විද්‍යා හා තාක්ෂණ, විශේෂ

නිහාරිකා – ඇරඹුමත් අවසානයත් එතැන ය.

Off

විශ්වයේ ඇති සුන්දරතම ආකාශ වස්තුව කුමක්දැයි ඇසුවහොත් බොහෝ තාරකා විද්‍යා ලෝලීන්ගේ පිළිතුර වන්නේ නිහාරිකාව හෙවත් නෙබියුලාව යි. ඉතා වර්ණවත්, අලංකාර හැඩවලින් යුක්ත වූ නිහාරිකාව දුහුවිලි, හයිඩ්‍රජන්, හීලියම් හා ප්ලාස්මාවෙන් සමන්විත වූ වළාකුළු වැනි ව්‍යූහයකි. විවිධ දීප්තිමත් වර්ණවලින් යුතු දුමාරයක් ලෙස ඡායාරූපවල සටහන් වන නිහාරිකා අභ්‍යවකාශයේ ඇති අනෙකුත් බොහෝ ආකාශ වස්තූන් මෙන්ම ප්‍රමාණයෙන් අතිදැවැන්ත වන අතර බොහෝවිට ආලෝක වර්ෂ සියගණනක විශ්කම්භයකින් යුතු වේ.

සියළුම වර්ගයන්හි තාරකාවල උපත සිදුවන්නේ නිහාරිකාවන් තුළදී ය. සාමාන්‍යයෙන් නිහාරිකාව තුළ සිදුවන ගුරුත්වජ බිඳවැටීම් (gravitational collapses) මගින් නව තරු ඇති වන බවට පිළිගැනේ. මේ අනුව නිහාරිකාවක් තුළ ගුරුත්වජ හා චුම්බක ක්ෂේත්‍රයන්හි ඇති වන වෙනස්වීම් නිසා නිහාරිකාවේ වළාකුළු කොටස් බිඳ වැටෙමින් වඩාත් කුඩා වළාකුළුවලට කැඩී වෙන් වේ. මෙම බිඳවැටීම සිදුවන විට ඒ අවට උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ නගින අතර කුඩා වළාකුළු කොටස් තම කෝණික ගම්‍යතාව ස්ථාවරව පවත්වාගැනීම සඳහා වඩාත් වේගයෙන් තමා වටා භ්‍රමණය වීම ආරම්භ කරයි. වළාකුළේ මධ්‍යය කෙල්වින් 2000 – 2500 පමණ උෂ්ණත්වයකට ළඟාවන විට එහි අඩංගු හයිඩ්‍රජන් වායුව හයිඩ්‍රජන් පරමාණු බවට බිඳී වෙන් වීම සිදු වේ. මධ්‍යය තුළ න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා ඇරඹෙන්නේ උෂ්ණත්වය කෙල්වින් 10,000ක පමණ අධික අගයකට ළඟා වූ පසු ය. මේ බිළිඳු තාරකාවක උපත යි. අවසානයේදී තාරකාව සතු වන හයිඩ්‍රජන් හා හීලියම් ප්‍රමාණය මත එම තාරකාව අයත් වන්නේ කුමන කාණ්ඩයට ද යන්න තීරණය වේ. (තාරකා පරිණාමනය ලිපිය පරිශීලනය කරන්න.) මෙය ක්ෂණිකව සිදුවන්නක් නොව වසර දහස් ගණන්, මිලියන ගණන් ගත කරමින් සිදුවන මන්දගාමී ක්‍රියාදාමයකි. සාමාන්‍යයෙන් සූර්යයාගේ ප්‍රමාණයේ තාරකා දසදහසක් පමණ හෝ ඊටත් වඩා නිර්මාණය කිරීමට අවශ්‍ය පදාර්ථ නිහාරිකාවක් සතුව තිබේ.

තාරකාවක උපත නිහාරිකාවක් මගින් සිදුවනවාක් මෙන්ම එහි අවසානය ද නිහාරිකාවක් ලෙසම සිදුවිය හැකිය. ඒ විශේෂ තාරකා කාණ්ඩ දෙකක ජීවිත කාලයේ අවසන් අවධි ලෙසිනි. ඒ අනුව අප සූර්යයාගේ ප්‍රමාණයේ තාරකා රතු යෝධ අවස්ථාව පසු කිරීමෙන් පසු ග්‍රහ නිහාරිකා බවට පත්වන අතර වඩා විශාල තාරකා සුපර්නෝවා පිපිරුමට මුහුණ දුන් පසු ඉතිරි වන අවශේෂ කොටස්ද නිහාරිකා බවට පත් වේ. (මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා තාරකා පරිණාමනය ලිපිය කියවන්න.)

සියළුම නිහාරිකා ඉහත කාණ්ඩයන් දෙකද ඇතුළුව ප්‍රධාන ‍‍කාණ්ඩ තුනකට වර්ගීකරණය කළ හැක.

  • ග්‍රහ නිහාරිකා (Planetary Nebulae) – සූර්යයාගේ ප්‍රමාණයේ තාරකා රතු යෝධ අවස්ථාව පසු කිරීමෙන් පසු එය සතුව පැවති පිටත පෘෂ්ඨයන්හි අවශේෂ කොටස් දුමාරයක් මෙන් පිටතට මුදාහරී. මෙය ග්‍රහ නිහාරිකාවක් ලෙස හැඳින්වෙන අතර එහි ආයුකාලය වසර දහස් ගණනකට සීමා වේ.

 

෴Spirograph ග්‍රහ නිහාරිකාව෴
  • සුපර්නෝවා අවශිෂ්ට නිහාරිකා (Supernova Remnants) – අතිදැවැන්ත තාරකා (Blue Hyper Giants) ප්‍රබල සුපර්නෝවා පිපිරීමකට මුහුණ දුන් පසු පිටත අවකාශයට නිදහස් වන වායුමය කවච මගින් සුපර්නෝවා අවශිෂ්ට නිහාරිකා නිර්මාණය වේ.

 

Menagerie සුපර්නෝවා අවශිෂ්ට නිහාරිකාව෴
  • අඳුරු නිහාරිකා (Dark Nebulae) – මේවා අවශෝෂක නිහාරිකා (Absorption Nebulae) ලෙසද හැඳින්වේ. ප්‍රධාන වශයෙන් දුහුවිල්ලෙන් සමන්විත වුණු මේවා මගින් වෙනත් ආකාශ වස්තූන්ගෙන් පිටවන ආලෝකය උරාගනු ලබයි.

 

෴Horsehead අඳුරු නිහාරිකාව෴

මේ හැර වෙනත් විකල්ප වර්ගීකරණයන්ද තිබේ. ග්‍රහ නිහාරිකා සහ සුපර්නෝවා අවශිෂ්ට නිහාරිකා ඇතුළුව බොහොමයක් නිහාරිකාවන් විසාරී නිහාරිකා (Diffuse Nebulae) ලෙස හැඳින්විය හැකිය. එනම් මෙවැනි නිහාරිකා පැතිරුණු ස්වභාවයක් දක්වන අතර ඒවාට නිශ්චිත සීමාවක් නැත. විසාරී නිහාරිකාවන්ද වර්ග දෙකකි. ග්‍රහ නිහාරිකා හා සුපර්නෝවා අවශිෂ්ට නිහාරිකා තමන් සතු අයනීකරණය වූ වායූන්ගෙන් ආලෝකය නිකුත් කරන නිසා විමෝචක නිහාරිකා (Emission Nebulae) ලෙසද, වෙනත් වස්තූන්ගෙන් පිට වන ආලෝකය පරාවර්තනය කරන නිහාරිකා පරාවර්තක නිහාරිකා (Reflection Nebulae) ලෙසද හැඳින්විය හැකිය.

විශේෂ කරුණු:
බොහෝ නිහාරිකාවන්හි සැබෑ වර්ණය අප ඡායාරූප වලින් දකිනවාට වඩා ඉතා අඩු ය. ඒවායේ සමහර වර්ණ තීව්‍රතාවයන් මිනිස් ඇසට පවා සංවේදී නොවේ. විද්‍යාඥයන් විසින් අධ්‍යයන කටයුතුවල පහසුව සඳහා මෙවැනි ඡායාරූපවල සැබෑ වර්ණයන් යම්තාක් දුරට වැඩිදියුණු (colour enhancing) කරනු ලැබේ.

අලංකාර නිහාරිකාවන් කිහිපයක් පිළිබඳව ලියැවෙන ඡායාරූපමය ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

by -Ashan Ravindu Yugantha
– See more at: http://beyond-the-galaxy.blogspot.co.uk/2015/10/Nebulae.html#sthash.QH3iiRAK.dpuf

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල