට නිවනකි. සතුටකි.
මුල්ම කවි පොත පිළිගැන්වූ මොහොත පවුලේ සැම එකතු වූ පුංචි උත්සවයක සිරි ඉසිලීය. ජීවිතේ සුන්දර ද මෙතරම් හදවතේ රැව් නැගිණි.

තාත්තාගේ අම්මාත්, තාත්තාත් නෙත නැඟෙන කඳුළකින් තොරව සිහිපත් කළ නොහැකිය. එතරම්ම ඔවුහු මට ආදරය කළහ. ස්වර්ගයේ සිට ඔවුන් මදෙස බලා සිටිනවා විය යුතු ය. ඒ අපේ ලොකු මිනිබිරී පවසනවාද විය යුතු ය.

අපේ පවුලේත් නෑ හිත මිතුරන්ගේත් අප්‍රමාණ ආදරය මා ලොවට ණයගැතියකු කර ඇත. මා සැමවිටම උත්සාහ දරනුයේ ඒ ණය ගෙවා දමන්නට ය. එනම් ආදරයෙන් ජීවත් වන්නට ය. මම අපමණක් ආදරය නොමිලයේ ම ලද්දියක වෙමි. ඉදින්, මනුෂ්‍යත්වය දල්වාලනු වස් ඒ ආදරය බෙදා දීමේ යුතුකමක් මට ඇත.

‘තරු ඇස් රහස්‘ වුව තවදුරටත් රහසක් නොවන්නේ එබැවිනි.

http://tharurasi.blogspot.co.uk/2015/09/blog-post_13.html

Related Posts

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල